අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍යාය අලුත්ගම ධම්මානන්ද
නා හිමි කේ.බණ්ඩාරනායක
මහනුවර, මල්වතු මහා විහාර පාර්ශ්වයේ විංශත්වර්ගික කාරක මහා සංඝ සභාවේ
ජ්‍යෙෂ්ඨ කාරක සභික මහෝපාධ්‍යාය අග්ග මහා පණ්ඩිත අලුත්ගම ධම්මානන්ද
නාහිමිපාණන් නොවැම්බර් මස 22 වෙනි දිනට අනූ නවවන වියට (99) පා තැබීම
නිමිත්තෙන් නාහිමිපාණන්ට දිඝාසිරි ප්‍රාර්ථනා කිරීමේ ආගමික වැඩසටහන්
මාලාවක් පැවැත්වීමට ධම්මානන්ද නාහිමි අනුශාසකත්වය දරන ශ්‍රී සංඝරාජ
ගුණානුස්මරණ සමිතිය විධිවිධාන යොදා ඇත.
1915 නොවැම්බර් 22 තුම්පනේ අලුත්ගම ග්‍රාමයේ උපත ලබා මුරුද්දෙණිය
ඉඩමේගම, රජයේ පාසල තුළින් මූලික අධ්‍යාපනය ලබා 1934 සැප්තැම්බර් 06
වෙනි දින මල්වතු මහා විහාරයේදී පැවිදි බිමට ඇතුළත්ව සංඝරාජ පිරිවෙනෙන්
ධර්ම ශාස්ත්‍රය ප්‍රගුණ කරගත් ධම්මානන්ද නාහිමියෝ 1950 දී ධර්මරාජ
විද්‍යාලයේ ධර්මාචාර්ය වශයෙන් පත්විය.
එම වසරේම ධර්මරාජ විද්‍යාලයේ දහම් පාසලත්, 1951 දී මල්වතු මහා විහාරයේ
සංඝරාජ දහම් පාසලත්, 1950 බෝගම්බර බන්ධනාගාර සුචරිතෝදය දහම් පාසල්
වැඩසටහන ආරම්භ කර මේ සියලුම ආගමික සේවාවන් අද දක්වා පවත්වාගෙන යනු ලබන
ධම්මානන්ද නාහිමියෝ මහනුවර ප්‍රධාන මෙරට බෞද්ධ සමිති සමාගම් ගණනාවකම
අනුශාසක වශයෙන් සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය වෙනුවෙන් කටයුතු කරන සුපේශල
ශික්ෂාකාමී මහ තෙරනමකි. දශක තුනක් අඛණ්ඩව මල්වතු මහා විහාරයේ වස් දාන
වැඩසටහනක් , 68 වසරත් සංඝරාජ ගුණ සමරු පෙරහරත් පවත්වාගෙන යති.
1983 ආරම්භ කළ කඳුරට තෛ‍්‍රනිකායික භික්ෂු සංගමය, තුන් නිකායේ මහා
සංඝරත්නයේ ආගමික ,සාමාජික කටයුතුවලට ශක්තියක් කරගත් ධම්මානන්ද නාහිමියෝ
99 වියට පා තබන මොහොතේ දිගාසිරි පතමු.
කන්ද උඩපංගුවේ සුධම්ම නා හිමි
අචාර්ය
රාජකීය පණ්ඩිත
කොටියාගල උපරතන හිමි
පහළ වෙල්ලස්සට පිරිවෙනක් ඇරඹීම සිහිනයක්ව තිබූ මොහොතක, එම සිහිනය සැබෑ
කළ පඬිරුවන වූයේ අපවත් වී වදාළ මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක
සිරි පියරතන පිරිවෙන්පති ගෞරව ශාස්ත්‍රවේදි කන්දඋඩපංගුවේ ධම්මාවාස
නාහිමිපාණන් වහන්සේය. උන්වහන්සේගේ ආරෝහපරිණාහ දේහ සම්පත්තියත්,
කුශාග්‍ර බුද්ධියත්, විෂ්මිත පෞරුෂත්වයත්, නිසාම අධ්‍යාපනය ලැබූ
කාලයේදී පවා බොහෝ දෙනාගේ අනුග්‍රහය උන්වහන්සේට නොමඳව ලැබුණි. එහිලා
විශාල ආගමික හා සාමාජික මෙහෙවරක නිරත වන සාමවිනිසුරු ඩබ්.ජී. එම්.
