UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

පූජාච පූජනීයානං

ඇහැලියගොඩ සෝරත නා හිමි

ඇහැලියගොඩ උඩුමත්තේ රාජපක්ෂ දම්පතීන්ට දාව 1932 දෙසැම්බර් මස 17වන දින මෙලොව එළිය ලැබීය. මේ කුමරුවාණන් මව් පිය සෙනෙහසින් ළමා කාලය ගතකොට ඇහැලියගොඩ රජයේ පාසලින් මූලික අධ්‍යාපනය ලබා ගත්හ. මුල පටන්ම දහමට ලැදිව කටයුතු කළ මෙම කුමරුවාණන් ප්‍රවෘජ්‍යා භූමියට පත්වූයේ 1946 නොවැම්බර් මස පස්වන දිනයේදීය.

එවකට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යාය ධුරන්ධර මාත්ගම පඤ්ඤාජෝත්‍යාසභ නාහිමිපාණන් වහන්සේ සහ ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික ත්‍රිපිටකාචාර්ය අසසැන්නාවත්තේ සිරි සුදස්සි නායක මාහිමිපාණන් වහන්සේ සාමණේරයන් වහන්සේගේ ආචාර්යන් වහන්සේලා වූහ. එතැන් පටන් ඇහැලියගොඩ සෝරත යන නමින් හැඳින්වීමට විණි. 1946 වර්ෂයේ සිට 1948 වර්ෂය දක්වා කොස්හේන ශ්‍රී විසුද්දාරාම විහාරස්ථානයේ සිට ඉතා කාර්යශූරත්වයෙන් පැවිදි දිවියට අදාළ මූලික ශික්ෂණයන් ලබාගත් අතර 1949 වර්ෂයේදීම ගල්කන්ද සිරි නිකේත පිරිවෙන් මූල මහා විහාරයට වැඩමවා තවදුරටත් ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහනය ලබන්නට වූහ. බලගල්ලේ සරස්වති පිරිවනින් තම පැවිදි දිවිය ඔපවත් කරගත් අතර ඉන්පසු මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයට ඇතුළත්ව සිය අධ්‍යාපන කටයුතු කරගෙන ගියේ ඉතා දක්ෂ අන්දමෙනි. ප්‍රාචීන පණ්ඩිත විභාගය ඉතා උසස් අන්දමින් සමත් වූ අතර එහිදීම සරසවි පිවිසුම් පෙළ ද සමත් වූහ. 1959 වර්ෂයේදී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ස්වාමින් වහන්සේ 1962 වර්ෂයේදී ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්හ. උගත්කමින් මෙසේ පිරිපුන් වූ අප සෝරත හිමිපාණන් වහන්සේ සමාජ හා ශාස්ත්‍රීය සේවාවෙහි නියුක්ත වන්නට විය. තම සේවය මුලින්ම ආරම්භ කළේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අති දුෂ්කර ග්‍රාමීය පාසලකිනි. අප ස්වාමින් වහන්සේ තම සැපතට වඩා අන්‍යයන්ගේ සැපත වෙනුවෙන් කටයුතු කළ අයෙකි. මෙවන් දුෂ්කර සේවාවකින් පසු 1967 වර්ෂයේදී සිය පැවිදි නිජබිම වූ ගල්කන්ද හොරම්පැල්ල ප්‍රදේශයට සිය අධ්‍යාපන සේවාව විහිදුවාලීමට වැඩම කළහ. පුරා දස වසරක් එම ප්‍රදේශයට කළ සේවාව අමරණීය වේ.

1973 වර්ෂයේදී කොස්හේන ශී‍්‍ර විසුද්ධාරාම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු ස්වාමීන් වහන්සේ වෙත පැවරිණි. එතැන් පටන් කොස්හේන විහාරස්ථානයේ සංවර්ධන ගමන්මග අලුත්වන්නට විය. ආවාස මන්දිරය , දානශාලාව, විහාර මන්දිරය ගොඩනැංවීමෙන් මෙම විහාරස්ථානය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත්කිරීම සඳහා සිදුකළ සේවාව සුළු පටු නොවේ. එපමණක් නොව සාංචි තොරණ ආකෘතියෙන් විහාරස්ථ තොරණ හා ප්‍රාකාරය කරවීමෙන් එහි අලංකාරය දෙගුණ තෙගුණ වන්නට විය. 1977 වර්ෂයේ දී ගොඩිගමුව මහා විද්‍යාලයේ ගුරුවරයෙකු වශයෙන් පැමිණීම මෙකී සේවාවන් වඩාත් විධිමත් වීමට ඉවහල් වූවායැයි සිතිය හැකිය.

