UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක මාහිමිපාණන් වහන්සේ

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා නායක

තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක මාහිමිපාණන් වහන්සේ

දුටුවන්ගේ සිත් පහන් කරවන නිහතමානිත්වයෙන් යුක්තව වැඩ වසන මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක ධුරන්දර තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මා හිමිපාණන් වහන්සේ ගිහි පැවිදි උභය සමාජයේ ම මහත් ගෞරවාදරයට පාත්‍රව වැඩ වසති.

අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ ආගන්තුක සද්කාරයෙහි, ගිලානෝපස්ථානයෙහි, අසරණ සරණයෙහි නිරතවන ආදර්ශවත් යුග මෙහෙවරක නිරතව වැඩ වසන උතුමන් වහන්සේ නමකි.

මල්වතු මහා විහාරීය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මානව සහයෝගිතා පදනම මගින් ද ආදර්ශවත් යුග මෙහෙවරක් සිදුකර ඇත.

ජාති, ආගම් භේදයෙන් තොරව මනුෂ්‍යත්වය සලකා පිහිට විය යුතු තැනට නොපැකිලව පිහිට වීම අතිපූජනීය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සිරිත වේ. නැති බැරි ආර්ථික අපහසුතා ඇති අය වෙනුවෙන් නිවාස කීපයක් තනාදීමටත්, සිසු දරුවන් දහස් ගණනක් වෙත පාසල් පොත්පත් ලබාදීමත්, අසරණ රෝගීන් සුවපත් කිරීමේ අරමුණින් රෝහල් සඳහා විවිධ වෛද්‍ය උපකරණ පිරිනැමීමත් ආදී උදාර සමාජ මෙහෙවර රැසක නිරතව වැඩ වසන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඒ සෑම අවස්ථාවක ම එම උදාර මෙහෙවර සලසන ලද්දේ ඉතා නිහඬවය. අප්‍රකටවය. උන්වහන්සේ බැහැ දැකීමට යන කවර තරාතිරමක අයෙකු වූව ද ඉතා සුහදව ප්‍රියශීලිව කටයුතු කිරීම ද ආදර්ශවත්ය.

අතිපූජනීය මහානායක මාහිපාණන් වහන්සේගේ එම උදාර නිහඬ සමාජ මෙහෙවර අගයනු වස් දේශීය විදේශීය විවිධ සම්භාවනීය ආයතන උන්වහන්සේට විවිධ ගෞරවනාම, උපාධි පිරිනැමීමට ඉදිරිපත් වූව ද ඒවා පිරිනැමීමට යෝජනා කිරීම ගැන ප්‍රසාදය පළ කරමින් කාරුණිකව ඒවා බැහැර කරපු අවස්ථා ද බොහෝය.

අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසනා සිදු කරන උතුමන් වහන්සේගේ වදන් මිහිරිය. ශාන්තය. එබඳු උත්තම ගති ලක්ෂණවලින් හෙබි අතිපූජනීය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ යුග මෙහෙවරක් නිහඩව ඉටු කරන මහා පහන් ටැඹකි.

මල්වතු මහා විහාරය හා සම්බන්ධ සඟරජ මා හිමියන්ගේ ප්‍රධාන පැවිදි ශිෂ්‍ය පිරිස පස් නමක් වූහ. එම පිරිස අතර ප්‍රධාන ශිෂ්‍ය නම වූයේ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත මහානායක මා හිමිපාණන් වහන්සේය.

