ශාන්තිනායකයාණෝ වදාළ සුමධුර දහම
පිටිගල ගුණරතන හිමි
අපට ශාන්තිය සැලසීම පිණිස ලොවුතුරු බුදුරජාණන් වහන්සේගේ උතුම් සදහම්
පණිවිඩය රැගෙන ලක්දිවට වැඩම කොට හෙළයන්ට උදාර අධ්‍යාත්මික විසුද්ධියක්
කරා කිසිවෙකුට නොදෙවිනි හෙළ සංස්කෘතියක් දායාද කොට දුන් මිහිඳු මහ
රහතන් වහන්සේගේ උතුම් ගුණයට උපකාර පිණිස මේ පොසොන් පොහෝ දා උන්වහන්සේ
අපට කියා දුන් ඒ තථාගත ධර්මය නැවත නැවතත් සිහිකොට අපේ ජීවිතවල ඇති අඳුර
දුරුකොට ජීවිතාවබෝධය ලබා ගැනීමට හොඳ දවසක් ලෙස මේ මොහොත සිතිය යුත්තේ.
එදා මිහිඳු මහරහත් වහන්සේ ලොවුතුරු බුදුරජාණන් වහන්සේ ලොවට කියාදුන් මේ
මිනිස් ආත්ම භාවයේ වටිනාකම මතුකර දෙන්නයි පේ‍්‍රතවස්තු, විමාන වස්තු
දේශනාවක් විශේෂයෙන් උදව්කර ගත්තේ. ඒ විමානවස්තු, පේ‍්‍රතවස්තු
දේශනාවලින් අප කවුරු කවුරුත් ගතකරන මේ සසරේ මොන තරම් නම් දුක්ඛිත
ආත්මභාවවල ඉපිද භයානක බියකරු, බිහිසුණ දුක් ගැහැට විඳිනවාද කියා හොඳින්
පැහැදිලි වෙනවා. පේ‍්‍රත වස්තුව විමසා බලන බිට ඔබත්, මමත් මේ දිගු
සංසාර ගමනේ වැඩි කාලයක් ගතකළේ දිව්‍ය, මනුෂ්‍ය, බ්‍රහ්ම ආදි සුගති
ආත්මභාව වල නොවේ. සියල්ල දත්ත, සියල්ල දකින මගේ බුදුරජාණන් වහන්සේ අපට
දේශනා කළේ ඔබලාට සතර අපාය නිවස වගේ කියල යි. එයින් උන්වහන්සේ අදහස් කළේ
අප නිවසින් පිටතට ගමනක් ගියත් නැවත වතාවක් කොයි මොහොතක නිවසට එන්නද
කියායි කල්පනාව. නැවත වතාවක් මනස හැරිලා තිබෙන්නේ ගෙදරට යන්න. ඒ වගේ
අපත් මේ මිනිස් ආදි සුගති ආත්මභාවයකට ආපු ගමන් හරියට ගෙදර සිට දුර
ගමනක් ගියවාගේ. ඒ ගමන අවසන් වෙලා ගෙදර එන්න බලාපොරොත්තු වෙනවා වගේම අපේ
මනස සකස්වෙලා තිබෙන්නේ නැවත සතර අපායනම් වූ මහගෙදරට යන්නනම් ඔබ ඔබගේ
මනස අධ්‍යයනය කර බැලුවොත් ඒ බව හොඳින් සනාථ කරගන්න පුළුවනි.
අප මේ ලොවට බිහි වූ දා පටන් යම් දිනෙක දෙනෙත් පියවෙනතුරු අපේ චිත්ත
දහරාව ගතවෙන්නේ කොහොමද කියා විමසා බලන්න. ඔබත් මමත් මේ ජීවිත කාලය තුළ
ඇසෙන් රූප , කණෙන් ශබ්ද, නාසයෙන් ගන්ධ, දිවෙන් රස, කයෙන් පහස, මනසින්
අරමුණු ලබනවා. ඒ ලබන අරමුණු වලදී අපේ ස්වභාවය එක්කෝ සතුටු වෙනබව. එහෙම
නැත්නම් අසතුටුවන බව. සතුට යම් තැනකද එතැන කැමැත්තක් ඇතිවෙනවා. අසතුට
යම් තැනකද එතැන අකැමැත්තක් තිබෙනවා. කෙලෙස් යම් තැනකද එතැන ලෝභයයි.
අකැමැත්ත ගැටෙන තැන යම් තැනකද එතැන පටිඝය, ද්වේෂය යෙදෙනවා. ඒ කියන්නේ
ඔබ මම නිතරම එක්කෝ ලෝභය එක්කෝ ද්වේෂය ගන්නවා. අරමුණේ ලෝභය, ද්වේෂය
ඉපදෙන්නේ ඒ අරමුණින් යථාර්ථය නො දන්නා වූ මෝහය, අවිද්‍යාව නිසා.
