බාලයා සහ පණ්ඩිතයා පිළිබඳව බුදුරජාණන් වහන්සේගේනිර්දේශය විවරණය කෙරෙන
බාල පණ්ඩිත සූත්‍ර දේශනාව
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක
රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති අග්ග මහා
පණ්ඩිත
පල්ලත්තර සුමනජෝති නා හිමි
සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236 වැන්නේ මෙවැනි පොසොන් පුර පොහෝ
දිනෙකයි මේ හෙළදිව මිස්සක පවුව මතට අනුබුදු මහා මහින්ද මහරහතන් වහන්සේ
ඉට්ඨිය, උත්තිය, භද්දසාල, සම්බල යන රහත් තෙරවරුන් හා සත් හැවිරිදි රහත්
සුමන සාමණේරයන් වහන්සේ සමඟ භණ්ඩුක නම් අනාගාමි කුමාරයා සත්වැනිකොට
භාරතයේ විදිසාවෙන් අහසට නැඟී මෙරටට වැඩම කළහ. ‘මිස්සක’ පවුවේ අඹතලාගල
අබියසදී උන්වහන්සේට හමු වූ ශ්‍රී ලංකාධීශ්වර “දෙවන පෑ තිස් රජතුමා
ඇතුළු පිරිස පඤ්චශීලයෙහි පිහිටුවා” චූල්ලහත්ථී පදෝපම සූත්‍රයෙන් ධර්ම
දේශනා කළහ.” මේ සූත්‍රය දෙසීමෙන් බුදුදහම නොදත් හෙළ රජතුමා සහිත
ලක්වැසි ජනතාවට බුදු දහම කියන්නෙ කුමක්ද එහි ඇතුළත් පිළිවෙත් සපිරීමෙන්
සසරින් එතෙරව සදාකාලික විමුක්තිය ලැබිය හැකි බව හෙළයන්ට වටහා දුන්හ.
භණ්ඩුක කුමරා පැවිදිව රහත්භාවයට පත් වූයේද මෙදිනමය. ලක්දිව පළමු
පැවිද්දාද උන්වහන්සේය. එමෙන් ම සන්ධ්‍යා යාමයෙහි දේශනා කළ
සමචිත්තපරියාය සූත්‍රය මිහිඳු මහරහතන් වහන්සේගේ දෙවන ධර්ම දේශනාවයි.
එහෙත් එය හෙළයන්ට අසන්නට නො ලැබුණි. එය ඇසුවෝ දෙව්බඹහු වෙති. සැරියුත්
මහරහතන් වහන්සේ මේ සූත්‍රය දෙසූ අවස්ථාවේ මෙන් ම මේ අවස්ථාවේ ද අපමණ
දෙව් බඹ පිරිසක් මිහින්තලයට රැස්වූ බව කියති.
පසුදා උදෑසන මිස්සක පවුවෙන් පිටත්ව සෘද්ධියෙන් අනුරාධපුරයට වැඩි මිහිඳු
මා හිමි ප්‍රධාන ධර්ම දූත පිරිස පළමුවෙන් තමන් වහන්සේට මුණ ගැසුණු
අනුලා බිසව ප්‍රධාන පන්සියයක් සිංහල කාන්තාවන්ට පේතවත්ථුව, විමානවත්ථුව
යන ධර්ම දේශනා පවත්වමින් පව් කිරීමෙන් ලැබෙන අනිටු විපාකත් පින්
කිරීමෙන් ලැබෙන ඉෂ්ට විපාකත් පේතවත්ථුවෙන් හා විමාන වත්ථුවෙන් පෙන්නා
දුන්හ. බුදුදහම නොදත් හෙළයන්ට කතාන්තර මඟින් දෙසූ මේ ධර්මය මැනවින්
වටහා ගත හැකිවූවා නිසැකය. ඉන්පසු ‘සච්චසංයුතය’ දෙසා බුදු දහමේ පරමාර්ථය
(නිවන) ඔවුනට වටහා දුන්හ. එය ඇසූ ස්ත්‍රීන්ගෙන් අනුලා බිසව සෝවාන් වූ
බව සඳහන් වීමෙන් එදා මෙරට කාන්තාවන් පවා කොතරම් බුද්ධිමත් පිරිසක් වූවා
දැයි වටහා ගත හැකිය. දෙවන දිනයෙහි රැස් වූ විශාල පිරිසට දේවදූත
සූත්‍රයෙන් දම්දෙසුවේ මඟුලැත්හලේදීයි. එදින දහස් සංඛ්‍යාත ජනතාව සෝවාන්
වූ බව සඳහන් වෙයි. අනතුරුව එදිනම නන්දවන උයනට රැස්වූ දහස් සංඛ්‍යාත
ජනතාවට මිහිඳු මහරහතන් වහන්සේ දෙසුවේ “බාල පණ්ඩිත” සූත්‍ර දේශනාවයි. මා
මේ ලිපියෙන් මුඛ්‍ය වශයෙන් අදහස් කරන්නේ බාල පණ්ඩිත සූත්‍රයෙහි ඇතුළත්
කරුණු සංකේෂයෙන් ඉදිරිපත් කිරීමටයි.
