ප්‍රඥාවෙන් ගෙවිය යුතු යුග දිවිය
කොස්වත්තේ
අරියවිමල හිමි
බුදුදහම ව්‍යුහය අතින් ලෝකයේ සෙසු සියලු ආගම්වලින් වෙනස් ය. ශ්‍රාවකයා
වෙතින් ප්‍රඥාසම්පන්න අවදිකමක් පදනම් කරගත් චරණයක් බුදුදහමින්
අපේක්ෂිතයි. යුගදිවිය ද බුදුදහමේ නිර්දිෂ්ට වන්නේ ගෘහ ජීවිතය හා බැඳුණ
දැහැමි චරණයෙහි අන්තර්ගත වූවක් හැටියට ය. ගිහි කාමභෝගී අරිය ශ්‍රාවකයන්
පිළිබඳව බුදුදහමේ සාකච්ඡා වන්නේ යුගදිවිය නොසලකා ඉවත ලූවක් නොවන
බැවිනි. සෝවාන් සකදාගාමි ආර්ය පුද්ගල අවස්ථා දෙක ම යුගදිවි ගෙවන
ගෘහස්ථනයට ද අදාළ ය. ඒ පිළිබඳ සාකච්ඡා වන සූත්‍ර දේශනා බොහෝ ය.
ඒවා අතර අංගුත්තර නිකායේ මිගසාලා සූත්‍රයෙහි සඳහන් වන්නේ මියයන තෙක් ම
ස්වදාර සන්තුෂ්ටියෙන් විසූ ඉසිදත්ත නමැත්තා සකදාගාමි අයකු බව
බුදුරජාණන් වහන්සේ වදාළ සැටියි. ගෘහස්ථ ජීවිතයක් ගතකළ ද බුදුදහම ඇසුරට
පත් වූ මේ අනගි අවස්ථාවේ අද යුගයේ පුද්ගලයා ද කල්පනා කළයුත්තේ
දුගතියෙන් මිදුන නිවන පිහිට කොටගත් මනසක් ස්ථාවර කරගැනීම කෙරෙහි ය.
සසුනෙන් අවම වශයෙන් හෝ ගතයුතු ප්‍රයෝජනය එයයි. තරුණ මහලු වෙනසක් නැතිව
ගිහි සුදුරෙදි හඳින කාමභෝගී උපාසකයෝ හා උපාසිකාවෝ සසුන් කාර්යයෙහි
නියැළෙන අය වෙති. (සාසනකරා) තථාගත අවවාදය කරන අය වෙති. (ඔවාද පතිකරා)
කුසල් පිළිවෙතෙහි නිසැක බවින් සමන්විත අය වෙති. (තිණ්ණ විචිකිච්ඡා)
හරයක් ඇත්තේ කොයි සසුනේ දැයි විමතියට නො පැමිණි අය වෙති. (විගත කථංකථා)
පුද්ගලයා යනු නිරන්තර පරිවර්තනශීලී රූප, විඳීම්, හැඳීනීම්, චේතනා,
දැනීම් ක්‍රියාවලියක් බව දන්නා අය වෙති. (වෙසාරජ්ජප්පත්තා) මේ ශාස්තෘ
ශාසනය (පණිවිඩය) පිළිබඳ අනුන් මත නො පිහිටි තමාගේ ම වැටහීමක් ඇතිකරගත්
අය වෙති. (අපරප්පච්චයා සත්ථුසාසනෙ) මේ ගුණ ඇත්තෝ දුගතියට හිමිකම් නො
කියති. නිවන පිහිට කරගත් පිරිසකි. මේ ගුණාත්මක වෙනස ඇති අය මමත්වය
සංකල්පීය මවා ගැනීමක් බව දනිති.
එබැවින් එවන් අය පංචකාමය භුක්ති විඳින්නේ ගිජු බවකින් තොරව ය. (අගථිතො)
කාමයෙහි මුළා වීමකින් තොරව ය. (අමුච්ඡිතො) සිතින් ගිලගැනීමකින් තොරව ය.
(අනජ්ඣාපන්නො) කාමයෙහි ආදීනව දන්නා අය හැටියට ය. (ආදීනව දස්සාවී)
කම්සැපත භුක්ති විඳින්නේ අතහැරීමට ඇති දෙයක් බව දැනගෙන ය.
(නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති) මමත්වය පෙරට නො දමාගත් අයගේ ස්වභාවය එයයි.
පවිටු බලවේග වලට සිත් සේ ඔවුන්ව නැටවිය හැකි නො වේ. (න යථාකාම කරණීයො
පාපිමතො) ස්වභාවය එබඳු නම් කොතරම් අගයවත් ද? අද සමාජයට මේ අවබෝධය හා
සැකැස්ම වඩවඩාත් අවශ්‍යයි. යුගදිවියට පා තැබීමට සැරසෙන යුවළක් අපේක්ෂිත
යුගදිවිය ගැන බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව කෙබඳුදැයි පළමුව සොයා
බැලිය යුතුම ය. ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේගෙන් ඒවා විමසා දැනගතයුතුම
ය. බුදුදහමින් කථා කරන්නේ ශ්‍රද්ධාව, ශීලය, ශ්‍රැතය, ත්‍යාගය හා
ප්‍රඥාව යන ශාසනික සම්පත් සහිත පුද්ගලයන්ගේ යුගදිවිය ගැනයි. පුණ්‍යවන්ත
දරුසම්පත් පිණිස වූ සාමකාමී සදාචාරවත් ගෘහ ජීවිතයක ධාර්මික පදනම එයයි.
