UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මුනි සිරිපා පහස ලද මහියංගණ පුදබිම

මුනි සිරිපා පහස ලද මහියංගණ පුදබිම

බුදුරජාණන් වහන්සේ එදා ප්‍රථම වරට ලංකාවට වැඩම කළ අවස්ථාවේ දී මහියංගන දාගැබ ඉදිවන ස්ථානයෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ඇසූ සමන් දෙවියන් සෝවාන් වී වැඳ පුදා ගැනීමට පූජා වස්තුවක් ඉල්ලා සිටියේ ය. බුදුරජාණන් වහන්සේ හිස පිරිමැද කේශධාතු මිටක් සමන් දෙවියන්ට ලබා දුන් සේක.

සමන් දෙවියන් විසින් එම කේශධාතු නිදන්කොට ඉඳුනිල් මාණික්‍යයෙන් සත් රියන් දාගැබ කරවන ලදී. ඉන්පසු බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරුව සරභූ තෙරුන්වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේගේ ගී‍්‍රවා ධාතූන් වහන්සේ මෙම දාගැබෙහි ම නිදන් කොට දොළොස් රියන් උසට මේදෝ වර්ණ පාෂාණයෙන් දාගැබ කරවන ලදි

සම්මා සම්බුදුපියාණන් වහන්සේ මේ අපේ පින්බිමට තෙවරක්ම වැඩම කළ බව වංසකතාවල ද සඳහන් වන කරුණකි. එයින් ප්‍රථම ගමන සිදුවූයේ මහියංගන පුදබිමටය. බුදුරජාණන් වහන්සේ මහියංගනයට වැඩම කළේ දුරුතු පුර පසළොස්වක දිනයේ දීය. අප රටට වැඩම කළ බුදුරජාණන් වහන්සේ එදින සවස් භාගයෙහි මහවැලි ගංතෙර පිහිටියා වූ මහානාග වනයෙහි රැස්ව සිටි යක්ෂ සමාගම මධ්‍යයෙහි අහස් කුස වැඩසිට පෙළහර පා අන්ධකාරයක් මවා ඔවුන් දමනය කරන ලද ස්ථානයෙහි මහියංගනයේ දැනට ඇති ස්තූපය ගොඩනගන ලදී. මහියංගන දාගැබ පිළිබඳ මුල් ආරම්භය මෙසේ ය.

බුදුරජාණන් වහන්සේ එදා ප්‍රථම වරට ලංකාවට වැඩම කළ අවස්ථාවේ දී මහියංගන දාගැබ ඉදිවන ස්ථානයෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ඇසූ සමන් දෙවියන් සෝවාන් වී වැඳ පුදා ගැනීමට පූජා වස්තුවක් ඉල්ලා සිටියේ ය. බුදුරජාණන් වහන්සේ හිස පිරිමැද කේශධාතු මිටක් සමන් දෙවියන්ට ලබා දුන් සේක.

සමන් දෙවියන් විසින් එම කේශධාතු නිදන්කොට ඉඳුනිල් මාණික්‍යයෙන් සත් රියන් දාගැබ කරවන ලදී. ඉන්පසු බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරුව සරභූ තෙරුන්වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේගේ ගී‍්‍රවා ධාතූන් වහන්සේ මෙම දාගැබෙහි ම නිදන් කොට දොළොස් රියන් උසට මේදෝ වර්ණ පාෂාණයෙන් දාගැබ කරවන ලදී. ලංකාවට ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ දක්ෂිණ ශාඛාව වැඩම කරවීමෙන් පසුව එහි දෙතිස්ඵල රූහ (තිස් දෙකක් බෝ පැළ) වලින් එකක් ද මෙම පුදබිමේ රෝපණය කර ඇත. ඉන්පසුව දෙවනපෑතිස්ස රජුගේ සහෝදරයෙකු, වූ උද්ධ චූලාභය කුමාරයා විසින් මහියංගන ප්‍රදේශය පාලනය කරන කාලසීමාවෙහි දී මහියංගන දාගැබ තිස්රියන් උසට හෙවත් අඩි හැත්තෑ පහක් උසට බඳවන ලදී. ඉන්පසුව මහියංගන දාගැබ විශාල කර බැඳවීම පිළිබඳ සඳහන් වන්නේ දුටුගැමුණු මහ රජතුමා ද්‍රවිඩයන් හා සටන් කළ සමයේ දී මහියංගනයේ කඳවුරු බැඳ සිටි අවස්ථාවේ මහියංගන දාගැබ අසූරියන් හෝ සූසැට රියන් උසට ගඩොලින් බඳවන ලදී. (වල්ලිපුරම් රන් සන්නස සහ හෙළ උරුමය - සිරිසමන් විජේතුංග පිටු 230 – 231 (2003)