‘තීනිමානි භික්ඛවේ බාලස්ස බාල ලක්ඛණානි’ බාල නිමිත්තානි, බලාප දානානි,
කතමානි තීනි? ඉධ භික්ඛවේ බාලො දුච්චින්තික චින්තීහොති, දුබ්භාසිත හාසී,
අක්කත කම්මකාරී’ ආදී වශයෙන් ආරම්භ කරන බාල පණ්ඩිත සූත්‍රයේ මුල්
කොටසින් දේශනා කෙරෙන්නේ බාලයා හෙවත් අනුවණයා පිළිබඳවයි. බාලයාගේ
(මෝඩයාගේ) බාල ලක්ෂණ තුනක් තියෙන බව වදාරණ බුදුරජාණන් වහන්සේ ඔහුගේ
සිතිවිලි අභිධ්‍යාවෙන් ව්‍යාපාදයෙන් මිථ්‍යා දර්ශනයෙන් වැරදි
පිළිගැනීම්, වැරදි විශ්වාසවලින් හා වැරදි සිතිවිලිවලින් යුක්ත වන බව
වදාරති. බාලයා හඳුනා ගත හැකි බාල චරිත ලක්ෂණ ඉහත කී කරුණු තුනෙන්
හෙළිවෙයි. බාලයාගේ චෛතසික ස්වභාවයයි මෙයින් කීයේ.
දෙවන ලක්ෂණය නම් බාලයා කරන කතා නැත්නම් ඔහුගේ කීම් බිණීම් දූෂිතයි. ඔහු
කතා කරන්නේ මුසා, කේලම්, පරුෂ වචන හා නිරර්ථක එලොවටත් මෙලොවටත් නැති
සම්ඵප්පලාපයි හෙවත් හිස් වචනයි. තෙවනුවට (දුක්කත කම්මකාරි) බාලයා
කරන්නේ ප්‍රාණ ඝාත අදත්තාදාන (නුදුන් දෑ ගැනීම) කාම මිථ්‍යාචාර හෙවත්
වැරදි ස්ත්‍රී පුරුෂ සංසර්ගය යන කයින් කරන දුශ්චරිත ක්‍රියා යි.
බුදුහාමුදුරුවෝ වදාරනවා බාලයා තිදොරින් මෙවැනි දුෂ්චරිත ක්‍රියා
නොකරනවා නම් මොහු බාලයෙක්ය කියල නුවණැත්තන්ට දැන ගන්න ක්‍රමයක් නැති
බව. එසේම මොහු අසද්පුරුෂයෙක්ය කියල දැනගන්න ක්‍රමයක් නැති බව. එසේ නම්
යමෙක් මෝඩයෙක්යයි හඳුනා ගැනීමේ ලක්ෂණ තමයි ඔහු සිතින් කයින්, වදනින් යන
තිදොරින්ම ඉහත කී දුසිරිත්වල යෙදෙන්නෙක් වීම.
අනතුරුව බුදුරජාණන් වහන්සේ මහණෙනි. ඒ බාලයා ඉහාත්මයේදී ම එනම් මෙලොවදීම
ත්‍රිවිධාකාර දුකකට දොම්නසකට (සිතින් විඳින දුක්) භාජන වෙන බව වදාළේය.
ඒ අවස්ථාව මෙසේ විස්තරකර වදාළ. 1. බාලයා සභාවක හෝ වීදියක සිටින විට හෝ
හන්දියක සිටින විට හෝ එතන සිටින වෙනත් ජනයා කායික වාචසික, මානසික
දුශ්චරිත ක්‍රියා පිළිබඳ කතා සල්ලාපයක යෙදෙනව. වෛර කිරීමේ ආදීනව වශයෙන්
මෙලොවදි පරලොවදි එයට ලැබෙන කටුක විපාක පිළිබඳව ඒ පිරිසේ අය කතා කරනව.
එම මහජනයා නරක කතාව පසෙක සිටින එම වැරදි කළ පව්කාරයාත් අසා සිටිනව.
