UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිවැරැදිව පාංශුකූලයක් ලබා දෙන්නේ කෙසේද?

නිවැරැදිව පාංශුකූලයක් ලබා දෙන්නේ කෙසේද?

අවමංගල්‍යයක් ප්‍රායෝගිකව මෙන්ම සමාජයට වැඩදායි ලෙසින් සිදු කළ යුත්තේ කෙසේද? යන්න ගැන අප පසුගිය කලාපයෙන් කතා කළා. මියගිය පුද්ගලයා හා සම්බන්ධයෙන් කළ යුතු ආරම්භක ක්‍රියාදාමයන් ගැනත් එහිදී අප කතා කළා.

මියගිය පුද්ගලයාගේ දේහය සම්බන්ධ කටයුතු සිදු කෙරෙන අතර ඔබ ඉන්පසු හැකි ඉක්මනින් ගමන් කළ යුත්තේ විහාරස්ථානයටයි. විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ හමු වී අවසන් කටයුතු හා සම්බන්ධ පාංශුකූලය ලබාදීම සම්බන්ධව කතා කරගත යුතු වෙනවා.

මේ සම්බන්ධව කටයුතු කළ යුතු ආකාරයත් අද බොහෝ දෙනා දන්නේ නැහැ. පාංශුකූලයට ස්වාමින් වහන්සේට ආරාධනා කරන්නේ කෙසේද? ඒ සඳහා බුලත් කොළ 40 ක් අනිවාර්යයෙන්ම රැගෙන යා යුතුයි. නමුත් බොහෝ දෙනා රැගෙන යන්නේ බුලත් වට්ටිය වැසෙන ප්‍රමාණයට බුලත් කොළ ප්‍රමාණයක් පමණයි. එය බුදු දහමට අනුව ආරාධනා කිරීම සඳහා ගැලපෙන්නක් නොවේ. එසේම වට්ටියක බුලත් තබන්නේද බුලත් කොළයේ නැට්ට පැත්ත වට්ටිය මැදට වන සේ සියලු බුලත් කොළවල නැටි එකතු වන ලෙසින්, එවිට බුලත්කොළයේ දල්ල ලබන්නාගේ පැත්තට පිහිටනවා. ස්වාමීන් වහන්සේට විස්තරය දැන්වීමටත් පෙර උන්වහන්සේ විසින් අවබෝධ කරගන්නවා මේ ආරාධනය පාංශුකූලික කටයුත්තක් සඳහා වන බවට.

බුලත් වට්ටිය සැකසීම විහාරස්ථානයේදීම පමණක් නොවෙයි. ස්වාමීන් වහන්සේ පාංශුකූලයට වැඩමකළ අවස්ථාවේදීත් කළ යුතු වනවා. බුලත් තට්ටුව, ඉලත්තට්ටුව, බුලත් වට්ටිය වැනි කුමන නමකින් හැඳින්වුවත් එහි වරදක් නැහැ. මේ බුලත් වට්ටිය නිවසේදීත් බුලත් කොළ සැකසිය යුත්තේ ලබන්නාගේ පැත්තට බුලත් කොළයේ දල්ල පිහිටන ලෙසින්. එමෙන්ම සියලු බුලත් කොළ මුණින් අතට හැරවිය යුතු වනවා. අද සමාජයේ බොහෝ දෙනෙක් මේ සිරිත් ගැන දන්නේ නැහැ. ඇතැම් අය ඒවා නොසලකා හරිනවා.

අවමංගල්‍ය නිවසකට පාංශුකූලය සඳහා ස්වාමින් වහන්සේ සිවුනමක් සිටීම හොඳටම ප්‍රමාණවත් වනවා. සත්‍ය වශයෙන්ම එක් හිමිනමක් සිටියත් ප්‍රමාණවත්. නමුත් අද සමාජයේ පිලිගැනීම් දෙසත් අප බැලිය යුතුවනවා. වර්තමානයේ සමාජයේ මුල බැස ගත් තවත් චාරිත්‍රයක්ව ඇත්තේ අඟහරුවාදා සහ සිකුරාදා දිනවල මෘතදේහ නිවසට රැගෙන නොඒම සහ අවසන් කටයුතු එම දිනවල නොකිරීම, මෙවැනි සිරිත් විිරිත් බෞද්ධ අපට අයත් ඒවා නොවෙයි. හින්දු වැනි වෙනත් ආගම් හා දර්ශන මතින් අප කරා ළං වු සිරිත් විරිත් ලෙස ඒවා හඳුන්වා දෙන්න පුළුවන්.