ඒ නිසා අප සිහිනුවණින් කටයුතු නොකරන හැම මොහොතකම ලබන අරමුණු වලින් අපේ
සිත තුළ ජනිතවන්නේ ලෝභ, ද්වේෂ, මෝහය යි. ලෝභ, ද්වේෂ, මෝහය අප නිවනට
ගෙනියන ධර්මයෝද නොවෙති. බ්‍රහ්ම ලෝකයට ගෙනියන ධර්මයෝද නොවෙති. ලෝභ,
ද්වේෂ, මෝහ යනු දෙව්ලොවට, මිනිස් ලොවට ගෙනියන ධර්යෝද නොවෙති. ලෝභ,
ද්වේෂ, මෝහ යනු අප සතර අපයාට ගෙනියන ධර්මයන් බව අප අමතක නොකළ යුතුයි.
උපතේ සිට මරණය දක්වාම හැම අරමුණකම ඉපදෙන අරමුණු ලෝභ, ද්වේෂ, මෝහ නම්
එබැවින් කඳු මුදුනින් හටගත් ගංඟාවක් නිරායාසයෙන් ස්වභාවයෙන්ම පහළට
මුහුදට ගලනවා වගේ උපතේ පටන් ගලායන මේ චිත්ත දහරාවන් මරණය දිසාවට ගලාගෙන
යන්නේ අප අරමුණු කරගෙනම යි. එනිසා බුදුරජාණන් වහන්සේ වදාළේ සතර අපාය
නිවස වගේ කියා. එහෙත් මෙය නියතයක් නොවේ. ඒ ගමන වෙනස් කරන්නයි ලොවුතුරු
බුදුවරු ලෝකයේ පහළ වුණේ. අපට අනුකම්පාවෙන් මිහිඳු මහරහතන් වහන්සේ
ලක්දිවට වැඩම කළේ. කඳු මුදුනින් ගලා හැලෙන ගංඟාවක් කොතැනින් හරි මහ
මුහුදට වැටෙනවා. ගඟේ වතුර ගඟේ තිබෙනතුරු හොඳයි. මුහුදට වැටුනට පස්සේ
එහි ප්‍රයෝජනක් නැහැ. ඒනිසා මුහුදට වැටෙන්නට කලින් ඒ වතුරෙන් වැඩ ගන්නට
ඕන. ඒ අජිවී දිය දහර මිනිස් ප්‍රයෝජනය සඳහා ගන්නේ යම්සේද ඔබේ සිතත් මේ
ආකාරයෙන්ම මිනිස් සැප, පිණිස දිවිසැප, බඹ සැප, ලොවුතුරු සැප පිණිස
මෙහෙයවන්නට පුළුවන්. ඔබට සිහිය, නුවණ වීර්ය ඇත්නම්, කල්‍යාණ මිත්‍ර
ආශ්‍රයක් ඇත්නම් ඔබේ වාසනාව එයයි.
මේ චිත්ත දහරාව වෙනස්කර ගන්නේ කොහොමද කියා සොයා බැලිය යුතු වෙනවා. එසේ
විමසීලිමත් නොවුනොත් ඔබට අත්විඳින්නට වෙන ඉරණම පිළිබඳවයි මිහිඳු
මහරහතන් වහන්සේ පේ‍්‍රත වස්තු දේශනාවන් මතුකොට පෙන්වා වදාළේ. මේ සසර
ගමනේ එබඳු තැනක උපත ලැබුවොත් අත්විඳින්නට වන භයානක අමිහිරි අත්දැකීම්
මොනවද කියා අපට සිහිගැන්වූයේ. ඒනිසා පේ‍්‍ර්ත ආත්මය පමණක් තියුණු දුක්,
කටුක දුක් ඇති අසුර ආත්ම භාවයක ඉපදුනත්, නිරතුරුව හාත්පසින් නැඟෙන
ගිනිජාලා මැද දැවි දැවී තැවි තැවී ගතවන නිරි සත්ත්වයෙක් ලෙස ඉපදෙන්නට
පුළුවන්. ඒ නිසා අප ඒ ආත්මභාව වල උපත ලැබුවොත් විඳින්නට වෙන අමිහිරි
අත්දැකීම් පිළිබඳව විමසා බැලීම අපේ ජීවිත සකසා ගැනීමට ප්‍රයෝජනවත්
වෙනවා. පේ‍්‍රත ලෝකය, අසුර ආත්මය, නිරය ඔබට නො පෙනෙනවා වෙන්න පුළුවන්.
එහෙත් ඔබ ළඟින්ම සිටින ඔබේ නිවසේ සිටින තිරිසන් ආත්ම භාවය ඔබට හොඳින්
දර්ශනය වෙනවා. ඔබ සසඳා බලන්න ඔබ ගතකරන ජීවිතයත් ඒ තිරිසන් සතාගේ
ජීවිතයත් පිළිබඳව.
