UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගුණවතුන් සේවනය කරන්නාට යහපතක්ම වේ

ගුණවතුන් සේවනය කරන්නාට යහපතක්ම වේ

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
නිඨිනංච පවත්තාරං
සං පස්සෙ වජ්ජ දස්සිනං
නිග්ගයේහවාදී මේධාවිං
තාදිසං පණ්ඩිතං භජේ
තාදිසං භජමානස්ස
සෙය්‍යො හෝති න පාපියෝ

(ධම්ම පදය – පණ්ඩිත වග්ගය 01 ගාථාව)

ශ්‍රද්ධාවන්ත පින්වතුනි

අද වැනි උතුම් පොසොන් පොහොය දිනයක අපේ ජීවිතවලට ඉතා වැදගත් පාඩමක්, ගුණධර්මයක් කියාදෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද උතුම් ගාථා රත්නයක් ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරගත්තෙ.

එම ගාථා ධර්මයේ අදහස නම්, වරද වරද සේ දක්නා සුළු, නිග්‍රහ කොට කියන, නුවණැති යමෙකු නිදානයක් දක්වා කියන්නෙකු වැනි කොට දක්නේ වේද, එබඳු පණ්ඩිතයෙකු සේවනය කරන්නේය. එබන්ඳකු සේවනය කරන්නහුට යහපතක් වේ. නපුරක් නොවේ” යන්නයි. මේ ගාථා රත්නය ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණේ රාධ තෙරුන් මුල් කරගෙනය. එම කතාව කෙටියෙන් අප සිහිපත් කරමු.

සැවැත් නුවර වාසය කල එක්තරා බමුණෙක් සියලු ධනයෙන් පිරිහුණේය. පෙරළී ආදුප්පත්තම වළකා ගන්නට පිය බමුණාට බැරිවිය. දිළිඳු බව නොසලකා රාධ නම් පුතුට හැම දෙයක් පිළිබඳවම තරමක ඉගෙනීමක් ලබා දුණි. රාධ බමුණාද කුඩාවියේ සිටම අනුනගේ වැරැදි නො සොයති. වරද වරැද්ද සේ දකිති. උඩඟුකමෙන් තොරව අලස බවින්ද නොසිට කීකරුව හැදුණු ඔහු තරුණ වියේදී මාපියන් මැරුණේය. එ තැන් සිට රාධ බමුණාට දිවි රැකුමට පිළිවෙතක් නැති තරමට දිළිඳුකම වැඩුණූ හෙයින් විහාරයට ගොස් භික්ෂූන්ට වත් සපයමින් එහිම කාලය ගත කළේය.

වෙහෙරට ගොස් බෝ මළු අමදිමින් මල් නෙළීම, උණු පැන්, සිසිල් පැන් තැබීම්, තෙරුවන් වැඳීම්, පිදීම්, කරමින් සිටි මේ බමුණාට මහණ වීමෙහි අදහස පහළ වුවත් එය ඉටු නොවූයේය. බුදුරජාණන් වහන්සේ රාධ බමුණාගේ රහත්වීමට තිබෙන වාසනාව දැක්කේය. උන්වහන්සේ එදින සවස විහාර චාරිකාවෙහි වඩිමින් බමුණා දැක, තමන් කුමක් කරන්නේ දැයි ඇසූහ. එවිට ඔහු “සඟනට වත් පිළිවෙත් කෙරෙමි” යි කීයේය. එයට කුමක් ලබවු දැයි වදාරණ කළ “පින් පිණිස එසේ කරෙමි”යි කීවේය. එවෙලෙහි මහණවන්නට රිසි ඇති බව ඔහු බුදුරදුන්ට කීවේය. බුදුරදුන් එ වෙලෙහි භික්ෂූන් අමතා මේ බමුණා කළ උපකාරයක් සිහි ඇති කෙනෙක් ඇද්දැයි විචාළේය. එවෙලෙහි සැරියුත් මහතෙරුන් වහන්සේ එසේය මා පිඬු පිණිස වැඩි දවසක බත් සරළුවක් (සැන්දක්) පිදූ බව සිහි ඇතැයි කීහ.