එය ගොඩිගමුව ප්‍රදේශයේ දූ දරුවන්ගේ ඉමහත් වාසනාවක් විය. මෙහි දෙවසරක සේවා කාලයකින් පසු එහිම නියෝජ්‍ය විදුහල්පති පදවියට පත්වන පණ්ඩිත සෝරත හිමිපාණෝ තම කාර්යශූර හා විචක්ෂණ පරිපාලන දක්ෂතාව නිසා 1981 වර්ෂයේදී විදුහල්පති තනතුරට උසස්වීම් ලදහ. කොස්හේන ශී‍්‍ර විසුද්ධාරාම විහාරස්ථානය මුල් කරගනිමින් විවිධ සමිති සංවිධාන පිහිටුවා ප්‍රදේශයේ බැතිමතුන්ගේ ආර්ථික ආගමික හා සංස්කෘතික දියුණුව උදෙසා කළ කැපකිරීම ශ්‍රේෂ්ඨය. කොස්හේන ශ්‍රී ප්‍රඥාභා දහම්පාසලින් සහ ශී‍්‍ර සුදර්ශි ළදරු පාසල් මගින් ප්‍රදේශයේ දූ දරුවන්ගේ නැණ නුවන අවදි කරලන්නට සිදු වූ මෙහෙය අති විශාලය.

ගොඩිගමුව මහා විද්‍යාලය අන්ධකාරයෙන් ආලෝකය කරා ගෙන යාමට සෝරත පණ්ඩිත හාමුදුරුවන්ට හැකිවූයේ උන්වහන්සේ තුළ තිබූ ස්ථානෝචිත ප්‍රඥා මහිමය නිසාය. එකී විද්‍යාලයේ ක්‍රීඩාපිටිය සඳහා එක් දානපතියෙකුගේ ආධාර ලබා ගනිමින් සිදු කළ මෙහෙවර ප්‍රශංසනීය වේ.

විද්‍යාලීය පුස්තකාලය, ගොඩනැගිලි දියුණු කිරීමක් සිදු කළා සේම ආචාර්ය මණ්ඩලය දියුණුකිරීමද අගයකළ යුතුවෙයි. සෝරත පණ්ඩිත හාමුදුරුවන් සහජයෙන්ම සමාජශීලි වූහ. සමාජ සේවාකාමී වූහ.

නිහතමානී වූහ. එම නිසාම සුවිශේෂී වූ සමාජ මෙහෙවරක් සිදු කිරීමට පුළුවන් විය. සිය ගුරු දේවයන් විසින් ආරම්භ කොට පවත්වාගෙන ආ ගල්කන්ද කොස්හේන ඒකාබද්ධ ගිලානෝපස්ථාන සමිතිය නොකඩවා පවත්වා ගැනීමත් එය වඩාත් දියුණු කරලීමටත් පණ්ඩිත හාමුදුරුවන් උත්සුක වූහ. මේ අනුව මීරිගම මූලික රෝහල ඇතුළු ප්‍රාදේශීය රෝහල් හැඳල පී‍්‍රතිපුර ළමා නිවාසය, කඳවල ආනන්ද ළමා නිවාසයත් ආඩියාකන්ද ළමා නිවාසයත් දූනගහ මාතෘ නිවාසයත් උන්වහන්සේගේ ක්‍රියාවලිය හා සම්බන්ධ වන ස්ථානයන් වේ.

අහැලියගොඩ සෝරත පණ්ඩිත හාමුදුරුවන්ගේ ජ්‍යෙෂ්ඨ පැවිදි සහෝදරවරුන් වන ගල්කන්ද සිරි නිකේත මූල මහා පිරිවෙන් විහාරාධිපති, ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික ශාස්ත්‍රවේදී තොරණගොඩ සුමනසිරි ස්වාමින් වහන්සේ සහ කොස්හේන ශී‍්‍ර විසුද්ධාරාමාධිපති,ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සංඝ සභාවේ ලේඛකාධිකාරි, විශ්‍රාමලත් විදුහල්පති ශාස්ත්‍රපති අස්සැන්නාවත්තේ රතනජෝති ස්වාමින් වහන්සේ එක්ව මෙම ගිලානෝපස්ථාන සමිතිය ඉතාම සාර්ථකාකාරයෙන් වර්තමානයේදී ඉදිරියට කරගෙන යාම කාගේත් සතුටට හේතුවන කරුණකි. ප්‍රදේශයේ බැතිමතුන් සැමගේ නොමද සහාය මේ සඳහා නාහිමිවරුන් දෙපළටම ලැබෙන බැව් අපි දනිමු.

