මිස්සක පව්වෙන් ඇරැඹුණු සදහම් පණිවුඩය අදත්
අප අනුස්මරණය කරනවා
මාලිගාකන්ද විද්‍යෝදය පරිවෙණාධිපති බළන්ගොඩ සෝභිත නා හිමි |
ශ්‍රී ලාංකීය ජනතාව සදාචාර සම්පන්න ජාතියක් ලෙස දිවි ගෙවීම ඇරැඹුවේ
මහින්දාගමනය හෙවත් මිහිඳු මහ රහතන් වහන්සේගේ ආගමනයෙන් පසුව බව අපේ
ඉතිහාසය දෙස බැලූ විට පෙනී යයි. මිහිඳු මාහිමියන් මෙරටට වැඩම කිරීමට
පෙර ලංකාවේ කිසිදු ආකාරයක දැහැමි සමඟි සම්පන්න ස්ථාපිත වූ ආගමක් දහමක්
මෙරට තිබුණේ නැහැ. එක් එක් ජනතාවට විශේෂිත වූ විවිධ ඇදහිලි හා විශ්වාස
පමණක් තිබුණා. රාජ්‍යආගමක් පවා නිසියාකාරව තිබුණේ නැහැ. රටේ තිබුණු යම්
යම් සිරිත් විරිත් ඔස්සේ ජනතාව විවිධ ඇදහිලි හා විශ්වාස මත කල් ගෙවූ
බවක් පෙනී යනවා. මේ සඳහා හොඳම උදාහරණය හියුං සාං දේශ ගවේෂකයාගෙන්
ලබාගන්න පුළුවන්.
හියුං සාංගේ වාර්තාවකට අනුව ඔහු පෙන්වා දී ඇත්තේ මහියංගනයට පෙර මෙරට
දිවි ගෙවූ ජනතාව දැහැමි නොවන ඇදහිලිමත කොටු වූ ජනතාවක් බවය. විධිමත්
ආගමක් හෝ දැහැමි සමාජයක් මෙරට නොතිබූ බව ඔහුගේ වාර්තාවල දැක්වෙනවා. මහා
වංශය, චූල වංශය වැනි අපේ ඉතිහාසය ගැන විස්තරාත්මක තොරතුරු ලබාදෙන වංශ
කතාවලින් ද ඒ බව අපට පැහැදිලි වෙනවා.
මිහිඳු මා හිමියන්ගේ ආගමනයට පෙර යක්ෂ, නාග වැනි ගෝත්‍රිකයන් මෙරට මුල්
බැසගත් සංස්කෘතියක් තිබුණු බව අපේ ඉතිහාසය පවසනවා. මිහිඳු මා හිමියන්ගේ
ආගමනය අපේ රටේ විශාල වෙනස්කම් රැසකට හේතුවුණු බව අපට පැහැදිලියි. අපට
සංස්කෘතියක්, සදාචාරයක් වගේම දැහැමි සමාජයක් උරුම වුණේ මහින්දාගමනයත්
සමඟයි.
මිහිඳු හිමියන් ලක්දිවට වැඩම කළ සමයේ තිබුණු සමාජ රටාව මුළුමනින්ම
වෙනස් කිරීමක් අපට දැක ගන්නට පුළුවන්.
අපේ රටට බුදු දහම ලැබීම අහම්බෙන් සිදුවූවක් නෙමෙයි. ධර්මාශෝක රජතුමා සහ
දේවානම්පියතිස්ස රජතුමා අතර නොදුටු සබඳතාවක් මිතුරුකමක් තිබුණා. මේ
සබඳතාවය ප්‍රධාන ප්‍රතිඵලයක් ලෙස තමයි මිහිඳු මාහිමියන්ගේ මෙරටට වැඩම
කිරීම සිදුවූයේ. උන්වහන්සේ මෙරටට වැඩම කිරීමට පෙර ඒ සඳහා අවශ්‍ය පරිසරය
සකස් කරගත් බව පෙනෙනවා. විශේෂයෙන්ම ධර්ම දූතයන් වහන්සේ නමක් ලෙස
උන්වහන්සේ ප්‍රගුණ වූ බවක් පුහුණුවක් ලැබූ බවක් ද අපට දැක ගැනීමට
පුළුවන.
වයස අවුරුදු 32 ක් තරම් තුරුණු වියේ දී මිහිඳු මා හිමියන් ලක් දිවට
වැඩම කරනු ලැබුවේ. මුටසිව රජුගේ අවසන් කාලයේ සිට ධර්ම දූතයන්වහන්සේ
මෙරටට වැඩම කිරීම සඳහා සූදානමින් සිටියා. ඒ අනුව උන් වහන්සේ පළමුව
වේදිස පුරයට වැඩම කර ලංකාවේ භාෂා ගැන මනා අවබෝධයක් ලබා ගත් බවක්
පෙනෙනවා. එමෙන්ම මෙරට ජනතාවගේ සිතුම් පැතුම් ගැන පරිසරයේ මනා අවබෝධයක්
උන්වහන්සේ ලබාගෙන තිබෙනවා. ඒ අනුව දඹදිව තුළදීම උන්වහන්සේ ඒ සඳහා
අවශ්‍ය සියලු පසුබිම සකස් කරගෙන තිබෙනවා. උන්වහන්සේගේ දූත පිරිසට
උපසම්පදා භික්ෂූන් වහන්සේ සාමණේර නමක් හා උපාසක (ගිහි) මහතකු ද ඇතුළත්
වුණා. මේ පිරිස දැක ගැනීමෙන් ලක්වාසීන්ට ශාසනික කටයුතු ගැන මනා
අවබෝධයක් ලබා ගැනීමට හැකි වුණා.
