UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී ශික්ෂා පදය

සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී ශික්ෂා පදය

දඹදිව හිමාල වනයෙහි එක් පෙදෙසක පිහිටි වෘක්ෂයක් මඳක් උස් වූ තැන අතු තුනකට බෙදීයාමෙන් ඒ අතරෙහි මහත් සැලියක් පමණ වලක් ඇතිවිය. වැසි වස්නා කාලයෙහි එය ජලයෙන් පිරී ගියේය. ඒ ගස අවට අරළු ගසක් ද නෙල්ලි ගසක්ද, ගම්මිරිස් වැලක්ද පිහිටි බැවින් ඒ ගස්වල පැසුණු ගෙඩි වැටෙන විට ඒ ගස් බෙනයටද වැටුනාහ. ඒ අසලම ඉබේම හටගත් ඇල්වී තිබුණ බැවින් ගිරවූ කරල් ගෙනවුත් යටකී ගසේ අතුවල හිඳ කනවිට වී ඇට සහ සහල් ඇට එහි වැටුණාහ. මෙසේ ගස් බෙනයේ වු වතුර අවුවෙන් කැකෑරී ලේපාට විය.

උෂ්ණ කාලයෙහි පිපාසිත වු පක්ෂීන් ඒ ජලය බී මත්ව ගසමුල වැටී ස්වල්ප වේලාවක් හිඳ ශබ්ද කෙරෙමින් පියාඹත්. අන්‍ය සත්වයෝද මේ පැන් බී මෙසේ මත්ව සිට ගියහ. අතීතයෙහි දඹදිව කසී රට වැසි නම් වනයෙහි හැසිරෙන සුර නම් මනුෂ්‍යයෙක් ඇත්දත් ආදිය සෙවීම පිණිස හිමවතට ගියේය. ඔහු මෙතැනට පැමිණ මේ ජලය විෂ සහිත වී නම් මොවුහු මරණයට පත්විය යුක්තාහ. මොවුන් ටිකක් නිදා සිට යන බැවින් මෙය විෂක් විය නොහැකි යයි කල්පනා කොට තමාද බීවේය.

අනතුරුව මත් වූයේ මස් කනු කැමතිව ගිනි මොලවා ගසයට වැටී සිටි වලිකුකුල් වටු ආදින් මරා පුළුස්සා මස් කා දෙතුන් දිනක් එහිම විසීය. ඊට නුදුරු තැනක වරුණ නම් තාපසයෙකු වෙසෙයි. ඔහු සමීපයට පැමිණ මේ පානය තාපසයන් සමගින් බොන්නෙමි”යි සිතා හුණ පුරුකක ඒ ජලය පුරවා පුළුස්සන ලද මස් සමඟ තාපසයා වසන තැනට ගෙනගොස් දෙදෙනාම එක්වී මස් කමින් පානය කළහ.

මින් පසු මේ දෙදෙනා උණ නළවල මේ ජලය පුරවා ප්‍රත්‍යන්තයෙහි නුවරකට පැමිණ ඒ කාරණය රජහට දැන්වූහ. රජ තෙමේ එය ගෙන්වා දෙතුන් වරක් පානය කොට ඔහු ද මත්විය.ගෙනෙන ලද සුරා දෙතුන් දිනකින් අවසන් වු බැවින් තවත් ඇද්දැයි ඇසු විට මහරජ හිමාලයේ ඇතැයි කියා දෙතුන් වරක් ගෙනවිත් දී නිතරම යෑම අපහසු බැවින් ගස් බෙලෙයෙහි තිබූ ද්‍රව්‍යයක් බලා ඒ ගසේ පොතුද ගෙනවිත් උවමනා දේ සම්පාදනය කොට නුවර තුළදී මේ පානය සෑදූහ. පිළිවෙළින් නුවර වැසියෝද මත්පැන් බොන්නට පටන්ගෙන වෙළෙදාම් ගොවිකම් ආදි කර්මාන්ත නොකිරීමෙන් දුප්පත් වූහ.

කුම්භ ජාතකයෙහි එන මෙම ප්‍රවෘත්තියෙන් සුරාව ආරම්භ වී ඇති ආකාරය සිතාගත හැකිය. මුලදී පානය කොට අත්දැකීම් ලත් සුර නම් වූ එම පුද්ගලයාගේ නමින් එවක් පටන් සුරා යන්න ව්‍යවහාර විය. වරුණ තාපසයා විසින් දෙවැනිව බොන ලද බැවින් වරුණ යන නාමය ද සුරාවට ව්‍යවහාර විය.

රහමෙර පානය පුද්ගල අසහනය පිණිස හේතුවන ක්‍රියාවකි. එම අසහනය හේතුවෙන් තව තවත් අසහනයන් ඇතිවන අතර ඒ ඒ අසහනයන් හේතුවෙන් වෙනත් අසහනයන්ද උද්ගත වේ. එබැවින් පුද්ගලයාට හා සමාජයට හානිකරන කාර්යයක් ලෙස සුරාපානය හැඳින්විය හැකිය.

සිතෙහි ස්වභාවය හා චර්යාව කෙරෙහි සුවිශේෂ බලපෑම් ඇතිකරන සුරාව නූතන වෛද්‍ය විද්‍යාවට අනුව සිතීම හැගීම් ඇතිකිරීම, පරිසරය, ග්‍රහණය කර ගැනීම මතක තබා ගැනීම හා ස්වේච්ඡාවෙන් යමක් කිරීම යන සිතට ඇතුළත් ක්‍රියාවන් මොට කරන වැරදි මාර්ග ඔස්සේ මෙහෙයවන පුද්ගල පරිහානිය පිණිස හේතුවන ක්‍රියාවකි.