පස්පවට, දස අකුශලයට අයත් පවිටු හැසිරීම් සහිතව යුගදිවියේ කළමනාකරණය
සැකසිය හැකි නොවේ. යුවතිපති දෙදෙන දුශ්ශීල නම් (උභො ච හොන්ති දුස්සීලා)
මසුරුකමින් යුතු නම් (කදරියා) නින්දා පෙරදැරි වචන සහිත නම් (පරිභාසකා)
ඒ අඹු සැමි දෙදෙනා නීච පහත් එක්වීමකට පත් වූ අය වෙති. (තෙ හොන්ති
ජානිපතයො ඡවා සංවාසමාගතා) යුගදිවියේ තතු මෙසේ වුවහොත් සහනයක් සැපක්
සතුටක් කොයින්ද? හැසිරීම, වචනය, සිතිවිලි පවිටු වන විට එවන්
අඹුසැමියන්ගේ දරුසම්පතට දායාද වන්නේ ද එයම ය.
එහෙයින් දෙදෙනා ම ශ්‍රද්ධා සම්පත්තියෙන් සමන්විත වියයුතුයි. (උහො
සද්ධා) යමක් ඉල්ලා පැමිණෙන්වුන්ගේ වචනය වැටහෙන අය වියයුතු ය. (වදඤ්ඤා)
මින් අදහස් වන්නේ මසුරුසිත් නැති බවයි. (වීත මච්ඡරා) ආත්ම සංයමයෙන්
යුතු අය විය යුතු ය. (සඤ්ඤතා) දැහැමි දිවිවැටුම් ඇත්තෝ විය යුත්තාහ.
(ධම්මජිවිනො) එබඳු යුවතිපති යුවළ එකිනෙකා කෙරෙහි පි‍්‍රයශීලී වචන
ඇත්තාහු වෙති. (තෙ හොන්ති ජානිපතයො අඤ්මඤ්ඤං පියංවදා) ධර්මානුකූල
සැකැස්මකින් යුත් මේ සමසීලී යුවළගේ භෝග සම්පත් ද අභිවෘද්ධියට පත් වේ.
(අත්ථා සම්පවුරා හොන්ති) එකිනෙකා එකිනෙකාගේ පහසුව පිළිබඳව සැලකිලිමත්
වෙමින් ක්‍රියා කරයි. (ඵාසත්ථං උපජායති) මින් කියැවෙන්නේ අඹුසැමි
දෙදෙනකු අතර එකිනෙකාට ඇති කැපවීමයි. මෙසේ දැහැමිව කටයුතු කළත් සමාජ
ජීවිතයේ දී සතුරන් ද සිටිය හැකි ය. එහෙයින් බුදුරජාණන් වහන්සේ මේ
ප්‍රසන්න යුගදිවිය දැක සතුරන්ගේ සිතට දොම්නස් ඇතිවීමට ද පිළිවන් බව
වදාරති. (අමිත්තා දුම්මනා හොන්ති) මෙය ද සමාජ ජීවිතයේ දී මුහුණ දෙන්නට
සිදුවන ස්වභාවයකි. එවන් පසුබිමක දී ඇති රැකවරණය නම් ධර්මයම ය.
“ඉධ ධම්මං චරිත්වාන සමසීලබ්බතා උභො
නන්දිනො දෙවලොකස්මිං මොදන්ති කාමකාමිනො”
“සමාන ශීලව්‍රත ඇති මේ අඹුසැමි දෙදෙනා මෙලොව ධර්මයෙහි හැසිරී සතුටු වන
අතර දෙව්ලොව සැප කැමති වන්නාහු ප්‍රමුදිත වෙත්.” එබඳු සතුටක් ඔවුනට
ඇත්තේ ධර්මයෙහි හැසිරෙන්නවුනට දුගති භයක් නැති බැවිනි.