අප ඇත්තෙන්ම මේ සිරිත් විරිත් හා චාරිත්‍ර දෙස විමසුම් ඇසින් බැලිය යුතු වනවා. අඟහරුවාදා මෙන්ම සිකුරාදා දිනවල උපදින්න සුදුසුනම් මිය යන්නත් සුදුසුනම් නුසුදුසුවන්නේ මියගිය තැනැත්තාගේ දේහය අවසන් කටයුතු සඳහා නිවසට ගෙන ඒමද? එසේම අවසන් කටයුතු එම දිනවල නොකිරීමද? බ්‍රාහ්මණ මතයන්ට අප ගරු කළ යුතු නැහැ. අප කළ යුත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි තම බුද්ධියෙන් සිතා බලා වටහා ගැනීමයි.

බ්‍රාහ්මණයන් තමන්ගේ ස්නාන කටයුතු කරනු ලැබුවේ අඟහරුවාදා හා සිකුරාදා දවස් දෙකේදි විතරයි. එදින මෘතදේහ අවසන් කටයුතු සිදු නොකළ යුතු යැයි ඔවුන් දන්වා තිබුණා. එම නිසා කිසිදු දේහයක් අවසන් කටයුතු සඳහා යොදා ගත්තේ නැහැ. එමෙන්ම අනෙක් පුද්ගලයන් එම දිනවල ස්නානය පවා නුසුදුසු බවත් ඔවුන්ගේ දර්ශනය වුණා. තමන් පව් සෝදන බව පවසමින් ඔවුන් ගඟට බැස ස්නානය කළා. මෘත දේහ මඟින් ලබා ගත් අලු ගඟ දිගේ පා කර හැරීමක් එම දිනවල සිදු වූයේ නැහැ.

එම මතයට අනුව අපත් අද එම දෙදින අවමංගල්‍ය කටයුතු නොකළ යුතු යැයි මතයක් සකස් කර ගෙන තිබෙනවා. අපගේ චාරිත්‍රයක් ලෙසින් එම දෙදින අවසන් කටයුතු කර නොගන්නට වග බලා ගත්තාට වරදක් නැහැ. ස්වාමින් වහන්සේට එම දෙදින තමන්ගේ කටයුතු සඳහා යොදා ගන්න පුළුවන්. නමුත් එම දෙදින දේහයන් නිවසට නොගෙන සිටීම ගැන අපට ඇත්තේ අන්ධ විශ්වාසයක් බව පැහැදිලිවම කිව යුතු වනවා.

වර්තමාන සමාජයේ ජනතාව විසින් සිදු කරනු ලබන තවත් වරදක් වනුයේ දේහය නිවසින් එළියට ගැනීමට නැකැත් බැලීමයි. ජීවයක් නොමැති දේහයක් නිවසින් එළියට ගැනීමට නැකැත් හදන්නේ කුමටද? එමෙන්ම ජීවයක් නොමැති දෙයකට නැකැත් සකස් කරන්නේ කෙසේද යන්න අභියෝගාත්මකව ඉදිරිපත් කරන්න පුළුවන්. කුමන හෝ ඡ්‍යොතිෂය අයකු සිටිනවා නම් මියගිය දේහයකට නැකැත් සකස් කරන්නට පුළුවන් යැයි කියා ගන්නා ඒ තැනැත්තන්ට ඒ අභියෝගය බාර වනවා. මෙහිදී සිදුවන්නේ ජනතාවගේ නොදැනුවත්කම නිසා කූට පුද්ගලයන්ට වාසි සැලසීම පමණයි. අවමංගල්‍ය නිවසක දේහයත් ඉක්මනින් ඉවත් කිරීමයි ඒ සඳහා හොඳම නැකැත වන්නේ. අවමංගල්‍ය නිවසක ඇති ශෝකාකූල බව ඉවත් කර එම නිවැසියන් යළි ප්‍රකෘති තත්ත්වයට පත් කළ හැකි වන්නේ දේහය හැකි ඉක්මනින් නිවසින් ඉවත් කළහොත් පමණයි. දේහයට නිසි ගරු බුහුමන් දක්වා නිවසින් එළියට ගෙන පාංශුකූලය ලබා දීමයි කළ යුත්තේ.