ඔහුට එවිට හිතෙනව මේ කතාකරන පාපක්‍රියා එකක් දෙකක් හෝ පහම හෝ මා කර
තියෙනව නේ. ඒ පාප ධර්ම තුළ මා සිටිනව. එසේ සිතා ඔබහට මහ දුකක් දොම්නසක්
සිතේ හටගන්නව. මේ තමයි බාලයා තමා කළ පාපක්‍රියා සිහි වී දුකට දොම්නසට
මෙලොවදී ම පත්වන පළමු වන අවස්ථාව. 2. දෙවන අවස්ථාව නම්, බාලයාට දකින්න
ලැබෙනව සොරකම් කරපු බාලයකු නීතියේ රැහැනට හසු වී රජු වෙතට ගෙන ගොස්
වැරදිකරුවී නානාප්‍රකාර දඬුවම් පමුණුවනව.
එකල පැවැති දඬුවම් රාශියකි. දෙතිස් වදයි. එයින් කීපයක් නම්, කසයෙන්
තලනව, වේවැල්වලින් තලනව, දඬුපතුරකින් තලනව, අතක් පයක් හෝ දෑත් දෙපා
කපනව. කන් නාසාදිය කපනව, හිස් කටුව ගලවල රත්කළ ගලක් හෝ යකඩ ගුලියක් හෝ
ඇතුළට දමා මොළය උණුකරනව. මේ ආදී දෙතිස් වද දෙනව. බාලයා බලන් සිට හිතනව
අහෝ මාත් රජුට අසු වුවොත් මටත් මේ වද විඳින්න වෙනවා නේද? කියල හිතල මේ
පාපී පුද්ගලයා මෙලොවදීම දෙවනවරට දුකට දොම්නසට පත්වෙනවා.
3. තුන්වනුව පව්කාර බාලයා එක් තැනකට වී පුටුවක වාඩිවී හෝ සයනයක හෝ බිම
හෝ සයනයක සිටිනවිට ඔහු පෙර කාලයෙහි තමා කළ කායික, වාචසික, මානසික
පාපකර්ම සිහිපත් වෙනව. විවේකව ඉන්න කොට ඒවා හිතට නැඟෙනව. තමා කළ
දුශ්චරිත ක්‍රියා ඔහුට පෙනෙනව හිසට උඩින් එල්ලෙනව වගෙ. විශේෂයෙන්
එල්ලෙනව. එහාට මෙහාට පෙරළෙනව වගේ මහණෙනි, හරියට මහා ගල් පර්වත කුටවල
සෙවනැළි සවස් යාමයෙහි පොළොව පැතිරිල සෙලවෙමින් තියෙනව වගෙ පුටුවක හෝ
ඇඳක හෝ බිම හෝ වැතිරිල සිටින පව්කාර බාලයට තමන් පුළුවන් කාලෙ කරපු
දුශ්චරිත ක්‍රියා සිතින් දකින්නට ලැබෙනව. මේ බාලයා මෙලොවදී දුකට
දොම්නසට පත්වන තෙවෙනි අවස්ථාව. සිතට මේ අදහස් නැඟෙන විට බාලයා හෙවත්
පව්කාර මෝඩයා මෙහෙම සිතෙනව. අපට මේවා සිහිවෙන්නේ බැරිවුණම “කරන කලට පව්
මීරිය මී සේ” කියේ එයයි. මධුවා මඤ්ඤති බාලො යාව පාපංනපච්චති බුදුන් එය
වදාළ බව සිහි කරන්න. විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ, අනේ අපොයි මා
යහපත් දෑ කළේ නැහැ නේද? කුසල් කළේ නැහැ නේ? බයෙන් මිදීමට අවශ්‍ය දෑ
(පින්) කළේ නැහැ නේ? පව්මයි කළේ. රුදුරු ක්‍රියා මයි කළේ. කළේම
අපරාධමයි. බියෙන් මිදෙන යමක් කළේම නැහැ. පාපකාරී රුදුරු සාපරාධී
ක්‍රියාමයි කළේ. එවැනි පාපකාරී ක්‍රියා කරපු තැනැත්තා මළ පසුත් යම්
තැනක (සතර අපායෙහි) උපදිනවා නම් මාද එබඳු පව්කම් කළ අයෙකු නිසා මාත්
උපදින්නේ එබඳු ගතියක (අපායෙ) යි. මෙසේ සිතන පව්කාරයා මොලොව දීම
ශෝකවෙයි.
ක්ලාන්ත වෙයි. කඳුළු වගුරුවමින් හඬයි. පපුවෙ අත්ගසා ගෙන හඬයි.
සිහිමුළාවට පත් වෙයි. මහණෙනි. බාලයා දුකට දොම්නසට ඉහාත්මයේදීම පත් වන
තෙ වන අවස්ථාවයි මේ .යනුවෙන් බුදුන් වදාළහ.