එකෙණෙහි බුදුරදුන් මොහු සසර දුකින් මිදෙනු කැමැත්තෙකි. මහණ කරන්න යැයි සැරියුත් මහ තෙරන්ට භාර කළේය. අනතුරුව සැරියුත් තෙරණුවෝ ඔහුව හික්මවා පැවිදි කළහ. කීකරුව ගුරු වදන් උතුම් කොට පිළි පැද්දා වූ රාධ තෙරුන් නොබෝ කලකින් මහ රහත් ඵලයට පැමිණියේය.

බුදුරජාණන් වහන්සේ එය නිමිති කොටගෙන ඉහත කී ගාථාව වදාළ සේක. දැන් අප මෙම ගාථා පාඨයෙහි තේරුම විමසා බලමු.මෙයින් බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් පණ්ඩිතයා කොයි ආකාරයෙහි කෙනෙක් දැයි කරුණු විවරණය කර තිබේ.

දුප්පත් රාධ බමුණාට සැරියුත් රහතුන් වැනි පණ්ඩිතයෙකුගේ ආශ්‍රයෙන් ජීවිතයට මහත් නිධානයක් ලැබුණේය. එනම් අරහත් ඵලය නමැති නිධානයයි. එය ඔහුට ලබා ගන්නට හැකියාව ලැබුණේ වැරැද්ද ලෙස දැක උඩඟු නොවී නුවණැතිව ක්‍රියා කළ නිසාය.

මේ ගාථාවේ පදාර්ථය විමසා බැලුවහොත් “නිධීනං ඉව පවත්තාරං “නිදන් කියන්නෙකු වැනි කොට ෙමි “නිධන්” යනු යම් යම් අවස්ථාවන්හි ප්‍රයෝජන ගැනීම පිණිස රැකවල තබන වස්තුව “නිධාන’ යැයි කියනු ලැබේ. එය “ඨපීයති රක්ඛියති, ගොපීයතීති අතෙථා” යනුවෙන් අදහස් දෙයි. ධර්මයේ නිදන් වර්ග 4 ක් ගැන කියැවේ. එනම්

1. ස්ථාවර නිධාන 2. ජංගම නිධාන 3. අංගසම නිධාන 4. අනුගාමික නිධාන යන මේවායි. මෙයින් ස්ථාවර නිධාන නම් රන්, රිදී, මුතු, මැණික්, කෙත්වතු, ඉඩකඩම් ආදී වූ ඉරියව් වලින් තොර වස්තුව ගැනේ. තවද මිනිසුන් විසින් තමන්ගේ ප්‍රයෝජනය පිණිස උගත් ශිල්ප ශාස්ත්‍ර කර්මාන්ත ආදී තමන්ට හිත වූ හැමදේම ‘අංගසම නිධාන’ ලෙස සැලකේ. මෙහි වඩා වැදගත් නිධානය වන්නේ අනුගාමික නිධානයයි. එනම් දාන, ශීල, භාවනා දී දස කුසලයන්ය. එසේම ඒ ඒ අවස්ථාවන්හිදී සිදු කරන කුසල කර්ම සමූහය මෙයට ගැනේ.

සෙසු නිධන් ක්‍රම කෙසේ තිබුණත් මිනිසා විසින් ඒකාන්තයෙන්ම අනුගාමික නිධානයන් රැස් කරගෙන තිබිය යුතුයි. රැස් කරන ලද අනුගාමික නිධානය භවයෙන් භවය තමාගේ සෙවණැල්ල මෙන් පිටුපස ගමන් කරන්නේය. එබැවින් අනුගාමික නිධානයෝ සෑම කෙනෙකුම වහ වහා රැස්කර ගත යුතුයි.

ඊළඟ පදය නම්” යං පස්සෙ වජ්ජ දස්සිනං “ මෙයින් ප්‍රකාශ වන්නේ වරද දක්නා සුළු යමෙකු දන්නේ වේද යන්නයි. විශේෂයෙන්ම මේ සමාජයේ වරද දකින සුළු පුද්ගලයෝ ප්‍රධාන වශයෙන් දෙදෙනෙකු සිටී. ඉන් පළමු වැන්නා නම් මහ පිරිස මැද මම මොහුට නිග්‍රහ කරන අදහසින් සිදුරු සොයන අදහසින් වැරැදි දකින, පුද්ගලයාය. දෙවැන්නා නම් මොහු නොදත් දෙය මම පෙන්වා දෙන්නට ඕනෑ එයින් ඔහුගේ සිල් ආදි ගුණ දහම් දියුණු වන්නට ඔහු වරදින් නඟා සිටුවනවා අදහසින් වෙසෙන පුද්ගලයාය.