මහියංගනය පුරාණ කාලයේ දී පුදබිමක් පමණක් නොව නගරයක් ලෙසින් ද පැවතුනි. මාගම සිට අනුරාධපුරය බලා සතුරන්ට එරෙහිව සටන නිම කිරීම පිණිස දුටුගැමුණු කුමරාගේ යුද හමුදාව ගමන් කර ඇත්තේ ද මහියංගනය හරහාය. එය ඒ කාලයේ පැවැති පැරැණි ගමන් මාර්ගයකි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් පර්යේෂණ කැනීමකට මහියංගනය යොදා ගන්නා ලදී. මහියංගන දාගැබ කැනීමේ දී ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා ලංකාවේ ප්‍රථම වරට දාගැබක් තුළ ධාතු ගර්භයෙහි බිතු සිතුවම් තිබුණු බවට සොයා ගන්නා ලදී. මෙම ධාතු ගර්භය අයත් වූයේ මේ රට චෝලයින් විසින් අල්ලාගෙන සිටි කාලයේ දී මහ විජයබාහු කුමරු චෝලයින්ට විරුද්ධව සටන් කරන අතරේ මහියංගන පුදබිමෙහි කඳවුරු බැඳගෙන ස්වල්ප කාලයක් සිටි බව මහාවංසයේ දෙවැනි කොටසේ සඳහන්වන කරුණකි. (මහාවංසයේ දෙවැනි කොටස පරිච්ඡේද 58 ගාථා 48 – 50 )

ඊට අමතරව මහියංගන දාගැබ මහ විජයබාහු රජතුමා විසින් ප්‍රතිසංස්කරණ ලද වෙහෙර විහාර සඳහන් කර මහාවංසයෙහි දෙවැනි කොටසේ සඳහන් වේ. (මහ විජයබාහු රජතුමා - සිරිසමන් විජේතුංග පි. 100 ( 2014) මේ අනුව ඓතිහාසික ලෙසින් මහවිජයබාහු රජුගේ මහියංගන දාගැබේ සංරක්ෂණ කටයුතු ගැන ඉතා වැදගත් සාක්ෂියක් ලෙසින් මහාවංසයේ සඳහන් කරුණු වැදගත්වේ.

මහියංගන දාගැබ සංරක්ෂණ කිරීම පමණක් නොව එහි බිතුසිතුවම් ද එම ධාතු ගර්භයෙහි තිබී හමු වූ ලෝකඩ අශ්වාරෝහක හා අනෙකුත් රූප සහ පූජනීය වස්තු ද ඒ රජුගේ කාලයේ දී නිම කරන ලද බව පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් බිතුසිතුවම් වලින් සනාථ වේ.

දාගැබක ධාතු ගර්භයෙහි බිතු සිතුවම් තිබුණු බවට සාක්ෂි ආචාර්ය සෙනරත් පරණවිතාන පුරාවිද්‍යා කොමසාරිස්තුමා විසින් සොයා ගෙන ඇත. බෝමැඩ අසුන් අරා වැඩසිටින බුදුරජාණන් වහන්සේගේ දකුණු පැත්තේ රැවුලක් සහිතව සිල්වත් කෙනෙකුගේ රුවක් වෙයි. මේ බිතු සිතුවම් අතර බුදුරජාණන් වහන්සේට සත්කාර කිරීම පිණිස පැමිණි දෙව්බඹුන් අතර විෂ්ණු දෙවියන් දෑතින් මල් බඳුනක් දරා සිටින අයුරු ද ශිව දෙවියන් ත්‍රිශූලය ආදියෙන් සමන්විත කර තිබීම ද ආශ්චර්යවයත් වේ. (පුරා විද්‍යා පාලන වාර්තාව - පරණවිතාන පි. 10 (1951) )