පේ‍්‍රමදාස සිල්වා මහතාගේ මුත්තනුවන් වූ ඩබ්.ජී.එම්.අප්පු සිඤ්ඤෝ
මැතිතුමා සහ මොනරාගලට කච්චේරිය ලබාගනිමින් පරිපාලන දිස්ත්‍රික්කයක් බවට
මොනරාගල පත් කළ ප්‍රසිද්ධ වැඩ පිළිබඳ හා තැපැල් උප ඇමතිවරයෙකු වූ
ඩබ්.පී.එම්.ඇල්බට් සිල්වා මැතිතුමා ප්‍රමුඛත්වයෙහිලා කෘතවේදිත්වයෙන්
සැලකිය හැකි පිරිසයි. ඔවුන් ඇතුළු බොහෝ දෙනාගේ උදව් උපකාරයෙන් මොනරාගල
දිස්ත්‍රික්කයට අරුණලු උදාකළ කන්දඋඩපංගුවේ ධම්මාවාස නාහිමියන්ගේ
ප්‍රධාන ශිෂ්‍යවරයාණන් වූයේ කන්දඋඩපංගුවේ සුධම්ම හිමිපාණන් වහන්සේය.
මොනරාගල සියඹලාආණ්ඩුව පහළ වෙල්ලස්සේ රණබිමක් සේ සැලකෙන කන්දරපංගුව
නොහොත් කන්දඋඩපංගුව නම් සොඳුරු ගම්මානයක දී 1951 ජනවාරි 25 වන දින,
වෙල්විදානේ නම් වූ ගැමි ජනනායකත්වය ලද ටී.ඩබ්. කිරිවන්තේ සහ
ටී.ඩබ්.බණ්ඩාර මැණිකා යන දම්පතීන්ට දාව ටී.ඩබ්. මුදලිහාමි යන නමින් උපත
ලද මේ කුමරුවා 1959 දී කන්දකැටිය මූලික පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබුහ.
1963 ඔක්තෝබර් 16 වන දින, කන්දඋඩපංගුවේ සුධම්ම යන නමින් පැවිදි බිමට
පත් වූයේ තැරෑල පුරාණ විහාරාධිපති ,මොනරාගල දිස්ත්‍රික්කයේ සියම් මහා
නිකායේ මල්වතු පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක ආයුර්වේද වෛද්‍යාචාර්ය
කර්මාචාර්ය, ධූරන්ධර ඛුද්දම පියරතනාභිධාන නා හිමිපාණන් වහන්සෙගේ
ශිෂ්‍යවරයෙක් වශයෙනි. කන්දඋඩපංගුවේ සුධම්ම කුඩා සාමණේරයන් වහන්සේ
පිරිවෙන් අධ්‍යාපනය ලැබුයේ පොල්ගොල්ල ගොකරැල්ල ශාස්ත්‍රාරවින්ද විශ්ව
විද්‍යාල පිරිවෙණෙනි. 1966 සිට 1973 දක්වා කාලය තුළ මූලික 01 වසරේ සිට
පිරිවෙන් අවසාන විභාගය දක්වාත්, ප්‍රාචීන ප්‍රාරම්භ විභාගය දක්වාත්,
මූලික අධ්‍යාපනය නිම කළ උන්වහන්සේ 1973 ජුනි මස 10 වන දින මල්වතු
මහාවිහාරීය රාජකීය උපෝසථාගාරයේදී උපසම්පදාව ලැබ, 1974 දී උසස්
අධ්‍යාපනය සඳහා පන්නිපිටිය විද්‍යාලංකාර ජ්‍යෙෂ්ඨ පිරිවෙණට ඇතුළත්
වූහ.උන්වහන්සේ අ.පො. ස. උසස්පෙළ විභාග කඩයිම සාර්ථක ලෙස සම්පූර්ණ කරගත්
අතර, ගුරුවරයෙකුට අවශ්‍ය කරන නිවැරදි වෘත්තීය පුහුණූව සම්පූර්ණ කර
ගැනීමෙන් පසුව, සිය සේවය ආරම්භ කළ යුතු යැයි වටහාගත් නිසාම, 1977 දී
රත්මලාන පරමධම්චේතිය පිරිවෙන් ගුරු විද්‍යාලයට ඇතුළත්ව දෑ අවුරුදු ගුරු
පුහුණුව ලබා ප්‍රවීණාචාර්ය තත්වය ලබා ගත්හ. 1982 වසරේදී පේරාදෙණිය