පියවරින්පියවර ගිහියා සාමණේර හිමි බවට පත්වීම උපසම්පදාව මෙන්ම රහත්
භාවය නිර්වාණ කරා යන ක්‍රමානුකූල චාරිත්‍රයක් ගැන මනා අවබෝධයක් ජනතාවගේ
මනසට කා වැදුණා. රජතුමා මුව දඩයම් යන අවස්ථාවේ දී වුවත් මිහිඳු
මාහිමියන් ඇතුළු පිරිස දැක පහන් සිතින් වන්දනාවට යොමු වුණා. රජතුමාගේ
ආරාධනාවක් උන්වහන්සේ විසින් ලක්වාසීන්ටම ධර්මය දේශනා කළා. විශේෂයෙන්ම
ඇත් අඩි උපමාවක් සහිතව චුල්ලහත්ථිපදෝපම සූත්‍රය මගින් උන්වහන්සේ ලංකාවේ
පරිසරයට ධර්ම දේශනා සඳහා උදාහරණ ලබාගත් බව පෙනෙනවා.
එපමණක් නොව යහපත් දැහැමි පින්කම්හි නියැළෙන පිරිස දෙව් විමන් කරායන
විමාන වත්ථු හා දුගතිගාමි ක්‍රියාවල නියැළෙන්නන් හට උරුම වන ප්‍රේත
ලෝකවල ප්‍රේතවත්ථු ගැනත් උන්වහන්සේගේ ධර්මයේ සඳහන් වුණා. මේ නිසා
දැහැමි සමාජයක ඇරැඹුමක් සිදුවුණා.
මිහිඳු මා හිමියන් බුදුදහම ලක්වාසීනට ලබා දුන්නේ ආගමක් හෝ දර්ශනයක්
ලෙසින් නොව ජීවන ප්‍රතිපදාවක් ලෙසින් යහපත් දිවියක වැදගත්කම පංචශීලයේ
වැදගත්කම ක්‍රමයෙන් ලක්වාසීනට වැටහී ගියා.
මේ නිසා දිනෙන් දිනම ධර්ම ශ්‍රවණයට පැමිණි පිරිස වර්ධනය වුණා. පළමුව රජ
පවුලහා ඉහළ පෙළැන්තිය ධර්ම ශ්‍රවණය කළද දිගින් දිගටම පිරිස වැඩිවීම
නිසා ධර්ම ශ්‍රවණ සඳහා විශාල බිම් ප්‍රදේශ යොදා ගැනුණා. එතැනින් ඇරැඹි
මිහිඳු මාහිමියන් ධර්මයේ පණිවුඩය මෙරට අස්සක් මුල්ලක් නෑර පැතිර ගියා.
මිහිඳු මා හිමියන් අම්බස්තලයට වැඩම කළේ කෙසේද? යන ප්‍රශ්නය ගැන බොහෝ
දෙනා වරින් වර විමසන්නක්. උන්වහන්සේගෙන් ඒ ගැන විමසූ විට උන්වහන්සේ
පවසා තිබුණේ තමන් ඇතුළු පිරිස අහසින්, දියෙන් හෝ ගොඩබිමින් නොපැමිණි
බවයි. එයින් පෙනීයන්නේ උන්වහන්සෙ ඇතුළු පිරිස සෘද්ධි බලයෙන් වැඩම කළ
බවයි.
අම්පාර, රජගලතැන්නේ රජගල සෙල් ලිපියෙන් මෑතකදී ලැබුණු තොරතුරුවලට
අනුවත් උන්වහන්සේ සෘද්ධි බලයෙන් වැඩම කළ බව පෙනෙන්නට තිබෙනවා. එසේම
ඉන්දියාවෙන් යළිත් සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ශ්‍රී මහා බෝධි අංකුරය
රැගෙන පැමිණීමෙන් මෙරටට ආගමික සංස්කෘතික හා කලාව ඔප් නැංවීම උදෙසා
සොළොස් කුලයක ශිල්පීන් පැමිණීමත් සමඟ මෙරට බුදු දහම චිරාත් කාලයක්
උදෙසා ස්ථාපනය වුණා. අදත් අප මේ පොසොන් සමයේ සමරනු ලබන්නේ එදා මිස්සක
පව්වෙන් ඇරැඹි දහම් පණිවුඩයයි.
සාකච්ඡා කෙළේ - තාරක වික්‍රමසේකර |