උච්චාසයන
මහාසයනා ශික්ෂා පදය
මීරිගම මිනිඔළුව විද්‍යාවාස පිරුවන් මහා විහාරාධිපති,
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක
ශාස්ත්‍රපති
මකුලෑවේ
විමල නා හිමි
අෂ්ටාංග සීල සමාදනයේ දී කියනු ලබන ශික්ෂාපද අතර අට වැන්න වශයෙන්
සංග්‍රහ කොට ඇත්තේ උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි (උස්
අසුනින් සහ මහ අසුනින් වැළකීම නම් වූ ශික්ෂාපදය මම සමාදන් වෙමි)
යන්නයි. එම ශික්ෂාපදය දසසිල් පද අතර නව වෙනි ශික්ෂාපදය බවට පත් වේ. එයට
හේතුව “නච්ච ගීත වාදිත විසූක දස්සනමාලා ගන්ධවිලේපන ධාරණ මණ්ඩන
විභූසනට්ඨානා වේරමණී සික්ඛාපදං” යන හත්වන සික පදය “නච්ච ගීත වාදිත
විසූක දස්සනා වේරමණී යනුවෙන්ද, මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන
විභූසනට්ඨානා වේරමණි” යනුවෙන් ද ශික්ෂාපද දෙකක් වශයෙන් සලකා සමාදන්
කරවන බැවිනි.
දිනපතා පන්සිල් රකින පුද්ගලයා ලෝකයේ ඇති භයානක සැහැසි ක්‍රියාවන් නොකරන
දැහැමියෙකු වේ. සත්ව ඝාතනයෙන්, හොරකමෙන්, පහත් හැසිරීමෙන්, බොරු
කීමෙන්, මත් පැන් පානයෙන් තොර ජීවිතයක් ගෙවයි. ආගම දහම අනුව එසේ
හික්මෙන පුද්ගලයා බුදු දහම අනුව පොහොය අටසිල් සමාදන් වීමෙන් පසු දිනකට
එක වේලක් පමණක් ආහාර ගන්නා නැටුම්, ගැයුම්, වැයුම් ආදිය නො බලන මිටි
අසුනක බද්ධ පර්යංකයෙන් සිටීමට පුහුණු වන, සිංහ, සෙය්‍යාවෙන් සැතපෙන සරල
පැවතුම් ඇති අයෙක් බවට පත්වෙයි. දසසිල් සමාදානයට හුරුවීමෙන් සිදු වන්නේ
ඔහු තවදුරටත් ඒ දැහැමි සරල දිවි මඟට හුරු වීමයි. දසසිල් රකින අවස්ථාවේ
ඔහු ධන පරිහරණයෙන් පවා ඈත් වී ජීවත් වීමට පුහුණුව ලබයි. එසේ අටසිල්
රැකීමෙන් ද, දස සිල් රැකීමෙන් ද, උච්චාසයන මහාසයන අතහැර සුඛෝපභෝගී
භාණ්ඩ පරිහරණය නොකරන කෙනෙකු අපට හමුවේ නම් ඒ තත්ත්වයට පත් වීම ලෙහෙසි
පහසු කාර්යයක් නොවේ. ඒ දීර්ඝ කාලයක් පුහුණුවීමෙන් පසු හුරුකර ගත යුතු
තත්ත්වයෙකි.උච්චාසයන මහාසයන වචන දෙක පිළිබඳ ව ධර්මානුකූලව දැනීමක්
ලබාගෙන සිටීම ශික්ෂක ශිෂ්‍ය දෙපක්ෂයටම ප්‍රයෝජනවත්ය. පහත දැක්වෙන
උපුටනයන් කියවන්න. “උච්චාසයනන්ති පමාණාතික්කන්තං වුච්චති මහාසයනන්ති
අකප්පිය සයනං, අකප්පියත්ථරණඤ්ච තදුභයම්පි සාදියිතුං න කේනචි පරියායේන
වට්ටති (පරමත්ථජෝතිකා)උච්චාසයන නම් පමණ ඉක්මවා කළ අසුනයි. මිටි රියනකට
වඩා උස් වූ පා ඇති ඇඳ පුටු ආදියයි. මහාසයන නම් නොකැපවූ ඇතිරිල්ලයි. රන්
