UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විකාලභෝජනා වේරමණී ශික්ෂා පදය

විකාලභෝජනා වේරමණී ශික්ෂා පදය

ගිහි පැවිදි දෙපක්ෂයටම පොදු බෞද්ධ පිළිවෙතක් ලෙස සීලය හඳුන්වා දීමට පුළුවන්. සීලයෙන් අදහස් කරන්නේ හික්මීමයි. එය තවදුරටත් විස්තර කරනවා නම් තමන්ගේ කයින් හා වචනයෙන් සිදුවන සියලුම ලාමක පාප ක්‍රියාවන්ගෙන් වෙන් වීම වගේම ඊට ප්‍රධාන ම බලපෑම දනවන සිත පාලනය කර ගැනීම මෙම සීලයෙන් මූලිකව ම අදහස් වෙනවා. බුදුරජාණන් වහන්සේ අපට මේ සීලය හඳුන්වා දී තිබෙන්නේ අන් කවරම හේතුවක් නිසා නොව උන්වහන්සේ පෙන්වා දුන් සදාකාලික සැනසීම ගෙන දෙන නිවනට අයත්මාර්ගයේ ගමන් කිරීම වඩාත් පහසු කරන්නේ මේ ශීලය නිවැරදිව ආරක්ෂා කිරීම වන නිසාය.

සිල්වත් බව නිසා ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. ඒ නිසාම සිත නිවැරදි මාර්ගයට ගෙන යාමට හේතු වෙනවා. මේ නිසා ගිහි පැවිදි අප දෙපක්ෂයේ ම පිරිස බුදුරජාණන් වහන්සේ විසින් අපට පෙන්වා දී ඇති ආර්ය මාර්ගය අරමුණු කරන අය වන නිසා මෙම සීලය එම අරමුණට ළඟා වීමට අවශ්‍ය ශක්තිය උදා කරන ප්‍රධාන බලයක් බවට පත්වන නිසා මේ දෙපක්ෂයට බෙදා වෙන් කර ඇති සීලය සැබවින්ම ම එකම මාර්ගයක ගමන් කරන අතර පැවිදි පක්ෂයට එය යාවජීව ලෙසත් ගිහි පක්ෂයට එය විශේෂ දිනයන්ට සීමා වන කාලනියමයකට අනුව වෙනස් වන බව උන්වහන්සේගේ දේශනවන්ගෙන් පැහැදිලි වෙනවා.

මෙහිදී අපේ අවධානයට යොමු වන්නේ විකාල භෝජනා වේරමණී සික්ෂා පදයයි. මෙයින් අදහස් කරන්නේ විකල්හි හෙවත් නො කල්හි ආහාර ගැනීමෙන් වැළකීමයි. මෙහි නො කල්හි යනුවෙන් කියවෙන්නේ අවේලාවයි. භික්ෂූන්ට හා අෂ්ඨාංග හා දසසීල ආදි සීල සමාදානයෙහි නියුතු ගිහි ප්‍රජාවටම මේ අවේලාව මධ්‍යහ්නයේ හිරු අවරට හැරෙන මොහොතේ සිට පසු දින හිරු උදාව දක්වා කාලයයි. ඒ අනුව සම්මතය බැලුවොත් අද දවල් 12.00 පමණ (මේ වෙලාව 12.30 පමණ අතර කාලය විය හැකිය) පහු වී පසුදින අලුයම් 5.00 එපමණ වන (මෙය ද පෙ.ව. 5.50 සිට 6.30 පමණ විය හැකිය) කාල සීමාවයි.

ඇයි? මෙහෙම දේශනාවක්, නියමයක් බොදු සීලය ප්‍රතිපදාව වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී තිබෙන්නේ කියා පළමුවෙන්ම විමසා බැලිය යුතුව තිබෙනවා. දෛනිකව හෝ දිවි ඇතිතාක් වශයෙන් සීලමය ප්‍රතිපදාව සමාදන් වී එය සපුරන පිරිස ගිහි පැවිදි වශයෙන් අපට වෙන් කර දක්වන්නට පුළුවන්. සිල්වත් තැනැත්තාගේ බාහිරව අප දකින ලක්ෂණයක් තිබෙනවා. සිල් සමාදන්ව පොහොය දවස වාගේ දින වෙන් කර ගෙන කටයුතු කරන ගිහි ජනතාව සුදු වස්ත්‍රයෙන් සැරසී එදින සිල් රැකීමට යොමු වීම අපේ රටේ බොහොම පැහැදිලිව අපි දකිනවා. වෙනත් ථේරවාද රටවල වුවත් ගිහි පිරිස් පිළිබඳව මීට ම සමාන තත්වයක් අපි දකිනවා එයින් කියැවෙන්නේ බාහිර පෙනුමේ ඇති සරල බවයි. විවේක ස්වභාවයයි. සරල ජීවිතයයි. දිවි ඇතිතාක් හෙවත් යාවජීව වශයෙන් මහණදම් පුරන පැවිද්දා හෙවත් භික්ෂුව කහවර්ණයෙන් සැරසී සිටිනවා. මෙම අවුරුදු දෙදහස් ගණනක සිට පැවත එන එකම අනන්‍ය වෙනස් නොවුණු වස්ත්‍රයයි. මෙයින් කියැවෙන්නේ ද ඒ අදහසයි. ඉතින් එහෙම නම් වැඩ බහුල ජීවිතයක් මේ දෙපක්ෂයටම තිබෙන්නට පුළුවන් කමක් නැහැ. භික්ෂුවට දිනකට තුන් වතාවක්ම තම යැපීමට පිඬු පිණිස හැසිරෙන්නට සිදු වූවොත් උදේ කාලයත් සවස කාලයත් යන දෙක ම ඒ වෙනුවෙන් වෙන් කිරීම තුළ මහණ දම් පිරීමට හෝ ගිහි සිල් පුරන තැනැත්තාට සිල් පිරීමට බණ භාවනා කිරීමට කාලයෙන් හරස් වීමක් වෙනවා.

