UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ථෙර නාම සූත්‍රය

ථෙර නාම සූත්‍රය

මිනිස් සිතක ස්වභාවය නම් අතීතය ගැන සිත සිතා අනාගතය ගැන පත පතා වර්තමානය තුළ නෙක චිත්ත පීඩාවන්ට පත්වෙමින් සිටීමයි. එම නිසා යමෙකු කායික වශයෙන් කුමන ආකාරයෙන් තනිවී සිටියත් එම කය මෙහෙය වන සිත අතීත,රූප,වේදනා සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ, ගැන උපාදානයන් ග්‍රහණය වෙයි.

සමාජයෙන් හෝ ගිහි ගෙයින් වෙන්වී හුදෙකලාවූ පමණින් සිතට සුවයක් හෝ සැනසීමක් නොලැබෙන බවත් එකලාව හෙවත් තනිව විසීම කෙසේ විය යුතුද? යන්න බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායේ ද්විතීය භාගයට අයත් සූත්‍ර දේශනා කීපයකින්ම පැහැදිලි කර දී ඇත.

ථෙරනාම සූත්‍රය,භද්දෙකරත්ත සූත්‍රය, ආනන්ද භද්දේකරත්ත සූත්‍රය, මහාකච්චායන භද්දේ රත්න සූත්‍රය, මීගජාල සූත්‍රය එවැනි සූත්‍ර කීපයකි.

බුදුරජාණන් වහන්සේ එකම අදහස් සූත්‍ර කීපයකින්ම විවිධාකාරයෙන් දේශනා කරන්නේ භික්ෂූන් වහන්සේලාට මෙන්ම ධර්මයට අවබෝධ කරගන්නට වීර්ය කරන ගිහියන්ටද එකසේ වැදගත් වන කාරණාය.

පැවිද්දෙක් වුවද, ගිහියෙකු උවද, සිත් තුළ ඇතිවන්නා වූ චිත්ත පීඩාවන්ගෙන් මිදී නිදහසේ සිටීමට සමාජයෙන් හෝ ගිහි ගෙයින් පලා ගොස් තනිව විසූ පමණින් නොහැකි වන බව මෙම සියලුම සූත්‍රයන් තුළින් පෙන්වා දී ඇත. ථෙර නාම සූත්‍රය දේශනා කරන්නට හේතු වුයේ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ වැඩවාසය කරන සමයකදී "ථෙර" නම්වූ භික්ෂූන් වහන්සේ නමක් අරභයාය.

ථෙර නම් වු එම භික්ෂූන් වහන්සේ අන් භික්ෂූන් වහන්සේලා සමඟ කිසිම සම්බන්ධතාවයක් නොමැතිව තනිවම වාසය කරයි. තනිව විසීමේ ගුණ කියයි. තනිවම පිඩුසිඟා වඩියි. තනියම ආපසු වඩියි. තනිවම වළඳයි. තනිවම සක්මන් කරයි. තනිවම භාවනා කරයි.

එකල්හි භික්ෂූන් වහන්සේලා බොහෝ දෙනෙකු රජගහනුවර සමීපයෙහි කලන්දක නිවාප නම් වේළුවනාරාමයෙහි වැඩ වසන භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් වැඳ එකත් පසෙක වී වහන්ස, ථෙර නම් එක්තරා මහණෙක් තනිව වාසය කරමින් තනිව විසීමේ ගුණ කියන්නේ යැයි සැලකර සිටියහ.

එවිට භාග්‍යවතුන්වහන්සේ එම ථෙර නම් වු මහණ තෙමේ තමන් අභිමුවට කැදවා ඔබ තනිව වෙසෙමින් තනිව වාසය කිරීමේ ගුණ කියන්නේ දැයි ඇසීය. එවිට එම භික්ෂුව එසේය. මම තනිවම ගමට පිඬු පිණිස යම් තනියම ආපසු එමි. තනිවම වාසය කරමි. තනිවම සක්මන් කරමි. තනිව විසිමේ ගුණ කියමියි පැවසීය.

එවිට භාග්‍යවතුන් වහන්සේ ථෙර එකලාව විසීම යනු සමාජයෙන් වෙන්වී හුදකලාවු පමණක් සම්පූර්ණ නොවේ.

සබ්බාහිභුං සබ්බවිදුං සුමේධං
සබ්බේසු ධම්මේසු අනුපලීතතං
සබ්බං ජනං තණ්හක්ඛයෙ විමුත්තං
තමහං නරං එකවිහාරිති බ්‍රෑමිති

යනුවෙන් සියල්ල ස්කන්ධධාතු ආයතන බව ත්‍රිවිධ මැඬලූ ඒ සියල්ල දන්නා මනා නුවණ ඇති ඒ සියලු දහම්හි නොඇලුනු ඒ සියල්ල දුුරු කළ තෘෂ්ණාක්ෂය සංඛ්‍යාත නිවන අරමුණූ කොට මිදුණූ මිනිසාම එකලා විහරණය ඇත්තා යැයි වදාළේය.

මෙයින් ගම්‍ය වනුයේ තෘෂණාක්ෂය නොකළ අයෙකු සමාජයෙන් හෝ ගෘහ වාසයෙන් ඈත්වී කිසිවෙක් ඇසුරු නොකොට තනිවී සිටි පමණකින් එකලාව වෙසෙන්නෙකු නොවන බවය. මන්ද ඔහුගේ සිතිවිලි අතීත, වර්තමාන. අනාගත යන කාලත්‍රයට අසුවී පවතින තාක් කල් හිත තුළ නිසංසල භාවයක් නොපවතින නිසාය.