රිදී ආදියෙන් මල්කම් කළ අගනා පලස් ආදිය බිම හෙලා ප්‍රයෝජන ගත්තත් මහසුන
ම වේ.(සූත්‍රාර්ථශේඛරය)ආසනයක පාදවල ප්‍රමාණය විට්ටමේ යටි පැත්තේ සිට
පොළොවට සුගත් අඟලෙන් අඟල් අටක් වෙයි. ඒ ප්‍රමාණයට වඩා උස් වුවහොත් එය
උච්චාසන ගණයට වැටෙයි. මධ්‍යම පුරුෂයෙකුගේ අඟලෙන් අඟල් තුනක් සුගත් අඟල
නමින් සැලකේ. ඒ අනුව සුගත් අඟල් අටකට අඟල් විසි හතරකි. අට්ඨ කතාවෙහි
දැක්වෙන පරිදි සුඟත් අඟල් අට වඩුරියනට සමාන වේ. සාමාන්‍ය සම්මතය තුළ
ඇත්තේ මිටි රියනකට වඩා උස පාද ඇති ආසන උච්චාසයන වශයෙන් සැලකිය යුතු
බවය. මහාසයන සේ සැලකෙන්නේ අධික වටිනාකමක් ඇති ආසනයි. පුළුන් කොට්ට
මෙට්ට ද උච්චාසයන සංඛ්‍යාවට ගැනේ. ඒවා ඉසට පයට පාවිච්චි කිරීම වරදක්
නැත. එහෙත් පුළුන් මෙට්ට වශයෙන් යොදා තැනූ ඇඳ පුටු පාවිච්චිය තහනම් ය.
ඒ සුඛෝපභෝගි ගණයට වැටෙන නිසාය.තෙරුවන් සරණ ගිය පන්සිල් රකින සැදැහැති
ගිහි බෞද්ධයෙකුට උච්චාසයන මහාසයන පරිහරණය කිරීම ගැන බුදු දහමින් කිසිදු
තහනමක් නැත. එහෙත් ඒ තැනැත්තාට අටසිල් සමාදන් වුවහොත් ඒ සිල් පවාරණය
කරන තුරු ම ඔහුට උසසුන්, මහසුන් පරිහරණය කිරීමෙන් වැළකී සිටීමට සිදු
වේ. ඒ සඳහා ඔහුට නීතියෙන් බල කරන ආරක්ෂකයන් නැතත්, තමා සමාදන් වූ
ශික්ෂා පදය කැඩුණොත් හෝ කැඩුවොත් ඔහු ආත්මිය වශයෙන් පරාජිතයෙකු බවට පත්
වේ. ඒ බව දන්නා අටසිල්, දසසිල් සමාදන් වන උපාසක, උපාසිකාවෝ නිහඬ ආගමික
වතාවත්වල යෙදෙමින් බණ භාවනා කරමින් උසසුන් මහසුන් පරිහරණය නො කරමින්
නිහඬ පරිසරයක රුක්මුල් ආවාස කුටි ආදියේ බිම පැදුරු එලාගෙන බද්ධ
පර්යංකයෙන් හෝ අර්ධ පර්යංකයෙන් දවස ගත කරති. එබඳු පිරිස් ලක්ෂ ගණනක්
එක්තැන් ව වාසය කළත් එතැන ඇත්තේ නිහඬ බව පමණි. “රහතන් වහන්සේලා
ජීවිතාන්තය දක්වා අනුගමනය කළ උච්චාසයන මහාසයන විරමණයෙන් අද දිවා
රාත්‍රී දෙකේ කාලය ගෙවීමට තමා පොරොන්දු වූ බව පුනරාවර්ජනය කරන බැවිනි.
අටසිල් දසසිල් ආදී ඕනෑ ම සීලයක පිහිටා ජීවිතය ගත කිරීමට ගිහි
බෞද්ධයෙකුට කිසිදු බාධාවක් නැත. එහෙත් දිනපතා පන්සිල් රැකීමට ඔහු
පොරොන්දු වූවෙකි. බෞද්ධ සමාජය මඟින් ඈත අතීතයේ සිට ම පෝය දින වෙන්කරගෙන
ඇත්තේ අටසිල් හෝ දසසිල් රකින දිනය වශයෙනි. එදින ඔහු විකාලභෝජනයෙන්
වළකී. සුවඳ විලවුන් පාවිච්චියෙන් ද, වටිනා ආභරණ පැළඳීමෙන් ද නැටුම්
ගැයුම් ආදියේ රස වින්දනයෙන් ද වළකී. සැප පහසු ඇඳ පුටු පරිහරණය නො කරයි.
