UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ත්‍රෛනිකායික අතිපූජනීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ පොසොන් පණිවුඩ

ත්‍රෛනිකායික අතිපූජනීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ පොසොන් පණිවුඩ

පොසොන් පොහෝ දිනය ලක්දිව බෞද්ධ ශිෂ්ටාචාරයේ උපත සනිටුහන් කළ දිනයයි

සමණාමයං මහාරාජ – ධම්මරාජස්ස සාවකා
තමේව අනුකම්පාය – ජම්බුදීපා ඉධාගතා”

තිලෝගුරු සම්මා-සම්බුදුරජාණන් වහන්සේගේ උපත, බුදුවීම, පිරිනිවීම, යන ත්‍රිවිධ මංගල්ලය සිදුවූ වෙසක් පුන් පොහෝ දිනය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවටම අතිශය වැදගත් පොහෝ දිනයක් වන්නාක් මෙන්ම, විශේෂයෙන් ලක්වැසි බෞද්ධ ජනතාවට පොසොන් පොහෝ දිනය ඉතා සුවිශේෂී පුන්පොහෝ දිනයක් වන්නේය. ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය තිස්හය වැන්නේදී අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිව උතුරුමැද පළාතේ අනුරපුර මිස්සක පව්වට වැඩම කොට, එහිදී හමුවූ තිස්ස රජු බියට පත්ව සිටි අයුරු දැක, “මහරජ”,අපි ධම්මරාජයාණන්වහන්සේගේ ශ්‍රාවක ශ්‍රමණයන් වන්නෙමු. ලංකාවාසීනට අනුකම්පාව පිණිස ජම්බුද්වීපයෙන් මෙහි පැමිණියෙමු” යනුවෙන් කියැවෙන ඉහත ගාථා පාඨයට අනුව, ලක්වාසීන්ට අනුකම්පාව පිණිස මෙහි වැඩම කළ අනුබුදු මිහිඳු මහරහතන්වහන්සේ දේශනා කොට වදාළ දහම තුළින් පෝෂණය වූ ලක්දිව ශිෂ්ටාචාරය, සංස්කෘතිය, ගතිගුණ, කලාශිල්ප ධර්ම ශාස්ත්‍රිය අධ්‍යාපනය ආදි සකල අංගෝපාංගයන් තුළින් සිරිලක ඇතිවූ අතිවිශිෂ්ට බෞද්ධ සම්ප්‍රදායන් අදටත් අපගේ අනන්‍යතාවය ලොවට විදහා දක්වමින් පවතී. මහාවිහාරවංශික ථෙරවාදි භික්ෂු ශාසනය මෙහි ප්‍රතිෂ්ඨාපනය වූවා පමණක් නොව, ශීල, සමාධි, ප්‍රඥා ගුණයන්ගෙන් වැඩුණු සිතුම් පැතුම්, ගතිගුණ සමග අවිහිංසාව සමගිය අගයන ජීවන ක්‍රමයක්ද අපට ලැබිණ. එපමණක් නොව පන්සිල් සුරකිමින් දැහැමි සමාජයක් නිර්මාණය වූ දිනයක් වශයෙන්ද පොසොන් පොහෝ දිනය ලක්වැසියනට අතිශයින් වැදගත් වේ.

අනුබුදු මිහිඳු මහරහතන්වහන්සේගෙන් ලත් සද්ධාර්මාලෝකයෙන්, විශිෂ්ටතම ශිෂ්ටාචාරයක් හා සංස්කෘතියක්, උසස් නිදහස් චින්තන ප්‍රබෝධයක් අග්‍රගණ්‍ය නිර්මාණ කලාවක්, සාමාජික උනන්තියක් හා ආත්ම විශ්වාසයක් අපට උරුම වූයේ, පොසොන් පොහෝ දිනයක සිදුවූ මහින්දාගමනය නිසාමය.අසිරිමත් පොසොන් පොහෝ දිනයක මෙහි වැඩම කළ මිහිඳු මාහිමියන් නිසා ලක්වැසියෝ මානව දයාවෙන් යුතු චාම් සරල නව දිවිපැවතුමකට නැඹූරු වූහ. හෙළ කලාව’ උපත මෙන්ම සාහිත්‍ය හා ධර්මශාස්ත්‍රීය ප්‍රබෝධයද, යහපත් සමාජ ගුණවගාවන්ද ජනිත වූහ. මෙලොව පරලොව උභයාර්ථසංසිද්ධිය සමඟ, නිවන්මග සාදා ගැනීමට යත්න දරන සැමදෙනා විසින්ම ඊට සුදුසු උතුම් පොහෝ දිනයක් වශයෙන් පොසොන් පුන් පොහෝ දිනයෙහි. ආමිෂ පූජාවෙන් හා ප්‍රතිපත්ති පූජාවෙන් අනුබුදු මිහිඳු මාහිමි පිදීමට අදිටන් කරගන්නා ලෙස කරුණාධ්‍යාශයෙන් දන්වා සිටීම්හ.