එමෙන්ම දේහයට අප ආචාර කර නිසි ගෞරවය දැක්විය යුත්තේ කෙසේද? අප සැබෑ බෞද්ධයන් නම් අප විසින් කළ යුත්තේ දේහය ඉදිරිපිටදී අනිත්‍යය සිහි කර අනිච්චාවත සංඛාරා යන්න සිහි කිරීමයි.මඳක් කල්පනාකාරිව සිතන්න. කතෝලික බැතිමතුන් ඔවුන්ගේ ආගම සිහි කරනවා. ඉස්ලාම් භක්තිකයන්ද එසේමයි. අප පමණක් දෙ අත් එක්කර දේහයට වන්දනා කරනවා. අප ආගමික වශයෙන් කිසිවක් කරන්නේ නැහැ. එම නිසා වන්දනා කිරීම නොව අනිත්‍ය සිහි කර අපේ ආගම සිහි කිරීමයි. අවමංගල්‍ය දේහයක් ඉදිරිපිටදි කළ යුතු නිවැරැදි පිළිවෙත වන්නේ.

එසේම අප අවමංගල්‍ය නිවසකදි කරනු ලබන කතා බහ ගැන දේහය සම්බන්ධව කරනු ලබන විවේචන ගැනත් අකමැත්තෙන් වුවත් යමක් පැවසීමට සිදුවනවා. හිටියටත් වඩා ලස්සනයි. පණ පිටින් ඉන්නවා වගේ. කලු වෙලා අනේ. මේ වදන් අපට හොඳට හුරු පුරුදු නොවේද? අප අවමංගල්‍ය නිවසකට යන්නේ අපගේ ශෝකය පළ කර ආගමානුකූලව අනිත්‍ය සිහිකර ගැනීමට මිස, එහි ඇති ගුණ දොස් විවේචනයට නොවේ. බෞද්ධයන් ලෙස අප මේ සම්බන්ධව අවබෝධයෙන් පසුවිය යුතුවනවා.

දේහය නිවසින් එළියට ගත් පසුව යළි විවර කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. නමුත් අපහසුවෙන් ශෝකය දරා සිටින අය යළි අවදි කර පාංශුකූලයෙන් පසුවත්, යළි දේහය විවෘත කරනවා.බොහෝ අවස්ථාවලදී ආදාහනය නැත්නම් භූමදානය කරන ස්ථානයටත් රැගෙන ගොස් දේහය යළි විවෘත කරනවා . මේ කිසිවක් අපට බෞද්ධයන් ලෙසින් අනුමත කරන්න බැහැ.

දේහය රැගෙන අවසන් කටයුතු කරා ගෙන යද්දී අනේ අපිව දාල යන්න එපා. අනේ අපිවත් අරන් යන්න කියලා කෑ මොර දුන්නත් දේහය සෑයට ඇතුළු කරන්නත් පෙර පාංශුකූලය ලබා දෙන භික්ෂූන් වහන්සේ අපෙන් විමසුවවොත් දැන් මේ මියගොස් සිටින අයත් එක්ක යන්න කැමැති අය සෑයට යන්න කියල කී දෙනෙක් යනවද? “අපිවත් අරන් යන්න” කියල කෑගහපු අය කවුරුත් නැහැ. මේක තමයි ඇත්ත ස්වභාවය. මේ යථාර්ථයයි අප වටහා ගත යුත්තේ.