සුඛෝපභෝගී ඇඳ ඇතිරිලි පරිහරණය නො කරයි.එසේ උසසුන් මහසුන් පරිහරණය නො කර
සිය නිවසේ හෝ පන්සලේ බෝ මළුවේ සෑ මළුවේ බුදු මැදුරේ නැතහොත් ගස් සෙවණක,
නිහඬ තැනක බද්ධ පර්යංකයෙන් හෝ වෙනත් ඉරියව්වකින් කාලය ගෙවයි. තමා සතු
මහා මන්දිර ඇඳ ඇතිරිලි ආදි කිසිවකින් දැන් ඔහුට ප්‍රයෝජනයක් නැත. ඒවා
තාවකාලික ව අතහැරීමෙන් ලැබෙන සැනසිල්ල පමණක් ඉතිරි ව ඇත. අපේ පැරණි
මහරජවරුන් පවා පොහොය දිනයන්හි පන්සලට පැමිණ, සිල් සමාදන් වී, සිල් ගත්
රට වැසියන් සමඟ එකට බිම ඉඳගෙන, දිවා රෑ ගත කළ සාහිත්‍යය ග්‍රන්ථයන්හි
දැක්වේ. ජන සන්ථව ජාතක කථාව මෙහිලා මනා නිදසුනකි. ජන සන්ථව රජතුමා තම
රට වැසියන් සමඟ පෝය දිනවලදී සිල් සමාදන් වී පළමුකොට ම අනුශාසනාවක්
කරයි. සිල් පවාරණය කළ පසු ද එම අනුශාසනාව ම නැවත කරයි. එයට ඇතුළත්
වන්නේ මිනිසකු මහලු වූ කල කිසිවක් කර කියා ගත නො හැකි ව සිතින් දුක්
විඳින කරුණු දහයකි. තමා තරුණ වියේ දී ධනයක් රැස් කර නො ගැනීම ආදී කරුණු
දහයක් එම අනුශාසනාවේ ඇත. එම දේශනාවෙහි ප්‍රතිඵලය වූයේ ජන සන්ථව රජුගේ
රාජ්‍යය අපරාධ කරුවන්ගෙන්, දූෂිතයන්ගෙන් වයස්ගත වී හිඟාකන්නන්ගෙන් තොර
සෞභාග්‍යවත් රාජ්‍යයක් වූ බව ය.අටසිල් පද අතර අට වැනි ශික්ෂාපදය වශයෙන්
සැලකෙන උච්චාසයන මහාසයන ශික්ෂාපදය ගිහි දස සීලයට ද, සාමණේර දස සීලයට ද
අන්තිම වශයෙන් උපසම්පදා භික්ෂුවක් විසින් රැකිය යුතු 220ක් වන ශික්ෂාපද
අතර දුක්කටාපත්තියකට ද අයත් වේ. පහත දැක්වෙන්නේ භික්ෂූන් වෙනුවෙන්
පැනවූ එම විනය ශික්ෂාපදයයි. “මහණෙනි, උච්චාසයන මහාසයන නො දැරිය යුතුය.
