UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිතර නිතර මෙනෙහි කළ යුතු වන්නේය

නිතර නිතර මෙනෙහි කළ යුතු වන්නේය

බුදුරජාණන් වහන්සේ අපට උගන්වන දේ මෙයින් ඉතාමත් පැහැදිලිය. අප තැති ගැනීමට පත්වෙන්නෙ බාහිර අභ්‍යන්තර සියල්ල වැරැදි විදිහට අල්ලාගෙන සිටින නිසයි. හරියට සර්පයෙකුගේ කඳෙන් හරි වලිගයෙන් හරි අල්ලා ගන්නවා වාගෙයි. තවදුරටත් උන්වහන්සේ අපට අනුශාසනා කරන්නේ, බාහිර දේවල් නැතිවුනාට තැති ගැනීමක්, දුකක්, ශෝකයක්, කම්පනයක් ඇති නොවන්නට නම් ඒවායේ අනිත්‍ය ස්වභාවය නිතර මනසෙහි උපදවා ගත යුතු බවයි.

භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටි සමයේ තම ශ්‍රාවක පිරිස අතර සිටි “අරිට්ඨ” නම් භික්ෂුවට එක්තරා වැරැදි සංකල්පනාවක් ඇතිවී තිබුණි. එසේ වීමට හේතුව වූයේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්ම කාරණාවක් වැරැදි විදියට තේරුම් ගෙන තිබුණු නිසයි. තමන් තේරුම් ගෙන තිබූ ආකාරය නිවැරදිය යන දෘෂ්ටියෙහි පිහිටි අරිට්ඨ භික්ෂුව එසේ එම කරුණ අන් අයටත් ප්‍රකාශ කළේය.

මේ අනුව අරිට්ඨ භික්ෂුව කැඳවූ භාග්‍යවතුන් වහන්සේ අරිට්ඨ භික්ෂුවට බුද්ධ ශාසනයේ උණුසුුමවත් ලැබී නැති බව වදාරමින් අලගද්දූපම සූත්‍රය ( ම.නි. මූල පණ්ණාසකය) දේශනා කළ සේක. අලගද්දූපම හෙවත් සර්පයා උපමා කොටගෙන වදාළ එම සූත්‍රය තුළ අන්තර්ගත ධර්ම කාරණා අපගේ ජීවිතයටත් නූතන යුගයටත් බෙහෙවින් ප්‍රයෝජනවත් බව පෙනේ.

නිවන් මඟට අනතුරුදායක වූ කාමයන් මෙහිදී උපමාකොට දක්වන්නේ භයානක සර්පයෙකුගේ ඔළුව පැත්තටයි. මේ කාමයන් තුළ ආදීනව මහත් රාශියක් තියෙන බව කියල තියෙද්දිත් ඔබ මේ ධර්මය වැරදි විදිහට අල්ලගෙන තමන්ගේ මිථ්‍යාදෘෂ්ටිය ලෝකයට පෙන්නල ප්‍රසිද්ධ වෙන්ට හදනව නොවේදැයි බුදුරජාණන් වහන්සේ අරිට්ඨ භික්ෂුවට චෝදනා කළ සේක. සර්පයෙකුගෙන් ප්‍රයෝජන තියෙන මිනිසෙක් සර්පයෙකු සොයාගෙන ඒ සර්පයාගේ කඳෙන් හරි වලිගයෙන් හරි අල්ලාගත්තොත් ඒ සර්පයා ආපසු හැරිල අර පුද්ගලයාට දෂ්ට කරන එක සිදු විය හැකි දෙයකි. එවිට ඒ පුද්ගලයා එක්කෝ මරණයට පත් වෙයි. නැතහොත් මාරාන්තික දුක් වේදනාවලට භාජනය විය හැකියි. ධර්මය වැරදි විදිහට අල්ලා ගැනීමත් ඒ වගේමයි. ඒ අවස්ථාවේදි බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට අවවාද කළේ ඒ විදිහටයි.

අනතුරුව බුදුරජාණන් වහන්සේ පහුරක් උපමා කරගෙන භික්ෂූන්ට ධර්මය දේශනා කළ සේක. පහුර තියෙන්නේ ජලාශයකින් එතෙර වෙන්ට මිස, එතෙර වෙලා මේක මට උපකාරි වුනා කියල පහුර කරේ තියා ගෙන යන්ට නොවෙයි. මේ ධර්මය පවා අවබෝධ කරගත්තට පස්සේ අත්හරින්ට තිබෙනව. එහෙම එකේ අධර්මය අත්හැරිය යුතුයි කියන එකේ අමුතුවෙන් කියන්නට දෙයක් නැහැ.

