පිරිසුදු ජීවිතයකින් පිරිසුදු මාවතකට
පොල්ගස්ඕවිට උන්දුරුගොඩ
ශ්‍රී විජයනන්ද ධර්මවිද්යාලයාධිපති
ශාස්ත්‍රපති
වඳුරාදෙණියේ
සිරි සෝමිස්සර හිමි
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
වාචානුරක්ඛී මනසා සුසංවුතෝ
කායේන ච අකුසලං න කයිරා
එතේ තයො කම්මපථෙ විසෝධයේ
ආරාධයේ මග්ගං ඉසිප්පවේදිතං”
පින්වත්නි ,
සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් ධම්මපද පාලිය බොදු දන දහම් ඇස පාදන
සාරාර්ථ සංග්‍රහයකි. එහි මග්ග වග්ගයට අයත් මෙම ගයෙන් පිරිසුදු මිනිස්
පෞරුෂයක් ගොඩනගන අයුරු ක්‍රමානුකූලව දේශනා කොට තිබෙනවා.
මිනිසෙක්ව ඉපිද සිප් සතර හදාරා රැකි රක්ෂා කොට ආවාහ විවාහ වී පුත්‍ර
කලත්‍රයන් පෝෂණය කොට මිය යාම සාමාන්‍ය ජීවිතයක ස්වභාවයයි. එහෙත් සසර
දිනූ කුසල සම්පන්න වූ සත්‍ය ගවේෂී, කුසල ගවේෂී අත්ථකුසලයා විසින් ඊට
මතු කාරණා කවරේදැයි සොයා බලනු ලැබේ. එම සත්‍ය ගවේෂී උඩුගම් සොයා යන දම්
රුචි ජනී ජනයා වෙත දෙසූ සදූපදේශයකි. ඉහතින් සඳහන් වූයේ.
“කය වචනය, සිත යන තිදොර රැකි තැනැත්තා ආර්ය මාර්ගයට පැමිණෙන්නේය.”
යනු එහි සුමට අර්ථයයි
විචිත්‍රවත් යැයි නොහොත් සුබ දායකයැයි හැඟෙනා ලෝකයට අයත් වූ ධර්ම
මනසින් ග්‍රහණය කරගන්නේද විචිත්‍ර හැගීමෙන්මය. එය පුහුදුන් සිතෙහි
ස්වාභාවයයි. එම විසිතුරු බව පසිඳුරන් මගින් ස්ඵර්ශ කිරීම එහි ඊළඟ
පියවරයි (කාමේව අභිපත්ථයෙ)ඊට උත්සුක වන තැනැත්තා ධර්මය ,අධර්මය නොහඟී.
යහපත අයහපත නොම ඉවසයි. නියමින් හෝ අනියමින් ස්වාභිමතයන් ඉටු කරගැනීමට
උත්සුක වෙයි. එහිදී ‘අසේවිතබ්බ” යැයි දෙසු (ම.නි.සේවිතබ්බාසෙව්තබ්බ
සුත්තං) කයින්, වචනයෙන් , හා මනසින් සේවනය නොකළ යුතු යැයි පෙන්වා දුන්
විෂමාචාරයන් සේවනය කිරීමට පෙළඹේ. මෙලෙස විෂමාචාර සෙවුනා හට “අකුසලා
ධම්මා අභිවඩ්ඪන්ති කුසලා ධම්මා පරිහායන්ති” යනුවෙන් අකුසල වැඩි කුසල
හීන වන බව පෙන්වාදී ඇත. හේ පරලොව නිරයෙහි උපත ලබන බවද (නිරයං පාප
කම්මන්තා) දේශනා කළහ.