මහණෙනි, ඒ බාලයා තිදොරින්ම දුසිරිත් කොට මරණින් පසු සැපනැති නපුරු
උපතක් ඇති නිරයෙහි උපදියි. මහණෙනි, එතැන පිළිබඳව නිවැරදිව කියනව නම් එය
ඒකාන්තයෙන් අයහපත්ය. ඒකාන්තයෙන් සිත් නොඅලවන්නකි. එබඳු නරකයකයි
උපදින්නේ. මහණෙනි, නිරයෙහි ඇති දුක් පිළිබඳව උපමාවකින් වත් වටහා දීම
පහසු නොවේ. යයි බුදුන් වහන්සේ වදාළ විට එක්තරා භික්ෂුවක් බුදුන්ගෙන්
ඇසුව ස්වාමීනි, උපමාවක්වත් දක්වන්න පුළුවන් ද කියල. හැකියයි වදාළ
බුදුන්වහන්සේ මෙසේ වදාළ සේක. මහණ, හොරෙකු අල්ලල රජු වෙතට ගෙන ගොස්
ස්වාමිනි, මොහුට දඬුවම් දෙන්නැයි රාජ පුරුෂයන් කී විට මොහු ගෙන ගොස්
පෙරවරු කාලයෙහි අඩයටි සියයකින් එක් තැනකට පහර දෙකක් නොවදින සේ පහර
දෙන්න යයි රජය නියම කරයි.
එසේ පහරදුන් පසු තවදුරටත් ජීවත් වන්නේ නම් මධ්‍යාහ්නයෙහි ද අඩයටි
සීයකින් පහර දෙන්න යයි නියම කරයි. තවමත් ඔහු ජීවත් වේ නම් සවස් කාලයෙහි
ද එසේම අඩයටි සියයකින් දෙන්න යයි නියම කරයි. මහණ එමෙන් අඩයටී
තුන්සියයකින් පහර ලබන ඒ සොරා එම පහර ලැබීම නිසා කවර තරමේ දුකක්
දොම්නසක් විඳින්නේ ද?
ස්වාමීනි, එම අඩයටියකින් එක් පහරක් වැදීම නිසා බාලයා මොනතරම් වේදනා
සහගත දුකක් දොම්නසක් විඳී ද එම එක පහර පවා අපමණ දුක් දොම්නස්
උපදවන්නකි.
එසේ නිසා ස්වාමීනි, අඩයටි තුන්සියයක පහර කොතරම් දුක්ඛ සහගත දැයි කියනුම
කවරේදැයි එම භික්ෂුව කීය. ඒ අවස්ථාවේ බුදුන් වහන්සේ මිටින් ගතහැකි කුඩා
ගල්කැටයක් අතට ගෙන ඇසුව, මහණෙනි, මේ ගල්කැටයක් හිමාලය පර්වතයත් දෙකින්
වඩා විශාල කුමක්ද? එවිට භික්ෂුව කීව ස්වාමිනී අතින් ගත් ගල්කැටය හිමාලය
පර්වතය හා සිය දහසකින්වත් සමාන කළ නොහැකි බව. මහණෙනි, අඩයටි
තුන්සියයකින් පහර දෙන විට අතිවන වේදනාව නිරිසතකු විඳින දුක හා සසඳන විට
සිය දහසකටවත් සමාන නොවේ. බලන කෙනෙකුට එය පෙනෙන තරම්වත් නොවේ. එතරම්
සුළු දුකකි. දොම්නසයකි යි වදාළහ.
මෙසේ වදාළ බුදුහු යළිත් ඒ පාපී නිරිසතා අල්ලා ගත් නිරයපාලකයන් ඔහුට දෙන
වද පිළිබඳව මෙතැන සිට නිරා දුක් විස්තර කරන බුදුරජාණන් වහන්සේ මෙලොවින්
නිරයට ගිය පව්කාරයා අල්ලා ගන්නා නිරයපාලකයෝ යහුල්වලින් අනිමින්, පඤ්ච
බන්ධන කෙටේරි ආදියෙන් යැසීස, ගිනිගත් අඟුරු පර්වතයට නැංවීම, බැස්වීම,
පා උඩට සිටිනසේ හිස පහළට හරවා පැහෙන ලෝහ තලියක දැමීම, එහි දිගු කලක්
උඩට යටට හරහට එමින් පැසෙමින් දුක්විඳීම, අනතුරුව කොන් හතරක් ඇති දොරටු
හතරකින් යුත් කොටස්වලට බෙදූ ලෝ පවුරින් වට වූ මහා නරකයෙහි දමනව. මේ ආදී
වශයෙන් නරකයෙහිදී විඳින්නට ලැබෙන දුක් ගැන කියල නිම කරන්න බැහැ යි
බුදුන් වදාළහ.
