UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

සදහම් දැනුම

ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේ චුල්ලපන්ථක තෙරුන් වහන්සේ අරභයා දේශනා කොට වදාළ ජාතක කථා දේශනාව කුමක්ද?

පිළිතුර
චුල්ලසෙට්ඨි ජාතක කථා ධර්ම දේශනය චුල්ලපන්ථක තෙරුන් අරභයා දේශනාකොට වදාළහ.

ප්‍රශ්නය – බෞද්ධ ශීලය පැරැණි භාරතීය සමයවාදීන් අතර වූ ව්‍රත සමාදන් වීමක් නොවේ. අජව්‍රත ,ගෝව්‍රත, උදකොරොහන ව්‍රත ආදී ව්‍රත සමාදන් වීමක්ද නොවේ. “සීල පරිභාවිතො චිත්ත සමාධි” පරමාර්ථ සාධනය සඳහා ආදි චරණයක් (පළමු හැසිරීමක්) පමණි. බෞද්ධ සීලයෙහි විවිධ ප්‍රභේදයන් අතර හීන සීල, මජ්ක්‍ධිම සීල, පණීත සීල යනුවෙන් කොටස් තුනකි. පැහැදිලි කරන්න.

පිළිතුර – කීර්ති ප්‍රශංසා භවභෝග සම්පත් කැමතිව සමාදන්ව රක්නා සීලය හීන සීලයයි. සිල් රැකීමෙන් මතු උසස් කුල උපදනා දිව්‍ය සම්පත් ලැබීම සඳහා සිල් රැකීම මධ්‍යම සීලයයි. සියලු සතුන් සසරින් එතෙර කරනු සඳහා රකිනු ලබන බෝසත් සීලය ප්‍රණීත සීලය නම් වෙයි.

ප්‍රශ්නය –බුද්ධ චරිතයෙහි එක් අවස්ථාවක සුවිශේෂිත පුද්ගලයෙකු හා සමඟ කළ සාකච්ඡාවකින් උපුටාගත් කොටසකි මේ.

”සුනක්ඛත්ත එන්න මා උදෙසා වාසය කරන්න කියා මම ඔබට කීයෙහිද? නැත ස්වාමීනි”

“සුනක්ඛත්ත මමත් ඔබට නොකීවෙමි. ඔබත් මට නොකීවෙහිය” එසේනම් දැන් මම භාග්‍යවතුන් වහන්සේ අතහැර යමියි කීම කොතරම් අඥාන සාවද්‍ය කියමනක්ද? මෙම පුවතට අදාළ අවස්ථාව කුමක්ද ?

පිළිතුර - සුනක්ඛත්ත නම් ලිච්ඡවී භික්ෂු නම බුදුරජාණන් වහන්සේ තමන්ට ඍද්ධි ප්‍රතිහාර්ය නොපෙන්වන නිසාත් ලෝකෝප්පත්තිය නොදක්වන නිසාත් නොසතුටට පත්ව බුදුරදුන් අතහැර දමා යන බව ප්‍රකාශ කළ විට බුදුරජාණන් වහන්සේ කළ ප්‍රකාශයයි.

ප්‍රශ්නය – සියලු සත්වයෝ කර්මය සිය දේපළ වශයෙන් උරුම කර ගත්තේය. (ම.නි. චුල්ලකම්මවිභංග සූත්‍ර) කර්මය නම් චර්යාව (හැසිරීම්) පිළිබඳව හේතු ප්‍රත්‍යයයි. එහි අනුප්‍රාප්තික නියාමය පුනර්භවයයි. කර්මය මූලික වශයෙන් කුසල හා අකුසල ලෙස කොටස් දෙකක් වුවත් කාර්ය අනුව කොටස් හතරකි. ඒ මොනවාද?

පිළිතුර - 01.ජනක කර්මය (නාම රූප ධර්ම උපත සිදුවීම, ඉපදවීම)

02.උපස්ථම්භක කර්ම (ජීවත්වීමට උපකාර කිරීම)

03. උපපීඩක කර්ම ( ජීවත්වීමට බාධා කිරීම)

04.උපඝාතක කර්ම (ජීවිතය විනාශ කිරීම)

ප්‍රශ්නය - අකුසල කර්මවලින් වැළකී කය, වචනය යන දොරටු දෙක සංවර කර ගැනීම සීලයයි. සීලයෙහි ප්‍රභේදයන් ගණනාවක් අතරෙන් ගෘහස්ථ සීලය (ගිහි) පැහැදිලි කරන්න.

පිළිතුර - ගෘහස්ථ ජීවිතයෙහිදී ආරක්ෂා කළ හැකි සීල වශයෙන් (සප්ත සීල) ක්‍රම හතක් ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙයි. අනගාරික අගාරික වශයෙන්ද වෙන්කොට ගෘහස්ථ සීලය සමාදන් විය හැකිය.

එම සීල නම්

පංචසීලය
බ්‍රහ්මචරිය සීලය
ෂට්ක සීලය
ආජිවට්ඨමක සීලය
අට්ඨංග සීලය
නවාංග සීලය
දස සීලය

ප්‍රශ්නය - එක් අවස්ථාවකදී භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවක පිරිස අමතා මෙසේ වදාළහ.

