UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උට්ඨාන වීර්යයෙන් එකදවසක් ජීවත් වීමද ශ්‍රේෂ්ඨය

උට්ඨාන වීර්යයෙන් එකදවසක් ජීවත් වීමද ශ්‍රේෂ්ඨය

අවුරුදු සිය ගණනක් ජීවත් වූවාටත් වඩා වීර්යයවන්ත ව උත්සාහ සම්පන්නව උට්ඨාන වීර්යයෙන් යුක්තව කවුරු හෝ පුද්ගලයකු එක දවසක් ජීවත් වුණත් ඒ ජීවිතය ශ්‍රේෂ්ඨ බව බුදුරජාණන් වහන්සේ සබ්බදාය තෙරුන් වහන්සේ පිළිබඳව විමසූ ස්වාමීන් වහන්සේලාට ධර්ම දේශනා කරනු ලැබුවා.

සැවැත්නුවර එක්තරා සැදැහැවත් පවුලක ජීවත්වුණ දරුවකු පැවිදි බවට පත් වුණා. එසේ පැවිදි බවට පත්ව ඉතාමත් හොඳින් බණදහම් ඉගෙන ගනිමින් බණ දහම් අනුව ජීවත් වෙමින් මහණ දම් පුරන්නට පටන් ගත්තා. මේ ආකාරයට කාලයක් ජීවත් වන විට කිසියම් හේතුවක් නිසා ඒ මහණ දම් පුරමින් හිටපු ස්වාමීන් වහන්සේට ඒ පැවිද්ද පිළිබඳව උකටලී භාවයක් ඇති වුණා. උකටලීභාවය යනු පැවිද්ද පිළිබඳව වූ කලකිරීමයි. "දැන් මේ පැවිදි බිමේ හිටිය ඇති. ගිහියෙක් වශයෙන් හිටිය නම් මීට වඩා හොඳයි." කියලා මේ ස්වාමීන් වහන්සේ නිතර නිතර කල්පනා කරන්නට විය.

මේ ආකාරයෙන් ටික දවසක් හිත හිතා සිටින විට ගිහිවීමට සුදුසු කාලය මේ කාලය ලෙසට ඔහුට හිතුණා, ඒ වුණත් ගිහියකු වුණාය කියලා අමුතු යහපතක් ලැබෙන්නේ නැති බවත් කල්පනා වුණා. මහණකම පිළිබඳව කළකිරිලා උපැවිදිව ගිහියකු වුණාය කියලා එයින් අමුතු යහපතක් සිදුනොවන බව වටහා ගත්තා. එමගින් වෙන්නේ තවත් කරදරයක වැටීම පමණයි. මෙහෙම හිතන ඔහු කල්පනා කරනවා එහෙනම්, මම දැන් මොකද කරන්නේ කියලා මේ අයුරින් කල්පනා කරන විට ඔහුට හිතෙනව උපැවිදි වෙන්නේ නැතිව මහණකමේම ඉඳගෙන ජීවිතය තොරකර ගන්න. සිය දිවි නසාගැනීම හොඳ බව එම ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා. සියදිවි නසා ගන්නේ කුමන ආකාරයෙන්ද? කියලා. ඊට පසුව කල්පනා කරනවා. මේ ආකාරයෙන් හිත හිතා සිටින විට තමන් වහන්සේගේ පන්සල සමීපයෙන් තවකෙනෙකු කළයක් රැගෙන යනවා දකිනවා. එම පුද්ගලයා සමඟ කතාබහ කරමින් ඔය කළය තුළ තිබෙන්නේ මොනවද? කියලා විමසනවා. මේ කළයේ නාගයෙක් ඉන්නවා මේ නාගය අල්ලාගෙන කළයට දමාගෙන රැගෙන යන්නේ කවුරුවත් නොමැති ඈත ප්‍රදේශයකට නිදහස් කර මුදාහරින්න. කියලා. මේ හාමුදුරුවන්ට මේ අවස්ථාවේ තමන්ගේ අදහස සිහියට නැඟෙනවා. තමනුත් මේ අවස්ථාවේ මැරෙන්න ක්‍රමයක් කල්පනා කරමින් සිටින අවස්ථාවක්. එයට පෑදුන හොඳම අවස්ථාව මෙය ලෙස කල්පනා කළ ස්වාමීන් වහන්සේ එම පුද්ගලයාට ප්‍රකාශ කර හිටියේ “ඔය සතා මම කැලයට දමන්නම්. ඔය කළය සතා සමඟ මෙම ස්ථානයේ තබා යන ලෙසත් එම කාර්යය තමන් වහන්සේ කරනා බවට බාරගනු ලැබුවා” සර්පයා සහිත කළය රැගෙන මෙම හාමුදුරුවන් වහන්සේ කැලෑවට වැඩම කළා. කැලෑව තුළට වැඩම කළ උන්වහන්සේ කල්පනා කරන්නේ, සර්පයා ලවා දෂ්ට කරවා ගෙන මරණයට පත්වීමටයි.