මෙසේ අප්‍රමාණ කාලයක් නිරා දුක් විඳි නිරිසතා කවදා හෝ නිරා දුක්වලින්
මිදී අවුත් තෘණ බුදින ගව, කොටළු, එළු, මුව ආදී සතුන් වෙලත් අසූචි අනුභව
කරන කුකුළු, බලු, හූරු, හිවල්, ආදී සතුන්වෙලා උපදිනව. එතනින් මැරිල
අඳුරෙහි ඉපදිල අඳුරෙහිම මියයන පණුවො. ගැඩවිල්ලු, ආදී සතුන්වෙල උපදිනව.
එතනින් මැරිල අවුත් දියෙහි ඉපදිල දියෙහිම මැරෙන මාළු, කැස්බො,
කිඹුල්ලු, ආදී සතුන්වෙල උපදිනව. එතනින් අවුත් අසූචිවල ඉපදිල අසුචිවලම
මිය යන කුණු මස්වල ඉදිල එහිම මිය යන මඩගොහොරුවල ඉපදිල එහිම මිය යන
පණුවන් ආදී වශයෙන් විවිධ ආත්මවල උපදවල දුක් වින්දවනව අර පව්කාරයට. මෙසේ
තිරිසන් යෝනිවල උපත පිළිබඳවත් කියයුතු බොහෝ දේ තිබෙන බව වදාළ බුදුන්
වහන්සේ ඒ පව්කාරයා යළිත් මනුෂ්‍ය ආත්මයක් ලබන්නේ ඉතාම අමාරුවෙන් කල්ප
ගණනකට පසුව බව උපමාවකින් මෙසේ වදාළා. මහණෙනි, කිසියම් පුද්ගලයෙක් එක
සිදුරක් සහිත වියගහක් මුහුදට දමනව. ඒක සුළඟින් ඒ මේ අතට පා වෙවී තියෙනව
.මේ අතර මූදේ කණ කැස්බෑවෙන් පීන පීන ඉන්න අතර වසර දහසකින් හෝ වසර සියක්
දහසකින් හෝ එක් වරක් ගැඹුරු මූදේ සිට උඩට මතුවෙනවා. මහණෙනි ඒ කැස්බෑවා
අර එක සිදුරක් තිබෙන විය දණ්ඩේ සිදුර තුළට උගේ බෙල්ල ඇතුල් කරගන්න සමත්
වේද? යි බුදුන් ඇසුවම භික්ෂූන් කීව, ස්වාමීනි එය කළ නොහැකියි කියල.
හැබැයි මහණෙනි, කවදා හෝ එය වෙන්නත් පුළුවනියි වදාරළ, මහණෙනි, එම
සිද්ධිය ඉතාම සුළු සිද්ධියක්. මහණෙනි, එයටත් වඩා ඉතාම දුර්ලභ සිද්ධියක්
තමයි නිරාගත ව සිටි පාපතරයකුට යළිත් මනුෂ්‍යාත්මභාවයක් ලබනවයි කියන
කරුණ. මහණෙනි, ඔහු මිනිසත් බවක් ලැබුවත් උපදින්නෙ වැදි සැඬොල්
කුළුපොතු, රිසවඩු ආදී පහත් කුලයක දිළින්දකුව. එසේම ඔහු අවලක්ෂණ වෙනව.
අංග විකලයෙකු වෙනව. ගොළුවෙක් වෙනව. පිළෙක් වෙනව. මේ පව්කාරයා මේ
ආත්මයේදී තිදොරින් දුසිරිත් කරයි. මැරී යළිත් සතර අපායේම උපදියි.
මහණෙනි, හරියට සූදුවෙන් පරාජය වූ පුද්ගලයෙක් පළමු වාරයේම තම පුතාගෙනුත්
බිරිඳගෙනුත් සියලු සැප සම්පත්වලිනුත් පිරිහී ඔහු වධබන්ධනයට අසුවී විනාශ
වීම සුළු දෙයකි. මේ පනවා යළිත් පව්කම් කොටත් නරකයෙහි ඉපදීම අර
සූදුකාරයාගේ පිරිහීම සමඟ සසඳනවිට සූදුකාරයාගේ පිරිහීම ඉතාම සුළු
කරුණකි. මහණෙනි, නරකය නම් සර්වප්‍රකාරයෙන් ම දුකකින්ම යුක්ත වූ බාල (
පහත් අතිශය දුක්ඛසහගත) භූමියකැයි බුදුරජාණන් වහන්සේ වදාළ. මේ දේශනාව
අනුව පව්කාරයා මනුෂ්‍යයකුව උපන්නත් ජීවත් වන්නේ කාලකන්නි වශයෙනි. යළිත්
ඔහු මැරී උපදින්නේ සතර අපායෙහිය. එයින් ආවත් තිරිසන් ජාතියක උපදියි.