අප රටට සෙත ශාන්තිය උදාවේවා

ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ පාදස්-පර්ෂයෙන් ශ්‍රී ලංකාද්වීපය දහම් දිවයිනක් බවට පත්විය. මහියංගනය, නාගදීපය හා කැලණිය යන පූජනීය ස්ථානවලට වැඩම කළ බුදුරජාණන් වහන්සේ ලංකා ධරණි තලයෙහි ජනී ජනයාගේ කරුණාව, දයාව, භක්තිය, ලෙන්ගතුකම්, ශ්‍රද්ධාව මෙන්ම තෙරුවන් කෙරෙහි ඇති කර ගත යුතු මහා ගුණ කදම්භය වැටහී යාම තුළ සත්පුරුෂ ජන සමාජයක් බිහිවන්නට විය.

භාරත දේශයේ බුදුදහම ව්‍යාප්තව ගොඩනැගෙන සමයෙහි බ්‍රාහ්මණ දහම සමාජයෙහි වෙලී පැවති බව ඉතිහාස ගත කරුණු තුළින් සනාථ වේ. රාජ රාජ මහාමාත්‍යාදීන් මහා බ්‍රහ්ම සංකල්පය අනුව කටයුතු කොට ඇත. එවැනි සමාජ වාතාවරණයක් තුළ පැවති ව්‍යාකූලත්වයෙන් පසු භාරත දේශයේ රාජ්‍යත්වයට අශෝක රජතුමා පත්වීමෙන් පසු පැවති සමාජ ක්‍රමයත් කාලිංග යුද්ධයත් හේතු කොට ගෙන කලකිරි නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ සහ මොග්ගල පුත්ත තිස්ස හිමිපාණන් වහන්සේ ඇසුරු කිරීම තුළ නිර්මල බුදු දහම වැළඳගෙන බෞද්ධයෙක් බවට පත්විය. පසුව ධර්මාශෝක අධිරාජයා නමින් විරුදාවලිය ලත් මෙතුමා බුදු දහමට මුල්තැන ලබා දෙමින් දැහැමෙන් සෙමෙන් රාජ්‍ය පාලනය කරන ලදී.

බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පෙරාතුව සම්බුද්ධ ශාසනයේ ස්වර්ණමය යුග පරිවර්තනයකට හේතු සාධක පහළ විය. එනම් තෙවන ධර්ම සංඝායනාවේ රාජ අනුග්‍රහය ලද ධර්මාශෝක රජතුමා රටවල් 09කට ධර්ම දූත පිරිස් කණ්ඩායම් වශයෙන් යවන ලදී.

එහි ප්‍රතිඵලයක් වූයේ ස්ථාවරව බුදු දහම පවතින රටක් ලෙස ශ්‍රී ලංකාවට තම එකම පුත් මහින්ද මහරහතන් වහන්සේ සහ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ඇතුළු ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමනසාමණේර සහ භණ්ඩුක උපාසකයා ද ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා එවීමට ක්‍රියා කිරීම හා ලක්වැසි ජනතාවගේ භාග්‍ය හිමිව ගිය දිනයක් හා කාල වකවානුවක් වූයේ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයයි.

මේ කාලවකවානුවේ ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වයට පත්ව සිටියේ පියාගේ ඇවෑමෙන් පසු තිස්ස රජතුමාය. එතුමා දේවානම්පියතිස්ස යනුවෙන් විරුදාවලිය ද ලැබීය. එකල ලාංකීය ජනතාව නොදියුණු ශිෂ්ටාරයක උරුමකම් ලබා සිටි හෙයින් මිලේච්ඡ ගති පැවතුම්වලින් ද යුක්ත වූහ. මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනය නිසා ශිෂ්ට සම්පන්න සුචරිතවත් කරුණා දයා ගුණයෙන් හෙබි ජනතාවක් බිහිවන්නට විය. විවිධ ඇදහිලි විශ්වාස තුළ ද විවිධ ආගම් කෙරෙහි විශ්වාස තුළ ද අදෘශ්‍යමාණ බලවේග කෙරෙහි ද ස්වභාවික වස්තූන් කෙරෙහි ද බිය, සැකය, සන්තාපය තුළ ගොනුව සිය ජනතාවට බුදුදහමේ ආභාෂය තුළ සර්ව සාධාරණ වූ ආදේශනයෙන් ද උපයෝගී කරගෙන ජීවත්වීමට කාලවකවානුව සැලසිණි.