බුදුදහම යුගදිවිය ගැන කතා කරන්නේ හුදෙක් දෙදෙනකුගේ ජීවවිද්‍යාත්මක
සබඳතාවක් හැටියට පමණක් සලකාගෙන නොවේ. එය ආධ්‍යාත්මික අර්ථයෙන් ද නො
සිස් විය යුතු ය. කා අතරත් ප්‍රකට සිඟාලෝවාද සූත්‍රයෙහි දී ගෘහස්ථයකු
විසින් ගැටලු විරහිතව පැවැත්විය යුතු අනිවාර්ය සමාජ සම්බන්ධතා ක්‍රම
සයක් ගැන බුදුරජාණන් වහන්සේ සඳහන් කරති. ඒ සම්බන්ධතා සයෙන් පැමිණෙන්නට
ඉඩ ඇති ගැටලු වළක්වාලීම යන අර්ථයෙන් “ඡදදිසා පටිච්ඡාදනය” යන භාවිතාව
සූත්‍රයෙහි දැක්වේ. මෙය හුදෙක් පුහුදුන් පුද්ගලයන් සලකාගෙන කරන ලද
දේශනාවක් නොවේ. “ගෘහස්ථ ආර්ය ශ්‍රාවකයා’ සලකා ගෙන කරන ලද්දකි. අද බොහෝ
විට මේ සූත්‍රය ගැන කතා කරන්නේ ඒ බව අමතක කරමිනි. ඒ අවධාරණය සූත්‍රයෙහි
සඳහන් වන්නේ “කථඤ්ච ගහපතිපුත්ත අරියසාවකො ඡද්දිසා පටිච්ඡාදී හොති” යන
වාක්‍යයෙනි. සූත්‍රයෙහි මූල හරියේ දී ආය¸විනයෙහි (අරියස්ස විනයෙ) සදිසා
නමස්කාරය හැටියට ද හැඳින්වේ. එයින් අඹුසැමි සම්බන්ධතාව අයත් වන්නේ
බටහිර දිශාවටය. (පුත්තදාරා දිසා පච්ඡා)
ගෘහස්ථ ආර්ය ශ්‍රාවකයන්ගේ අඹුසැමි සම්බන්ධතාවට අයත් ආය¸විනය දැන් අපි
හඳුනා ගනිමු. ඒ සබඳතාවට අනුව ස්වාමියා කරුණු පහකින් බිරිඳට උපස්ථානශීලී
වෙයි. බිරිඳට ස්තුති පූර්වක වචනයෙන් සංග්‍රහ කිරීමෙන් ද සම්මානනාය)
අවමන් බස් නො කීමෙන් ද (අනවමානනාය) පරඹුවන් කරා නො යාමෙන් ද
(අනතිචරියාය), ගෘහ කටයුතුවල වගකීම බිරිඳට බාර දීමෙන් ද
(ඉස්සරියවොස්සගෙන) තම ශක්ති පමණින් වස්ත්‍රාභරණ සපයා දීමෙන් ද
(අලංකාරානුප්පදානෙන) යන කරුණු පසිනි. එසේ සැමියාගේ උවටැනට ලක්වන
බිරිඳක් පෙරළා කරුණු පසකින් ස්වාමියාට සානුකම්පිත වෙයි. ගෘහකටයුතු මනා
ලෙස සපුරාලයි. (සුසංවිහිතකම්මන්තා ච හොති) පරිවාර ජනයන්ට මැනැවින්
සංග්‍රහශීලී වෙයි. (සුසංගහිත පරිජනාච) සැමියා හැර අන් පුරුෂයකු
සිතිනුදු නො පතයි. (අනතිචාරිනී ච) ගෘහ සම්පත් මැනැවින් ආරක්ෂා කරයි.
(සම්භතං අනුරක්ඛති) සියලු කටයුතුවල දක්ෂව ද නොමැළිව ද ක්‍රියා කරයි.
(දක්ඛා ච හොති අනලසා සබ්බකිච්චෙසු) මෙවන් ගෘහජීවිතය උපද්‍රව රහිත ය.
(ඛෙමා) භය රහිත ය. (අප්පටිභයා)
මේ එක් එක් කරුණක මනෝ විද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක වටිනාකම වෙන
වෙනම සිතා බලන්න. ලෞකිකාර්ථයත් ආධ්‍යාත්මකාර්ථයත් නුවණින් සිතා බලන්න.
දිට්ඨධම්මිකාර්ථයත් සම්පරායිකාර්ථයත් නුවණින් සිතා බලන්න. තවත් අවධානය
යොමු කළයුතු දෙසුම් බොහෝ වුවත් සංක්ෂිප්ත ලිපියකින් දැක්විය හැකි පමණ
මෙහි සඳහන් කළෙමු. බලවත් ම අකුශලය වන මෝහය හෙවත් මමත්වයෙන් මැඩුණ සිත්
වලට මේවායේ වටිනාකම් පෙනෙන්නේ නැති තරම්ය. බුදුදහමේ හර පද්ධතිය
ක්‍රිස්තු පූර්ව යුගයේ සිට අප සමාජයට දායාද වී තිබුණත් අද බහුතර යුග
ජීවිත අවුල් සහගත වී ඇත්තේ පුහුදුන් හරයන් ලුහුබඳින නිසාම ය. පුහුදුන්
හැඟීම්වලින් ජීවිතය දෙස නො බලා ප්‍රඥාසම්පන්න වන්න.
භරියාව පරමා සඛා - බිරිඳ උතුම්ම ම යහළුවා -
ස. නි.1 මිත්ත සුත්‍රය |