UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආවේගශීලි තාරුණ්‍ය සුවපත් කරවන මාවත

ආවේගශීලි තාරුණ්‍ය සුවපත් කරවන මාවත

“තාරුණ්‍ය සුන්දරයි. ජීවිතයක ප්‍රබෝධවත්ම කාලයයි”මෙවැනි වදන් පෙළක් ඇසෙන්නේ සාමාන්‍ය ලෝකයාගේ හදවත් ඇසුරිනි. හැබෑවටම ජීවිතය සුන්දරයි. එනමුත් සිත් ගැන කියාදෙන දහමට සමීප විය යුතුමයි. එසේ නොමැති වුවොත් තාරුණ්‍යයේ සුන්දර බව බොඳවී යා හැකිය.

තථාගත වූ භාග්‍යවත් වු බුදුරජාණන් වහන්සේ ද්වේධා විතක්ක සූත්‍රයේදී මෙසේ දේශනා කරති. “ඉති ඛෝ භික්ඛවෙ විවටෝ මයා ඛේමො මග්ගෝ සෝවත්ථිකෝ ජීතිගමනීයෝ” “මම ඔබට පී‍්‍රතියෙන් සුවය කරා යාහැකි ක්ෂේම මාර්ගයක් විවෘත කොට තිබේ. බුද්ධිය මෙහෙයවීමෙන් සහ තම තම අවබෝධයෙන් යා යුතු මග පියවර අටකින් හෙවත් අංග අටකින් සමන්විතය.

මෙම මාර්ගය පෙන්වා දී ඇත්තේ නුඹලාගේ සැනසුම පිණිසයි.මෙය සෙනසුනක හෝ අරමක වෙසෙන පැවිදි උතුමන්ටත් බොහෝ සම්බන්ධ ඇති ගෘහස්ථ ජීවිත ගතකරන සැමටත් එකසේ පොදුය. සම්මා දිට්ඨි ( නිවැරැදි දැක්ම) සම්මා සංකප්ප, (නිවරැදි කල්පනාවෝ) සම්මා වාචා ( නිවැරැදි වචන භාවිතය) සම්මා කම්මන්ත (නිවරැදි කායික ක්‍රියාවෝ ) සම්මා ආජීව (නිවරැදි ජීවිත පැවැත්ම) සම්මා වායාම (නිවැරැදි උත්සාහයන්) සම්මා සති ( නිවැරැදි ලෙස සිහිය පිහිටුවීම) සම්මා සමාධි ( නිවරැදි ලෙස සිතේ ඒකාග්‍රතාවය පැවැත්වීම) යනුවෙන් සැනසිලිදායක ගමන අංඟ අටකින් යුතුව එසේ විස්තර කොට ඇත.

මෙම පියවර අට, බෞද්ධ දර්ශනයෙහි ඉලක්ක කොට ඇත්තේ පරමාර්ථ ධර්මය උදෙසාය. එනම් සසරගත සියලු දුකින් සදාකාලිකවම නිදහස්වීම පිණිසය. ඒ වගේම ඒ සඳහා පෙන්වා දී ඇති මෙම ගමන් මාර්ගය සැකසී ඇත්තේද සෑම පියවරක්ම, සෑම ගතවෙන මොහොතක්ම, සිත, කය, වචනය සන්සිඳෙන ආකාරයටය. මේ මොහොත “හොඳවීම” ඊළඟ මොහොත යහපත්වීමට ප්‍රධානම සාධකය වන බව සිතන්නට හැකි කවරෙකුට වුවද අවබෝධ කරගත හැකිය. ජිවිතයේ නව අත්දැකීම් සොයායන, නිරන්තර ඉන්ද්‍රියන්ගේ සතුටක් ලබන්නට අවස්ථාවක් සොයන, පි‍්‍රය අරමුණෙහි ඉක්මනින් ඇලෙන බැඳෙන, අකැමැති අරමුණෙහි වහා ගැටෙන හෙවත් අකැමැතිවන යුගයක් ලෙස තාරුණ්‍ය නම් කළොත් එය බොහෝ තරුණ පිරිසකට ගැළපේ.