එමෙන්ම දේහය රැගෙන මිහිදන් කරනු ලබන වල වටේ කැරකැවීම අවශ්‍ය වන්නේ නැහැ. ඉතා අපහසුවෙන් පස්වැටි වැටී කරනු ලබන අනතුරුදායක කාර්යයක් අවශ්‍යම නම් දේහය සොහොන් බිමේ තබා වටේ කරකැවීමට පුළුවන්. නමුත් ඇතැම් අය එයටත් ප්‍රදක්ෂිණා කරනවා යන වැරදි වහර භාවිතා කරනවා. අප ප්‍රදක්ෂිණා කරන්නේ චෛත්‍යයක් නැත්නම් බෝධියක් වටායි. ඒ තමන්ගේ දකුණු අත එම චෛත්‍යය දෙසට වන්නටයි. දේහයක් වටා කැරකැවෙන්නේ නම් එය කළ යුත්තේ තමන්ගේම වම් අත දේහය පැත්තට පිහිටන සේ බවත් මතක තබා ගත යුතු වනවා. අතීතයේ අවමංගල්‍ය නිවසකින් බීමට පැන් පොදක්වත් ලබා ගැනීම හෝ ලබාදීම හෝ කෙළේ නැහැ. නමුත් දැන් ඒ සංකල්පය වෙනස් වී ඇති බවක් පෙනෙන්නට තිබෙනවා. එය නම් අනුමත කරන්නට බැහැ. නිවසේ සකස් කර ලබා දුන්නත් අසල නිවසකින් සකස් කරගෙන ගෙනවිත් දුන්නත් ඒ දෙකම එක කාර්යයක් බව සිත්හි තබා ගත යුතු වනවා. අසල නිවසකදී සංග්‍රහ කටයුතු කිරීමට හැකි වන සේ අපේ සමගිය වැඩීමයි වැදගත් වන්නේ.

මියගිය පසුව ලබා දෙන හත් දවසේ දානයත් ඒ හා සම්බන්ධ ධර්ම දේශනාව පැවැත්වීම සම්බන්ධවත් අපේ අය අතර විවිධ මති මතාන්තර තිබෙනවා. මේ ගැනත් අප අවබෝධයෙන් බුද්ධිමත්වයි සිතා බැලිය යුතු වන්නේ. බොහෝ අයගේ මතය වී ඇත්තේ ජීවත්ව දින 7ක් ආරම්භ වීමට පෙර ධර්ම දේශනාව පැවැත්විය යුතු බවත් දින 7 ක් ඉක්මයාමට පෙර දානය ලබා දිය යුතු බවත්.

මඳක් කල්පනා කර බලන්න. යම් අයකු බදාදා දින පස්වරු 2.30 ට පමණ මිය ගියා යැයි සිතමු. එවිට දින 7 ක් ඇරැඹීමට පෙර ජීවත්ව සිටියදී යැයි අප පවසන කාලය එවිට එළැඹෙන්නේ අඟහරුවාදාටයි. එදින ධර්ම දේශනය පවත්වනවා. එවිට දානය ලබා දෙන්නේ පසු දින එනම් බදාදා දිනයි. නමුත් අප දානය ලබා දෙන්නේ දහවල් 12.00 ට පෙරයි. එහෙත් අපගේ ගණන් සෑදීම අනුව ඒ වන විටත් දින හතක් සම්පූර්ණ වී නැහැ. අප පවසන ජීවත්ව සිටින කාලයයි. එම තැනැත්තා මියගොස් ඇත්තේ පස්වරු 2.30 ට පමණ වන හෙයින් දානය ලබා දිය යුත්තේ පස්වරු 2.30 න් පසුව නොවේද, මෙය ඔබට කළ හැකිද ඔබ සිදුකරනවාද සියල්ල බුද්ධිමත්ව අවබෝධයෙන් යුතුව සිදුකිරීමටයි බුදු දහමේ උගන්වා ඇත්තේ .එම නිසා දින ගණන් අල්ලාගෙන බොරු තර්ක විතර්ක සිදුකිරීම නොව දින හතකට ආසන්න වන්නට එම පින්කම් දෙක පැවැත්වීමයි කළ යුතු වන්නේ. දිනක් දෙකක් එහා මෙහා වූවා යැයි එහි කිසිඳු අඩුවක් වන්නේ නැහැ.