මල්වතු මහා විහාරයේ ප්‍රථම මහා නායක ධූරයට පත් වූ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත මහා නාහිමිපාණන් වහන්සේ එම මහ පදවිය විසි වසරක් හොබවා ඇත. තම ආචාර්යෝත්තමයාණන් වහන්සේ වූ වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන්ගේ ධර්ම ශාස්ත්‍රීය කටයුතුවලට සහාය දක්වමින් ද ක්‍රියා කර ඇත. තිබ්බටුවාවේ බුද්ධරක්ඛිත මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බිහි කළ සඟ පරපුර වර්තමානය දක්වා ම රිදීවිහාර සඟ පරපුර ලෙස අඛණ්ඩව පැවතීම සුවිශේෂී කරුණකි. රිදී විහාර මහ සඟපරපුර මහානායක, අනුනායක, කාරක සංඝ සභික පදවි දරමින් ධර්ම ශාස්ත්‍රීය මහත් මෙහෙවරක් සිදු කරමින් සංඝපීතෘවරයන් වහන්සේ කිහිපනමක් ම පහළ වී ඇත. මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ තුදුස්වන මහානායක පදවිය සහ විසිඑක්වන මහානායක පදවිය දැරුවේ රිදී විහාර පරපුරේ තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ (1893 – 1913) සහ පුරිජ්ජල ශ්‍රී සරණංකර මහානායක මාහිමිපාණන් වහන්සේ (1956 – 1963) විසිනි. පුරිජ්ජල ශ්‍රී සරණංකර මහානායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ 2004 සිට මල්වතු මහා විහාර පාර්ශවයේ විසි හයවන මහානායක මහ පදවියට පත්වූහ.

ත්‍රිපිටක ධර්මය ග්‍රන්ථාරූඪ කිරීමෙන් සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ සම්භාවනාවට පාත්‍ර වූද, ශාසන භාරධාරී සංඝනේතෘන් වහන්සේගේ ජාත භූමියක් ද වූ මාතලේ කොහොන්සිය පත්තුවේ තිබ්බටුවාව නමැති ග්‍රමයේ මහානාහිමිපාණන් වහන්සේ ජන්මලාභය ලැබූහ.

තිබ්බටුවාව ගම් පියසේ තිබ්බටුවාවේ වලව්වේ බණ්ඩාරනායක වාසලමුදලි ටිකිරි බණ්ඩාර නිලමේතුමාගේ සහ කරල්ලියද්දේ ඉඩමේ වලව්වේ ලොකු කුමාරිහාමි දම්පතීන්ගේ කනිටු පුත්‍ර රත්නය ලෙස 1944 මැයි 30 වනදා එසේ උපත ලැබීය.

මල්වතු මහා විහාරයීය විහාරාංග සංවර්ධනයෙහි සදාණුස්මරණීය මෙහෙවරක් සිදු කර වදාළ මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති අතිපූජ්‍ය පුරිජ්ජල ශ්‍රී සිද්ධාර්ථ සරණංකරාභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ විසි එක්වැනි මහානායක මාහිමිපාණන් වහන්සේ හා මල්වතු මහා විහාරයීය ගරුතර කාරක මහා සංඝසභාන්තරගත තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකරාභිධාන ඓතිහාසික රිදී විහාරයේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ද ආචාර්යත්වයෙන් 1957 ජුනි 10 වනදා මල්වතු මහා විහාරයීය මංගල උපෝසථාගාරයේ දී උතුම් පැවිදි දිවියට ඇතුළත් වූහ.

අති පුජනීය අමුණුගම රාජගුරු ශ්‍රී විපස්ස්‍යාභිධාන මහා විහාරවංශික ස්‍යමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ විසිදෙවැනි මහානායක මාහිමිපාණන් වහන්සේ, අතිපූජ්‍ය විමලකීර්ති ශ්‍රී සුමණ පණ්ඩිත සිරිමල්වත්තේ ආනන්ද්‍රාභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ විසිහතර වැනි මහානායක මා හිමිපාණන් වහන්සේ, ඓතිහාසික සෝමවතී රජ මහා විහාරාධිපති රාජකීය පණ්ඩිත පහමුණේ ධර්මකීර්ති ශ්‍රී සරණංකර ගුණානන්දාභිධාන මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, මල්වතු මහා විහාරීය ගරුතර කාරක මහා සංඝ සභාවේ ලේඛකාධිකාරී, රාජකීය පණ්ඩිත රඹුක්වැල්ලේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, මල්වතු මහා විහාරයීය ගරුතර කාරක මහා සභාන්තර්ගත රාජකීය පණ්ඩිත රත්නින්දේ ශ්‍රී අනෝමදස්සි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද කෘතහස්ත ධර්මාචාර්යයන් වහන්සේ වෙතින් මහනුවර ශ්‍රී සංඝරාජ පරිවෙණස්ථානයෙන් ධර්ම විනය ශබ්ද ශාස්ත්‍ර හදාරමින් ද භික්ෂූන් වහන්සේ නමකට අවශ්‍ය වත් පිළිවෙත් ආදිය පුහුණු වෙමින් ද පිරිවෙන් අවසානය දක්වා වර්ගපටිපාටියෙන් උසස් අධ්‍යාපනය ලැබූහ.

