UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නච්ච - ගීත - වාදිත විසූකදස්සන -මාලාගන්ධ විලේපන - ධාරණ -මණ්ඩන - විභූසනට්ඨානා වේරමණී ශික්ෂා පදය

නච්ච - ගීත - වාදිත විසූකදස්සන -මාලාගන්ධ විලේපන - ධාරණ -මණ්ඩන - විභූසනට්ඨානා වේරමණී ශික්ෂා පදය

“නැටීම් - ගී ගැයීම් - බෙර ඈ (වාදන) වැයීම් විහිළු දසුන් දැකීමෙන්ද මල් සුවඳ ද්‍රව්‍ය විලවුන් දැරීමෙන් ද කයේ ලප කැලැල් හැර සැරසීමෙන් ද සම පැහැපත් කිරීම් හා අලංකරණ කිරීමෙන් ද වැළැකීම නම් වූ ශික්ෂාපදය සමාදන් වෙමි” යනු එහි අර්ථ යි.සිල් සමාදන් වන උවසුවා වේවා, උවැසියට වේවා, ඉහත කී කරුණු කුසල් වැඩීමට දියුණු කිරීමට, කාමයන්ගෙන් සිත වෙන් කැර තැබීමට බාධා කරන දහම් වෙයි. එමඟින් සිදු වනුයේ සිත කාමයට ඇදී යෑමෙකි. රාගයට ළං වීමෙකි. සිත කෙලෙසුන්ගෙන් නිදහස් කැරගෙන, නෛෂ්ක්‍රම්‍යය වඩන තැනැත්තාට ඉහත සඳහන් ශික්ෂාපදයෙන් ද මහත් ආවරණයක්, සංවරණයක්, කෙලෙස් දුරු කිරීමක් සිදු කෙරෙයි.

නැටුම් - ගැයුම් - වැයුම් - දසුන් සමස්ත වශයෙන් විසුළු දසුන් ලෙස අටුවාහි දැක්වේ. නළුවකු හෝ නළු - නිළි සමූහයක් හෝ එක්ව කරන විවිධ ප්‍රභේද වූ නර්තන - රංගන, මහාභාරත – රාමායණාදි කථා කීම හා ඇසීම, අතින් බෙර ගැසීම, අත්තල ගැසීම, වේතාල (ලීමුවා තාලම් පට ගැසීම හෝ මන්ත්‍ර ජප කොට මළ සිරුරු නැඟිටුවීම), කුම්භථූන (සිවුරැස් බෙර වැයීම) ශෝභනක (රඟ මඬලෙහි දී දේවතාවනට ස්තෝත්‍ර ගායනය, සණදොවුන් කෙළිය, අස්ථි ධෝවනය (මළවුන්ගේ ඇට සුවඳ කවා නැකැත් සමයේ දී ඒ වටා සිට උත්සව කිරිම, ඇත් යුද (ඇතුන් පිට නැඟ යුද්ධ කිරීම), අස් යුද, ඇත් - අස් - මීහරක් - ගොන් - එළු - බැටළු - කුකුළු, වටු ආදී සතුන් යොදා කරන පොර, බලයෙන් බැලීම මෙ බඳු දෑ ද ‘විසූක දස්සන’ ගණයට ඇතුළත් වේ.

මෙහි නච්චං යන්නෙන් යටත් පිරිසෙයින් මොනර නැටුමක් වුව ද ගැනේ. ‘ගීතං’ යන්නෙන් යටත් පිරිසෙයින් ධර්මය කියැවෙන ගීතයක් වුව ගැනේ. යටත් පිරිසෙයින් දියෙහි (බෙර) වැයුමක් වුව ‘වාදිතං’ යන්නෙන් සැලැකේ. මේවා අතුරෙන් යමක් දැකීමට යෑමෙන් පියවරින් පියවරට දුකුළා වන බව කඩ්ඛාවිතරණී විනය අටුවාවෙහි සඳහන් වේ. අනිත්‍ය ප්‍රතිසංයුක්ත ගීතයක් හෝ යටත් පිරිසෙයින් දතින් කරන හඬනැගීමක් වුව ද දුකුළා ඇවැසි සිදු කරන්නක් බව සමන්තපාසාදිකා විනය අටුවාහි එයි. ගීතවත්ව දික් ස්වරයෙන්, දිගට ඇද පැද ධර්මය සජ්ඣායනා කිරීම නුසුදුසු ය.