තාරුණ්‍යයේ හැබෑම සුවය නිවරැදි ලෙස භුක්ති විඳින ආකාරය බෞද්ධ දර්ශනය මේ අනුව පෙන්වාදෙයි. මහාදුක්ඛක්ඛන්ධ සූත්‍ර දේශනාවට අනුව ලෝකය දකින සහ බලන ආකාරය මෙසේ යථාර්ථවාදීව පැහැදිලි කොට දී තිබේ. මෙම “බලන සහ දකින” නම් වු වචනවලින් අදහස් කරන්නේ ඇස් දෙකෙන් කරන බැලීම පමණක්ම නොවේ. ඇස, කන, නාසය, දිව, ශරීරය, මන නම් වු ඉන්ද්‍රිය සයෙන්ම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම (සිතිවිලි නම් අවස්ථාවත් අරමුණූ කරගැනීම හෝ අරමුණුවීමයි. මේ ලෙස අරමුණූ ගැනීමේදි ආස්වාදය දකින්න දෙවනුව ආදීනවය තේරුම් ගන්න.තුන්වෙනුව නිස්සරණයට පරමාර්ථ ලෙස සිත පුරුදු කරන්න.

ඔබ ඔබගේ පියවි ඇස් දෙකෙන් ලෝකය දකින්න. එමෙන්ම බලන්න. ඔබගේ ඇස් ගැටුන රූපය හඳුනාගන්න. බෞද්ධ දර්ශනය, සාමාන්‍ය ලෝක , ස්වභාවය පැහැදිලි කරන්නේ මෙසේය,

පිය රූපේ රූපේ සාරජ්ජති
අප්පිය රූපේ රූපේ ව්‍යාපජ්ජති”

”තමා පි‍්‍රය රූපයෙහි ඇලෙයි තමා අපි‍්‍රය රූපයෙහි කෝපයට පත්වෙයි”

මෙම තත්ත්වයට මනා අවබෝධයෙන් යුතුව මුහුණ දිය යුතුය. පි‍්‍රය රූපයෙහි ඔබ ඇලුනද, මගේ යැයි පැවසුවද, එය වෙනස්වීමකට භාජනය වන බව නම් අමතක නොකළ යුතුය. මෙහිදී සම්මත ලෝක පැවැත්මට අනුව මගේය (ඒතං මම) මම වෙමි (එසෝ හමස්මි) ස්ථිර ආත්මයක් හෝ ස්ථිරය. (ඒසෝ මේ අත්තා) යනුවෙන් කල්පනා කළද, අනිත්‍යතාවය, හෙවත් එම වස්තුවේ ගැබ්ව ඇති “ආදීනවය” අමතක නොකළ යුතුය. ඇස ආදි ඉන්ද්‍රියයන්ගෙන් රූපාදී අරමුණූ ගන්නා විට අස්සාදය හෙවත් සොම්නස භුක්ති වින්ඳද එහි ඊළඟ අවස්ථාව වු”ආදීනව“ පිළිබඳවත් අවබෝධයක් ඇති කරගත යුතු යැයි පවසන්නේ මේ නිසාය. එනම්, ඇසෙන් දකින රූපයද කනින් අසන ශබ්දයද නාසයෙන් ලබන ආඝ්‍රාණයද දිවෙන් ලබන රසයද කයෙන් සර්පර්ශයද සිතින් ලබන සිතිවිලිද ස්ථිර නොවන බවය.ඇතිවී (උප්පාද) පැවැතී (ඨිති) නැතිව (භංග) යයි. මෙහිදී යම් තරුණ සිතක් මෙසේ ප්‍රශ්න කිරීමට හැකිය. දුටු , ඇසු, ලැබූ ආදි දේවල් සමඟ සතුටුවෙනවාට වඩා අනිත්‍ය යැයි සිතා දුක්වෙන්නේ කුමකටද? යනුවෙනි. සත්‍ය වශයෙන්ම, ඔබ ලබන පණ ඇති හෝ පණ නැති හැම වස්තුවකම ඇති මේ වෙනස්වීම හෝ අනිත්‍යයතාව පිළිබඳ මනා අවබෝධයක් ඇතිකර නොගත්තේ නම්, ස්වභාවයෙන්ම එම සියල්ල අනිත්‍යතාවයට පත්වන විට ඔබට දුකට පත්වීමට සිදුවනු ඇත. “ඔබේ වචනවලින් “ නම් මෙසේ පවසනු “මම සිතුවේ නැහැ. මට මෙහෙම දෙයක් වෙයි කියලා” “ඇයි? මම හිතන දේවල් හෝ මට ඕන කරන දේවල් ඉටු වෙන්නේ නැත්තේ? “මෙහෙම වෙන්වෙන්න නම් ඇයි ?අපි හමුවුණේ” ඒ නිදසුන් කීපයක් පමණි. වෙනස්වීම හෙවත් හැම වස්තුවකම ඇති අනිත්‍යතාවය අමතක කොට ආස්වාදයෙහි පමණක් කටයුතු කිරීම නිසා කොපමණ නම් දුකට පත්වේද? තාරුණ්‍යයේ සිටින අයද ඇතුළුව සෑම වයස් ප්‍රමාණයකම අය මේ වෙනස්වන ලෝකයේ, නොවෙනස් වෙනවා ලෙස සිතන්නට, කථා කරන්නට සහ හැසිරෙන්නට උත්සාහ කරන්නේ මේ ආදීනවය ගැන ඇති අනවබෝධය නිසා නොවේද? දැඩි වූ ලෝභයෙන් (අභිජ්ඣා ) තරහවෙන් (දෝස) මුළාවෙන් (මෝහ) කටයුතු කොට තමාටත් අන් අයටත් කොපමණ නම් විපත් කරන්නේදැයි සිතා බලන්න.