අද අපේ රට පුරාම අවමංගල්‍යාධාර සමිති වැහි වැහැලා රටට අවශ්‍ය වන්නේ අවමංගල්‍යාධාර සමිති නොවෙයි. ජීවනාධාර සමිති, ජීවත්ව ඉන්නයි අත දෙන්න ඕන. මේ ගැනත් අප යම් අවබෝධයක් ලබා ගතහොත් එයත් දහම නිසි පරිදි අවබෝධ කර ගත්තා වනවා.

මියගිය තැනැත්තා විසින් ලබාගත් කුසලාන සම්මාන සහතික ප්‍රදර්ශනය කිරීම අවශ්‍ය නොවුණත් පසුගිය කාලයේ රට දැය වෙනුවෙන් තම දිවි පිදූ හමුදා රණවිරුවන්ගෙ සම්මාන කුසලාන ඇගැයීමට පත්වීම නිසා එවැනි පිළිවෙත් අනුගමනය කිරීමෙහි වරදක් නැහැ.

නමුත් මතක වස්ත්‍රය නිසි පරිදි පූජා කිරීමයි අවමංගල්‍ය නිවසකදී ඉතාම වැදගත් වන්නේ. ගිහියකු විසින් පිළි නොගන්වා භික්ෂූන් වහන්සේ විසින් ලබා ගන්නා එකම ද්‍රව්‍යය එයයි. අප විසින් පිළිගැන්වූවත් භික්ෂූන් වහන්සේ පවසන්නේ එය දේහය රැගත් පෙට්ටිය මතින් තබන ලෙසයි. උන් වහන්සේ එය ලබා ගන්නේ දේහය රැගත් පෙට්ටිය මතින් අතීතයේ දේහය ඔතන ලද පාංශුකූල සිවුරු පෙරවීමයි. එයින් අදටත් පෙන්නුම් කරන්නේ භික්ෂූන් වහන්සේ තමයි ගිහියාගේ සියලු කාර්යයන් සඳහා ගිහියා ළඟට ගොස් සියලු කාර්යයන් සිදු කරනු ලබන ආගමික නායකයා වන්නේ. උපතේදී විවාහයේදී, ඉඳුල් කටගෑමේදී, අසනීප වූ අවස්ථාවේදී, ගෙට ගෙවදින අවස්ථාවේදී, ධර්ම දේශනයක් පැවැත්වීමට, පිරිත් පින්කමක් පැවැත්වීමට මෙන්ම අවසානයේදී පාංශුකූලය පැවැත්වීමටත් උන්වහන්සේ නිවසට වැඩම කරනු ලබනවා.

අනෙක් සියලු ආගම්වල ගිහියා ආගමික ස්ථානය කරා යා යුතු වනවා. මේ නිසයි අප භික්ෂූන් වහන්සේ අනෙක් සියලු ආගමික නායකයන්ට වඩා උසස් පූජ්‍ය යන තත්ත්වයෙන් උසස් ලෙසින් සලකන්නේ . ඒ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ගිහියාගෙන් වන්දනාමාන ලබන නිසා. එම නිසා අවමංගල්‍ය සියලු කටයුතු විහාරස්ථානයෙන්ම කරනු ලබන චාරිත්‍ර ක්‍රමයක් බිහි කර ගන්නට අපට හැකි නම් අපට සැබෑ බෞද්ධයන් ලෙසින් ජීවත්වීමට පුළුවන්.

 

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය නොවැම්බර් මස 21 වැනි දා සිකුරාදා අපරභාග 06.39 ට ලබයි. 22 වැනිදා සෙනසුරාදා අපරභාග 05.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 22 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
නොවැම්බර් 29 වැනි දා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 22

First Quarterපුර අටවක

නොවැම්බර් 29

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 06

Second Quarterඅව අටවක

දෙසැම්බර් 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]