විශ්වවිද්‍යාලයෙන් ශාසත්‍රවේදී උපාධියත්, 1995 වර්ෂයේදී කැලණිය විශ්ව
විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත්, හිමි කරගත් උන්වහන්සේ භික්ෂුවකට
අවශ්‍ය දැන උගත්කම් රාශියක් ද ලද තෙරනමක් වූහ. සිය ගුරු දේවයන්
වහන්සේගේ මඟ අනුගමනය කළ උන්වහන්සේ චතුර මෙන්ම මධූර පරිත්‍රාණ ධර්ම
දේශකයාණන් වහන්සේ නමකි. මෛත්‍රී වර්ණනා, ධර්ම දේශනාව, සති පිරිත්
අනුශාසනා දේශනාව, දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව, පෝයගේ විනය දේශනා
කිරීම,ආදි ශාසනික පින්කම් මධුර ස්වරයෙන් හා ව්‍යක්ත මෙන්ම ප්‍රතිපල ලෙස
පැවැත්වීම උන්වහන්සේ තුළ දැකිය හැකි සුවිශේෂි කුශලතාවයකි. සිය වෘත්තීය
ජීවිතය ආරම්භ කළ කන්දඋඩපංගුවේ සුධම්මහිමිපාණෝ 1982 වසරේදි වැලියාය සිරි
පියරතන විද්‍යායතන පිරිවෙනෙහි ගුරුවරයෙක් ලෙස සිය සේවය ආරම්භ කළහ. 1982
සිට 1985 දක්වා වසර 03 ක සේවා කාලයෙන් පසුව උසස් වීමක්ද සමගින්
මො/තැරෑල ශ්‍රී විජය වර්ධන මහ පිරිවෙණෙහි පරිවේණාධිපති වශයෙන් 1985 සිට
1989 දක්වා කාලය තුළ දී අමිල මෙහෙවරක් සිදු කළහ. තැරෑල ශ්‍රී විජය
වර්ධන මහ පිරිවෙනෙහි ස්වර්ණමය යුගය සනිටුහන් වන්නේ මෙකී කාලය තුළ වීමද
උන්වහන්සේගේ සුවිශේෂීය හැකියාව ප්‍රදර්ශනය කරන්නකි. සිය ගුරු දේවයන්
වහන්සේ වු කන්දඋඩපංගුවේ ධම්මාවාස මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ හදිසි
අපවත්වීම නිසා වැලියාය සිරි පියරතන පිරිවෙන් විද්‍යායතනයත්, තැරෑල
ශී‍්‍ර විජයවර්ධන මහ පිරිවෙනත්, සුරක්ෂිත කරමින් ඉදිරියට පවත්වා ගෙන
යාමේ භාරධූර කාර්යභාරය නොසිතූ මොහොතක තම හිස මත පැටවූ නිසාම 1989
වසරේදි වැලියාය සිරි පියරතන පිරිවෙන් විද්‍යායතනයට තැරෑලේ සිට වැඩම
කළහ.
වැලියාය සිරි පියරතන පිරිවෙන් විද්‍යායතනනයෙහි අභිනව පරිවේණාධිපති
වශයෙන් 1989 වර්ෂයේ උන්වහන්සේ වැඩ භාරගන්නා විට එහි ගුරු සංඛ්‍යා වූයේ
දොාළොස් දෙනෙකි. ශාලා දෙකක්ද සියයකටත් අඩු සිසුන් පිරිසක්ද, සිටි සිරි
පියරතන පිරිවෙන් විද්‍යායතනයෙහි 2011 වසරේදී උන්වහන්සේ සිය
පරිවේණාධිපති ධූරයෙන් ඉසුඹු ලන විටත්, ගුරු මණ්ඩලය 35 කින්ද 06 වසරේ
සිට උපාධි දක්වා පන්තිවල සිසුන් 400 වැඩි පිරිසකින්ද, පහසුකම් සහිත
ශාලා 06 කින්ද විධිමත් පුස්තකාලයකින්ද, වැසිකිළි, කැසිකිළි,
පද්ධතිවලින්ද, විධිමත් ආපනශාලාවක් සහ ක්‍රීඩා පිට්ටනියකින්ද, පරිගණක
මධ්‍යස්ථානයකින්ද සම්පූර්ණ කළහ.