මීළඟ පියවර වු නිස්සරණයේ දී ඔබ අත්හැරීමට පුුරුදු වෙයි. මෙම අත්හැරීම යනු අත්දෙකෙන් කරන අත්හැරීමට වඩා සිතින් ඇතිකරගන්නා වු අවබෝධයයි. මම ඔබට නිදසුන් කීපයක් ඉදිරිපත් කරමි” හා යොබ්බනා ජරා අන්තා” තරුණකම මහළුවීමෙන් අවසන්වෙයි. “හා සංයෝගා වියෝගන්තා” සියලු එකතුවීම් හා හමුවීම් වෙන්වීමෙන් කෙළවර වෙයි.

”හා පියා සෝක අන්තකා” සියලු පේ‍්‍රමයෝ ශෝකයකින් කෙළවර වෙයි. “හා මතන්තා සජීවකා” සියලු ජීවිත මරණයෙන් කෙළවර වෙයි

ලෝකයේ, සසර පැවැත්මෙහි සහ ජීවිතයේ ඇති යථාර්ථය හෙවත් හැබෑ ස්වභාවය ඔබ තේරුම් ගැනීම යනු, ඔබ අකර්මණ්‍යය වීමක් නොවේ’. තරුණ සිතේ ඇතිවන පේ‍්‍රමයට හරස් කැපීමක් නොවේ. ඔබගේ රැකියාව හෝ ව්‍යාපාරය විනාශ කිරීමක් නොවේ. හැබෑවටම සිදුවන්නේ මෙම සියලලේම ඔබ සුන්දර මනුෂ්‍යයෙකු වීමයි. එනම් ඔබ මෙසේ සිතන්නට පුරුදු වීමයි. සියල්ල අනිත්‍ය වූ ලෝකයේ ඇයි මම නපුරු කමින් හෝ වැරදි ආකාරයෙන් ජීවත් වෙන්නේ ? ඇයි මම අනුන්ට කරදර කරන්නේ ? ඇයි මම අනුන්ගේ දේවල් සොරකම් කරන්නේ ? ඇයි මම වැරැදි විදියට ඉන්ද්‍රියන් සතුටු කරන්නේ? ඇයි මම බොරු කියන්නේ ? ඇයි මම මත්වතුරට හෝ මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වෙලා ජීවිතය පිරිහුණු කෙනෙක් වෙන්නේ? බෞද්ධ දර්ශනයේ පෙන්වා දෙන ස්වයං ශික්ෂණය වන පඤ්ච සීලයට ඔබ යොමුවන්නේ නැතිද? ඔබ සිතා බලන්න අනිත්‍යතාවය අමතක කළොත්, ඊළඟට ඇතිවන ප්‍රතිඵලය සමාජයටද, මුහුණ දෙන්නට සිදුවන්නේ භයානක ආකාරයකටය. “ඉගෙනීමක් නැති හැදුණූ කමක් නැති උපන් ගෙදරටත් ගමටත්, පිළිලයක් වු අමනුෂ්‍ය පුද්ගලයන්ගේ බිහිවීමකිනි. “නිස්සරණ” නම් වූ නිදහස්වීම ,අත්හැරිම යනු අනිච්ච, දුක්ඛ ,අනත්ත නම් වූ ත්‍රිලක්ණය කෙරේ ඇති කරගන්නා වූ අවබෝධයයි. ඔබ ඔබගේ ශරීරය පිරිසුදුව ද නිරෝගීවද,ප්‍රසන්නවද පවත්වා ගත යුතුය. එනමුත් දිරීමේදී, රෝගවලදී, මරණයේදි ඔබට පාලනයක් නැතිවීම සහ ඔබ “මගේ” යයි සිතාගෙන සිටි ශරීරය ඔබටත් හැබෑ අයිතියක් නැති බව අවබෝධ කොටගත යුතුය. සත්‍ය එය නම් ඇයි මම, සදාකාලික යයි සිතාගෙන වැරැද්දකට , පාපයකට, අසම්මතයකට ,අශිෂ්ටත්වයට යොමුවන්නේ” ඒ වෙනුවට හැකිතාක් දුරට නිවැරැදි මනුෂ්‍යයෙක් වෙන්නට මම උත්සාහ කරමි. එක දවසක් ජීවත් වුවත් නිවැරැදි හෙවත් සිල්වත් ජීවිතය උතුම්ය. සුදුසුකල ඉගෙනීම, ආදරය, විවාහය, රැකියාව ගේදොර නිවැරැදි ලෙස හැකිනම් යානවාහන, පවුල් පරිසරයේ දෙමාපිය දූදරු, ස්වාමිභාර්යා, සොහොයුරු, සොහොයුරියන්ගේ යුතුකම් හැකි අයුරින් ඉටුකළ යුතු නොවේද ? ඒවා පවත්වා ගත යුතු නොවේද? එනමුත්, සියල්ල අනිත්‍ය ලොවක නිවැරැදි ලෙසය. එනම් ධාර්මිකවය, “මගේ කුස පිරේ නම් අන් අයට මොනවා වුනත් කමක් නැත” නම් වූ මිථ්‍යා දෘෂ්ඨි සංකල්පයට අනුව නම් නොවේ.