මෙසේ ධර්මය දේශනා කරද්දි එක්තරා භික්ෂුවක් භාග්‍යවයතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසීය. “ස්වාමීනි , බාහිර දේවල් නැතිව යද්දිත් තැතිගැනීමක් ඇතිවෙනවද?” “මහණෙනි, බාහිර දේවල් නැතිව යන කොට තැති ගැනීමක් ඇතිවෙනව. මට තිබුණූ දෙයක් දැන් නැතිවුනා කියල කෙනෙක් ශෝකවෙනව. වැළපෙනව. එයා ක්ලාන්ත වෙනව. සිහිවිකල් කර ගන්නව. ඒ විදිහටයි බාහිර දේවල් නැතිවුනාම තැතිගන්නෙ” යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළ.

අප පරිහරණය කරන බාහිර දේවල් කොපමණ තියෙනවද? කන බොන දේවල්,ඇඳුම් පැළඳුම් , වතුපිටි දේපොළ, නෑදෑ හිත මිතුරන්, නොයෙකුත් පාරිභෝගික භාණ්ඩ යාන වාහන ආදි මේ සියල්ලම බාහිර දේවල් වෙති. කෙටියෙන් කිවහොත් ෂඩ් ඉන්ද්‍රයයන්ගෙන්ම අප අල්ලගෙන ඉන්නෙත්,අල්ලාගන්ට උත්සාහ කරන්නෙත් බාහිර දේවල්මයි. මැරෙන කොට මේ සියල්ලම අපට අහිමිවෙයි. ඒ නිසා මරණයට තරම් තැතිගැන්මක් වෙන මොනවටවත් නැත. බාහිර දේවල් නැතිව අපට ජීවත් විය හැකිද? අප ළඟ ඇති පිළිතුර බැහැ කියන එකයි. එන්න එන්නම අපගේ ගෙවල්වල බඩු භාණ්ඩ අඩු නොවේ’. සිදුවන්නේ වැඩි කරගන්න එකමයි. තියෙන බඩු කන්දරාව තියන්න ඉඩක් නැති තරම්ය.අපේ ඉඳුරන්ට ඒවා කොපමණ තිබුණත් නොසෑහේ. ඉතින් ඒවා නැති වෙන කොට අපට ඇතිවන්නේ කම්පනයකි. තැති ගැනීමකි. භික්ෂූන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය සිව්පසය පමණකි. ඒවත් පරිහරණය කිරීමේ සීමා පනවා ඇත. නමුත් ගිහි සමාජ ක්‍රමය ඊට වෙනස්ය. අප උත්සාහ කරන්නේ අල්ලගෙන රැකගෙන මගේ කමට අපේ කමට සවිකරගෙන තව තවත් එකතු කරගැනීමටය. නමුත් ඒ එකක්වත් නිත්‍ය නොවේ. නැතිවෙන සුළුය. මගෙ කමට සවිකර තිබුණු දේවල් නැති වුනාමයි මේ තැති ගැනීම ඇතිවන්නෙ. මගේ අම්ම, තාත්තා දරුවන් සහෝදර සහෝදරියන් ඥාතීන් හිතවතුන්,දේපොල වස්තුව මේ සියල්ලම මගේ සම්පත්ය. මේවා”මම සමඟම තිබිය යුතුය. තැති ගැනීම ඇතිකරන්නේ බාහිර දේවල් නොවේ. මගේ කම මඟින් උපදවනු ලබන බැඳීමයි.

අර භික්ෂුව නැවතත් භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ විමසීය. “භාග්‍යවතුන් වහන්ස, බාහිර දෙයක් නැති වුනාම තැති ගැනීමක් ඇතිනොවීමකුත් තියෙනවද?”

“ඔව් තැති ගැනීමක් ඇති නොවීමකුත් තියෙනව. යම් දෙයක් මට තිබුණා දැන් නැතිවුනා කියන අදහස නැති, මට අහිමිවුනා කියන අදහස නැති කෙනෙකුත් ඉන්න පුළුවන්. බාහිර සියල්ල නැතිවෙනවාය කියන අවබෝධ ඥානය එයාට තියෙනව. ඒ නිසා ඒවා නැතිවුනාට එයා ශෝක වෙන්නෙ නැහැ. වැලපෙන්නෙ නැහැ. ක්ලාන්ත වෙන්නෙ නැහැ. සිහිවිකල් වෙන්නෙ නැහැ”

“භාග්‍යවතුන් වහන්ස, තමන්ගෙ ජීවිතයට අයිති දෙයක් නැති වුනොත් තැති ගැනීමක් ඇතිවෙනවද? යනුවෙන් ඒ භික්ෂුව නැවතත් විමසීය.

ඔව් තැති ගැනීමක් ඇති වෙනව. එයා භවයටම ඈඳුනු කෙනෙක්, භවය අල්ලගත්තු කෙනෙක්. තමන්ගෙ ජීවිතයට අයිති දෙයක් හැටියට උප්පත්ති භවයක් සකස් කරගෙන, විශ්වාස කරගෙන වැරැදි දෘෂ්ටියකට බැසගත්තු කෙනෙක්. මේ ලෝකය නිත්‍ය වූ ආත්ම වූ සදාකාලික වූ දෙයක් ලෙස ගත්තු කෙනෙක්.ආයෙමෙත් කවුරු කවුරු හරි වෙලා මේ ලෝකය තුළම ඉන්න කැමති කෙනෙක්. එයාට තථාගතයන් වහන්සේගෙන් හරි තථාගත ශ්‍රාවකයෙකුගෙන් හරි ධර්මය’ අසන්නට ලැබෙනවා. ඒ ධර්මය මඟින් දේශනා කරනු ලබන්නෙ, සැම දෘෂ්ටියක්ම නැති කරල, කෙලෙස් දුරු කරල, තණ්හාව ක්ෂය කරල, සංස්කාර සන්සිඳවල සියලු භවයන් නැති කරල නිවන ලබන අයුරුයි.”

තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ කුමක්ද?

“යම් කිසි දෙයක් අල්ලගත්තම ඒ දේ නිත්‍ය දෙයක් නම්, ස්ථිර දෙයක් නම්, සදාකාලික දෙයක් නම්, වෙනස් නොවන ධර්මතාවයකින් යුක්ත නම් ඒ විදිහට තියෙන දෙයක් අල්ල ගත්තට කමක් නැහැ. නමුත් එවැනි නිත්‍ය දෙයක් ඔබ දැක තියෙනවද?”

එතැන සිටි භික්ෂුහු පිළිතුරු දුන්නේ එවැනි දෙයක් දැක නැති බවයි. “ඒක හරි , ඒ විදිහේ දෙයක් මාත් දැකල නැහැ. යමක් ඔබේ නොවේ නම් ඒ ගැන තියෙන ආශාව අත්හරින්න. බොහෝ කාලයක් එය ඔබගේ හිත සුව පිණිස පවතියි” .

‘රූපය ඔබට අයිති නැහැ. ඒ නිසා රූපයට තියෙන ආශාව අත්හරින්න. වේදනාව, සංඥාව, සංස්කාර, විඤ්ඤාණය ඔබට අයිති නැහැ. ඒ නිසා ඒවාට තියෙන ආශාව අත්හරින්න. ඔය විදිහමට ඉතාමත් යහපත් ලෙසටයි මේ ධර්මය මං දේශනා කරල තියෙන්නෙ”

බුදුරජාණන් වහන්සේ අපට උගන්වන දේ මෙයින් ඉතාමත් පැහැදිලිය. අප තැති ගැනීමට පත්වෙන්නෙ බාහිර අභ්‍යන්තර සියල්ල වැරැදි විදිහට අල්ලාගෙන සිටින නිසයි. හරියට සර්පයෙකුගේ කඳෙන් හරි වලිගයෙන් හරි අල්ලා ගන්නවා වාගෙයි. තවදුරටත් උන්වහන්සේ අපට අනුශාසනා කරන්නේ, බාහිර දේවල් නැතිවුනාට තැති ගැනීමක්, දුකක්, ශෝකයක්, කම්පනයක් ඇති නොවන්නට නම් ඒවායේ අනිත්‍ය ස්වභාවය නිතර මනසෙහි උපදවා ගත යුතු බවයි. ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය ප්‍රමාණය නුවණින් දැක ඒවා පරිහරණය කරනවා මිස ඒවාට බරක් තියාගෙන අල්ලාගෙන සිටීම සුදුසු නැත. ඒවා වැඩි වැඩියෙන් එකතු කරගෙන කරදරයක් නැතිව පරිහරණය කරමින් සතුටින් ජීවත්වීමේ වාසනා ගුණය උදාකරගෙන තෘෂ්ණාව පෝෂණය කර ගන්නට ධර්මය පරිහරණය කළොත් ධර්මය වැරැදි ලෙස අල්ලා ගත්තා වෙයි. බාහිර දේවලට බර වැඩියෙන් තියන්ට තියන්ට ඒවා නැතිවන විට ඇතිවන තැතිගැනීමත් කම්පනයත් එපමණකින්ම වැඩිවෙයි.

තමා නිවැරැදි නම් පමණක් තමාට සතුටුවිය හැකිවෙයි. බුදුරජාණන් වහන්සේ මෙහිදී අපට පෙන්වා දෙන සේක. එසේම අපට ප්‍රශංසා කළාට, ඒ ගැන අමුතුවෙන් උද්දාමයට පත්වෙන්නටවත්, සතුටුවෙන්නටවත් අවශ්‍ය නැත. මක්නිසාද යත්? ඒ සියල්ල අනිත්‍ය ධර්මතාවයට යටත් බැවිනි. එක්වරක් හෝ දෙවරක් ඇසීමෙන් හෝ දැනගැනීමෙන් මේ ධර්ම සංඥාව උපදවා ගත නොහැකිය. මේ බව නිතර නිතර මෙනෙහි කළ යුතු වන්නේය.

 

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය පෙබරවාරි මස 25 වැනි දා බදාදා පූර්වභාග 10.54 ට ලබයි. 26 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 25 වැනිදා බදාදාය.

මීළඟ පෝය
මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 28

Full Moonපසෙලාස්වක

මාර්තු 05

Second Quarterඅව අටවක

මාර්තු 13

Full Moonඅමාවක

මාර්තු 20


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]