ඒ කවරේද? ආසන්දි (පමණට වඩා උස පා ඇති ආසනය) පල්ලංකෝ (පාදයන්හි රූප යෙදූ
ආසනය) ගෝණකෝ (අඟල් හතරකට වඩා දිග ලොම් ඇති පලස) චිත්තකෝ (රත්නයන්ගෙන්
විසිතුරු කළ එළු ලොම් ඇතිරිය) පටිකා (ලෝමයෙන් කළ සුදු ඇතිරිය), පටලිකා
(ඝනව මල් යොදා කළ එළු ලොම් ඇතිරිය), තුලිකා (පුළුන් පිරවූ ගුදිරිය)
විකතිකා (සිංහාදී සතුන්ගේ රූපවලින් විසිතුරු කළ එළු ලොම් ඇතිරිය),
උද්ධලෝමි (එක් පසෙකින් ලොම් මතුවී ඇති ඇතිරිය), ඒකන්තලෝමි (උඩ යට
දෙපසෙහි ම මතු වූ ලොම් ඇති ඇතිරිය) කට්ඨිස්ස (පටනූල් අතර රන් කෙඳි යොදා
කළ ඇතිරිය) කෝසෙය්‍ය (රත්නයන් අල්වා ඇති පට ඇතිරිය), කුත්තක (නිළියන්
දහසය දෙනෙකුට නැටිය හැකි ඇතිරිය), හත්ථත්ථර (ඇතා පිට හෙළන ඇතිරිය)
අස්සත්ථර (අසු පිට හෙළන ඇතිරිය), රථත්ථර (රියවල අතුරන ඇතිරිය),
අඡිනප්පවේණි (ඇඳේ පමණට දිවි සමින් මැසූ ඇතිරිය) කදලිමීග පවර පච්චත්ථරණ
(කදලි මුවන්ගේ සමින් කළ ඇතිරිය), සඋත්තරච්ඡද (රතු වියන් ඇති අසුන),
උභතෝ ලෝහිතකූපධානං (හිසට හා පයට රතු කොට්ට යොදා ඇති ඇඳ), යන මේවා යමෙක්
දරා නම් දුක්කටාපත්ති වෙයි.උච්චාසයන මහාසයන ශික්ෂාපදයෙහි දැක්වෙන මේ
උසසුන් මහසුන් නාමාවලිය දෙස බලන විට එදා ක්‍රි. පූ. හයවන සියවසේ
ඉන්දියාවේ භාවිත කෙරුණු උච්චාසයන මහාසයනවලට වඩා අගනා උසසුන් මහසුන්
වත්මන් යුගයේ භාවිතයේ තිබේද? නැද්ද? යන්න විමසිල්ලට භාජනය විය යුතුය.
බුදුරජාණන් වහන්සේට ඉහත කී ශික්ෂාදය පැනවීමට හේතු වූයේ ඡබ්බග්ගිය
භික්ෂූන් අධික සුඛෝපභෝගී ඇඳ ඇතිරිලි පාවිච්චියට පටන් ගැනීම ය. එම
භික්ෂූන්ගේ ඒ චර්යාව මහාජනයාගේ අප්‍රසාදයටත් දැඩි විවේචනයටත් ලක් වීම
නිසා චුල්ලවග්ග පාළියේ දැක්වෙන ඒ ශික්ෂාපදය පනවන ලදි. එම නිසා බුදුන්
දවස ඉන්දියාවේ ජීවත් වූ කාමසුඛල්ලිකානුයෝගීන් විසින් පරිහරණය කළ භාණ්ඩ
විස්සක් පමණ භික්ෂූන් වහන්සේලා පාවිච්චි නොකර අත් හැරියෝය. එයින් පසු
ගිහි ගෙවල සම් අතුරන ලද ආසනවල හිඳ ගැනීම පවා උන්වහන්සේලා නො කළහ. ඒ බව
දැනගත් බුදුරජාණන් වහන්සේ “මහණෙනි ගිහියන් සතු ආසනවල හිඳීමට නියම කරමි.
නිදා ගැනීමට නොවේ.” යන අනු ශික්ෂාවක් පනවා ඇත. (වැඩි විස්තර සඳහා ඛන්ධක
විනයේ චම්මක්ඛන්ධකය කියවන්න.) ච්චාසයන මහාසයන ශික්ෂාපදය ආවාසයක වැඩ
සිටින භික්ෂූන් විසින් ඇඳ ඇතිරිලි පාවිච්චි කළ යුතු ආකාරය ගැන අනුදැන
වදාළ ශික්ෂාපදයකි. එසේ ම එය භික්ෂූන් වැඩ වසන ආවාසයට, කුටියට සීමා
වූවකි. භික්ෂුවක් තුළ තිබිය යුතු නිහතමානී බව, සුභර බව, සැහැල්ලු බව
අල්පේච්ඡතාව ආදී උදාර ගුණාංගයන්ට පහර නො වැදෙන ආකාරයෙන් ආවාසයන්හි
භාණ්ඩ පරිහරණය හා පරිභෝජනය කළ යුතු බවට මෙයින් මාර්ගෝපදේශයක් සැපයේ. එය
පැවිදි පක්ෂයට මෙන් ම ගිහි බෞද්ධයන්ට ද, සාධාරණ මග පෙන්වීමක් බව
අටසිල්, දස සිල්, සාමණේර දසසිල්, උපසම්පදා සිල් යන සියලුම සීලයන් තුළ
මෙම ශික්ෂාපදය ඇතුළත් වීමෙන් පෙනී යයි.
පඤ්ඤා නරානං රතනං - ප්‍රඥාව මිනිසුන්ට රත්නයකි -
ස. නි.1 ජරාසූත්‍රය |