1964 ජුනි මස 10 වැනිදා අතිපූජ්‍ය අමුණුගම රාජගුරු ශ්‍රී විපස්සි මහානායක මාහිමිපාණන් වහන්සේගේ , උපාධ්‍යායත්වයෙන් මල්වතු මහා විහාරයීය මංගල උපෝසථාගාරයේ දී වාහල නාග නාමයෙන් උපසම්පදාවට පත්වූහ.

උන්වහන්සේ දැනුමෙන් මෙන්ම ගුණනුවණින්ද වෘද්ධියට පත්වෙමින් කුඩා කල සිට උසස් ශාසනික තනතුරු ලැබීමට මෙන්ම ඒවා දැරීමටද සුදුසුකම් සපුරාලීය.

මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි ගරුතර මහා සඟරුවනට පැවරෙන භාරදූර වගකීම් අතර ජීවමාන බුදුරජාණන් වහන්සේ වන් ශී‍්‍ර දන්ත ධාතුන් වහන්සේ උදෙසා සිදු කෙරෙන තේවාව අති උතුම් පූජනීය දුර්ලභ අවස්ථාවකි.

1965,1981,1991 වසරවලදී එවකට වැඩ සිටි අතිපුජනීය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ කාරුණික අනුග්‍රහය ලබා ශ්‍රී දළදා මාලිගාවේ තේවා ධුරයට පත්ව බුද්ධෝපස්ථානයෙහි යෙදී දළදා මාලිගාවෙහි පෞරාණික වත් පිළිවෙත් ආදිය පිළිබඳ මහත් ශ්‍රද්ධා ගෞරවයෙන් මනා පරිචයක් ලැබූහ.

1968 සැප්තැම්බර් 25 වැනිදා අතිපූජ්‍ය අමුණුගම රාජගුරු ශී‍්‍ර විපස්සි මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් ගරුතර කාරක මහා සංඝ සභාවේ කාරක සභික ධුරයට තෝරාපත් කරන ලදහ. මල්වතු මහාවිහාරයේ කර්මාචාර්ය ධුරයට 1969 දී පත්වු අතර 1974 දී ස්වකීය ආචාර්යෝත්තමයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු ඓතිහාසික රිදී විහාරය ඇතුළු විහාර ස්ථානවල ආධිපත්‍යයට පත්වීමෙන් එම විහාරාරාමයන්හි නව ආලෝකයක් උදාකිරීමට සමත්වූහ.

1979 මැයි 10 වනදා රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය විමලකීර්ති ශ්‍රී සුමන පණ්ඩිත සිරිමල්වත්තේ ආනන්දාභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක මාහිමිපාණන් වහන්සේගේ නියමයෙන් මල්වතු මහා විහාරයීය ගරුතර කාරක මහා සංඝ සභාවේ උප ලේඛකාධිකාරි පදවියට පත්වූහ. අනතුරුව 1985 නොවැම්බර් 09 වැනිදා රාජකීය පණ්ඩිත සිරිමල්වත්තේ ආනන්දාභිධාන මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක මාහිමිපාණන් වහන්සේගේ නියමයෙන් ගරුතර කාරක මහා සංඝ සභාවේ ලේඛකාධිකාරිධූරයට පත්ව එහි සියලු කටයුතු නිසි අයුරින් ඉටු කරන ලදී.