යළිත් එයින් ආවත් කාලකන්නි මනුෂ්‍යයකුව උපදියි. හේ යළිත් පව්කොට, යළිත්
නරකයට ම යයි. මෙසේ බලන විට පව්කාරයාට සසරින් මිදීමත්, යහපත් මිනිස්
බවක් ලැබීමක් නිවන් දැකීමක් ගැන සිතන්නට වත් නොහැකිය.” දීඝා ජාගරතො
රත්ති දීඝං සන්තස්ස යොජනං දීඝො බාලානං සංසාරොසද්ධම්මං අවිජාතතං’ යි
වදාළ පරිදි නින්ද නොයන්නාට රාත්‍රිය දිග වන්නා සේද වෙහෙසට පත්වුහුට
යොදුන ඉතා දුර සේද හැඟෙන්නාක් මෙන්ද බුදුදහම නොදත් පව්කාර මිසදිටු
බාලයාට සසර ද ඉතා දිග බව බුදුරජාණන් වහන්සේ ඉහත ගාථාවෙන් වදාළ සේක.
අනතුරුව පණ්ඩිතයාගේ ලක්ෂණ දේශනා කරමින් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.
මහණෙනි, පණ්ඩිතයාගේ ලක්ෂණ තුනක් තියෙනවා. ඔහු යහපත් දේ සිතනවා. ඔහු
යහපත් දේ කතා කරනවා. ඔහු යහපත් දේ කරනවා. පණ්ඩිතයා එසේ නොවේනම් ඔහු
සත්පුරුෂ නුවණැත්තෙකියි නුවණැත්තන්ට දැන ගන්න ක්‍රමයක් නැහැ. පණ්ඩිතයා
සිතන කියන කරන දෑ යහපත් නිසයි සෙස්සන් ඔහු පණ්ඩිතයෙකැයි සත්
පුරුෂයෙකැයි හඳුනා ගන්නෙ කියා වදාළ. මොහු මෙලොවදීම තෙ වැදෑරුම් සැපයක්
සොම්නසක් ලබනව. පෙර බාලයා ගැන කීවා මෙන් මොහුද පිරිසක් අතර සිටින
අවස්ථාවක කයින් කරන වැරදි ගැන කතා කරන සෙසු අය මේ වැරදිවලින් වැළකී
සිටීමේ ආනිසංස කතා කරනව අහල පණ්ඩිතය හිතනව. මා ළඟ මේ වැරදි නැහැ. මා
තුළ තියෙන්නෙ ඔවුන් කියන යහපත් ගුණයි. යහපත් ධර්මයයි. මම ඒ ධර්ම
පිළිපදින්නෙක්මියි සිතා නුවණැති පණ්ඩිතයා පළමුව මෙලොවදීම සුවයක්
සොම්නසක් විඳිනව. දෙවනුව සොරෙක් අල්ලාගෙන ගොස් රජුට භාර කළාම රජු ඔහුට
(පෙරකී පරිදි) දඬුවම් දෙවනව. මෙය දකින පණ්ඩිතයා හිතනව මා නම් මේව කරල
නැහැ. ඒ නිසා මට මෙවැනි වද විඳින්න වෙන්නෙ නැහැ. එසේ සිතා පණ්ඩිතයා
සැපයක් සොම්නසක් විඳිනව. තෙවනුව පණ්ඩිතයා පෙර කී පරිදි විවේකව සිටින
විට ඔහුට තමා කරපු යහපත් ක්‍රියා සිහිවෙනව. පවුවකට වැටෙන ඉරු එළිය නිසා
පර්වතයේ ඡායාව පොළොවෙහි පැතිරල විශාල වෙමින් යන්න වගෙ විවේකව අසුනක
සිටින පණ්ඩිතයාට තමා පෙර කළ කී යහපත් දේ සිතේ පැතිරී යනව. ඒ නිසා ඔහු
හිතනව මා මරණින් පසු දුගතියක උපදින්නෙ නැහැ. ඒ නිසා මට ශෝකවන්න
දුක්වන්න හේතුවක් නැහැ. හඬන්න වැළපෙන්න, පපුවෙ අත් ගසා ගනිමින් හඬන්න.