ධර්මයෙහි දැක්වෙන ගාථා වෘත්ත, ජාතක වෘත්ත, සූත්‍රාන්ත වෘත්ත, නො සිඳ පරිපූර්ණ උච්චාරණ වෘත්තයෙන් පදව්‍යඤ්ජන සහිතව, සාරුප්‍ය ලෙස ධර්මය සජ්ඣායනා කිරීම යට කී ගීතස්වරයට ඇතුළත් නොවේ. මේවා භික්ෂු විනයෙහි සඳහන් කාරණා වුව ද ගිහි උපාසක - උපාසිකාවනටත් අදාළ වන කරුණු එහි ඇත්තේ ය.සිල්ගත් කෙනකුට අහඹු ලෙස ගීතාදියක් ඇසීමෙන් නැටුමක් ඇස ගැටීමෙන් ශීලයට හානියක් නොවේ. එහි චේතනා බද්ධ ප්‍රයත්නයක් නැති හෙයිනි.

පෝය දවස්වල විහාරස්ථානවල බෞද්ධ ගීත වුව ද මහ හඬ නංවා ප්‍රචාරය කිරීම කොතරම් උචිත වන්නේ ද? යන්න සලකා බැලිය යුතුය. විහාරස්ථානයක සෙසු පින්කම් අවස්ථාවලදී වුව ද ඝෝෂාකාරී ලෙස, ශබ්ද විකාශන මඟින් විවිධ ගීත ගායනා අසන්නට සලස්වනවාට වඩා, ලෝවැඩ සඟරා කවි වැනි දහම් අරුතු නංවන පද්‍ය විශේෂ හෝ ධර්ම දේශනයක් හෝ පිරිත් සජ්ඣායනයක් පැමිණෙන මහ ජනතාවට ඇස්වීමෙන් කොතරම් ධර්ම ප්‍රසාදයක්, දහමින් බැඳුණු පරිසරයක්, ප්‍රියංකරත්වයක් ඇති කරගත හැකි ද යන්න නුවණින් කල්නා කර බැලිය යුතුය.

මෙම ශික්ෂාපදයෙහි දැක්වෙන “මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූසන” යන පදවලින් ගම්‍ය වන අදහස ඉහතින් සැකෙවින් දක්වන ලදි. මල් පැළැඳීම, මල්වලින් කෙහෙ, හෙල ආදී තැන් සැරැසීම, ස්වාභාවික වශයෙන් හෝ කෘත්‍රිම වශයෙන් හෝ නිපදවාගන්නා ලද, සුවඳ කල්ක, පුයර, සුවඳ විලෙවුන් වෙනත් එබඳු ආලේපන ගැල්වීම දැරීම නෛෂ්ක්‍රම්‍යයට බාධා වන හෙයින් සිත රාගාදී සිතිවිලිවලට නැමෙන හෙයින් පෙහෙවස් සමාදන් වන තැනැත්තා විසින් ඒවායින් වැළැකීමේ ශික්ෂාපදය සමාදන් ව හික්මෙයි. එසේ වුවද, ඒවා නියම කැරගත් බෙහෙත් වශයෙන් උදාහරණ ලෙස චර්ම රෝග සඳහා ආලේපනාදියත් වෙයි නම් ඒවා ආලේපනය, දැරීම නුසුදුසු නොවන්නේ නොවේ. එහිලා ඖෂධ සංඥාවක් විනා ආස්වාද (කාම) යක් විඳීම වරදෙකි. මණ්ඩන යන්නෙන් අදහස් කැරෙන්නේ ලස්සන කැරගැනුම පිණිස සමෙහි වළ තැන් සමත්වයට පත් කැරගැනීමට ගන්නා උපක්‍රම ය.හිසෙහි, කනෙහි, අතෙහි හා අනෙක් ශරීරාංගයන්හි රන් - රිදී අබරණ පැළඳීම හා නොයෙක් සැරැසිලි කිරීම නොකළ යුත්තේ ඉන් ඉහත සඳහන් සිකපදය බිඳෙන නිසා ය. සිල් පද තිබෙන්නේ සිතේ, ආභරණාදියෙහි නොවේ යැයි කියමින් ඇතැම් උවැසියන් කනකර අබරණ පැළැඳ සිල් සමාදන් වනු දක්නට ඇත. එයින් සමාදන් වන ශීලය නිසි අයුරින් නො පිහිටයි. සිත පිරිසුදු වීමක් ද නො වේ. සාම්ප්‍රදායිකව හෙළ බුදුහු උවැසියන් සිල් සමාදන් වන විට පැළැඳි අබරණ ඉවත් කැර විවිධ වර්ණ, විවිධ විලාසිතා ඇඳුම් පැළැඳුම් ඉවත් කර පිරිසුදු සුදු වස්ත්‍ර ඇඳුම් අඳින්නේ එය සමාදන් වන ශීලයට නැතහොත් සිල් රැකීමට උපකාරවත් වන නිසා ය. සුදු රෙද්ද පිරිසුදු බවේ සංකේතයකි. එය ඉතා චාම් ය. ඇල්ම, රාගය, උපදවන්නේ නැත. සුදු වත් හැඳීමෙන් ආගමික භාවයක් මෙන්ම පරිසරයට ප්‍රියංකර ආකර්ෂණයක් ද ඇති වෙයි. වෙසෙසින් ආරාධිත පරිසරය විසිතුරු වන්නේ සුදු වත් හැඳි සැදැහැවතුන් ගෙනි. විවිධ වර්ණ ඇඳුම් ඇඳගත් දනන් ගෙන් එබඳු විසිතුරක් ආරාම භූමියට එක් නොවෙයි. වත්මන්හි ද සාමාන්‍ය දිනවල පවා සැදැහැති උවැසියන් පන්සල් යන විට, අබරණ ගලවා තබා, සුදු වත් හැඳ යෑම සාමාන්‍ය චාරිත්‍රයක් ව පවතී.