සිඟාලෝවාද සුත්‍රයේ පෙන්වා දී ඇති වැළකිය යුතු භෝග විනාශ මුඛ හය නැවත මෙනෙහි කොට ඒවා දුරු කළ යුතුමය. තරුණ බවේ සුන්දර බව නසන අඳුරු සෙවණැලි බොහෝම මෙහි ගැබ්ව තිබේ. එම සූත්‍ර දේශනාවේම ඇති සදිසා නමස්කාරය යෞවනයට සිතන්නට සහ ජීවිතයේ පුරුදු කරන්නට හොඳම ඉගැන්වීම්ය. ව්‍යග්ඝ පජ්ජ සූත්‍ර දේශනාවේ ඇති මෙලොව දියුණූ වේ දොරටු විමසා බලන්න. අධ්‍යාත්මික දියුණූවේ රන් දොරටු හතරක්ද එම සූත්‍ර දේශනාවේ පෙන්වා දී ඇත. තාරුණ්‍ය වරෙක ආවේගශීලිය. බුදුදහම එම තරුණ සිත නිවා සුවපත් කරයි. තාරුණ්‍ය වරෙක ආශාවන්ගෙන් මුළාවෙයි. බුදුදහම අතෘප්තිකර ආශාවන්ගේ ආදීනව පෙන්වා දී ජීවිතය සැනසුමට එක්කරයි. තාරුණ්‍ය, පේ‍්‍රමය, ආදරය සොයා යයි. බුදුදහම ආදරයේ, පේ‍්‍රමයේ ඇති ආශාව, රාගය, මමත්වය බැහැර කොට මෛත්‍රියට , කරුණාවට, මුදිතාවට, උපේක්ෂාවට කැඳවා ගෙන යයි. තාරුණ්‍ය කුතුහලයෙන් පිරි විටෙක පර්යේෂණයට යොමුවෙයි. බුදුදහම සැබෑම සත්‍ය වු දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග නම් වූ චතුරාර්ය සත්‍ය ඉදිරිපත් කරයි. ඒ හඬන්නට හෝ ජීවිතයෙන් පලායන්නට නොව සදා සැනසෙන්නටය. තරුණ දුවේ පුතේ බුදුදහම යනු සැබෑ තතු පෙන්වාදෙන යථාර්ථවාදයකි.

 

 ඉල් පසළොස්වක පෝය

ඉල් පසළොස්වක පෝය නොවැම්බර් මස 06 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 05.37 ට ලබයි. 07 වැනිදා සිකුරාදා පූර්වභාග 03.55 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය නොවැම්බර් 14 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 06

Second Quarterඅව අටවක

නොවැම්බර් 14

Full Moonඅමාවක

නොවැම්බර් 22

First Quarterපුර අටවක

නොවැම්බර් 29


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]