බුදුරජුන්ගේ මහා ප්‍රඥාව
ශාස්ත්‍රපති,
රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි
යමක් අසා ඇති කරගන්නා දැනුවත් වන ස්වභාවය, විමසා දැන ගන්නා ස්වභාවය හා
පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්නා ස්වභාවය ප්‍රඥාව වශයෙන් දැක්විය හැකිය.
පූරිපූර්ණ ඤාණ ධාතුවෙන් නිෂ්පන්න මෙම වචනය පාලි භාෂාවෙන් පඤ්ඤා වශයෙන්
දක්වා ඇත.
බුදු දහමෙහි ඉගැන්වෙන ප්‍රඥාව ආර්ය ශ්‍රාවකයන් තුළ පවතින්නා වූ ප්‍රඥාව
සහ සම්බුදුපියාණන් වහන්සේ තුළ පවත්නා වූ ප්‍රඥාව වශයෙන් කොටස් දෙකකට
බෙදා දැක්විය හැක. සාරිපුත්ත මහරතන් වහන්සේ මහාකච්චායන මහරහතන් වහන්සේ
වැනි මහාශ්‍රාවක උත්තමයන් තුළ පැවැති ප්‍රඥාවට වඩා සුවිශේෂි මහා
ප්‍රඥාවක් බුදුපියාණන් වහන්සේ සතු විය. උන්වහන්සේ සතු ප්‍රඥාවට
ධර්මයෙහි පවසන්නේ මහා ප්‍රඥාව යන්නයි. ඒ මහා ප්‍රඥාව පිළිබඳව කෙටියෙන්
විමසා බලමු.
ප්‍රඥාව නම් වූ වචනයට විවිධ අර්ථ කථනයන් ලබාදී තිබුණත්, ධර්මයෙහි
ප්‍රඥාවට අර්ථ විවරණ සපයනුයේ නිර්වාණ මාර්ගයෙහි අත්‍යාවශ්‍ය අංගයක්
ලෙසිනි. තවද ධර්මය විශේෂ වශයෙන් දැනගැනීමේ අර්ථයෙන්ද ප්‍රඥාව හඳුන්වා
ඇත. එසේම ප්‍රඥාව සමාධිය තුළින් උපදවා ගත යුතු එකක් බවද අටුවාචාරීන්ගේ
අදහසයි. සීල, සමාධි, ප්‍රඥා වශයෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය බෙදා කරනු
ලබන විග්‍රහයේදී ද ඒ බව තහවුරු වෙන අතර එහිදී ද ප්‍රඥාව විදර්ශනා නුවණ
වෙන බව තහවුරු වේ.
සමස්තයක් ලෙසින් ප්‍රඥාව යනු විදර්ශනා නුවණ බව වටහා ගෙන ආර්ය
සත්‍යාවබෝධයේදී බුදුපියාණන් වහන්සේ සතු වූ ඒ මහා ප්‍රඥාව කෙබඳු එකක්
දැයි විමසා බැලීම වටී. ඒ අනුව ලෝක ස්වභාවයෙන් අවබෝධ කර ගැනීමේදී ඒ ඒ
ස්ථල නියෝජනය කරන අය එම ප්‍රස්තුතයන් වටහා ගන්නා ආකාරය බුදුපියාණන්
වහන්සේ මෙහිදී මනා ලෙස විග්‍රහ කොට ඇත.