ඇහැලියගොඩ සෝරත ස්වාමීන් වහන්සේ ශාසනික සේවාව සඳහා යොමුවන විට ඒ සදහා ලැබුණ පිටිවහල සුවිශාලය.

තනතුරු, පදවි, තානාන්තර නා හිමියන් සොයා ගියේ නැත. එහෙත් එකී තනතුරු පදවි තානාන්තර අප නාහිමියන් සොයා පැමිණි අවස්ථා කොතෙකුත් ඇත. මිනුවන්ගොඩ අධ්‍යාපන ප්‍රදේශයේ බුද්ධ ධර්ම ගුරු උපදේශක තනතුර දිවුලපිටිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි තනතුර, ගොඩිගමුව මහා විද්‍යාලයේ විදුහල්පති තනතුර, ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුවිජ්ජක තනතුර ශී‍්‍ර සුදර්ශි සමාජ සේවා හා ආගමික ආයතනයේ අධ්‍යක්ෂක තනතුර ආදිය අප නා හිමිපාණන් වහන්සේ තුළ වූ කාර්යශූරතාවය නිසාම ලැබුණු ඒවාය. මේ කිසිවකින් උදම් වූ බවක් නම් පෙනෙන්නට තිබුණේම නැත. සිදුවූයේ අප නා හිමිපාණන් තව තවත් නිහතමානී වීමය.කුල, ජාති, පළාත්, නිකාය ආදි හෝ වෙනත් උස් පහත් භේද නොසැළකීම, කිසිවෙකුටත් දොස් නොකියන කාරුණික හැඟීමෙන් යුක්ත වීම පහසුකම් ඇතත් නැතත් බණට පිරිතට දනට මරණයට වැඩමවීම අප නා හිමියන්ගේ සුවිශේෂී ලක්ෂණයක් වූ අතර අසරණ ගිහි පැවිදි අයට පිහිට වන ඔවුන්ගේ දියුණුව දැක සතුටුවන,අසරණ සිසු දරුවන්ට මග පෙන්වන ආදර්ශවත් සංඝ පීතෘන් වහන්සේ නමකි.

අප නාහිමිපාණන් වහන්සේට ශක්තිය සැපයූ ශී‍්‍ර ලංකාවේ කීර්තියට පත්වූ උගත් පැවිදි සහෝදර පිරිසක්ද එමෙන්ම සුපතල ශිෂ්‍ය පිරිසක්ද භික්ෂු ශාසනය තුළ බිහිවීම අභිමානයෙන් අගය කළ යුතු කරුණක් වන්නේය. මෙවන් සුවිශේෂි ලෝ සසුන් සේවාවක නිරතව සිටි අප ඇහැලියගොඩ සෝරත නායක ස්වාමින් වහන්සේ ලෝකයේ සියල්ල අනිත්‍යයැයි යන බුදු වදන සනාථ කරමින් 1995 වර්ෂයේ අපි‍්‍රයෙල් මස 01 වෙනි දින සිහි නුවණින් යුතුව අපවත් වී වදාළ සේක. මෙම අපි‍්‍රයෙල් මස 01 දිනට වසර 20 ක් සම්පූර්ණ වූ බැවින් අප නාහිමිපාණන් වහන්සේට පින් පැමිණවීම පිණිස, උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ පැවිදි සහෝදර වත්මන් කොස්හේන ශි‍්‍ර විසුද්ධාරාමාධිපති, ශාස්ත්‍රපති අස්සැන්නාවත්තේ රතනජෝති නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි පිංකම් රැසක් සිදු කිරීමට කටයුතු සූදානම් කර තිබිණි. අපි‍්‍රයෙල් මස 01 දින කොස්හේන ශී‍්‍ර විසුද්ධාරමා විහාරස්ථානයේදී සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමුනු අතර ගැබිනි මව්වරුන්ට හා දරුවන්ට සෙත් පතා සිදු කෙරෙන විශේෂ ආශිර්වාද පූජාවක් ද විය. එම ආශිර්වාද පූජාව කොළඹ ගුණසිංහ පුර විද්‍යානිකේත පරිවෙණාධිපති , ශාස්ත්‍රවේදී පරගම්මන අමරකිත්ති ස්වාමින් වහන්සේ විසින් සිදු කරන ලදි. සංඝගත දක්ෂිණාවෙන් අනතුරුව ගැබිනි මව්වරුන් 25 දෙනෙකුට පෝෂ්‍යදායි ආහාර වේලක් පරිත්‍යාග කිරිම හා රුපියල් 2500 ක වටිනාකමකින් යුක්ත අමතර උපකරණ කට්ටලයක් පරිත්‍යාග කිරීමද සිදු කෙරිණි. එදින රාත්‍රි 07 ට විශේෂ අටවිසි බෝධි පූජාවක් පවත්වා මීට විසි වසරකට පෙර අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත ඇහැලියගොඩ සෝරත ස්වාමින් වහන්සේ වෙත පුණ්‍යානුමෝදනා කළ අතර මෙපින් බලෙන් සසර මග තරණය කොට ලබන අමා මහ නිවන් සුවයට පත්වේවායි පතන්නෙමු.