ධර්මානුධර්ම ප්‍රතිපන්න බොදුනුවකු විසින් තම නිවන් මග විසින් කරගනු
පිණිස කාය, වාග්, මනෝ සමාචාරයෝ ඇති කර ගත යුතු ත්‍රිවිධ අකුසල මුල්කොට
ගෙන කයින් සිදුවන සාවද්‍ය ධර්ම ප්‍රාණඝාතය (ප්‍රාණීන් නැසීම)
අදත්තාදානය (නුදුන් දේ ගැනීම)
කාමමිථ්‍යාචාරය (පර අඹු සැමියන් මුල්කොට කම් සැප විඳීම)
පිටු දැකිය යුතුය. වචනය රැකීම් වශයෙන්
මුසාවාදා (අමූලික හෙවත් බොරු කීම)
පිසුනාවාචා (පිසුනු හෙවත් කේලාම් කීම)
ඵරුසාවාචා (පරුෂ හෙවත් රොස් පරොස් බස් කීම) සම්ඵප්පලාපා (පලස් බස්
හෙවත් හිස් බස් දෙඩීම) යන චතුර්විධ වූ විෂමාචාරයෝ රහිතව්‍යය සිත හෙවත්
මනස රැකගනු පිණිස
අභිජ්ඣා (අනුන් සතු වස්තූන්හි පවා ඇතිවන ආශාව) ව්‍යාපාද (දැඩි තරහව
,කෝපය)
මිච්ඡාදිට්ඨි (මිථ්‍යාදෘෂ්ටිය හෙවත් කම්මඵල ඇදහීම් වත් නැති වැරදි
දැකීම)
යන ධර්මතා අත්හළ යුතුය.
මෙම දසවිධ වූ අකුසලයන් පිටුදකින්නාහු විසින් තිදොරින් යහපත් සංකල්පනා
නෙක්ඛම්ම සංකප්ප (පඤ්චකාම වස්තුන් පිළිබද දැඩි ආශාවෙන් මිදීම)
අව්‍යාපාද සංකප්ප (අන්‍යයන්ගේ පැවැත්ම කැමැති මෙත් සිත) අවිහිංසා
සංකප්ප (අන්‍යයන්ගේ පීඩා නොඉවසන කරුණා සිත) ඇති කොට ඒ සඳහා අනලස්ව,
අප්‍රමාදීව කටයුතු කළ මනාය.
මෙහිලා වඩා වැදගත් ප්‍රකාශය වන්නේ “තයො කම්මපථෙ විසොධයේ” යන්නයි.
ත්‍රිවිධ කර්ම පථයන් පිරිසුදු කරගැනීම එහිදී අවධාරණය කෙරේ. කර්මපථ යනු
චේතනා පූර්වාංගම ව (මනස මුල් ව) කය වචන හරහා සිදු වන ක්‍රියාවන්හි
ප්‍රතිඵලයයි. එය වඩාත් පහසු හා නිරවුල් අවබෝධය සඳහා සක්‍රීය කර්මය යැයි
හඳුන්වමි. සක්‍රීය යන්නෙන් අක්‍රිය කර්ම ඇති බවද ගම්‍ය කරවයි. ඒ
එසේමැයි සිතින් සිතා කය වචනයෙන් ක්‍රියාත්මක නොවූ පින් පව් යන භාවයන්ට
සමීප නොවු සිතිවිලි මාත්‍ර වූ ම අකුසල ධර්මය ඒවා කර්ම පථ නොවන නිසාම
කර්මයට මාර්ගයක් සාදා නොදෙන ධර්ම වේ. එහෙත් කෙලෙස් වශයෙන් මනසෙහි
තැන්පත්ව නිද්‍රෝපගතව පවතී. එම කෙලෙස් බාධා පමුණුවා උත්සාහයෙන් දුරු කළ
හැකිය. එහෙත් කර්මපථයෝ වනාහි එසේ බාධා පමුණුවා පහසුවෙන් දුරු කළ හැකි
ධර්මයෝ නොවෙති. සසර ප්‍රවෘත්තියට මෙන්ම අනේකවිධ විපාක විෂයෙහිද බල
පවත්වන බෙහෝ සෙයින් නිවන් මගින්ම පහව යන දෘධ් ප්‍රපඤ්චයෝ වෙති. මනස
මුල්කොටගෙන ආශ්වාද සහිත වු විෂය ධර්ම ඉන්ද්‍රියන් මින් ග්‍රහණය කිරීම
බෞද්ධ දර්ශනය තුළ උපදාන යැයි හඳුන්වා දී ඇත. උපාදානයෙහි ඵලය භවයයි. භවය
යනු කුමක්ද? දිනක් අනඳ තෙරුන් සහ බුදුරජාණන් වහන්සේ අතර මෙබදු ධර්ම
සංවාදයක් ඇතිවේ.