1990 දී මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති අතිපුජ්‍ය රඹුක්වැල්ලේ ශි‍්‍ර ධර්මරක්ෂිත විපස්ස්‍යාභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතුමහා විහාර පාර්ශ්වයේ විසිපස් වැනි මහානායක මාහිමිපාණන් වහන්සේගේ නියමයෙන් එම සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ධුරයට පත්කොට වදාළහ.

මෙසේ ශාසනික වගකීම් මනා කැපවීමෙන් ඉටු කළ හෙයින් අතිපූජ්‍ය රඹූක්වැල්ලේ ශී‍්‍ර ධර්මරක්ෂිත විපස්ස්‍යාභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන සානුනායක කාරක මහා සංඝ සභාව මගින් 1992 මැයි 13 වන දින මහනුවර පුෂ්පාරාමාධිවාසි රඹුක්වැල්ලේ ශි‍්‍ර ධර්මරක්ෂිත රතනපාල සෝභිතාභිධාන අනුනායක ස්වාමීන්ද්‍රයන් වහ්නසේ අපවත් වීමෙන් පුරප්පාඩු වූ අනුනායක ධූරයට පත් කර ගන්නා ලදී.

ඓතිහාසික රිදි විහාරයෙහි පෞරාණිකත්වය අති සම්භාවනීයත්වය, පුජනීයත්වය මෙන්ම රමණීයත්වය ආරක්ෂා කරමින් එහි සංවර්ධනය සඳහාත් ඇප කැපවී ක්‍රියාකල ආකාරය සැබවින්ම ආදර්ශවත්ය. රිදී විහාරයට අයත් කැලේ පන්සලෙහි පෞරාණික ලෙන් කටුකොහොල් හැර භාවනා මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලදී. කුඹුරු ලෙන විහාරස්ථානයේ සංවර්ධන කටයුතු අතර ගරා වැටෙමින් තිබු කුඹූරුලෙන විහාරස්ථානය පිළිසකර කරවන ලදී. 1996.02.05 වන දින ශ්‍රී සිද්ධාර්ථ පිරිවෙන ආරම්භ කර ප්‍රදේශයේ ජාතික ආගමික සේවාවන් සිදුකරන ලදී. මඩිතියාව අභිනව සුමංගලාරාමය ඉදිකරවූහ.

මහනුරව උපෝෂිත පුෂ්පාරමා විහාරද්වයාධිපති ව වැඩ විසු රඹූක්වැල්ලේ ශී‍්‍ර ධර්මරක්ෂිත විපස්ස්‍යාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ මහ පදවිය වන මහානායක ධුරය සඳහා 2004 ජුනි 20 වනදා තිබ්බටුවාවේ ශී‍්‍ර සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ පත්කොට වදාළ අතර එම මහානායක පදවිය පිළිබද ශී‍්‍ර සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය 2004 අගෝස්තු 16 වනදා මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේදී පැවැත්විණි.

කිවයුතු දේ කිවයුත්තා අභිමුවෙහි පැවසීමටත්, යහපත් දෙය අගය කිරීමටත් නොපසුබට වන අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ 71 වන ජන්ම දිනය නිමිත්තෙන් අතිපුජනීය මහානාහිමිපාණන් වහන්සේට තෙරුවන් බලයෙන් ‘බුදුසරණ” දිගාසිරි පතමු.

 

  
  පොසොන් මස පුර පසළොස්වක පෝය

පොසොන් මස පුර පසළොස්වක පෝය ජුනි මස 01 වැනිදා සඳුදා අපරභාග 10.04 ට ලබයි. 02 වැනිදා අඟහරුවාදා අපරභාග 9.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 02 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජුනි මස 09 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 02

Second Quarterඅව අටවක

ජූනි 09

Full Moonඅමාවක

ජූනි 16

First Quarterපුර අටවක

ජූනි 24


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]