UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු සිරිතට මුල්තැන දෙමු

බොදු සිරිතට මුල්තැන දෙමු

සූර්ය උදාවේ මංගල්‍ය තුළින් අපට කියන්නේ ජීවිතයේ ස්වභාවයයි. සඳ හිරු තරු ගමන් කරමින් යන්නා සේ අප ද අපේ ජීවිතයේ මරණය කරා ගමන් ගන්නා බවත් එයට කල් උදා වූ බවත් කියයි.

අවුරුදු සමයේදී අපේ වැඩිහිටියෝ තම ඉඩම ශුද්ධ පවිත්‍ර කරන අතර ගේ දොර මකුළු දැල් කඩා සෝදා පිරිසඳදු කරති. මැටි ගොම ගා අලුත් කරති. බාහිර ස්ථාන පිරිසුදු කරන්නාක් මෙන්ම තම සන්තානය ද ශුද්ධ පවිත්‍ර කළ යුතුය. පිරිසුදු කළ යුතුය. වැරදි අඩුපාඩු අතපසුවීම් ඉසි කෝ මද මානාදිය ඈත් කර ගත යුතුය අසමගිය වෙනුවට සමගිය සහෝදරත්වය මුසු කළ යුතුය. වෛරය, ක්‍රෝධය ඈත් කළ යුතුය . පවුල තුළින් අසල්වාසීන් තුළින් ජාතින් අතරත් රට තුළත් මේ උදාර සංකල්පනා අලුත් අවුරුද්දේ ගොඩනගා ගත යුතුය. සියල්ලන්ම ජීවත්වන්නට කැමතිය. එයට අවස්ථාව, ඉඩ ලැබිය යුතුය. එය නීතියකට වඩා ගුණ දහම් මඟින් ගොඩනගා ගත හැකිවේ.

වැඩිහිටි වන්දනාව ද අවුරුදු සමයේ දැකියහැකි සුවිශේෂ චාරිත්‍රයකි. දූ දරුවන් තම මවුපියන්ට බුලත් හුරුළු දී ගාථා දෙකක් කියා වැඳ කමා කර ගනු ලබයි. ලෝකයේ කිසිම රටක මවුපියන්ට ගාථා කියා දී වඳින්නේ නැත. අප රටේ සිංහල බෞද්ධ දරුවන් තම මවුපියන්ගේ ගුණ කඳ සමරමින් ගාථා කියා වඳින්නේ අප්‍රමාණ සෙනෙහසකින් යුතුවය. අසරණ අම්මා කෙනෙකුගේ සිතිවිලි ජනකවියා පහත සඳහන් පරිදි සටහන් කර ඇත.

බඩගිනි වෙලා මා ගිය කල පුතුගෙ ගෙට
මැනලා වී ටිකක් දුන්නයි මල්ල කට
ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට
මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට

මෙලෙසින් අපේ සමාජයේ පිරිහී යන සාරධර්ම මතු කර සුරකින්නට ජනකවියා දුන් ඔවදන් ජනකවි පුරාණයේ සටහන් වී ඇත.

බිම ඉරි තලලයි බිම් මල් පිපෙන්නේ
කඳ ඉරි තලාලයි කඳ රඹ පිපෙන්නේ
දස මස පිරීලයි අම්මා වදන්නේ
එහෙව් අම්මාට ඇයි නුඹ බනින්නේ

මල්ලියේ ඔහොම නොකියන් අපෙ අම්මාට
දෙතනේ කිරි දුන්නෙත් අප දෙන්නාට
තිබෙන දෙයක් දෙන්නෙත් අප දෙන්නාට
බුදුන් වඳින ලෙස වැඳපන් අම්මාට

මහා වග්ගපාලියේ සුද්ධෝදන මහ රජු සිය පුතු සෙනෙහස මතු කරනු ලැබුවේ “පුත්‍ර පේ‍්‍රමය සිරුරෙහි සිවිය සිඳියි. සිවිය සිඳ සම සිඳියි. සම සිඳ මස් සිඳියි. මස් සිඳ නහර සිඳියි. නහර සිඳ ඇට සිඳියි. ඇට සිඳ ඇට මිදුලු හැපී පැතිර සිටියි. ස්වාමීනි මව්පිය අවසර නොමැතිව පුත්‍රයකු පැවිදි නොකරන්නේ නම් මැනවි” .

සිරිත් මල්දම තුළින් මව්පියන්ගේ ශ්‍රේෂ්ඨත්වය දක්වන්නේ.

මව්පියො උතුම් මය
අපගේ පෙර දෙවිවරු මය
අප රකිනුවෝ මය
වඳිමු මවුපියෝ දෙදෙන මහි මය

අපේ පැරණි සමාජයේ දරුවෝ තම දෙමාපියෝ ජාති ජාතිත් ප්‍රාර්ථනා කරනු ලැබූ අතර ජනකවියා ඒ බව වර්ණනා කරනු ලැබුවේ පහත සඳහන් පරිදිය.