සිහි විකල් වන්න හේතුවක් නැහැ යනුවෙන් සිතා පණ්ඩිතයා මෙලොවදීම සැපයට
සොම්නසට පත් වෙනවා.
තවදුරටත් බුදුන් වදාරනව මහණෙනි, පණ්ඩිතයා නායාදී තිදොරින් සුචරිතවත් දෑ
කරමින් සිට මළ පසු ඒ පිනින් එන දිව්‍ය, මනුෂ්‍ය සුගතියකයි උපදින්නෙ
කියල සතුටු වෙනව. සුගතිය ඒකාන්තයෙන්ම යහපත්. ඒකාන්තයෙන් ම වෙන්නයි.
ඒකාන්තයෙන්ම මනාපයි. ඒ සුග සුව උපමාවකින්වත් කීම උගහටයි කියා වදාළම
එක්තරා භික්ෂුවක් ඇසුව ස්වාමීනි, උපමාවකින් හඳුන්වන්න පුළුවන්ද කියල.
පුළුවනි, මහණ යයි වදාළ බුදු හාමුදුරුවො වදාරනව. මහණෙනි, සක්විති රජ
කෙනෙක් සප්ත විධ රත්නවලින් යුතුව හා සිව්වැදෑරුම් සෘද්ධිවලින් යුතුව
කිසියම් සැපයක් සතුටක් විඳිනව නම් එම සැප හා දෙව් සැප සසඳන විට
දෙව්සැපවලින් සොළොස් කලාව පමණ වත් සක්විති සැප වටින්නෙ නැහැ. අනතුරුව
බුදුරජාණන් වහන්සේ සක්විති රජකු විඳින සැප දේශනා කරමින් වදාළ මහණෙනි,
ක්ෂත්‍රිය රජෙක් පුර පසළොස්වක දිනයක ස්නානය කොට සිල්සමාදන්ව මාලිගයෙහි
මතු මහලෙයි සිටිනවිට චක්‍රරත්නයක් පහළ වෙනව. එවිට ඔහු කෙණ්ඩියකට පැන්
ගෙන වක්කරමින් පින් ඇති චක්‍රරත්නයෙහි පෙරළී ගොස් මේ පෘථිවිය මට දිනා
දෙන්න කියල යාඥා කරනව. එවිට රජුත් සමඟ චක්‍රරත්නය පෙරදිග ආදී ඒ ඒ
දිශාවලට ගොස් ඒ ඒ රාජ්‍යවලට බහිනව. ඒ ඒ රාජ්‍යවල රජවරු එන්න මහරජ, ඔබට
සුභාගමනයක් වේවා. මහරජ මේරට ඔබේය. මහරජ අපට, අනුශාසනා කරන්න. යයි
කියති. එවිට සක්විති රජ ප්‍රාණඝාතාදී පස් පව් නොකරන්න. පෙර රටපාලනය කළ
පරිදි ම තම රට පාලනය කරන්නැයි කියයි. මෙසේ හතර දිසාවටම ගොස් ඒ ඒ රජුන්ට
අවවාද දී සමුද්‍රය කෙළවරකොට සියලු පෘථිවිය ජය ගෙන පෙරළා සිය රාජ්‍යයට
පැමිණ සිටින විට හත්ථි රත්නය, අස්සරත්නය, මණිරත්නය, ඉත්ථිරත්නය, ගහපති
රත්නය, පරිණායක රත්නය, රක්තභය යන චක්‍රරත්නයට අමතවර හතක් පහළ වෙනව. (මේ
පිළිබඳ විස්තර සූත්‍රයෙන් කියවිය හැකියි)
එසේ වදාළ බුදුන් වහන්සේ අනතුරුව වදාරනව මහණෙනි, සක්විති රජුගේ සෘද්ධි
හෙවත් විශේෂතා හතරක් තියෙනව. එනම්, 1. මේ ලෝකයෙහි සෙසු මනුෂ්‍යයටන් වඩා
ඉතා විශිෂ්ට රූප සම්පත්තියෙන් යුක්තවීම, 2. ඉතාම දීර්ඝායුෂ වීම, 3.
ඉතාම නිරෝගී වීම, 4. බ්‍රාහ්මණ ගෘහපතින්ට පි‍්‍රයවීම, සක්විති රජු
දකින්නට පැමිණි බමුණන් රජ්ජුරුවන්ට කියනව මහරජ අප ඔබතුමා දකින්නයි ආවෙ.