මෙම බිතුසිතුවම් අතරින් බෝධි වෘක්ෂය මුල වැඩ සිටින බුදු රුවක් ලෙසින් දැක්වෙන අයුරු පිළිබඳ ආචාර්ය නන්දා වික්‍රමසිංහ මහත්මිය සඳහන් කරන අන්දමට මහියංගන දාගැබෙහි බිතුසිතුවම්වල තේමාව වඩාත් මහායාන බුදු සමයට බර වූවකි. ධාතු ගර්භයෙහි තැන්පත් කර තිබූ ත්‍රිශූලය හෙවත් වජ්‍ර සංකේත පංච ධ්‍යානි බුද්ධ මණ්ඩලය හා බුදු පිළිම මූර්ති කැටයමක පිටුපස ලියා ඇති ‘ යෙ ධම්මා හේතුප්‍රභවා’ ගාථාව පාල රාජ යුගයේ (ඉන්දියාවේ) ගාථාව පාල යුගයේ නාගරී අක්ෂර වලින් තිබීම යන සාක්ෂි අනුව මේ චිත්‍රවල මහායාන බලපෑම සහතික කරයි. (ආචාර්ය නන්දා වික්‍රමසිංහ ලියූ චිත්‍ර කලාව ග්‍රන්ථයේ බිතු සිතුවම් ක්‍රි.ව. 800 – 1200 ලිපිය පි. 55)

මහියංගන ධාතු ගර්භයේ තිබී හමු වූ ලෝකඩ රූප පිළිබඳව ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා මෙසේ සඳහන් කරයි.

“මෙම ලෝකඩ රූප හතර ඉන්දියාවේ හෝ ලංකාවේ හෝ දක්නට ලැබෙන අන් කවර මූර්තියකට සම කළ නොහැකිය. ඒ අශ්වාරෝහක රූප හතරින් එකක් නිම කර ඇත්තේ නියම ජීවමාන ඉරියව් ඇතිවය. සෑම අසරුවෙක්ම කඩු සහ පළිහ දරති. ඒ හැම අසරුවෙකු පිටු පසම ස්ත්‍රී රූපයක්ද වේ. මෙම රූපවලින් දැක්වෙන්නේ තරුණියක උවදුරකින් බේරාගත් යෝධයෙකු විය හැකි ය. (පුරාවිද්‍යා පර්යේෂණ පරණවිතාන පි. 178 ( 1973) )

මහියංගන දාගැබ මහවිජයබාහු රජතුමා විසින් (ක්‍රි.ව. 1070 – 1110) ප්‍රතිසංස්කරණය කිරීමට පෙර සිටි රජවරුන් විසින් ද (අනුරාධපුර යුගයේ රජවරු) ප්‍රතිසංස්කරණය කරන ලද බව මහාවංසයේ සඳහන් වී ඇත. ඒ අතරේ වෝහාරික තිස්ස (ක්‍රි.ව. 210 – 232 ) සංඝ බෝධි (ක්‍රි.ව. 247 – 249 ) ගෝඨාභය (ක්‍රි.ව. 249 – 262 ) යන රාජ කුමාරවරු තිදෙනාද රජවීමට පෙර වාසය කළේ මහියංගනයෙහිය. මහියංගන විහාරයට ගම්වර පිදූ රජවරුන් ලෙස දෙවන සේන (ක්‍රි.ව. 839 – 874) සහ සතර වන කස්සප ක්‍රි.ව. 885 – 902 ) ඉතිහාසයෙහි සඳහන් වේ.

මහියංගන මහ දා ගැබ ගැන හතරවන උදය රජුගේ (ක්‍රි.ව. 937 – 945 ) සොර බොර ශිලා ලේඛනයෙහිද සඳහන් වේ. මහවිජයබාහු රජුට පසු පොළොන්නරුවේ රජ වූ මහා පරාක්‍රමබාහු සහ නිශ්ශංක මල්ල යන රජවරුද මහියංගන දාගැබ සංරක්ෂණ කිරීමෙහි දායක වූහ. කෝට්ටේ සහ මහනුවර රජවරුන් පවා මහියංගන දාගැබ සංරක්ෂණය පිළිබඳ මෙන්ම මේ සඳහා පුද පූජා පැවැත් වූ බවද ඉතිහාසයෙහි සඳහන් වේ. මේ අනුව බුද්ධ කාලයේ සිටම මෙම මහියංගන පුදබිම පැවැත එන බව පැහැදිලි වනු ඇත.

 

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය පෙබරවාරි මස 25 වැනි දා බදාදා පූර්වභාග 10.54 ට ලබයි. 26 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 25 වැනිදා බදාදාය.

මීළඟ පෝය
මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 28

Full Moonපසෙලාස්වක

මාර්තු 05

Second Quarterඅව අටවක

මාර්තු 13

Full Moonඅමාවක

මාර්තු 20


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]