අනික් කාරණය ඉතා වැදගත් වෙනවා. නො කල්හි ආහාරය යන්නෙන් අදහස් වන පරිදි සවස හෙවත් රාත්‍රි ආහාරය මෙයට ඇතුලත් වෙනවා. ඒ තුළ ථීනවමිද්ධය හෙවත් උදාසීන බව නිදිමත ගතිය වැඩි වෙනවා. නිරෝගී බව දුරුවෙනවා. ශරීරය තුළ ලෙඩරෝග බහුල වෙනවා. රුව පෙනුම පැහැය දුර්වර්ණ වී නොයෙක් ආකාරයෙන් ශරීරයේ බාහිර පෙනුම පවා අවලස්සන වෙනවා. මෙය බුදුරජාණන් වහන්සේ පැහැදිලිව පෙන්වා දෙනවා. කකචූපම සූත්‍රයෙන්, මේ සූත්‍රයෙහි ද,ී බුද්ධත්වයට පත්ව වර්ෂ විස්සක වැනි දීර්ඝ කාලයක් ඉක්මුණු පසුව බුදුරජාණන් වහන්සේ මහණෙනි, මම දන් වැළඳුවේ දවසට එක් වතාවක් පමණයි. ඒ පෙරවරු කාලයයි. ඒ කාලයේ මගේ ශ්‍රාවකයෝද ක්‍රියා කළේ ඒ විදියටයි. එහෙම වුණහම නිරෝගි බව, සැහැල්ලු බව, ශරීර ශක්තිය, දැඩි බව, පහසුවෙන් ජීවත් විය හැකි බව, නිදුක්බව, හොඳටම දැණුනා. දැනුත් මම නම් එහෙමයි . ඒ කාලයේ මගේ ශ්‍රාවකයන් පිළිබඳ විනය ගැටලුවක් නම් ඇති වූයේ නැහැ. මට තිබුණේ යමක් පිළිබඳ සිහිපත් කිරිම පමණයි. බුද්ධත්වයෙන් පසු ගැටලුවක් නම් ඇති වූයේ නැහැ. මට තිබුණේ යමක් පිළිබඳ සිහිපත් කිරීම පමණයි. බුද්ධත්වයෙන් ගෙවී ගිය වර්ෂ විස්ස තුළ එහෙම නැත්නම් ප්‍රථම බුද්ධෝත්පාද කාලය එහෙමෙහි ගෙවුණේ. හැබැයි දැන් එහෙම නැහැ. නිතර විනය පැනවීම් කරන්නට වෙනවා. ඒ නිසා නුඹලාත් එය නිතර සිහියේ පිහිටුවා ගෙන ක්‍රියා කිරීමෙන් මේ තත්වය දිගටම රැක ගන්නට හැකියාව ලැබෙනවා.” යන මේ කරුණයි බුදුරජාණන් වහන්සේ අවධාරණය කර දක්වා තිබෙන්නේ. මේ වාගේම දේශනාවක් භද්දාලි සූත්‍රයෙන් අපට දකින්නට පුළුවන්. මේ භද්දාලි සූත්‍රයෙන් කියැවෙන්නේ අපූරු කථාවක්. බුදුරජාණන් වහන්සේ භද්දාලි භික්ෂුව ඇතුළු භික්ෂූන් වහන්සේ පිරිසක් සමඟ සැවැත්නුවර ජේතවනාරාමයෙහි දී රැස් වී සාකච්ඡාවක් කරමින් සිටියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා” මහණෙනි මම පෙරවරුවෙහි පමණක් දානය වළඳනවා. එතකොට රෝග පීඩා හටගන්නවා බොහෝම අඩුයි. ශරීරයට සැහැල්ලු බවක් දැනෙනවා. සුවදායක බවක් දැනෙනවා. ඔබලාත් ඒ පිළිවත ම ඒ විදියටඅනුගමනය කරන්න. පෙරවරු බතෙන් පමණක් යැපෙන්නට බැරි බව භද්දාලි හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කළා. මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද මෙවැනි ශික්ෂාපද අනුගමනය කරන්නට බැරි බව පැහැදිලිව ප්‍රකාශ කළා භද්දාලි භික්ෂුවට කලක් ගියායින් පසුව භික්ෂූ සමාජයෙන්ද කොන් වීමට සිදු වුණා. පසුව එම භික්ෂුව වරද නිවැරදි කර ගත් ආකාරය එහි කියැවෙනවා. මෙයින් පැහැදිලි වන්නේ පෙරවරුවෙහිම ආහාර ගැනීමට පුරුදු වූ අයෙකුට මෙම පෙරවරු බතින් පමණක් යැපීමට ඇති දුෂ්කරතාවයයි. එම දුෂ්කරතාව ජයගැනීම තුළ ආනිසංස රැසක් එකතු වෙනවිට එය අත්හැරීමටත් හැකි වෙනවා.