පෘථග්ජනයා පඨවිය හඳුනා ගනියි. ඔහු පඨවිය තමාගේ කොට ගනියි. පඨවියෙහි
සතුටුවෙයි. ඇළෙයි. ඊට හේතුව ප්‍රථග්ජනයාට ඒ පඨවිය පිළිබඳව කිසිදු
අවබෝධයක් නැතිකමය. සේක පුද්ගලයා පඨවිය තේරුම් ගනියි. පඨවිය මගේ යැයි
ගැනීමට පැකිළෙයි. පඨවියෙහි ඇලීමට පැකිළෙයි. ඊට හේතුව පඨවියට අදාළ කරුණු
තේරුම් ගතයුතු යැයි ඔහු දැන සිටීමය. අසේඛ පුද්ගලයා පඨවිය අවබෝධ කර
ගනියි. පඨවිය මගේ යැයි නොගනියි. පඨවියෙහි නො ඇළෙයි. ඊට හේතුව ඔහුට හොඳ
අවබෝධයක් තිබීමය. තථාගතයන් වහන්සේද පඨවිය අවබෝධ කර ගනියි. පඨවිය තමාගේ
යැයි නො ගනියි. පඨවියෙහි නො ඇලෙති. ඊට හේතුව උන්වහන්සේට පිරිපුන්
අවබෝධයක් තිබීමය.
මෙයින් පැහැදිලි වන්නේ අසේඛ පුද්ගලයාගේ දැනුම සම්පූර්ණ එකක් නොවන බවත්,
ඔහුට ඇත්තේ ප්‍රස්තුත කාරණයන්ට අදාළ වූ දැනුමක් බවත්, තථාගතයන් වහන්සේට
එම සෑම ප්‍රස්තුතයක්ම ඉක්මවා යන දැනුමක් ඇති බවත් ය. උන්වහන්සේගේ දැනුම
හැඳින්වීමේ පරිඤ්ඤාතන්තං යනුවෙන් යෙදූ පදයෙහි අදහස් කරන්නේ කෙලවරටම
දැනගත් යන්නයි. මූල පරියාය සූත‍්‍රයට අනුව උන්වහන්සේ “සබ්බසෝ ආසවානං
ඛයා” යනුවෙන් සියලු අයුරින් ආශ්‍රය දුරු කළ තැනැත්තෙකි. රහතන් වහන්සේ
වනාහි ආසවක්ඛය යනුවෙන් දක්වා ඇත. සරලව පවසන්නේ නම් රහතන් වහන්සේලාගේ
දැනුම අදාළ ප්‍රස්තුතයන්ට සීමාව පවතී. ඒවා ඉක්මවා යන්නේ නැත.
බුදුරදුන් උන්වහන්සේ සතු වූ ඒ මහා දැනුම සාරගයකට උපමා කොට ඇත.
උන්වහන්සේ ඤාණ සාගරයකි. ප්‍රඥා සාගරයකි. අන් කිසිදු ශ්‍රාවකයෙකු තුළ
නොතිබුණු මහා ඤාණ සම්භාරකට උරුමකම් කීමට බුදුපියාණන් වහන්සේට හැකි විය.
බුදුපියාණන් වහන්සේ මහා සීලස්කන්ධයෙන්ද, මහා සමාධිස්කන්ධයෙන්ද, මහා
ප්‍රඥාස්කන්ධයෙන්ද, මහා විමුක්තිස්කන්ධයෙන්ද මහා විමුක්ති
ඤාාණදර්ශනස්කන්ධයෙන් ද සමන්විත වූ බැවින් මහා ප්‍රඥා නම් වූහ. සතර
සතිපට්ඨානය, සතර සෘද්ධිපාද, සතර සම්‍යක් ප්‍රධාන විර්යය, පඤ්ච
ඉන්ද්‍රිය, පඤ්ච බල, සප්ත බොජ්ඣංග ධර්ම, ආර්ය අෂ්ඨාංගික මාර්ගය ආදී
නිවනට උපකාරි වන්නා වූ බෝධිපාක්ෂික ධර්මයන් ගැන උන්වහන්සේට අන්‍ය
මහරතුන්ගේ දැනුම ඉක්මවාලන සුළු වූ දැනුමක් තිබූ බැවින් උන්වහන්සේ මහා
පුඥාවෙන් අගතැන්පත් වූහ.
බුදුපියාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ඤාණය, චතුවේසාරජ්ජ ඤාණය, ෂඩ්
අසාධාරණ ඤාණ, දසබල ඤාණ, චුද්දස ඤාණ, සෝළස මහා ඤාණ, තෙසැත්තෑ ඤාණ,
සත්සැත්තෑ ඤාණ ආදි මහා ඤාණ සම්භාරයකින් යුක්ත වූ බැවින් මහා
ප්‍රඥායාණන් වහන්සේ වූහ.
බුදුරජාණන් වහන්සේට ලොව සිටින අන් කිසිදු දෙවියෙකුට හෝ බ්‍රහ්මයෙකට හෝ
මාරයෙකුට හෝ බ‍්‍රාහ්මණයෙකුට හෝ ශ්‍රමණයෙකුට හෝ කිසිවෙකුට නැති තමනට ම
පමණක් උරුම වූ විශාරද ඤාණ හතරක් පැවැතුණි.තමන් වහන්සේ සම්‍යක් සම්බුද්ධ
වෙමි යැයි ප්‍රතිඥා කරන විටද, තමන් වහන්සේ ක්ෂාණශ්‍රවයෙකු වෙමි යැයි
ප්‍රතිඥා කරන විටද, තමන් වහන්සේ විසින් යම් යම් අන්තරායකර ධර්ම දේශනා
කරන විටද, එය එසේ නොවේ යැයි කීමට සමත් කිසිවෙකුත් අභියෝගයට ලක් කළ හැකි
කිසිවෙකුත් නැති බවත්, බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා වදාළ ධර්ම
මාර්ගය අනුගමනය කළත් තමාට ඒ තුළින් සියලු දුක් කෙළවර කළ නොහැකි විය. එය
දුක් කෙළවර කළ හැකි මාර්ගයක් නොවේ යැයි පැවැසිය හැකි කිසිවෙකුත් ලොව
නොවේ යැයි බුදුරජාණන් වහන්සේ විසින් පවසා තමන් වහන්සේ මේ කාරණා හතරින්
විශාරද භාවයට පත්ව ඇති බවත් සිහිපත් කොට ඇත. එයද බුදුපියාණන් වහන්සේගේ
මහා ප්‍රඥාවෙහි ස්වභාවයකි.
උන්වහන්සේට අනු ශ්‍රාවකයන්ට නොමැති විශේෂ ඤාණ හයක් විය. ඒවා ෂඩ්
අසාධාරණ ඤාණ නම් වේ. 1. ඉන්ද්‍රියපරෝපරියත්ති ඤාණය, 2. ආසයානුසය ඤාණය,
3. යමක පටිභාරිය ඤාණය, 4. මහාකරුණාසමාපත්ති ඤාණය, සබ්බඤ්ඤුත ඤාණය යනු ඒ
හයයි. උන්වහන්සේ ලෝක සත්ත්වයා කෙරෙහි මහා කරුණාවෙන් ධර්මය දේශනා කරන
විටදී තමන් වහන්සේ සතු වූ මේ සුවිශේෂ කාරණයන්ගේ උපකාරය ලබා ගත්හ. සිය
ශ්‍රාවකයන් ඉක්මවීමේදී එක් රාමුවකට කොටු නොවී විවිධ ක්‍රමෝපායයන්
භාවිතා කරන ලද්දේ මේ ෂට් අසාධාරණ ඤාණයන් තුළින් ඒ ඒ සත්ත්වයන්ගේ චිත්ත
ස්වභාවයන් මනා ලෙස තේරුම් ගත් බැවිනි. විශේෂයෙන් මේ ඤාණ හය අතරිනුත්
ඉන්ද්‍රිය පරෝපරියත්ති ඤාණය සහ ආසයානුසය ඤාණය උන්වහන්සේ වඩාත්
ප්‍රයෝජනයට ගත්හ.