එලෙස කල්පනා කරන එම ස්වාමීන් වහන්සේ මිනිසුන් නොමැති ඈත ප්‍රදේශයකට වැඩම කර සර්පයා සිටින කළයට අත දැමුවා. සර්පයා සිටින කළයට අත දැමූවිට එම කළය තුළ සිටින නාගයා මෙම ස්වාමීන් වහන්සේට දෂ්ට කළ විට එම සර්ප විසෙන් උන්වහන්සේ අපවත් වූ විට උන්වහන්සේගේ අදහස සඵල වෙනවා. උන්වහන්සේ කළයට අත දැමුවත් සර්පයා දෂ්ට කරන්නේ නැහැ. සර්පයාගේ ශරීරයෙන් අල්ලා සිටියත් සර්පයා දෂ්ට නොකිරීම නිසා මෙම ස්වාමීන් වහන්සේගේ බලාපොරොත්තු ඇහිරිලා යනවා. සර්පයා ලවා දෂ්ට කරගෙන අපවත්වීමට සිතූ ස්වාමීන් වහන්සේ එසේ නොවූ නිසා පසුකාලීනව සබ්බදාය තෙරුන් වහන්සේ නමින් ප්‍රසිද්ධියට පත්වුණා. ඒත් එදා තමන් බලාපොරොත්තු වන ආකාරයට සිය දිවි නසාගෙන මරණයට පත්වීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ වගේම එදා එම කාරණය කරගැනීමට බැරිවුණාට එම අදහස හිතින් අතහැර දැමුවේ නැහැ. එම අදහස හිතින් අතැහර දැමූ උන්වහන්සේ එක දවසක් මරණයට පත්වීමට තව ක්‍රමයක් කළා.

එක දිනක් දැලි රැවුල් කපන පුද්ගලයකු පන්සලට පැමිණියා. මෙම කරණවෑමියා දැලි පිහිදෙකක් රැගෙන පැමිණියා. එම දැලිපිහි දෙක එකක් බිම තබා ඔහුගේ කාර්යයන් කිරීමට පටන් ගත්තාට පසුව බිම තබා තිබූ දැලිපිහිය රැගෙන මෙම පිහියෙන් බොටුව කපාගන්නා ලෙසට කල්පනා කළා. උගුරු දණ්ඩ කපාගෙන අපවත් වෙනවාය කියා කල්පනා කරලා වෙතත් නිදහස් ප්‍රදේශයකට ගිහිල්ලා මෙම ස්වාමීන් වහන්සේ දැලි පිහියෙන් ගෙල කපාගන්න පටන් ගත්තා. මේ ආකාරයෙන් සූදානම් වූ උන්වහන්සේ කල්පනා කරනවා“ මම මෙතෙක් ආරක්ෂා කළ සීලය සරුසාර නම්, මේ දැලිපිහියෙන් මගේ ගෙල කැපෙන්න එපා. මම මෙතුවක් රැක්ක සීලය සරුසාර නැත්නම්, මගේ බෙල්ල කැපේවා කියලා දැලි පිහියෙන් ගෙල සිඳගන්න පටන් ගත්තා. සබ්බදාය තෙරුන් වහන්සේ මෙලෙස සිත අරමුණු කරගෙන සිත සමාධිගත කරගෙන ගෙල කපා ගන්න සූදානම් වන විට එම සිදුවීම සම්බන්ධව උන්වහන්සේගේ සිත බොහෝ දුරට තියුණු වුණා. ඒ අනුව උන්වහන්සේ මහරහත් බවට පත්වුණා.