දැන් මේ වැරැදි පෙන්වා දෙන පුද්ගලයා ආශ්‍රය කළ යුත්තේ කොයි ආකාරයෙන්ද යන වග බුදුරජාණන් වහන්සේ උපමාවේ දක්වන්නේ මෙසේයි.

“දිළිඳු මිනිසෙක් ළඟට ගොස් මේ ගණුව“ යි තර්ජනය කොට තලා පෙළා රන්, රිදී, මුතු, මැණික් පිරුණු නිදන් සැළක් දක්වන්නාහු කෙරෙහි ඒ පුද්ගලයා තරහ නොගනී ද සතුටු සිතින්ම යුක්තවේද ඒ පරිද්දෙන් නුසුදුසු ක්‍රියාවන් නොමනා හැසිරීමක් දෝෂයක් ලෙස දැක කියන පුද්ගලයා කෙරෙහි නොකිපී තව තවත් ඔහුගෙන් උපදෙස් ගත යුතුය. එසේ කිරීමෙන් තමාට යහපතක් මිස අයහපතක් නොවන්නේය. එබැවින් මෙම ගාථා රත්නය වර්තමාන සමාජයට මනා ලෙස ගැළපෙන්නේය. අද වැඩිහිටි කෙනෙක් වරද වරද සේ දැක බාල පුද්ගලයන්ට අවවාද කලද ඔවුන් එය හරි ලෙස දකින්නේ නැත. අද ඔවුන් ඒ පුද්ගලයන් කෙරෙහි වෛරී සිතින්ම ක්‍රියා කරයි. එය ඒ පුද්ගලයාගේ විනාශයට හේතුවක් වන්නේය.

මේ ගාථාවෙන් බුදු පියාණන් වහන්සේ අවසන් වශයෙන් පෙන්වා දී තිබෙන්නේ වැරැද්ද පිළ නොගන්නා අයට “නිග්ගය්හවාදීං “ නිග්‍රහ කොට කිය යුතුයි යන්නයි. මෙහිදී නිග්‍රහ කළ යුත්තේ පරිභව කරන අදහසින් නොව අනුග්‍රහ බුද්ධියෙන් එය කළ යුතුයි. එය කළ යුත්තේද වැරැද්ද ප්‍රමාණයටය.

නිග්‍රහයද කායික, වාචසික, මානසික වශයෙන් තුන් ආකාර වේ. දඬුවම් දීම තැලීම් ආදිය කායික නම් වේ. අවවාද දීම වාචසික නම්වේ. මානසික යනු අවවාද අනුශාසනා කිරීමයි.

අවවාද අනුසාසනා කිරීම මෙහිදී බොහෝ වැදගත් වේ. තමා වරදෙහි නොයෙදෙන පුද්ගලයකු ලෙස සිට අවවාදයන් ලබාදීම වඩා වැදගත් වේ.

එබැවින් මේ ගාථා රත්නයෙන් බුදුපියාණන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ ගුණවතෙකු සේවනය කරන්නා ගුණ නුවණින් යුක්තව වරද වරද සේ දැක යහපත් පුද්ගලයකු වන්නේය යන්නයි. මෙම ධර්ම දේශනා කුසලය ඔබඅප හැම දෙනාටම ශාන්ත ප්‍රණීත වූ අමාමහ නිවනින් සැනසිල්ල පිණිසම හේතුවේවා යි ප්‍රාර්ථනා කරමි.

 

  
  පොසොන් මස පුර පසළොස්වක පෝය

පොසොන් මස පුර පසළොස්වක පෝය ජුනි මස 01 වැනිදා සඳුදා අපරභාග 10.04 ට ලබයි. 02 වැනිදා අඟහරුවාදා අපරභාග 9.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 02 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජුනි මස 09 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 02

Second Quarterඅව අටවක

ජූනි 09

Full Moonඅමාවක

ජූනි 16

First Quarterපුර අටවක

ජූනි 24


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]