ජුලම්පිටියේ ඤණරතන නා හිමි

මාතර කිරින්ද පූර්වාරාම පිරිවෙන ප්‍රදේශයේ පැරණිතම විහාරස්ථානයකි. අතිපූජනීය හීල්ලේ ශ්‍රී දේවමිත්ත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් බුද්ධ වර්ෂ 2445 දී මෙහි ආරම්භය සනිටුහන් කරන ලදී.

පූර්වාරාම පිරිවෙනෙහි පැවිදි වූ භික්ෂූන් වහන්සේලා අතර කිරින්දේ ශ්‍රී ධම්මානන්ද මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ අති විශේෂය. උන්වහන්සේ ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් වූ අග්‍රගණ්‍ය විචිත්‍ර ධර්ම දේශකයෙකි. ග්‍රන්ථ කතුවරයෙකි. නිහතමානී ගතිගුණ ඇති සැබෑ බුද්ධ පුත්‍රයෙකි. එසේම මෙම පිරිවෙනේ පරිවේණාධිපතින් වහන්සේ ලෙස වැඩ සිටිය රාජකීය පණ්ඩිත විචිත්‍ර ධර්ම කථික අපරැක්කේ දේවානන්ද මහා ස්වාමින් වහන්සේ ආදර්ශවත් හිමි නමකි. උන්වහන්සේගේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්නට එදා ගුවන් විදුලි ශ්‍රාවකයන් මහත් ඕනෑකමින් පෙළ ගැසී සිටියහ.

එසේම කිරින්ද පූර්වාරාම පිරිවෙන් විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති විශ්‍රාමලත් පාඨශාලාචාර්ය අපරැක්කේ හිමරතන මහා ස්වාමින් වහන්සේත් සුවිශේෂී හිමි නමකි. උන්වහන්සේ අපරැක්කේ දේවානන්ද පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ හා ගැටමාන්නේ පියරතන මහා ස්වාමින් වහන්සේ වැඩ සිටිය කාලයේ සිටම විහාරස්ථානයේ කුදුමහත් ආගමික ජාතික මෙහෙවර ඉටුකළහ. ශ්‍රී සිද්ධාර්ථ දහම්පාසලට ප්‍රමාණවත් ගොඩනැගිල්ලක් ඉදිකරමින් දහම් පාසල් දරු දැරියන්ටත්, විහාරස්ථ දායකදායිකාවන්ටත් අවශ්‍ය කරන බෝධි පූජා අනෙකුත් පින්දහම් කරමින් බොහෝම කැපවීමෙන් කටයුතු කරමින් වැඩ සිටිති. අද දක්නට ලැබෙන බෝධි ප්‍රාකාරය ,පිළිසකර කරන ලද විහාරය, විහාර පිවිසුම් පියගැටපෙළ නව සංඝාවාස ගොඩනැගිල්ල ආදී වත්මන් විහාරස්ථානයේ දර්ශනීය බව ඇති කරන්නට මූලිකයාණන් වහන්සේ වන්නේ අපරැක්කේ හිමරතන නාහිමිපාණන් වහන්සේය. රැයක් දවාලක් නොමැතිව ශාසනික වශයෙන්ම මෙන්ම ජාතික වශයෙන්ද අවශ්‍ය කටයුතු කළහ. උන්වහන්සේට මල්වතු මහා විහාරයෙන් නායක පදවියක් පිරිනැමිණි. ඒ සඳහා විහාරස්ථ භික්ෂූන් වහන්සේලාත් ප්‍රදේශවාසී භික්ෂූන් වහන්සේලාත් විහාරස්ථ දායක සභාවත් එකකු වී උන්වහන්සේට කළ හැකි විශේෂ ප්‍රණාමයක් වශයෙන්ද සලකා පින්කම් මාලාවක් සංවිධානය කර තිබිණි. මේ ආකාරයෙන්වත් උන්වහන්සේට උපහාරයක් පුදන්නට හැකියාව ලැබුණේ අති පූජනීය ජුලම්පිටියේ ඥානරතන නා හිමියන් වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ පින්කම් මාලාව නිසාය. 2015 මාර්තු මස 31 ක් වන දින සත්වරුවේ පිරිත් පින්කම් පැවැත්විණි. අපේ‍්‍රල් 02 වනදා සවස 03.00 ට අපරැක්කේ හිමරතන නාහිමියන් වහන්සේ වෙනුවෙන් සකස් කරන ලද ආලෝකෝ අභිනන්දන ශාස්ත්‍රීය සංග්‍රහය පිරිනැමීමත්, ජුලම්පිටියේ ඤාණරතන නාහිමියන් වහන්සේට මල්වතු මහා විහාරයෙන් පිරිනැමුනු භාරතයේ ප්‍රධාන සංඝනායක පදවිය නිමිත්තෙන් උන්වහන්සේ පිළිගැනීමත් වශයෙන් විශේෂ උත්සව සභාවක් තෛ‍්‍රනිකායික මහා සංඝරත්නයේ වැඩම වීමෙන් හා සම්භාවනීය පින්වතුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.