අතීතං තං පහීනං
යං අනාගතං තං පට්නිස්සට්ඨං

අතීතය යනු ගෙවීගිය මතකයන්ය. අනාගතය යනු තවමත් පැමිණ නැති හිත ලූවත්වූ අපේක්ෂා සහගත ප්‍රාර්ථනා පැතුම් සමුදායක අවිනිශ්චිත තාවයන්ය. එනිසා අතීතය හා අනාගතය නොතකා වර්තමානයේ සිහි කල්පනාවෙන් විසිය යුතුය. අතීත ආශාවන් වී නම් එය ප්‍රහීණය. අනාගත ආශාවක් දුරු කරන ලද්දේය .වත්මන් මොහොතේ යම් ආශාවක් ඡන්ද රාගයක් වේ නම් ඒවාද මැඬ පවත්වාගත්විට එසේ සිත නිදහස් කරගෙන විසීමට හුදෙකලාව වන්නේයැයි දේශනා කොට ඇත. ඒ අනුව සියලු කලා රසයන් අතර අග්‍රවු කලා රසය පවතිනුයේ හුදෙකලාව තුළය. සබ්බේ රසං ධම්මං රසං ජිනාති යනුවෙන් සියලු රසයන් අතර ධර්ම රසයම අග්‍රවන්නේයැයි බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළේද එබැවිනි.

මිනිස් සිතක ස්වභාවය නම් අතීතය ගැන සිත සිතා අනාගතය ගැන පත පතා වර්තමානය තුළ නෙක චිත්ත පීඩාවන්ට පත්වෙමින් සිටීමයි. එම නිසා යමෙකු කායික වශයෙන් කුමන ආකාරයෙන් තනිවී සිටියත් එම කය මෙහෙය වන සිත අතීත,රූප,වේදනා සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ, ගැන උපාදානයන් ග්‍රහණය වෙයි. තවත් විටෙක අනාගත රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ ගැන ප්‍රාර්ථනා හටගනී. වර්තමානයේ යථා ස්වරූපය සමඟ සිත මොහොතක්වත් රඳවා ගත නොහැකිව සුඛ දුක්ඛ, උපේක්ඛා වේදනා විඳවමින් සිටී. ඒ බැව් බුදුපියාණන් වහන්සේ පංචෝපාධනස් කන්ධා දුක්ඛා යැයි කියා දේශනා කොට ඇත. එම නිසා එවැනි සිතක් ඇත්තෙකු තනිව විසු පමණකින් එකලා විහරණ ඇත්තෙකු යැයි පැවසිය නොහැක.

සදාකාලයටම පොදු වු මෙම ධර්මතාවය නුවණින් විමසා බලා තේරුම් ගන්නේ නම් සිතට ශාන්තියක් සැනසීමක් ලැබීම ඒකාන්ත වශයෙන්ම සිදුවේ.

සිත්තුළ පවතින විවිධාකාර ඝෝෂා, නොසන්සුන් තාවයන්, යමෙකුට මනාව වැටහෙන්නේ සිත සන්සුන් කර ගැනීමට සිතා කිසියම්’ භාවනාවක් ප්‍රගුණ කරන්නට ගත් විටය. එවිට සිත අතීතයට හා අනාගතයට දෝලනය වන හැටි මනාව වැටහෙයි. එසේ වන්නේ චිත්ත අභ්‍යන්තර තනිවී නැති නිසාය.

මේ අනුව ප්‍රශ්න වලින් බේරීමට හෝ පැනයාමට සමාජයෙන් හෝ නිවසින් ඈත් වී තනිවීම විසඳුමක් නොවන බව පැහැදිලි වෙයි. එම නිසා මෙහි මුලින් සඳහන් කළ සූත්‍ර දේශනා අධ්‍යයනය කරමින් විමසා බැලුවොත් එය භාවනා යෝගීන්ට පමණක් නොව බුදු දහම යනු කුමක්ද? ඒ තුළින් ලැබෙන මානසික සුවය කුමක්ද? යන්නත් අවබෝධ කර ගැනීමට මහත් පිටුවහලක් වනු ඇත. එසේ සිත සකස් කර ගත් අයෙකුට ඕනෑම සමාජයක් තුළ කුමන ආකාරයට පුද්ගලයන් සමඟ වුවද සන්සුන් සිතකින් සිටීමේ හැකියාව ලැබෙනු ඇත. වන අරණක ගසක් මුල, හිස් නිවසක සිටි පමණින් සිත සන්සුන් නොවේ. එවන් නිසසල පරිසරයක සිට තර්කානුකූලව යථාර්ථය තේරුම් ගත් විට සිත නිසලව වනු ඇත.

 

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය නොවැම්බර් මස 21 වැනි දා සිකුරාදා අපරභාග 06.39 ට ලබයි. 22 වැනිදා සෙනසුරාදා අපරභාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 22 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
නොවැම්බර් 29 වැනි දා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 22

First Quarterපුර අටවක

නොවැම්බර් 29

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 06

Second Quarterඅව අටවක

දෙසැම්බර් 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]