බුදුරජාණන් වහන්සේ මේ විදියට මෙම ආහාර ගැනිමේ සීමාවන් විවිධ අවස්ථාවල පෙන්වා දී තිබෙන්නේ කයෙහි සංවර බව ඉන්ද්‍රිය දමනය ඇරමුණූ කර ගෙනයි. වරක් කච්චායන මහරහතන් වහන්සේ වෙත පැමිණුන සෝණ කුටිකණ්ණට මේ පැවිද්දේ දුෂ්්කරතාව පෙන්වා දුන්නා. එහිදී උන්වහන්සේ කියා සිටියේ උදේ සවස ආහාර බුදිමින් ශරීරයට සුවදායක වන ආකාරයෙන් ගතකරන උදවියට මෙම මහණකම රැකීම දුෂ්කර වන බව, ඒ වගේම එය පැහැදිලි කළ උන්වහන්සේ පැවිදි බවට අවශ්‍ය සිල් පුරනවා නම් ආහාර ගැනීම පෙරවරුවෙහි පමණක් සීමා වන බවයි. එවිට එය කය සංවර වීමට හේතුවන අදහසයි. උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

ගිහි ජිවිතය ගත කරන අයගේ මේ ආහාර ගැනීම පිළිබඳ සිත් කාවදින අදහසක් බුදුරජාණන් වහන්සේ විසින් කොසොල් රජතුමාට දේශනා කර තිබෙනවා. දිනක් බොහොම සරුවටආහර ගත් කොසොල් රජතුමා බුදුරජාණන් වහන්සේ දකින්නට මධ්‍යහ්නය ගෙවීයත්ම පැමිණියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට වැඳ එකත්පසෙකට වී හිඳගත් රජතුමාට තදබල නිදිමත ගතියක් දැනුනා, රජතුමා ඈත මෑත නැමෙමින් ඈණුම් අරිමින් නිදිමතෙන් බොහෝ ආහාර ගැනීම නිසා ඇති වු අපහසුව මගහරවා ගන්නට බැරි වී මෙසේ සිටින බව බුදුරජාණන් වහන්සේට පැහැදිලි වුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. මෙසේ අලස බවෙන් යුතුව බොහෝ කොට ආහාර ගනිමින් මහත් වු තර ඌරෙකු වගේ සිටින,අලස බවෙන් යුක්ත පුද්ගලයා නැවත නැවත ඉපදී. ඉපදී මැරි මැරී සසර දිගු කර ගන්නා බව, මේ අනුව ගිහි පැවිදි දෙපක්ෂයටම සිල් පිරීමට අදාළ වන මෙම ශික්ෂාපදය නිසා කයෙහි සංවර බව මෙන්ම සිල් පිරීම තුළින් ආර්ය මාර්ගය අරමුණුූ කර පිළිවෙත් සරුව ජීවිතය ගත කිරිම බාධාවකින් තොරව කර ගෙන යාමට අවශ්‍ය නීරෝගි බව හා සැහැල්ලු බව ද රැකෙන බව කිව යුතුව ඇත.


පාපානං අකරණං සුඛං - පව් නොකිරීම ම සැපය වේ - ධම්මපදය - නාගවර්ගය

 

 වෙසක්පුර පසළොස්වක පෝය
 

වෙසක්පුර පසළොස්වක පෝය මැයි මස 03 වැනිදා ඉරිදා පූර්වභාග 7.59 ට ලබයි. 04 වැනිදා සඳුදා පූර්ව භාග 9.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
මැයි මස 11 වැනිදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 03

Second Quarterඅව අටවක

මැයි 11

Full Moonඅමාවක

මැයි 17

First Quarterපුර අටවක

මැයි 25


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]