බුද්ධ ශ්‍රාවකයා මෙ බඳු වූ පෙහෙවස් සමාදන් වන්නේ “එය රහතන් වහන්සේ අනුකරණය කිරීමක්” ලෙස සලකාය.

“රහත්හු දිවි හිමි කොට නැටුම් ගැයුම් වැයුම් විසුළු දැකුම් යන මෙයින් ද මල් ගඳ විලෙවුන් යන මේ පැළැඳ ගැනුම අඩුතැන් පිරවීම ඡවි රාග කරණ යන මෙයට කරුණු වන දැයින් ද වැළැකියාහු වෙති. මම් ද මේ රැයක් දවාලක් නැටුම් ගැයුම් වැයුම් විසුළු දස්නෙන් හා මල් ගඳ විලෙවුන් යන මේ පැළැඳ ගැනුම, අඩු තැන් පිරවීම, ඡවි රාග කරණය යන මෙයට කරුණු වන දැයින් ද වැළැකුණෙමි වෙමි. මම් මේ කරුණින් රහතන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් වසන ලද්දේ ය.” (අංගුත්තර නිකාය - සංඛිත්ත අට්ඨංගුපෝසථ සූත්‍රය)

ආර්ය මාර්ගය වැඩීම සඳහා ද, කෙලෙස් බල සුන් කරනු පිණිස ද , චිත්ත දමනය හා සංවරය වැඩි දියුණු කිරීම පිණිස ද පාරිශුද්ධිය පිණිස ද ආර්ය විනයෙහි ශික්ෂාපද ශීලය කොතරම් අවශ්‍ය වන්නේ ද යන්න මෙම ශික්ෂාපද විග්‍රහය ඇසුරින් අපට මනාව අවබෝධ කැරගත හැකි ය.


ජාති නරානං අධමා - මිනිසුන්ගේ ජාති භේදය පහත් එකකි - චිත්තසම්භූත ජාතකය

 

 වෙසක්පුර පසළොස්වක පෝය
 

වෙසක්පුර පසළොස්වක පෝය මැයි මස 03 වැනිදා ඉරිදා පූර්වභාග 7.59 ට ලබයි. 04 වැනිදා සඳුදා පූර්ව භාග 9.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
මැයි මස 11 වැනිදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 03

Second Quarterඅව අටවක

මැයි 11

Full Moonඅමාවක

මැයි 17

First Quarterපුර අටවක

මැයි 25


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]