“ස්වාමීනි භවය භවය යැයි කියනවා. කොපමණකින්ද භවය කියලා කියන්නේ.ආනන්දය,
කාම භවයේ විපාක විඳින්න කර්මයක් නැත්නම් කාම භවය කියා දෙයක් තියෙනවද?
නැහැ ස්වාමීනි, ඒ නිසා ආනන්දය කර්මය කුඹුරයි (කම්මං ඛෙත්තං) විඤ්ඤාණය
තමයි බීජය (විඤ්ඤාණං බිජං) එය වැඩීම සදහා අවශ්‍ය ජලය වන්නේ තණ්හාවයි.
(තණ්හා සිනේහෝ) හීන ධාතුවෙහි විඤ්ඤාණය පිහිටියා ප්‍රාර්ථනාව පිහිටියා
චේතනාව පිහිටියා” (හීන ධාතුයා විඤ්ඤාණං පතිට්ඨිතං පත්තනා පතිට්ඨිතං
චේතනා පතිට්ඨිතං)
මෙහිදී ඉතා සුගම ලෙස භවය යනු කුමක්දැයි පහදා තිබෙනවා. එනම් විපාක දීම
සඳහා කර්මයක් ගොඩනැගීමයි භවය කියන්නේ. කාම රූප අරූප යන ත්‍රිවිධ භවයන්
වල ඒ ඒ භවයන්ට අදාළව විපාක විඳීමට කර්මයක් සැකසුනොත් එතැන භවය කියන දේ
නිර්මාණය වෙනවා. එසේ විපාක දීමට කර්මයක් සංස්කරණය නොවුයේ නම් භවය කියා
දෙයක් නැහැ. හීන ධාතුව යනුවෙන් ඉහත දැක්වූයේ කාම භවයයි. කාම භවයේ
විඤ්ඤාණය , ප්‍රාර්ථනාව ,චේතනාව පිහිටියේ නම් එතැන ගොඩනැගෙන්නෙ කාම
භවයයි. රූප අරූප භවයෝත් මෙලෙසමයි. මෙයින් තහවුරු වන්නේ තිදොරින් සිදුවන
සචේතනික කාය , වචී, මනෝ සංඛාරයන් නිසා භවය හෙවත් නැවත නැවත සසර පැවැත්ම
සිදුවන බවයි.
කම්මා විපාකා වත්තන්ති
විපාකො කම්ම සම්භවෝ
තස්මා පුනබ්භවො හෝති
එවං ලොකෝ පවත්තති
ඉන්ද්‍රියානුබද්ධ විඤ්ඤාණය හීන ධාතුවේ හෙවත් කාම ලෝක වස්තු සමඟ ඇලීම්
ගැටීම් ඇතිකරගන්නවා. ඇලීම්, ගැටීම් යනු විඤ්ඤාණයෙහි ක්‍රියාකාරිත්වයයි.
එය සක්‍රීය කර්මයක් බවට පත් කරමින් අප කය වචනයෙන් ක්‍රියා කරන්නේ නම්
විඤ්ඤාණය මුහුකරා යාමට ඉඩ හරින්නේ නම් එම ක්‍රියාව ක්ෂේත්‍රය හෙවත්
කුඹූර බවට පත්වෙනවා. විඤ්ඤාණය නමැති බීජ වගා වන්නේ මෙම ක්‍රියාව හෙවත්
කර්මය නම් කුඹුරේයි. අප මේ ක්‍රියා දෙකම පෝෂණය වන පරිදි තෘෂ්ණාව (රාග,
දෝස, මෝහ) පවත්වනවා නම් බීජයන්ට දිය ඉසින්නාක් මෙන් එම බීජ පැළවී
වැඩෙනවා. මේ වැඩෙන දෙය තමයි අප භවය කියා සඳහන් කරන්නේ. එනම් යම් භවයක
විපාක විඳීමට කර්ම සැකසීමයි. එම කර්ම මව් මරා උපන් ඵලයක් සේ අපට හිංසා
පමුණුවන භවය නමැති ඵලය හදනවා.