උන්වහන්සේ පිරිවෙන් විහාරස්ථානයට වඩින විට විහාරාරංග සියල්ල ද පැවතියේ
අඳුර තත්ත්වයකිනි. ඒ නිසාම සද්ධිවිහාරික, අන්තේවාසික, සහෝදර
හිමිවරුන්ගේද සතර පේරුවේ දායක කාරකාදීන්ගේද පක්ෂ විපක්ෂ
දේශපාලඥයින්ගේද,වෙළඳ ව්‍යාපාරිකයින්-ගේද, ගිහි පැවිදි සුබ පතන්නන්ගේද,
ආශීර්වාදය ඇතිව නව සංඝාවාසයක්ද, දෙමහල් ශිෂ්‍ය නේවාසිකාගාරයක්ද, ගරා
වැටුනු චෛත්‍ය ප්‍රති නිර්මාණය කිරීමද, බෝධිඝරයක් ඉදිකිරීමද වාහල්කඩ
සහිත විහාර භූමිය සකස් කිරීමද, විධිමත් විදුලි පද්ධතියක්ද ඇති කිරීම
අවශ්‍ය ජල පහසුකම් සම්පූර්ණ කිරීමද ආපනශාලාව ප්‍රතිසංස්කරණය
කිරීමද,අනුක්‍රමයෙන් වහවහා සිදුවු කැපී පෙනෙන සේවාවන් රාශියකි. එපමණක්
නොව ශාසනයට අවශ්‍ය කරන කුඩා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සිය ගණනකින්
පෝෂණය කිරීමද අගය කළ යුත්තකි. උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යත්
නොපසුබස්නා උත්සාහයත් නිසා වැලියාය සිර පියරතන පිරිවෙන් විද්‍යායතනයෙන්
සමාජයට දායාද කළ තිස් දහසකට අධික වූ දෙස් විදෙස් ගිහි පැවිදි
බුද්ධිමතුන් අතර මහාචාර්යවරුන්, ඉන්ජිනේරුවරුන්, කථිකාචාර්යවරුන්,
බැංකු, නිලධාරින්, චිත්‍ර ශිල්පීන්, නර්තන ශිල්පීන්, විදුහල්පතිවරුන්,
ගුරුවරුන් ,දේශපාලනඥයින්, ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරින්, පොලිසියේ
උසස් නිලධාරින්, දේශකයන් ඇතුළු විවිධ වෘත්තිකයින් සිදුකරන සේවය පිළිබඳ
සිතන විට පිරිවෙන් මෑණියන්ටද ලැබෙන ගෞරවය මෙතෙකැයි කියා නිම කළ
නොහැකිය. එමෙන්ම සමස්ත ලංකා වශයෙන් දිනු ජයග්‍රහණද මෙම පිරිවෙන්
මෑණියන් සතුය. 2012 සමස්ත ලංකා 19 පහළ අත් පන්දු කුසලතාවය, 2014 කලායතන
අතරින් නර්තන අංශයෙන් ප්‍රථම ස්තානය දිනා ගැනීම ආදිය ද එහිලා
සුවිශේෂීයය.
මෙම ආගමික සාමාජික, සංස්කෘතික හා අධ්‍යාපනික සේවයට උපාහරයක් වශයෙන්
අපවත් වී වදාළ ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක මිරහවත්තේ ජිනරතන
හිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ ඌව වෙල්සස්ස දෙදිසාවේ
ප්‍රධාන සංඝනායක පදවිය 2014 ජනවාරි මස 04 වන දින රැස්වූ සියම්
මහානිකායේ මල්වතු පාර්ශ්වයේ අතිගරු මහානායක ස්වාමීන්ද්‍ර වරප්‍රමුඛ
සානුනායක වින්සත් වාර්ගික උත්තරීතර කාරක සංඝ සභාව විසින් ඌව පළාතට
ලබාදිය හැකි ඉහළම තනතුර වශයෙන් සලකා”සංඝ කීර්ති ශ්‍රී සද්ධර්ම
වාගීශ්වරාචාර්ය ධම්මාවාස” යන ගෞරව නාම සම්මුතිය සහිතව ඌව වෙල්ලස්ස
දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය,තැරෑල පුරාණ විහාරය, වැලියාය ශි‍්‍ර
දක්ෂිණා රාම විහාරය, කන්දඋඩපංගලුව ටැංගල්මණ්ඩිය පුරාන විහාරය, යන
විහාරත්‍රයාධිපති මොනාරාගල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය සභාපති
විද්වත් සංසදයෙහි සභාපති, වැලියාය සිරි පියරතන විද්‍යායතන
පරිවේණාධ්‍යක්ෂ ශාස්ත්‍රපති සාමවිනිසුරු විචිත්‍රභාණක කන්දඋඩපංගුවේ
සුධම්ම හිමිපාණන් වහන්සේ වෙත පිරිනැමිණි.
මො/වැලියාය සිරි පියරතන විද්‍යායතන පිරිවෙනෙහි පරිවේණාධිපති ධූරය හෙබ
වු නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ දැනට විශ්‍රාම සුවයෙන් වාසය කරති.
උන්වහන්සේ ප්‍රදේශයෙහි ජාතික,ආගමික, සාමාජික, සංස්කෘතික, ශාස්ත්‍රීය
ආදි වූ සියලු අංශයන් කෙරෙහි සහජ හැකියාවන් ඔප් නංවමින් මහඟු මෙහෙවරක්
සිදු කරති. උන්වහන්සේ දැන උගත් බුද්ධිමත් ශතාධික වූ ශිෂ්‍ය භික්ෂු
පරපුරක සංඝ පිතෘන් වහන්සේ නමකි. |