උක්ත ක්‍රියාවෙහි ඇති බරපතළකම මීට වසර දෙදහස් පන්සිය පනහකට පෙර තථාගත බුදුරජාණන් වහන්සේ දුටුසේක. බුද්ධ දේශනාව අනුව පන්සිල්, අටසිල්, දසසිල් වැනි ශීල ප්‍රතිපත්තිය එක් ප්‍රතිපදාවක් වශයෙන් සුරාමේරයෙන් වැළකීම දක්වා තිබේ. එයින් පැහැදිලි වනුයේ කෙනෙකුගේ ජීවිතය වැරැද්ද කෙරෙහි යොමුවිය හැකි ප්‍රධාන කරුණු අතරින් එකක් ලෙස බුදුරජාණන් වහන්සේ සුරාව දක්වා ඇති බවයි. තවද සුරාව තෘප්තියක් ලැබිය නොහැකි නිතර නිතර ඒ කෙරෙහි පොළඹවන ක්‍රියාවක් බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළහ. (සුරාමේරය පාතස්ස භික්ඛවෙ නත්ථි කිත්ති) එබැවින් යමකින් තෘප්තිමත් විය නොහැකි නම් එය අසහනයට හේතුවකි. අසහනය ඊළඟ ගැටලුවට හේතුවකි.

සුරාවෙන් උද්ගතවන ගැටලු සිඟාලෝවාද සූත්‍රයෙහි බුදුරදුන් පැහැදිළි කළහ. මුදල් වියදම් වීම කෝළාහල ඇතිවීම, නොයෙක් රෝග ඇතිවීම, නුසුදුසු ක්‍රියාවන්හි නිරතව අපකීර්තිය පැතිරීම, ලජ්ජා භය නැතිවීම හා ප්‍රඥාව දුරුවලවීම ආදි වශයෙන් එහි ආදීනව හඳුන්වා දුන්හ. වත්මනෙහි අප දක්නා ආකාරයට මත්පැන් ලෝලීත්වය පැහැදිලවම මෙම ක්‍රියාවන් සිදුකිරීමට පොළඹවන බරපතළ වැරැද්දක් බව හොඳ හැටි තේරුම් ගැනීමට සාධක තිබේ.

රහමෙර පානය ආඥානයන්ගේ ක්‍රියාවකි. ඥානවන්තයෝඑබඳු උමතු බව ඇතිකරවන ,මුලාවීමට පත්වන පහත් ක්‍රියාවලට පොළඹවන දුෂ්චරිතයන්ට ආකරයක් බඳු රහමෙර පානය දුරුකළ යුතු බව සුත්ත නිපාතගත ධම්මික සූත්‍රයේ සඳහන්වේ. (මධානි පාපානි කරොන්ති බාලා කරෝන්තිව අඤ්ඥේසි ජනෝ සමත්තේ ඒතං අපඤ්ඤායතනං විපජජයේ උම්මාදනං මෝහනං බාල කන්තං) එබැවින් අකුසලයන්ට ආයතනයක් බඳු උමතුවට පත්කරවන මෝහයන්ට පත්කරන දෙයින් වැළකිය යුතු බවත් එබඳු අයගේ එවැනි ක්‍රියා සමාජය අනුමත නොකළ යුතු බවත් පැහැදිලිය.

පරාභව සූත්‍රයට අනුව සුරාපානය පුද්ගලයා පරිහානියට පත්කරවන ප්‍රධාන කරුණු අතරින් එකකි. එය ධන හානියටද හේතුවකි. එපමණක් නොව මදයට හා ප්‍රමාදයට හේතුවන දෑට යොමුවීම තුළින් තමාගේ මුල තමා විසින් සාරා ගැනීම් බඳුය. එය තමා ජීවත්වන සමාජයට බරපතළ හානි ඇතිකරන ක්‍රියාවකි.

පළමුව තම නිරෝගි බව වර්ධනය කර ගැනීම බෞද්ධ මෛත්‍රී භාවනාවේ මූලික ලක්ෂණයකි. දෙවනුව තමා වටා ඇති සෙසු සමාජයේ නිරෝගි බව සුඛිත මුදිත බව අපේක්ෂා කෙරේ. මතට ගොදුරුවූ විට මෙම අංග දෙකම ක්‍රියාත්මක කළ නොහැකිය.

මේ අනුව පුද්ගල අසහනය පිණිසත් සමාජ අසහනය පිණිසත් සුරාව හේතුවන බව බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළහ. මෙම වෙසක් සමයෙහි සුරාවෙහි ආදීනව දැන එය දුරින් දුරු කෙරෙත්වා .


න වණ්ණ රූපෙන නරො සුජානො - පැහැයෙන් හැඩහුරුකමින් මිනිසා මනාව හැඳින ගත නොහැකිය - ස. නි. සත්තජටිල සූත්‍රය

 

 වෙසක්පුර පසළොස්වක පෝය
 

වෙසක්පුර පසළොස්වක පෝය මැයි මස 03 වැනිදා ඉරිදා පූර්වභාග 7.59 ට ලබයි. 04 වැනිදා සඳුදා පූර්ව භාග 9.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
මැයි මස 11 වැනිදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 03

Second Quarterඅව අටවක

මැයි 11

Full Moonඅමාවක

මැයි 17

First Quarterපුර අටවක

මැයි 25


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]