මැදින් අව අටවක 2015.03.13
ළමා කාලය
මනුෂ්‍යයාගේ සිත බොහෝවිට අයහපතට නැඹුරුවන්නේ නිරායාසයෙනි. එසේ
නිරායාසයෙන් නො මඟට යන සිත සුමඟට යොමු කර ගැනීමට නම් මනුෂ්‍යයා
ධර්මානුකූල විය යුතුය. ශාන්තිනායක ලොවිතුරා බුදුරජාණන් වහන්සේ
ලොව පහළ වී වසර 2600ක් ඉක්ම ගියද උන්වහන්සේගේ දහම අදටත්
ජීවමානව පවතී. ඒ උතුම් සම්බුදු දහම එදා මෙන් අදත්, අද මෙන්
මතුවටටත් සර්වකාලීනව පවතී. ජීවමාන බුදුරදුන් දවස දඹදිව තලයේ
පහළ වූ බොහෝ දෙනා අන්‍ය ලබ්ධිකයන් වූවද තථාගතයන් වහන්සේගේ මඟ
පෙන්වීමෙන් නිවැරැදි සද්ධර්ම මාර්ගයට ඒ සියලු දෙනාම බොහෝ විට
යොමුවූයේ ලෞකික ලෝකෝත්තර උභයාර්ථ සිද්ධියම එමඟින් සැලසුන
හෙයිනි.
විවිධ සත්ත්වයන් සම්බුදු දහමේ උදාවෙන් ධර්මාලෝකය උදාකර ගත්හ.
සත්‍යය ගවේෂණය කළ, සත්‍යය ගවේෂකයන් අතර ලොවිතුරා බුදුරජාණන්
වහන්සේ අග්‍ර වන්නේද ලොව සියලු සත්ත්වයනට සත්‍යාවබෝධය සඳහාම
පිහිට වූ උතුම් සම්බුදු දහම ලොවට දේශනා කළ බැවිණි.
සම්බුදු දහමේ අගය වටිනාකම යම් තරමකින් හෝ දැනුමක් ලැබීමෙන්
ජීවිතය ධර්මානුකූලව ගත කිරීමට වෙහෙසෙනු ලැබේ. ධර්මයේ පිහිට,
පිළිසරණ ලද හැකිවනුයේ ද ඊට අනුව දිවි ගෙවීමෙනි. අපගේ අවධානය ඒ
සඳහා නිරන්තරයෙන් යොමුවිය යුත්තේ අපගේ හැදෙන වැඩෙන දරු පරපුර
වෙතය.
ළමා විය, ළමා ලෝකය සැබැවින්ම සුන්දරය. ඒ සුන්දර ළමා විය ගෙවා
යොවුන් විය හෝ මව්පිය වැඩිහිටි විය පසුවන්නන් විසින් ළමා
වියෙහි පසුවන දරුවන් වෙත අවවාද අනුශාසනා කළ යුතුය. නිවැරුදි
මාර්ගෝපදේශකත්වය සැලසිය යුතුය. ආදර්ශයෙන් පසුවිය යුතුය.
අත්දැකීම් නැති දරු පරපුර වෙත හැමවිට කාරුණිකව මඟ පෙන්විය
යුතුය. දරුවා අධ්‍යාපනය ලබන වයසේදී ඊට නිසි මඟපෙන්විය යුතුය.
එසේ නොවුවහොත් ඒ දරුවාගේ ජීවිතයට විවිධ බාධා පැමිණීමෙන්
අධ්‍යාපනය පවා නොලබා අනාගතය අඳුරු කර ගැනීමටද ඉඩ ඇත. නිසි
අධ්‍යාපනය පමණක්ම නොව දරුවා ආගමික අධ්‍යාපනයටද යොමු කළ යුතුය.
ධ්‍යාපනයෙන් ලබන දැනුමත් ආගමික අධ්‍යාපනයෙන් ලබන ගුණ දහම්
පෝෂණයත් නිසි අයුරින් දරුවා වෙත ලබාදීමෙන් දරුවා අනාගතයේ යහපත්
පුරවැසියෙකු ලෙස සමාජයට මහ මෙහෙවරක් ඉටු කරනු ලැබේ. ඇතැම් විට
සමහර දරුවෙකු බාහිර අත්දැකීම් නො ලැබීමෙන් හෝ සමාජය ගැන නිසි
දැනුමක් නොමැති වීමෙන් ළමා කාලය නිකරුණේ ගත කිරීමට යොමුවිය
හැකිය.
ළමා කාලය යනු විශේෂයෙන් දෙමව්පියන්, ගුරුවරුන්, වැඩිහිටියන්
ආදීන්ගේ අවවාද අනුශාසනා ලබමින් කීකරුව සන්සුන්ව අධ්‍යාපනය
ලැබිය යුතු කාලය යි.
ඇතැම් මව්පියවරු තමන්ගේ දරුවන් වෙනුවෙන් කිසිදු සුව පහසුවක්
නොලබා දරුවන්ගේ අනාගත යහපත අපේක්ෂාවෙන් ශ්‍රමය, ධනය කාලය වැය
කරනු ලැබේ. දහඩිය වගුරුවා හරි හම්බකරගත් ධනය ස්වකීය දරුවන්
වෙනුවෙන් වියදම් කරනුයේ දරුවන්ගේ අනාගතය සුඛිත මුදිත කිරීමේ
අපේක්ෂාවෙනි. එහෙත් අවාසනාවකට හෝ මව්පියවරුන්ගේ ඒ දහසක් පැතුම්
බොඳවී යනු ලබන්නේ ද දරුවන්ගේ කැපවීම හා උනන්දුව නොමැති වු විටය
අධ්‍යාපනය ලබා තරග විභාගවලින් සමත්වීමට පවතිනුයේ මහත් අභියෝග
රැසකි. තරගකාරිත්වය ඒ අතර ප්‍රධාන ය. තරගයට සූදානම් කිරීම
පමණක් නොව ඊට මුහුණදිය හැකි ශක්තිය දරුවා තුළ පවතීදැයි
කාරුණිකව සිතා බැලීමද මව්පියන්ගේ වගකීමකි.
මව්පියන් උනන්දු වූ පමණින් හෝ කැපවීම් කළ පමණින් තරග
විභාගයකින් සමත්විය හැකිදැයි කුඩා දරුවන් අවබෝධ කරගත යුතුය.
දරුවා තම ශක්ති ප්‍රමාණය අනුව දැනුමෙන් අවබෝධය ලැබිය යුතුය.
එසේ නොවුවහොත් මව්පියවරුන්ගේ ශ්‍රමය, ධනය, කාලය වැය කිරීමෙන්
ප්‍රයෝජනයක් ලද හැකි නොවේ.
දරුවාට මානසික විවේකයද අත්‍යාවශ්‍යය. මානසික විවේකයත්, සහනයත්
ලබාදෙන අතර ආගමික පරිසරයට ද දරුවා නිරතුරුවම යොමු කළහොත්
මව්පියවරුන්ගේ අපේක්ෂා සාර්ථක කර ගැනීමට අපහසු නොවනු ඇත.
|