ඔබතුමා වැඩිවේලාවක් අපට දැක ගැනීමට හැකිවනසේ යුහුසුළුව නොගොස් සෙමින්
සෙමින් ගමන් කරන්න කියල. මෙම සෘද්ධි හතරෙන් සක්විති රජුමත්විතයයි
බුදුන් වදාළ. මහණෙනි, මේ සප්තවිධ රත්නයෙනුත් සිව් වැදෑරුම්
සෘද්ධියෙනුත් ඔහු කවර තරම් සුවයක් සොම්නසක් විඳිනවදැ යි බුදුන්
භික්ෂූන්ගෙන් ඇසූවිට ස්වාමීනි එයින් එක් රත්නයකින් හා එක් සෘද්ධියකින්
පමණක් ඔහු විඳින සුවය සොම්නස අපමණයි. මේ සියල්ලෙන්ම ඔහු විඳින සුවය
සොම්නස පිළිබඳ කියයුතු කවරේදැයි සක්විති සැප ලද උදාරත්වය භික්ෂූහු
ප්‍රකාශ කළහ. එවිට බුදුන් වහන්සේ යළිත් ගල්කැටයක් අතට ගෙන හිමාලය
පර්වතය හා සසඳනවිට මෙය කෙබඳුදැයි විමසූ විට භික්ෂූන් පෙර මෙන්ම ප්‍රකාශ
කළ ස්වාමීනි ඔබවහන්සේගේ අතින් ගත් ගල්කැටය ඉතාම අල්ප බව. එවිට බුදුන්
වදාරනව මහණෙනි, මෙ බඳු සප්තරත්න හා සිවු සෘද්ධිය හේතු කොට සක්විති රජු
විඳින අපමණ වූ සුවය හා සොම්නස දිව්‍ය සැපය හා සැසඳීමටවත් නුසුදුසු ය.
සක්විති සැප දෙව්සැපවලින් සිය දහස් කළාවක් පමණට වත් සසැඳිය නොහැකියි
වදාළ. දිව්‍ය සම්පත් හා මිනිස් ලොව සක්විති රාජ සම්පත් දෙක සසඳන විට
මිනිස් ලොව ඉහළම සැපත වන සක්විති රාජ සම්පත පවා ඉතාම අල්ප බව මෙයින්
වැටහෙනවා.
තවදුරටත් බුදුන් වදාරනව මිනිස් ලොවදී ශීලාදී ගුණ ධර්ම පිරූ නුවණින්
පුද්ගලයා මරණින් පසු දෙව්ලොවක ඉපිද එහි අපමණ සැප විඳූ එයින් චුතව
මිනිසත් බවක් ලබන්නේ නම් ක්ෂත්‍රිය, බ්‍රහ්මණාදී උතුම් කුලයක ඉපිද පඤ්ච
කාම සම්පත් විඳිමින් දාන ශීලාදී පින් දහම් කොට සුචරිතයෙහි හැසිර මරණින්
පසු යළිත් දෙව්ලොව ඉපිද දිවා සැප සම්පත් විඳියි. මෙසේ සැප විඳිමින් කරන
ලද පුණ්‍ය ශක්තියෙන් සසර සැරිසරන ඥාණවන්ත පුද්ගලයා පාපී ඥාන පුද්ගලයන්
මෙන් දිට්ඨ ධම්ම වශයෙන් හා සම්පරායික වශයෙන් සසර අනාදිමත් කාලයක් දුක්
නොවිඳ දෙව් මිනිස් ආදී සහ සැප විඳිමින් සසර කෙටි කරගෙන දිට්ඨ ධම්මික හා
සම්පරායික වශයෙන් ලෞකික සැප සොම්නස් විඳ කිසියම් බුද්ධාන්තරයකදී
ලෝකෝත්තර තත්ත්වයට පැමිණ නිර්වාණාවබෝධයෙන් සසර ගමන කෙළවර කරයි.
නිරා විස්තර හා දෙව් ලෝ විස්තර වඩාත් සවිස්තරව දැන ගනු කැමැත්තෝ මජ්ඣිම
නිකායේ මුල පණ්ණාසක යේ 13 සුඤ්ඤත වගැ 129 වන බාල පණ්ඩිත සූත්‍රය හා
මනොරථ පූරණී ( ම.නි.අට්ඨ කතාව) කියවන්න.
පුත් මංසං කුසග්ගෙන යො නරො උපනඨහති
තුසාපි පූති වාහන්ති එවං බාලූපසෙවනා
කුණු වී දුගඳ හමන මස් දවටන ලද කුශ තන පවා දුගඳ හමන්නා සේ බාලයා ඇසුරු
කරන පුද්ගලයා ද බාලයකු හෙවත් පව්කාරීයක් වී දෙලොවින් ම පිරිහේ.
ඉතිරි කොටස ජුනි 09 වනදා පොසොන් අව අටවක පත්‍රයේ පළවේ |