ගෘහ නිර්මාණ ශිල්පය, කැටයම් කලාව, චිත්‍ර, මූර්ති, සිරිත් විරිත් යහපත් සම්ප්‍රදායන් ජනතාව ‘බුදු සමය’ නිසා ලැබුණු දායාද කරණ කොට ගෙන පිරිත් පින්කම් බණ භාවනා උත්සව පෙරහර දළදා පූජෝපහාර යනාදී යහපත් කටයුතුවල ද දිවා රාත්‍රී නිරත ජන සමූහයක් බිහිවිය. විවේකය ගතකරනු ලැබුයේ ධර්මානුකූලවය. ගමත් පන්සලත් අතර මනා බැඳීමක් පැවතිණ. වැවත් දාගැබත් තුළ සංකේතවත් වන කෘෂිකර්මාන්තය හා අධ්‍යාත්මික ගුණවගාව සිංහල බෞද්ධ ජනතාවගේ ජීවනාලිය විය.

ශ්‍රී ලංකාද්වීපයේ රාජ්‍යත්වයට පත් වන එදා මෙන්ම අදත් රාජ්‍ය නායකයන්ට පූර්වාදර්ශයක් ලබාදෙන උතුම් පොහෝ දිනයක් ලෙස පොසොන් පොහෝ දිනය සැලකිය හැකිය. බෞද්ධ ජනතාවගේ ශ්‍රද්ධාව, ගෞරවය අනුබුදු මිහිඳු මාහිමියන් අනුස්මරණය කරන ශ්‍රේෂ්ඨ පොසොන් පොහෝ දිනයකි.

රටේ සමගියත්, සමාදානයත්, සහජීවනයත්, එකමුතුකමටත්, එක්සත්කමත් එක්සිත් බවත් අතිගරු ජනාධිපතිතුමන් ගරු අගමැතිතුමාගේ පටන් පක්ෂ විපක්ෂ මැති ඇමැතිතුමන්ලා දක්වාද බෞද්ධ අබෞද්ධ ජනී ජනයා දක්වාද පොසොන් පොහෝ දිනයේ හිරු උදාවත් සමඟ අප රටට සෙත ශාන්තිය උදාවේවා යන මගේ පරම අධිෂ්ඨානය වේ.

වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන්, මද මානයෙන්, පළිගැනීමෙන්, පහත් ගතිපැවැතුම්වලින්, තොර සත්පුරුෂ ගතිගුණවලින් යුතුව ධර්මානුකූලව නීතියේ සාධාරණත්වය මුල්කොට ගෙන සුඛිත මුදිත සමාජයක් බිහිවේවායි ලංකාවාසී ජනතාවට පොසොන් පණිවිඩය තුළින් ඔබ සැමට ආශිර්වාද හා ආශිංසනය කර සිටිමි.


මිහිඳු මහ රහතන් වහන්සේට අපි ණය ගැති වන්නෙමු

ලෝකයේ පහළවන උතුම් බුදුවරයන් වහන්සේලා ප්‍රධාන කොට තෙනමක් ම වෙති. ඒ සම්මාසම්බුදුවරයන් වහන්සේ, පසේ බුදුවරයන් වහන්සේලා හා අරහත් බුදුවරයාණන් වහන්සේලා යනුවෙනි. සම්මා සම්බුදුවරයකු ලොව පහළ වන්නේම වර්ෂ කල්ප කෝටි ගණනක් ඇවෑමෙන් එක් නමක් පමණි. පසේ බුදුවරයන් වහන්සේලා පහළ වන්නේ සම්මා සම්බුදුවරයකු පහළ නොවන කල්හි පමණි. එහෙත් එසේ පහළ වන විට එක් නමක් නොව බොහෝ පසේ බුදුවරු එක් කාල පරාසයක් තුළ පහළ වීම මෙහි ඇති විශේෂත්වයකි. අරහත් බුදුවරයන් වහන්සේලා හැමවිටම පහළ වන්නේ සම්මා සම්බුදුවරයකු ජීවමානව වැඩ සිටිනා කල්හිමය. එවැනි අරහත් බුදුවරයන් වහන්සේලා එවන් කල්හි පහළ වන ප්‍රමාණය සංඛ්‍යාත්මක වශයෙන් කිව නොහැකිවා පමණක් නොව, ඒ සම්මාසම්බුදුවරයාණන් වහන්සේ පිරිනිවියේ නමුදු බුදුවරයාණන් වහන්සේ දේශනා කළ චතුස්සත්‍යය ධර්මය නො නැසී පවත්නා තෙක් අර්හත් බුදුවරයාණන් වහන්සේලා පහළ වන බව අප බුදුරජාණන් වහන්සේ දීඝ නිකායේ එන පරිනිබ්බාන සූත්‍ර දේශනාවේ ද වදාරා ඇත.

