UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පාණාතිපාතා වේරමණී ශික්ෂා පදය

පාණාතිපාතා වේරමණී ශික්ෂා පදය

හේනක් වගා කරන ගොවියෙක් නොයෙක් සතුන්ගෙන් එය ආරක්ෂා කර ගැනීම සඳහා ශක්තිමත් වැටක් සකසා ගන්නේ යම්සේද? එසේම අපගේ ජීවිතය රැක ගැනීමටද ශක්තිමත් වැටක් අවශ්‍ය වන්නේය. ලෝකයේ ජීවත් වන මනුෂ්‍යයා විසින් ජීවිතයේ රැකගත යුත්තේ උදාරතර ගුණ ධර්මයන්ය. එය ආරක්ෂා කර ගැනීම සඳහා පුද්ගලයාට ඇති ශක්තිමත් වැට වන්නේ පන්සිල්, අටසිල් දසසිල් පිරීම හා දස අකුසල ධර්මයන්ගෙන් වෙන්වීමයි.

ගිහි සමාජයට අයත් සියලු දෙනා විසින් නිරන්තරයෙන් ආරක්ෂා කළ යුතු යැයි දේශනා කරන ලද පංචශීලය තුළත්, පොහෝ දිනයන්හි අටසිල් හෝ දසසිල් සමාදන් වූ ගිහියන් විසින් ආරක්ෂා කළ කළ යුතු යැයි දේශනා කරන ලද ª අෂ්ටාංග හෝ දසාංග සීලය තුළත් පළමුවෙන් වැළකිය යුතු සීලය වශයෙන් පෙන්වා දී ඇත්තේ ප්‍රාණඝාතයෙන් වැළකීමයි. එසේම පැවිදි සමාජයට අයත් සාමණේරවරුන් විසින් හා උපසම්පන්න භික්ෂූන් විසින්ද නොකළයුතු දෙයක් වශයෙන් ප්‍රාණඝාතය පෙන්වා දී තිබේ. ගිහි පැවිදි උභය පාර්ශ්වයම විසින් ම සිදු නොකළයුතු දස අකුසල කර්මයන් තුළත් මූලිකව විරමණ්‍ය කළයුතු වන්නේ ප්‍රාණඝාතයයි.

ඒ අනුව ඉහතින් සඳහන් කළ සියලු සීලයන් තුළ පළමුවෙන් ම ප්‍රාණඝාතයෙන් වැළකීමේ ශික්ෂාපදය සමාදන් විය යුතුය. මනුෂ්‍යයන් වශයෙන් ජීවත් වන විට අප එක්තරා ගිවිසුමක් අත්සන් කරනු ලැබේ.

එම ගිවිසුම අත්සන් කරනු ලබන්නේ තමා තමන්ගේ හදවත සමඟ මය. මිනිස් භවයක් ලබා ගත් අපට ධාර්මික සමාජයක් ගොඩනැඟීම සඳහා ඉදිකරනු ලබන අත්තිවාරම් ප්‍රාණඝාතයෙන් වැළකී සිටිනවාය යන සීලය සමාදන් වීමයි. ශක්තිමත් අත්තිවාරමක් නොමැති ගෙයක් බිඳ වැටෙන්නේ යම්සේද එසේම යහපත් ජීවිතයක්, ශ්‍රේෂ්ඨ ජීවිතයක් ගොඩනැඟීමට සීලය අත්තිවාරමක් වන්නේය. එහි පළමුවන අත්තිවාරම ප්‍රාණඝාතයෙන් වැළකීමයි. එයින් වැළකීම තුළින් අප ලබන වටිනාකම මෙපමණයි කියා කිසිවෙකුට කිව නොහැකිය.