මෙම පින්කම් මාලාවේ කතානායකයාණන් වහන්සේ වන්නේ ජුලම්පිටියේ ඥානරතන මහා ස්වාමින් වහන්සේය. උන්වහන්සේ කිරින්ද පූර්වාරාම පිරිවෙණෙන් බිහි වූ අති උදාර ශාසනසෝභන වචනයේ පරිසමාප්ථාර්ථයෙන් සැබෑ බුද්ධ පුත්‍රයෙකි. උන්වහන්සේගේ ගුණ සුවඳ “සබ්බාදිසා සප්පුරිසෝ පචාති” යන බුද්ධ වදනට අනුව සෑම දිසාවකම සිල් සුවඳ විහිදී යන්නේය. ප්‍රවීන ගීත රචක රඹුකන සිද්ධාර්ථ හිමියන් විසින් ඤාණරතන නාහිමි අභිනන්දන ශාස්ත්‍රීය සංග්‍රහයට එක්කරන ලද කාව්‍ය නිර්මාණයෙන් ඤාණරතන නාහිමියන්ගේ බෝධිසත්ත්ව ගුණයන් මනාව පිළිබිඹු වේ.

ඤාණරතන නාහිමිපාණන් වහන්සේට එංගලන්තය, ඇමරිකාව ආදී රටවල වැඩ වෙසෙමින් දැඩි දුෂ්කරතාවන්ට පත් නොවී වැඩ සිටින්නට අවස්ථාව තිබුණත් ‘සංකස්ස’ වැනි වැලි දූවිල්ලෙන් පිරුණු අති දුෂ්කර ප්‍රදේශයකට වැඩම කිරීම සංසාරගත පුරුද්දක් විය යුතුයි. එවැනි ප්‍රදේශයක වැඩ වාසය කරමින් ඤාණරතන නාහිමියන් සසරට අවශ්‍ය කරන මහා පින්කමක් සිදුකර ගන්නට කටයුතු කළ බව අද සංකස්සපුර ඉදිකර ඇති දර්ශනීය විහාරස්ථානයෙන් කියාපායි.

මෙම සංකස්සපුර ඓතිහාසික සිදුවීම් ගණනාවක් සිදු වූ ස්ථානයකි. එවැනි මිල කළ නොහැකි පින්බිමක විහාරස්ථානයක් තනා ලෝකයාට බුදු දහමේ සිසිලස ලබා දෙන්නට මුළු දිවියම කැප කළ අතිඋදාර යතිවරයෙකි.

 

 
 බක් අව අටවක පෝය

බක් අව අටවක පෝය අප්‍රේල් මස 11 වැනිදා සෙනසුරාදා අපරභාග 9.54 ට ලබයි.
12 වැනිදා ඉරිදා අපරභාග 08.26 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අපේ‍්‍රල් 12 වැනිදා ඉරිදාය.

මී ළඟ පෝය
අපේ‍්‍රල් 18 වැනිදා සෙනසුරාදාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 12

Full Moonඅමාවක

අපේ‍්‍රල් 18

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

මැයි 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]