මහණෙනි, මට චෝදනා නොකළහැකි තුන් කරුණකින් මම ක්ෂේම ප්‍රාප්තව අභය ප්‍රාප්තව විසාරදව වාසය කරමි. උන්වහන්සේට මෙසේ චෝදනා නොකළහැකි කරුණු තුන මොනවාද?

පිළිතුර - චෝදනා නොකළහැකි තුන් කරුණ නම්

01. තථාගත ධර්මය ස්වාක්ඛාත ධර්මය නොවේ
02. තථාගතයන් වහන්සේ නිවන් මඟ මැනවින් පෙන්වා දී නැත
03. තථාගත ශ්‍රාවකයෝ අර්හත්වය ලබා වාසය නොකරති.
 
තථාගතයන් වහන්සේ මෙම තුන් කරුණ මෙසේ පැහැදිලි කළ සේක.

01.තථාගත ධර්මය ස්වාක්ඛාතය
02.තථාගත ධර්මයෙන් නිවන් මග මැනවින් පෙන්වා දී ඇත.
03.තථාගත ශ්‍රාවකයෝ ආශ්‍රව ප්‍රහීණ කිරීමෙන් අර්හත්වය ලබා වාසය කරති.

මෙම තුන් කරුණින් සකාරණව මට චෝදනා කළ හැකි දෙවියෙකු , මාරයෙකු, බ්‍රහ්මයෙකු හෝ වෙනත් කිසිවෙකු මම නොදකිමියි වදාළහ.

ප්‍රශ්නය – චතුයාම සංවරවාදය ඉදිරිපත් කළ බුද්ධකාලීන ශාස්තෘවරයා කවුද ?

පිළිතුර – ජෛන මහාවීර හෙවත් නිගණ්ඨනාථ පුත්ත ශාස්තෘවරයා විසින් චතුයාම සංවරවාදය ඉදිරිපත් කළේය.

ප්‍රශ්නය – සද්ධර්මය සන්දිට්ඨික, අකාලික, එහිපස්සික, ඕපනයික පච්චත්තං වේදිතබ්බ යන ගුණයන්ගෙන් යුක්තය. මෙහි සන්දිට්ඨික දහම් ගුණය පැහැදිලි කරන්න.

පිළිතුර – දිට්ඨ නම් දැකීමයි. මනා දැකීම සන්දිට්ඨ නම් වෙයි. ඒ මනා දැකීමට සුදුසු වූ යමක් ඇද්ද ඒ සන්දිට්ඨිකය නව ලෝකෝත්තර ශ්‍රීසද්ධර්මය භාවනා ප්‍රතිවේධ වශයෙන්ද ප්‍රත්‍යක්ෂ ප්‍රතිවේධ වශයෙන්ද දකිනු ලබන්නේ නම් සසර බිය නැතිව යයි. ඒ නිසාම වස්ත්‍රයට සුදුසු වූයේ වත්ථික වන්නාසේම මනා දැකීමට සුදුසු වූයේ සන්දිට්ඨික නම් වේ.

ප්‍රශ්නය - අමරා වික්ඛෙපවාදය ඉදිරිපත් කළ ශාස්තෘවරයා බුද්ධ කාලීන අයෙකි. ෂට් ශාස්තෘවරුන් අතුරෙන් ඉතාමත් දුර්වල අදහස් ඉදිරිපත් කළ මොහුගේ නම කුමක්ද?

පිළිතුර - සංජය යනු මොහුගේ ආරම්භක නාමයයි. පියාගේ පරපුර නාමයත් එකතු වීමෙන් සංජය බෙල්ලට්ඨි පුත්ත නම් වු ඔහු අමරා වික්ඛෙපවාදය ඉදිරිපත් කළේය.

ප්‍රශ්නය - බුදුරජාණන් වහන්සේගේ සයවන වස් කාලයෙහි බිම්සර මහරජුගේ අගමෙහෙසියක් රූප මදයෙන් මත්ව සිට පසුව බුදුහු වෙතින් මහානිදාන සූත්‍ර දේශනාව අසා සෝවාන් වූවාය. රජුගෙන් අවසරගෙන පසුව පැවිදිව අඩමසකට පසුව පහනක ඇවිලීමත් නිවීමත් අරමුණු කොට විදසුන් වඩා රහත් වූවාය. මේ තැනැත්තියගේ නම කුමක්ද?

පිළිතුර - බිම්බිසාර මහරජුගේ අගමෙහෙසිය වු ඛේමා බිසව බුදු බණ අසා විදසුන් වඩා රහත් වූවාය.

 

 
 බක් අව අටවක පෝය

බක් අව අටවක පෝය අප්‍රේල් මස 11 වැනිදා සෙනසුරාදා අපරභාග 9.54 ට ලබයි.
12 වැනිදා ඉරිදා අපරභාග 08.26 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අපේ‍්‍රල් 12 වැනිදා ඉරිදාය.

මී ළඟ පෝය
අපේ‍්‍රල් 18 වැනිදා සෙනසුරාදාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 12

Full Moonඅමාවක

අපේ‍්‍රල් 18

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

මැයි 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]