යම්කිසි පුද්ගලයෙක් තමන් වෙතට පැමිණෙන විටදී උන්වහන්සේ මේ
ඉන්ද්‍රි‍්‍රයපරෝපරියත්ති ඤාණය තුළින් අසවලාට ධර්මය අවබෝධ කර ගැනීමේ
හැකියාව තිබේදැයි මනා ලෙස විමසා බලති. සත්ත්වයෝ වනාහි අල්පරජස්ක හා
මහාරජස්ක වශයෙන් දෙ කොටසකි. එසේම ඔහුන්ගේ සද්ධා, විරිය, සතිය, සමාධිය
හා ප්‍රඥාව ඉන්ද්‍රිය ධර්ම හීන, මධ්‍යම, ප්‍රණීත වශයෙන් කොටස් තුනකට
වර්ග කොට ඇත. ඒ ඒ පුද්ගලයාගේ සද්ධා ඉන්ද‍්‍රිය ධර්මයන්ගේ හීන මධ්‍යමාදි
ප්‍රමාණයන් මනා ලෙස දැක ගන්නා බුදුපියාණන් වහන්සේ ඔවුනට ඒ ඉන්ද්‍රිය
ධර්මයන් පරිපාකයට පත්වෙන ලෙසින්, විදර්ශනා නුවණ ලැබිය හැකි ලෙසින්
ධර්මය දේශනා කරති. එවන් හැකියාවක් තිබෙන්නේ බුදුරජාණන් වහන්සේටම පමණි.
එසේම ඒ ඒ පුද්ගලයාගේ අදහස් හා යටි සිතෙහි ස්වභාවය මනා ලෙස දැනගෙන ධර්ම
දේශනා කිරීම බුදුපියාණන් වහන්සේගේ සිරිතකි. උන්වහන්සේ චුල්ලපන්ථක
හිමියන්ට රෙදි කැබැල්ලක් ස්පර්ශ කරන්නට දී නිවන් මඟ පෙන්වූයේද,
කිසාගෝතමියට අබ සොයා යන්නටදී නිවන් මඟ පෙන්වූයේද ආලවකට අවනත වී නිර්වාණ
මාර්ග දර්ශනය ඇතිකළේද ඒ මහා ප්‍රඥාාවේම එක් එක් ක්‍රමවේදයන් ලෙසනි.
තමන් වහන්ගේ සතු වූ ඒ මහා ඤාණයන් නිසා කිසිවෙකුත් අපහසුතාවට පත්කළේ
නැත. ඒ සියලු ප්‍රඥා බලයන් උපයෝගි කර ගත්තේ තවත් කෙනෙකුගේ යහපත
වෙනුවෙන්ම ය. ලොකු කුඩා උගත් නූගත් සෑම සමාජ තරාතිරකම අය ඇසුරු කළේ මහා
ප්‍රඥාව නිසා මානයට පත් නොවු නිසාය. තමන් වහන්සේ සතුව මහා ප්‍රඥාව සැම
විටම දුකින් පෙළෙන සත්ත්වයාගේ සංසාර විමුක්තිය පිණිසම යොමු කරන්නට
බුදුපියාණන් වහන්සේ උත්සුක වූහ. ධර්මය දේශනා කළේ හුදෙක් ශ්‍රාවකයාගේ
දැනුම වර්ධනය කිරීම සඳහාම නොවේ. ආර්ය සත්‍යය ගැන දැනුවත් කොට ඒ හමුවේ
තමන් කළ යුතු කාර්යභාරය වටහා ගෙන ඒ බලාපොරොත්තු ඉටුකර ගැනීමට මෙහෙයවනු
ශ්‍රාවක පිරිසක් උන්වහන්සේ නිරන්තරයෙන් අපේක්ෂා කළහ. සත්‍ය ඤාණ, කෘත්‍ය
ඤාණ, කෘත ඤාණ වශයෙන් මේ ආර්ය ධර්මය අවබෝධ කරගත යුතු බව බුදුපියාණෝ
නිරන්තරයෙන් ම තම ශ්‍රාවකයන්ට අවධාරණය කර ඇත්තේ එබැවිනි.
- නයනා නිල්මිණි
පඤ්ඤා ලොකස්මිං පජ්ජොතො - නුවණ ලොව පහන වෙයි -
ස. නි. පජ්ජොත සූත්‍රය |