අප දන්නවා මේ ලෝකයේ සමහර රටවල අධික සීතල තිබෙනවා. ඒ වගේම සමහර කාල
උදාවෙනවා තද රස්නයක් තිබෙන අවස්ථා. තද රස්නයක් හෝ තද සීතලට මිනිසුන්ට ඒ
සඳහා තවත් විකල්ප තිබෙනවා. හිම වැටෙන අවධියක ඔබේ නිවස උණුසුම් කර ගන්න
පුළුවන්. ඔබ ගත උණුසුම් කර ගන්න පුළුවන්. එහෙත් තිරිසන් සතුන්ට උණුසුම්
කළ නිවාස නැත. සිරුරේ දවටා ගන්නට ගත උණුසුම් කරන වස්ත්‍ර පොරෝන තිබේද?
එබඳු දැඩි සීතලේ එබඳු සතුන් මොතනරම් අමිහිරි අත්දැකීමක් ස්වභාවික
පරිසරය තුළදී විඳිනවා ඇද්ද? ඒත් වේදනාබර ඒ සතාට කරන්න දෙයක් නැහැ. ඒ
තිරිසන් ආත්මභාවයේ හැටි. ඒ දුක දරාගන්න ඕන. ඒ දුක විඳින්න ඕන. උණුසුම
එන කාලයට වායු සමනය කරගන්න පුළුවන්. ඒත් තිරිසන් සතුන්ට කෝ ඒ උපකරණ?
දැඩි රස්නයෙන් දැවි දැවී තැවි තැවී ඉන්නේ. මොනතරම් දුක්බර ජීවිතයක්
තිරිසන් ලෝකයේ විඳිනවා ඇද්ද? ඔබට ලෙඩක් වූ විට නිවාඩු තිබෙනවා. බෙහෙත්
තිබෙනවා. තිරිසන් සතුන්ට අසනීපයක් වූ විට ඒක අපට කියන්න පුළුවන්ද?
ආහාරපාන, බෙහෙත් ළඟට දෙන්න කෙනෙක් නැහැ. ඒ කයටත් ලෙඩ හැදෙනවා. ඒ කයටත්
ආබාධ තිබෙනවා. මරණය දක්වාම ඒ දුක විඳ දරා ගන්නට ඕන. දැන් ඔබ ගතකරන තැනට
වඩා මොනතරම් බිහිසුණු භාවයක අත්දැකීමක්ද ඔබට පේන තිරිසන් ආත්මභාවය තුළ
අත්විඳින්නට තිබෙන්නේ. ඒ ආකාරයට බලනවිට ඔබට ලොකු රැකවරණයක් පිහිටක්
තිබෙනවා. තිරිසන් ජීවිතයේ අසරණභාවය ඒ සතුන්ට පමණක් නොවේ අපත් මේ සංසාර
ගමනේ බොහෝ වාරවල තිරිසන් ලෝකයේ ඉපදිලා දුක් ගැහැට විඳින බව අමතක කරන්න
එපා. “අනමතග්ග සංයුක්තයේදී” බුදුරජාණන් වහන්සේ වදාළේ ගවයෙක් වෙලා ඉපදී
ගෙල කැපූ වාරයේදී පමණක් ගලාගිය රුධිරය මේ මහ පොළොවේම යම් තැනක නොසිඳී
නො වියලි එක්තැන්ව තිබුණානම් මහ සාගරයේ ජලයට වඩා ඒ රුධිර දහරාව වැඩි
බවයි. එවැනි ලේ දහරාවක් වගුරු වන්නටනම් ගවයන් වෙලා ආත්මභාව කීයක්
උපදින්නට ඕනෑද? කීවතාවක් ගෙල කැපුම් කන්නට ඕනෑද? ඒ වගේම උන්වහන්සේ
වදාළා එළුවෙක් වෙලා ගෙල කැපුමෙහි ගලා ගිය රුධිරය මහමුහුදට වැඩි බවයි.
ඔබත් මමත් මේ සසර ගමනේ කී වතාවක් නම් ඒ තිරිසන් ලෝකයේ උපත ලබා සිටින්ට
ඇද්ද? මේ ලෝකයේ හැම තිරිසන් සතෙකුම විඳින දුක ඔබද විඳ තිබෙනවා. නැවත
වතාවක් ඒ තිරිසන් ලෝකයට යන්නනම් ඔබ සූදානම් වෙන්නේ ඒක ඔබේ මිනිස්
ජීවිතයට වටින්නේ නැහැ. ඒ නිසා තිරිසන් ලෝකයේ අමිහිරි අත්දැකීම් මේ සසර
ගමනේ බොහෝ වාරයක් ඔබ විඳඇති බව තේරුම් ගෙන වහා වහා සසර දුකින් අත
මිඳෙන්නට උත්සාහ ගන්න.
නයනා නිල්මිණි |