“පාණාතිපාතා වෙරමණී සික්ඛාපදං සමාදියාමි” යන ශික්ෂාපදයෙන් කියවෙන්නේ “මම ප්‍රාණඝාතය කිරීමෙන් වැළකෙන “ශික්ෂාපදය සමාදන් වෙමි” යන්නයි. අටුවාචාරින්ගේ මතයට අනුව ප්‍රාණඝාතය වීමට කරුණු පහක් සම්පූර්ණ විය යුතුය. ප්‍රාණියෙකු වීම (පාණො), පණ ඇති බව දැනීම (පාණසඤ්ඤිතා), වධක සිත (වධකචිතතං), උපක්‍රමය (උපක්කමො) එයින් මරණයට පත් කිරීම (ඊතන මරණයන්හි) යන ඒවාය. අභිධර්මයේ ඉගැන්වෙන චිත්තවිථී විභාගයට අනුව කෙනෙක් සතෙකු දැන යම් ආයුධයක් හෝ දණ්ඩක හෝ මුගුරක් හෝ ගෙන සතෙක් මරණයට පත් කරන්නේ නම් ඔහු තුළ ඉහත කී කාරණා පහම සම්පූර්ණත්වයට පත්වේ. ඒ කරුණු එකින් එක සිහි කිරීමක් හෝ දැන ගැනීමක් අවශ්‍ය නොවන්නේය. සියලු සත්වයෝ දඬුවමට හා මාරයාට බිය වන්නෝය. එබැවින් තමා විසින් වෙනත් සත්ත්වයෙකුට හිංසාවක් හෝ ඝාතනයක් කිරීමට යොමු වන්නේ නම් එවිට තමන්ම උපමාවට ගන්නා ලෙස බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ඇත.

සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බේ හායන්ති මච්චුනො
අත්තානං උපමං කත්වා
ත හනෙය්‍ය න ඝාතයේ

යන ධම්මපදයේ දණ්ඩ වර්ගයේ පළමු ගාථාවෙන් ඒ බව පැහැදිලි වේ. මට රිදෙනවා මට වේදනාව දැනෙනවා. මාගේ ජීවිතයට මම ආසයි. මට වේදනාව දැනෙන නිසා මට රිදෙන නිසා මගේ ජීවිතයට මම ආසා කරන නිසා මම අනුන්ට හිංසාවක් කරන්නේ නෑ. මොකද ඒ සියල්ලෝමත් තම තමන්ගේ ජීවිතවලට ආසා කරන්නෝය. වේදනා විඳින්නට අකමැත්තෝය යනුවෙන් සෑම විටම සිතිය යුතුය. කෙනෙක් එක් භවයක කරන ලද සත්ත්ව ඝාතනයක් නිසා අනන්ත වාර ගණනක් භව තුළදී තමාටද තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වන්නේය. ඒ බව ලෝවැඩ සඟරාවේ සඳහන් ඉහත කවියෙන් පැහැදිලි වේ.

පෙර අඟනක් එක් එළු දෙනෙක හිස සිඳා
සිය ළඟ වැළඳි ගිනි දැල් නිරය දුක් විඳා
ඇය ඇඟ ලෝම ගණනේ හිස් කැපුම් ලදා
මෙම රඟ වේය කාටත් අකුසලේ ලෙදා

එක් භවයකදී කාන්තාවක විසින් එළු දෙනකගේ හිස කඳින් වෙන්කෙට මරණයට පත් කිරීමේ විපාක වශයෙන් ගිනිජාලාවෙන් වට වූ නිරයේ උපත ලබා එළදෙනගේ ඇඟෙහි තිබු ලොම් ප්‍රමාණය තරම් නරක භවවලදී හිස් කැපීමෙන්ම ඇය මරණයට පත් වී ඇත. මිනිසා අනුන්ගේ දුක් වේදනාව තේරුම් නොගන්නා අවස්ථාවේ අනුන්ට දුක් වේදනා දෙයි. එය මනුස්සකමක් නොවේ. තමනට කිරිටික දෙන ගොයම් ටික පාගවා ගන්නා බර උසුලන සතා ගව ඝාතකාගාරයට යවා ඝාතනය කිරීමට තරම් ම්ලේච්ඡ වන මිනිසුන් කොපමණ සිටිත්ද? ඇතැම්විට වතු පිටි, වැට මායිම්, මිල මුදල් හෝ වෙනයම් දෙයක් වෙනුවෙන් දෙමාපිය දරුවන්, සහෝදර සහෝදරියන් අසල්වාසින් මිතුරන් ගහ මරා ගන්නා සමාජයක් අප හමුවේ දක්නට ලැබේ. මෙය කෙරම් ඛේදජනකද?