මේ අනුව අප බුදුරජාණන් වහන්සේ පිරිනිවී වසර 236 පමණ ගත වූ පසු කාලයේ විසූ මහරහත් බුදුවරයාණන් වහන්සේලා අතර යක්ෂ, නාගා දී මිථ්‍යා දෘෂ්ටිගතව සිටි අපගේ දිවයින සදහම් දිවයිනක් කිරීමට තම මුළු ජීවිත කාලය කැප කළ එක් විශේෂ අරහත් බුදුවරයන් වහන්සේ නමක් අනුස්මරණය කරන දිනය පොසොන් පොහෝ දිනය වශයෙන් ශ්‍රී ලංකා වාසී බෞද්ධ අපි සලකන්නෙමුය. ඒ අන් කවරකුවත් නොව දඹදිව චක්‍රවර්ති රජෙක් මෙන් විසූ ධර්මාශෝක මහා අධිරාජයාගේ අතිජාත පුත්‍රයකු වූ ද, අප රටේ භික්ෂුණී ශාසනය ආරම්භ කිරීමේ ගෞරවය ද, බුදුරජාණන් වහන්සේගේ පාරිභෝගික චෛත්‍යයක් වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙරටට වැඩමවා අනුරාධපුරයෙහි පිහිටුවා ලූ සංඝමිත්තා මහ රහතන් වහන්සේගේ සහෝදරයා වූ මහා මහින්ද මහ රහතන් වහන්සේම ය. මිහිඳු මහ රහතන් වහන්සේ වශයෙන් ව්‍යවහාරයෙන් අප අතර වඩා ප්‍රසිද්ධ මේ බුද්ධෝත්තමයෝ ශ්‍රී ලංකා වාසී බෞද්ධයෝ විශේෂ කොට සලකනුයේ අනුබුදුවරයාණන් වහන්සේ ලෙසටය.

අප ශාස්තෘ වූ සම්මාසම්බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලය තුළ තෙවරක් අප රටට වැඩම කොට සුමන සමන් දෙවි, චූලෝදර, මහෝදර වැනි නා රජුන්, මණිඅක්ඛිත නා රජු ආදී කොට ඇති එදවස සිටි බොහෝ ජනයාට ධර්මය දෙසූ බවත්, සොළොස් මහ ස්ථානයක් පරිභෝග කළ බවත් මහා වංශයේ සඳහන් වී ඇත. මෙසේ වූ කල්හි බුදුරජාණන් වහන්සේ පිරිනිව් වදාළ දින මෙරටට සැපත් වූ විජය රජුගේ පටන් පිළිවෙ-ළින් පඬුවස්, අභය, පණ්ඩුකාභය, මුටසීව රජවරුන්ගේ පාලන කාල ගෙවී ගොස් දේවානම්පියතිස්ස රජු දවස, ධර්මාශෝක රජු සමඟ පැවැති අදිට්ඨ මිතු දහම මත මිහිඳු මහ රහතන් වහන්සේ අප දිවයිනට වැඩම කොට මේ මුළු රට හා සමස්ත ජනතාව බෞද්ධයන් බවට පත්කොට වදාළහ. 35 පිටුවට....

සිල්වත්, ගුණවත් හා වඩාත් ශිෂ්ට ජාතියක් කළ විස්තර එම මහාවංශයේම 11 වෙනි පරිච්ඡේදයේ සිට 20 වෙනි පරිච්ඡේදය දක්වා ගාථා 709 කින් විස්තර කොට ඇත.

