UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මුසාවාදා වේරමණී ශික්ෂාපදය

මුසාවාදා වේරමණී ශික්ෂාපදය

ආර්ය මාර්ග ප්‍රතිපදාවේ තුන්වෙනි පියවර “සම්මා වාචා” නම් වේ. “සම්මා වාචා” යන්නෙහි සරල අර්ථය යහපත් වචනය යන්නයි. සරල අර්ථය මෙය වුව ද මේ තුළ ඉතා ගැඹුරු වූ දාර්ශනික අර්ථයක්ද අන්තර්ගත වන බව ඉතා දීර්ඝව විමසා බැලීමෙන් වටහාගත හැකි ය. ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල, සමාධි, පඤ්ඤා යන ත්‍රි ශික්ෂාවට බෙදා දැක්වූ කල “සම්මා වාචා” අයත් වන්නේ සීල යන කොටසය.

“සීලය” යනු හික්මීමයි. කය වචනය දෙකේ සංවරයයි. ඒ අනුව වචනයෙහි සංවරය සම්වා වාචා නම් වේ. වචනයෙන් සිදුවිය හැකි ප්‍රධාන වැරදි කිහිපයකි. සංයුක්ත නිකායේ මග්ගවිභංග සූත්‍රයේ දී “සම්මා වාචා” යන්න පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ වචනයෙන් සිදුවන වැරදි පෙන්වා දී ඇත. බොරු කීම, කේළාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම යන මේවා ප්‍රධාන වශයෙන් සිදුවන වැරදිය. මේවායින් වැළකී නිවැරැදි වචන භාවිතය සම්වා වාචා නම් වන බව පෙන්වා දී තිබේ.

සම්මාවාචා යන්න ආර්ය මාර්ග ප්‍රතිපදාවේ තුන්වෙනි පියවර වුව ද ඒ සඳහා එහි පළමු පියවර වන සම්මා දිට්ඨිය පූර්වාංගම වන බව මජ්ක්‍ධිම නිකායේ මහාචත්තාරිසක සූත්‍රයේ දී පෙන්වා දී තිබේ. සම්මාදිට්ඨිය යනු නිවැරදි දැක්මයි. මිත්‍යාදෘෂ්ටිය හෙවත් වැරදි අවබෝධයෙන් මිදීම යි. මෙහිදී පෙන්වාදෙන පරිදි වැරදි වචනය, වැරදි වචනය ලෙසත්, නිවැරදි වචනය නිවැරදි වචනය ලෙසත් අවබෝධ කර ගැනීමට උදව්වන්නේ සම්මා දිට්ඨිය යි. මේ නිසා යහපත් වචන ඇත්තෙකු බවට පත්වීමට නම් සම්මා දෘෂ්ටිකයෙකු හෙවත් නිවැරදි අවබෝධයක් සහිත පුද්ගලයකු වියයුතු බව අවධාරණය කොට තිබේ. සම්මා වාචා හෙවත් යහපත් වචනය යන්නට බුදුදහමෙහි භාවිත තවත් වචනයක් නම් “සුභාසිත” යන්නයි. මෙම පදය ත්‍රිපිටක පාළිය තුළ හමුවන අවස්ථා බොහෝ ය. ඒ අතරින් අංගුත්තර නිකායේ සුභාසිත වාචා සූත්‍රයේදී කරුණු 05 කින් යුක්ත වූ වචනය “සුභාසිත” නම් වන බව පෙන්වා දී තිබේ. එම කරුණු පහ නම්,

1. සුදුසු කාලයෙහි කතා කිරීම
2. සත්‍ය කතා කිරීම
3. හිතවත්ව කතා කිරීම
4. යහපත පිණිස කතා කිරීම
5. මෛත්‍රී සහගත සිතින් යුක්තව කතා කිරීම යන ඒවාය.

මෙම කරුණු පහෙන් සමන්විතව කතා කිරීම සුභාසිත වාචා නම් වන බව මෙහිදී පෙන්වා දී තිබේ. එමෙන් ම සුත්තනිපාතයේ සුභාසිත වාචා නම් වන බව මෙහිදී පෙන්වා දී තිබේ. එමෙන් ම සුත්තනිපාතයේ සුභාසිත සූත්‍රයේදී කරුණු හතරකින් යුක්ත වූ වචනය සුභාසිත වන බව තවදුරටත් පෙන්වා දී තිබේ.