බුදුදහමට අනුව ප්‍රාණඝාතය බරපතළ අකුසලයකි .පවකි. පව් කරන තැනැත්තා ඒවා කරන විට මී පැණි කන්නා සේ සිතා ඉතා කැමැත්තෙන් සිදු කරයි. (මධුවා මඤ්ඤති බාලො යාව පාපංන පච්චති) එහෙත් එහි විපාකය විඳින විට තෙමේ දුකට පත් වන්නේය. (යදා ච පච්චති පාපං අථ බාලො දුක්ඛං නිගච්ඡති) පාප කර්ම සිදු කර පුද්ගලයාට කර්මානුරූපීව ඔහුගේ උස් පහත් ගති ඇති වන ආකාරය පිළිබඳ තෝදෙය්‍ය පුත්‍ර සුබ මානවකට කරන ලද දේශනාවේදී ප්‍රාණඝාතයේ විපාක වශයෙන් දක්වා ඇත්තේ එබඳු පුද්ගලයා මරණින් මතු අපායේ උපත ලබන බවය. මැරෙන මොහොතේ ඇතිවන යහපත් සිතිවිල්ලක් අනුව මනුෂ්‍ය භවයක් ලැබුවේ නම් ඔහුගේ ආයුෂ කෙටි වන්නේය. ප්‍රාණඝාතය කිරීමෙන් පසු නරකයේ උපන් සත්ත්වයා විඳින දුක අපට පෙනෙන්නේ නැත. එහෙත් මිනිස් සමාජය තුළ වාසය කරන ඇතැම් සත්ත්වයින් විඳින දුක් දෙස බැලු කල ඔවුන් පෙර භවයන්හි සිදු කරන ලද අකුසලයන්ගේ බලපෑම මත එසේ සිදු වන බව සිතීමට හැකිය. සාමාන්‍ය මිනිසා විඳින දුක මෙතරම් ඉසිලිය නොහැකි නම් ප්‍රාණඝාතය වැනි බරපතල අකුසල කර්මයන් සිදු කළ පුද්ගලයා විඳින දුක කොපමණදැයි වටහා ගත හැකිය. මෙයින් පෙනෙන්නේ යම් සත්වයෙකුගේ ජීවිතය විනාශ කිරීමෙන් ඒ සත්ත්වයාට බරපතළ වරදක් කරන්නා සේම තමන්ගේ ජීවිතයටද එතරම්ම හානියක් සිදු කරගන්නා බවය. එම නිසා අන් සත්ත්වයින්ගේ ජීවිත අගය කිරීමත්, ඔවුන් ආරක්ෂා කිරීමත්, මෛත්‍රිය හා කරුණාව දැක්වීමත් උතුම් මිනිස් ගතියක් වන්නේය.

වර්තමානයේ මිනිස් සමාජය තුළ මිනිසා අතර දක්නට ලැබෙන්නේ විෂම හැසිරීම් රටාවන්ය. කැලේ වසන අහිංසක සිව් පා සතුන් කොටි, සිංහ ආදි බලවත් සතුන්ට බියෙන් සිටින්නා සේ මිනිස් සමාජය තුළ සිටින බලවත් පුද්ගලයන්ට බියෙන් වෙසෙන කොතෙකුත් අහිංසක මිනිස්සු සිටිති. කැලෑ සත්ත්වයින් අතර ඇති ගති මිනිසුන් තුළටත් පැමිණ ඇති ආකාරය මෙයින් පෙනේ.

අනාගතයේ තමන්ගේ දියුණුව වෙනුවෙන් කල්පනාකොට සිතුම් පැතුම් ගොනුකරගෙන ජීවත් වන මිනිසා විසින් අන් අයට හිංසාවක් පීඩාවක්, නැසීමක් නොකරන්නට සිතන්නේ නම් මේ මිනිස් සමාජය කෙතරම් ධාර්මිෂ්ට වන්නේද ? බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ කුඩා සතෙකුටවත් හිංසාවක් පීඩාවක් නොකරන ලෙසය. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා යනුවෙන් සෑම සත්තවයෙකුට මෛත්‍රිය පැතිරවීම මිනිසාගේ පරම යුතුකම විය යුතුය.


සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා - සියලු සත්වයෝ ආහාරයෙන් ජීවත්වෙති - දී. නි.3 සංගීති සූත්‍රය

 

 වෙසක්පුර පසළොස්වක පෝය
 

වෙසක්පුර පසළොස්වක පෝය මැයි මස 03 වැනිදා ඉරිදා පූර්වභාග 7.59 ට ලබයි. 04 වැනිදා සඳුදා පූර්ව භාග 9.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
මැයි මස 11 වැනිදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 03

Second Quarterඅව අටවක

මැයි 11

Full Moonඅමාවක

මැයි 17

First Quarterපුර අටවක

මැයි 25


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]