මෙහි දී අප බුදුරජාණන් වහන්සේ තෙවරක්ම මෙහි වැඩම කළ මුත් මෙරට වැසියකු පැවිද්දට පත් වූ බවක් ඉතිහාසයේ සඳහන් නොවන හෙයින් අරිට්ඨ මහ සෙනෙවි පැවිදි කොට උපසම්පදාවෙහි ද පිහිටුවා භික්ෂු ශාසනයත් හා අනතුරුව භික්ෂුණී ශාසනයක්ද පිහිටුවාලීමට මුල් වූ හෙයින් ඒ අප මිහිඳු මහරහතන් වහන්සේ අප සලකනුයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ හැරුණු කොට දෙවෙනි බුදුරජුන් ලෙසය.

එදා මේ මුළු රටත් මුළු රටවාසීනුත් බෞද්ධයන් (බුද්ධිමතුන්) බවට පත්කළ මේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේට අප ජාතික වශයෙන්ද ආගමික වශයෙන් ද හා සංස්කෘතික වශයෙන් ද මේ රට ජාතිය හා ආගම පවත්නා තුරු ණය ගැති වන්නෙමු ය.


මිහිඳු මාහිමි පෑ මග යෑමට සියල්ලෝම සිතත්වා

අනුබුදු මිහිඳු මාහිමියන් වහන්සේ මෙරටට වැඩම කළ පොසොන් දින ශ්‍රී ලංකිකයනට අනුස්මරණීය ශ්‍රේෂ්ඨතම දිනය වේ. සිංහල ජාතිය විශිෂ්ට ජනතාවක්ලෙස විශ්ව කීර්තියට පත්වීමට හේතු වූ සියලු දායාදයන් උරුම කළෝ අනුබුදු මිහිඳු මාහිමියෝ ය. උන්වහන්සේ බුදු දහම සමඟ එදා භාරතයේ දියුණුව පැවැති හැම ශිල්ප ශාස්ත්‍රයක්මත් බෞද්ධ සංස්කෘතියත් රැගෙන වැඩි සේක. මේ නිසා අප ශ්‍රී ලංකාව තුළ ආර්ථික අධ්‍යාපනය, සදාචාර, සෞඛ්‍ය, සාහිත්‍ය, කලා ශිල්ප, ආදී හැම ක්ෂේත්‍රයකම අපූර්ව දියුණුවක් ඇති විය. මෙම අපූර්ව දියුණුවට සිංහල වැසියාත් බුදු දහමත් රජයත් අතර වෙන් කළ නොහැකි සේ ඇතිවූ සම්බන්ධය, විශ්වාසය ඉවහල් විය. මෙරට වූ දියුණුව දුටු දුටු විදේශිකයෝ ශ්‍රී ලංකාව ධාන්‍යාගාරයක් ධර්මදීපයක් ලෙස හැඳින් වූහ.

වත්මන් ශ්‍රී ලංකාව තුළ ඇති ආර්ථික, අධ්‍යාත්මික, සමාජමය විවිධ අර්බුද විසඳාගෙන සාමය පිරි සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් යළි බිහික ගැනීමට ජනයා, රජය හා ආගම අතර සම්බන්ධතාව අතිශයින් ඉවහල් වේ. බුදු දහම පුද්ගලයාට හා සමාජයට අහිතවත් දේ බැහැර කිරීමට හා හිතවත් දේ කිරීමට වැසියාට හා පාලකයන්ට අනුශාසනා කරයි. වැසියා හා පාලකයන් ආත්මාර්ථයෙන් තොරව පරාර්ථකාමීව දහමින් ලැබෙන උපදෙස් මත පිහිටා කටයුතු කළ යුතු වේ. දහමින් දෙන උපදෙස් නො ඉක්මවිය යුතු ය.

දහමට අනුව ධර්මයට හා යුක්තියට අනුව කටයුතු කිරීම මිහිඳු මාහිමි පෙන්වූ මග යෑමයි. වල් වැදී ඇති එම මග එළි පෙහෙළි කරගෙන එම ගමන යෑමට මේ උතුම් පොසොන් දින සියල්ලෝම සිතත්වා.

 

 

  
  පොසොන් මස පුර පසළොස්වක පෝය

පොසොන් මස පුර පසළොස්වක පෝය ජුනි මස 01 වැනිදා සඳුදා අපරභාග 10.04 ට ලබයි. 02 වැනිදා අඟහරුවාදා අපරභාග 9.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 02 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජුනි මස 09 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 02

Second Quarterඅව අටවක

ජූනි 09

Full Moonඅමාවක

ජූනි 16

First Quarterපුර අටවක

ජූනි 24


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]