1. යහපත් දෙයක් ම කීම, අයහපත් දෙයක් නොකීම. 2. යුක්ති සහගත වූවක් ම කීම, අයුක්තියක් නොකීම. 3. පි‍්‍රය වූවක් ම කීම, අපි‍්‍රය වූවක් නොකීම. 4. සත්‍ය වූ දෙයක් ම කීම, අසත්‍ය වූවක් නොකීම. එමෙන්ම බුද්දක නිකායෙහි බුද්දකපාඨ ග්‍රන්ථයෙහි ඇතුළත් මංගල සූත්‍රයේදී සුභාසිත වචන කතා කිරීම උතුම් මංගල කරුණක් වශයෙන් දක්වා තිබේ. වචනයේ නිවැරදි භාවය මෙසේ සම්මා වාචා, සුභාසිත වාචා යනාදියෙන් පෙන්වා දී ඇති අතර වචනයෙන් සිදුවිය හැකි වැරදි හා ඉන් වැළකීම එමඟින් අවධාරණය කොට තිබේ. එසේ වචනයෙන් සිදුවිය හැකි වැරදි අතරින් මුසාවාදය හෙවත් බොරුකීම හා එහි ආදීනව සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි. සම්මා වාචා, සුභාසිත වාචා තුළින් ඉතා පැහැදිලිව මුසාවාදයෙන් හෙවත් බොරුකීමෙන් වැළකීම පෙන්වාදෙනු ලබයි. බොරුකීමෙන් වළකිනවා යනු සත්‍යවාදී හා අවංක වචන ඇත්තෙකු වීමයි. තවදුරටත් මෙය විග්‍රහ කිරීමේ දී කුශලයේ වර්ධනය සඳහා වචන භාවිතා කිරීමත් අකුශලයේ ප්‍රහාණය සඳහා වචන භාවිතා කිරීමත් ය. සම්මා වාචා යනු වචනය යහපත වෙනුවෙන් භාවිතා කිරීමයි. අයහපත පිණිස භාවිතා නොකිරීමයි. මුසාවාදය තුළින් පුද්ගලයකු සිදුකරනුයේ තවත් කෙනෙකු හෝ පිරිසක් රැවටීමය. ඇත්ත ඇති සැටියෙන් නොපවසා මෙසේ තවකෙකු මුළාවේ දැමීම සත්‍ය දැනගැනීමේ අයිතිය නම් වූ මානව අයිතිය කඩ කිරීමකි. රැවටීම, වංචාව, කපටිකම ආදී සියලු පාපක්‍රියා මුසාවාදය තුළ අන්තර්ගත වේ. ඒ අනුව මුසාවාදය පුද්ගල ජීවිතයේ පරිහානියට මෙන්ම සමාජ පරිහානියට ද සෘජුව බලපානා මහත් වූ පාපකර්මයකි. බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවන්හි සත්‍යවාදී වීමේ වටිනාකම දේශනාකොට තිබේ. කුමන වූ හේතුවක් මත බොරුකීම තුළින් අන් අයව රැවටීම ඉතා දැඩිව ගර්හාවට ලක්කොට ඇති අවස්ථා බොහෝ සෙයින් හමුවේ. සතර පාරාජිකාවන්ගෙන් එකක් වන උත්තරීමනුස්ස ධම්ම පාරාජිකා පන්තිය පණවනුයේ ද තමන් තුළ නැති ගුණ ඇතිකොට කියා මුසාවාදයෙන් අන් අයව රවටා ලාභ සත්කාර ලබාගන්නා දුස්සීල භික්ෂූන් සාසනය තුළ බිහිනොවනු පිණිසය. මෙම ශික්ෂාපදය කිසියම් භික්ෂුවක් කඩකරන්නේ නම් එම භික්ෂුවගේ භික්ෂුභාවය නැති වී යයි. ඔහුට නැවත කිසිවිටෙකත් භික්ෂුවක් වීමට වරම් හිමි නොවේ. මුසාවාදය සම්බන්ධයෙන් ඉතා වටිනා ඉගැන්වීමක් මජ්ක්‍ධිම නිකායේ අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයෙහි ඇතුළත් වේ. මෙහිදී බුදුරජාණන් වහන්සේ රාහුල හිමියන්ට අඩක් දිය ඉතිරි වූ දිය බඳුනක් උපමා කරමින් මුසාබස් බිණීමෙහි අලජ්ජී වූ භික්ෂූන්ගේ ශ්‍රමණ ධර්මයේ ස්වභාවය පැහැදිලි කර දුන්හ. ඒ අනුව දැන දැන මුසාබස් බිණිමෙහි ලැජ්ජා නොමැති භික්ෂුවගේ ශ්‍රමණ ධර්මය පිළිවෙළින් පිරිහෙනුයේ අඩක් දිය පිරුණු දිය බඳුන මෙන්, දිය නොමැති දිය බඳුන මෙන්, යටිකුරු කළ දිය බඳුන මෙන් හා අවසානයේ උඩුකුරු කළ හිස් වූ දිය බඳුන මෙන් බව පෙන්වා දී ඇත. යටිකුරුකොට නැවත උඩුකුරු කරන ලද දිය බඳුනෙහි දිය නොමැති ව හිස් වූවාක් මෙන් දැන දැන මුසාබස් කියන අලජ්ජී භික්ෂුවගේ ද ශ්‍රමණ ධර්මය හිස්වන බව පෙන්වා දුන්හ. අවසානයේ දී යම්කිසිවෙකු දැන දැන මුසාබස් බිණීමෙහි ලජ්ජා නැත් ද ඔහු හට කළ නොහැකි පවක් නොමැතිය යි වදාළහ. මේ අයුරෙන් මුසාවාදය සම්බන්ධයෙන් ඉතා දැඩි විනය ශික්ෂා පැනවීමට බුදුරජාණන් වහන්සේ කටයුතු කළේ එම පාපකර්මයේ ඇති දරුණුකම හා එහි ආදීනව ඉතා මැනවින් අවබෝධකරගත් නිසා ය.