‘හිංසන්ති අත්ත සම්භූතා
තව සාරංව කම්ඵලං
එපමණක් ම නොව ඒවා සක්‍රීය අකුසල බවට පත්වුවහොත් නිරාදුක්ද ලබනවා.
මේ දසඅකුසල් නෙකකුත් කල හොත්
උව දෙසකින් බසකින් කර වුව හොත්
එවිගස එක් අදහස සිත සිතු වොත්
නොනැවත මොහු හැමදෙන නිරයට යෙත් (ලෝවැඩසඟරා) මේ අනුව තිදොර අසංයත බව සසර
ප්‍රවෘත්තියට, ප්‍රවෘත්තිය නිසා සිදුවන අපමණ වූ ජාති, ජරා, දුක්ඛයන්ට
අත වැනීමකි. එබැවින් “ඉසිප්පවේදිතං මග්ගං ආරාධයේ “ යනුවෙන් ගාථාවේ
සඳහන් ආකාරයට මහඍෂි වූ තථාගත සම්බුදුරජාණන් වහන්සේ දෙසු මාවතට පිවිස දස
අකුසලයෙන් ඈත්ව කුසල්හි තත්පර විය යුතුය.එම මාර්ගය අරි අටඟි මගයි. ආත්ම
පි‍්‍රය වූවෙකු පවෙන් වැළකිය යුතුමය.
ආර්ය මාර්ගයට මුල් වන්නේ සීල සමාධි ප්‍රඥා යන ත්‍රි ශික්ෂාවයි.
දස අකුසලින්ම මිදීම සීල සමාධි ප්‍රඥාවනට අයත්ය. කය වචනයෙන් සිදුවන
දුර්වලතා ශීලයෙන්ද මනසින් සිදුවන සැහැසි දම් සමාධි ප්‍රඥා මගින්ද දුරු
කරයි. ශීලයෙන් ඇතිකරණ කයෙහි හා මනසේ සමබරතාව, මානසික අස්වැසිල්ල
සමාධියට මුල පිරීමයි. සමාධිගත වන සිත දැඩි අදිටනින් සිහි නුවණින් කුසලය
වඩවයි. දියුණු වන සිත යහපත් සංකල්පනාවෝ ගොඩ නගයි. එම සංකල්පනා නිරවද්‍ය
වූ ධර්මයෝම විමසත්, කම්මස්ස කතා සම්මාදිට්ඨිය මෙන්ම මාර විෂය පථය ඉක්ම
වූ අරිය අනාසව ලෝකුත්තර සම්මා දිට්ඨියට පිළිවිස සුර්යා මෙන්
ප්‍රකර්ෂයෙහි බබළන්න කු බවට පත්වන්නේය.
එබැවින් සසර මිදීමෙහි ප්‍රොත්සාහි වන බෞද්ධයා විසින්
”සිය පණ සුතනබුන් –සව් සිරි විකුම් පවති නොසිතව් නුවණැසින් විමසා –
බැලුව සීනෙන් ලත් ඉසුරුවැනි “ (ලෝකෝපකාරය)
අඹු දරුවන් සැප සම්පත්, ගත,බිරිය තබා තම ප්‍රාණයද අස්ථිරය මෙවා
නින්දෙන් පිබිදී කල නැතිව යන සිහිනෙන් ලද සම්පත් සේ සලකා සුචරිතවත්
මිනිසෙක්ව නිවන් මග සඳහා නොපමාව කුසල් වැඩිය යුතුය.
කුසලයෙහි නොපමා වේවා! |