උඩින් යන්න රන් තැටියක් ලැබීයන්
බිමින් යන්න මුතු කුඩයක් ලැබීයන්
තනියම යන කලට පිරිවර ලැබීයන්
අපෙ අම්මා ජාතිත් මට ලැබීයන්

වැල්ලේ පිපෙන බිම් මල වාසනාවන්
ගොල්ලේ පිපෙන පන් මල වාසනාවන්
අතු අග පිපෙන සපුමල් වාසනාවන්
අපේ අම්මා ජාතිත් මට වාසනාවන්

ඇතැම් මව්පියන් අනාගතයේ අසරණ වන්නේ දරුවන් නිසාය. මෙව්පියන්ට දරුවන් සම්පතකි. පැරණි අපේ සමාජයේ මව්පියන්, දූදරුවන් වෙත දක්වන ලද දයානුකම්පිත බව ඉතිහාසය පුරා කියවෙන අතර නූතන සමාජයේ දූ දරුවන් මේ මව්පියන්ගේ වටිනාකම් උතුම් බව වැඩි වැඩියෙන් අගයා ක්‍රියා කළ යුතුවේ. එය සමාජයට දෙනු ලබන මහා ගුණවත් බෝසත් පාඩමකි. එය අලුත් අවුරුද්දේ දී චාරිත්‍ර වාරිත්‍ර සමග මුසුවී තිබීමෙන් එය වඩාත් අර්ථවත් කර ඇත.

නමුත් නූතන ශ්‍රී ලංකාවේ මවුපියන්ට වැඩිහිටියන්ට සැලකීම ශෝචනීය තත්ත්වයක් ගන්නා බව වාර්තා වේ. අසරණ මවුපියන් කාත්කවුරුවත් නැති පාලු ස්ථානවලට ගෙන ගොස් දමන ගුණ දහමින් හීන දරුවන්ද නැත්තේ නොවේ. වැඩිහිටියන්ට මව්පියන්ට ගරු කිරීම සැලකීමෙන් විශේෂ ආනිශංස රැසක් හිමි වේ.ආයු, වර්ණ, සැප, බල ඒ අතර වේ. ජාතක පාලියෙහිදි වැඩිහිටියන්ට සැලකීම ඉතාම අපූර්වත්වයෙන්ද දක්වා ඇත. තිත්තිර ජාතක කථාව එයට කදිම නිදසුනකි. මේ සිංහල අලුත් අවුරද්දේ වැඩිහිටි වන්දනාව මවුපිය වන්දනාව ඉතා උසස් ලෙස මතුකර ගැනීමක් බවද සිහිපත් කළ යුතුවේ. පරණ අවුරුද්දේ හා අලුත් අවුරුද්දේ දී මවුපියන් වැඩිහිටියන් වැඳීම අවුරුදු චාරිත්‍ර අතරට එක්ව ඇති අතර එය මුළු ජීවිතයටම ආශිර්වාදයක් වන්නට මුළු ජීවිතයම පුරාම මේ උදාර ගුණයෙන් පෝෂණය වන්නට අදිටන් කිරීම වැදගත් වේ.

පුණ්‍ය කාලයේදී තම ආගමික වතාවත්වල යෙදෙමින් ඉෂ්ඨ දේවතාවුන්ට පින්දීමද අවුරුදු චාරිත්‍ර අතර සුවිශේෂ චාරිත්‍රයකි. තම ජීවිතය අගමානුකූලව පවත්වාගෙන යාම දියුණුවට හේතුවේ. දියුණුවේ දොරටු මොනවාදැයි විටෙක පුතෙකු පියාගෙන් ඇසූ විට එයට පිළිතුරු ලබා දෙන්නට බුදුන් වහන්සේ ළඟට කැටුව ගොස් එය විමසූ විට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනු ලැබුවේ නිරෝගී බව අචාරශීලි බව, වැඩිහිටියන්ගේ උපදෙස් ලබා ගැනීම, හොඳ ඉගෙනීමක් තිබීම, දැහැමිව ජීවත්වීම, කම්මැලි නැති කම මේආදී ගුණයන්ගෙන් යුක්ත නම් ඔහු දියුණු වන බවයි.