බෙල්ල කපාගන්න ගිය සබ්බදාය තෙරුන්වහන්සේ ගේ බෙල්ල කැපුනෙ නැතිව රහතන් වහන්සේ නමක් බවට පත්වුණා. එම පුවත ප්‍රදේශය පුරා පැතිරුණා. අදහාගන්නත් බැරි පුදුම සිතෙන මෙම සිදුවීම ගම පුරා කෙතරම් දුරට පැතිරි ලා ගියාද කියනවා නම්, බුදුරජාණන් වහන්සේටත්, මෙම කතාව සැලවුණා. බුදුරජාණන් වහන්සේට මෙම සිදුවීම සැලවුණාට පසුව අනෙක් භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් ඒ පිළිබඳව විමසන්නට පටන් ගත්තා. ඇයි බුදු හාමුදුරුවනේ. මේ සබ්බදාය මහරහතන් වහන්සේ සර්පයා ලවා දෂ්ට කරගැනීමට කළයට අත දමාපු අවස්ථාවේ ඒ සර්පයා දෂ්ට කළේ නැත්තේ දැලි පිහියෙන් බොටුව කපාගන්න සූදානම් වෙද්දි උන්වහන්සේට එසේ සිද්ධ වෙන්නේ නැතිව මහරහත් භාවයට පත්වුණේ කොහොමද? කියලා ආදි වශයෙන් භික්ෂූන් වහන්සේලා බුදුහාමුදුරුවන්ගෙන් කරුණු කාරණා විමසන්නට පටන් ගත්තා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කවුරුත් දන්නේ නැති පෙර සංසාරයේ සිද්ධවෙලා තිබුණ සිද්ධි ගණනාවක් පිළිබඳව මේ සබ්බදාය හාමුදුරුවන් වහන්සේ මීට පෙර කාශ්‍යප බුදුහාමුදුරුවන් ජීවමාන සමයේ මහණවෙලා හිටියා. මේ කාලය තුළ මහණවෙලා හිටිය තවත් ස්වාමීන් වහන්සේ නමකට සිවුරු හැර යන්න අනුබල දුන්නා. උදව් උපකාර කළ අකුසලය හේතුවෙන් සරුසාර මහණ ජීවිතයක් ගතකළත් මේ සබ්බදාය හාමුදුරුවො මහණකම පිළිබදව සතුටු වුණේ නැහැ. උන්වහන්සේට ඒ පිළිබඳව සතුටක් ආසාවක් දැනෙන්නේ නැහැ. ඒක එහෙම වුණේ ඒ පුද්ගලයා පෙර සංසාරයේ කළ අකුසලය නිසයි. ඒ වගේම සර්පයා ළඟටම අත දමන අවස්ථාවේ සර්පයා දෂ්ට කළේ නැත්තේ මෙයට ආත්ම තුන හතරකට පෙර මේ ස්වාමින් වහන්සේගේ සුවච කීකරු ගෝලයකු වී සිටි නිසයි. ඒ ගෝලයා ඒ ගෝල බව නිසා සර්පයා සමීපයට අත දැමුවත් සර්පයා දෂ්ට කළේ නැහැ. ඒ වගේම මේ හාමුදුරුවන්ට මහණකම පිළිබඳව ආසාවක් තිබුණත්, මරණය පිළිබඳව ආසාවෙන් පෙළුණත් මේ හාමුදුරුවො බොහොම පින් කරපු නමක්. එනිසා අවුරුදු සිය ගණනක් ජීවත් වූවාටත් වඩා වීර්යයවන්ත ව උත්සාහ සම්පන්නව උට්ඨාන වීර්යයෙන් යුක්තව කවුරු හෝ පුද්ගලයකු එක දවසක් ජීවත් වුණත් ඒ ජීවිතය ශ්‍රේෂ්ඨ බව බුදුරජාණන් වහන්සේ සබ්බදාය තෙරුන් වහන්සේ පිළිබඳව විමසූ ස්වාමීන් වහන්සේලාට ධර්ම දේශනා කරනු ලැබුවා.

හේමමාලා රන්දුනු

 

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය නොවැම්බර් මස 21 වැනි දා සිකුරාදා අපරභාග 06.39 ට ලබයි. 22 වැනිදා සෙනසුරාදා අපරභාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 22 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
නොවැම්බර් 29 වැනි දා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 22

First Quarterපුර අටවක

නොවැම්බර් 29

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 06

Second Quarterඅව අටවක

දෙසැම්බර් 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]