ගිහි ජීවිතය ගතකරන බෞද්ධයාගේ නිත්‍යශීලය පඤ්චශීලයයි. බෞද්ධ පඤ්චශීල ප්‍රතිපදාව යනු සදාචාරවත් සමාජයක පදනමයි. පඤ්චශීලය සුරකින පිරිසකගෙන් සමන්විත සමාජය යහපත් සමාජයක් බවට පත්වෙයි. සදාචාරවත් සමාජයක් බවට පත්වෙයි. යම් විදියකින් මෙම ශික්ෂාපද පහ කඩකරන්නේ නම් එම පුද්ගලයාද එම සමාජයද පරිහානියට පත් වෙයි. පඤ්චශීලයෙහි සිව්වන ශික්ෂාපදය මුසාවාදයෙන් වැළකීමයි. අනෙකුත් ශික්ෂාපද මෙන්ම මුසාවාද ශික්ෂාපාදය නොරැකීමෙන් බොහෝ පරිහානිකර තත්ත්වයන් පුද්ගලයා තුළත් සමාජය තුළත් උද්ගතවනු දැකිය හැකිය. මෙකී කරුණ වත්මන් සමාජයට ආදේශකොට බැලීමේදී සමාජයේ බොහෝ පුද්ගලයින් මුසාවාදීන් බවට පත්වී ඇති අයුරු දැකිය හැකි ය.

මෙම ලිපියේ ඉතිරි කොටස 11 වනදා පත්‍රයේ


ලොකො අද්ධුවෝ - ලෝකය වහා නැසෙන සුළුයි - ම. නි. රට්ඨපාල සූත්‍ර

 

 වෙසක්පුර පසළොස්වක පෝය
 

වෙසක්පුර පසළොස්වක පෝය මැයි මස 03 වැනිදා ඉරිදා පූර්වභාග 7.59 ට ලබයි. 04 වැනිදා සඳුදා පූර්ව භාග 9.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
මැයි මස 11 වැනිදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 03

Second Quarterඅව අටවක

මැයි 11

Full Moonඅමාවක

මැයි 17

First Quarterපුර අටවක

මැයි 25


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]