අපේ රටේ දරුවන් ඉතාම අවිහිංසක ජන ක්‍රීඩා මඟින් සතුට ජීවිතයට එක් කරගත් අතර වැඩිහිටියන්ද ඒ තුළින් සතුට එක්කරගත්තේය. අවුරුදු සමයේදි විශේෂයෙන් පංච දැමීම, වලකජු ගැසීම, ඔන්චිලි පැදීම, රබන් ගැසීම ආදී වශයෙන් විවිධ ක්‍රීඩාවන් කරමින් සතුට සමගිය සහෝදරත්වය එකමුතුකම ගොඩනගා ගන්නා ලදී.අද සමාජයෙ ් ඇතැමෙක් සංකර සිරිත් විරිත් සමගින් මත්ද්‍රව්‍ය වැනි දෑ භාවිතා කරමින් මුළු ජීවිතයම රෝගීන් බවටත් අසහනකාරි තත්ත්වයටත් පත් කරගෙන ඇති අතර මුළු පවුලටම අසතුට වේදනාව එක්කර ඇත. එම නිසා අවිහිංසක ක්‍රියා පිළිවෙත් මගින් සතුට එක්කර ගත යුතු වේ. එයට ඉපැරණි ආදි මුතුන් මිත්තන් කී මඟ යෑම ඉතාම ඤාණාන්විත බව ද සිහි කටයුතු වේ. නැකතට ගිනි මොළවා ආහාර පිස නැකතට අනුභවය ද කරනු ලබයි. එහිදී අනුගමනය කරනු ලබන චාරිත්‍ර ඉතාම ඤාණාන්විතය. වැඩිහිටි මව්පිය දූ දරු සෑම එකට එකතු වී පොල්තෙල් පහන් දල්වා එකට බෙදාගෙන කවුුරුත් සමගියෙන් අනුභව කරනු ලබයි. එය ඉතාම කලාතුරකින් ලැබෙන අවස්ථාවක් නිසා ගෙදර මව්පියන්ට තම දූදරුවන් සමඟ, ඥාතින් සමඟ ඒ අවස්ථාවට සම්බන්ධ වන්නට ලැබීම අතිශය සතුට ගෙන දෙන්නකි. නමුත් ඇතැම් පියවරු බීමත්කමින් එදාටත් මෙම උසස් චාරිත්‍ර වාරිත්‍ර අමතකර තුන්සිය හැටපස් දවසක් ගතවන දවසේ ද බිරිඳට දරුවන්ට සතුටින් කටයුතු කරන්නට අවස්ථාව ලබානොදෙන අවස්ථාද දැකිය හැකිය. එය අතිශය ශෝචනීය බව සිහි කටයුතුය.අපගේ ආහාර වේලට අසරණ සතුන්ගේ මස් නොගැනීමටද වගා බලා ගත යුතු වේ. පලා කොළ, කොස් ගෙවත්තේ එළවළු ගන්නේ නම් ආර්ථිකමය වශයෙන් හා සෞඛ්‍යමය වශයෙන් වන ලාභයද සිතිය යුතුය. කෙනෙකු තවත් කෙනෙකුගේ මස් බව තේරුම් ගෙන සරලව චාම්ව බරක් නොවන ලෙස තම චරියාවන් සකසා ගන්නේ නම් ලොකු සතුටක් ඇතිවේ.

හිස තෙල්ගෑමද, නවසඳ බැලීම, රැකියාවන්ට පිටත් වී යෑම ආදි චාරිත්‍ර ද විශේෂයෙන් ශරීර සෞඛ්‍යයත් මානසික සුවයත් කායික සුවයත් උදා කරවයි. වැඩ වැඩි බව හිසත් කයත් බර කරයි. ඉන් යම් විවේකයක් ගෙන තම කටයුතු වල නිරත වීම සුවය ගෙන දෙන්නකි.අපේ ලාංකික සමාජයේ සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් සකසා ඇති චාරිත්‍ර වාරිත්‍ර සියල්ලම වාගේ බුදු සමයේ ආභාෂයෙන්ද හින්දු ආගමික බලපෑම් මතද මිශ්‍රණයකින් සකස් වී ඇති බවත් දක්නට ලැබේ’. ආගමික ජීවිතය සුවය ගෙන දෙන බැවින් සොබා දහමට අනුගතව තම කටයුතු ධෛර්යමත්ව, අලසකමින් තොරව, අලුත් සිතුම් පැතුම් ඇතිව ක්‍රියා කළ යුතුය. අලුත් අවුරුද්දේ චාරිත්‍ර වාරිත්‍ර ආගමික නැඹුරුවකින් යුතුව චාම්ව ඉටු කරන්නට අදිටන් කර ගන්නා ලෙසත්, එය මෙලොව සැප පිණිසත් සසර සැප පිණිසත් පවතින බව සිහි කටයුතුය.

 

 
 බක් අව අටවක පෝය

බක් අව අටවක පෝය අප්‍රේල් මස 11 වැනිදා සෙනසුරාදා අපරභාග 9.54 ට ලබයි.
12 වැනිදා ඉරිදා අපරභාග 08.26 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අපේ‍්‍රල් 12 වැනිදා ඉරිදාය.

මී ළඟ පෝය
අපේ‍්‍රල් 18 වැනිදා සෙනසුරාදාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 12

Full Moonඅමාවක

අපේ‍්‍රල් 18

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

මැයි 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]