UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිවනට යන මඟ

නිවනට යන මඟ

නිවනට යන ඒකායන මාර්ගය විදර්ශනා භාවනාව බව සතිපට්ඨාන සූත්‍රයෙහි දක්වා ඇත. එහෙත් සමථ භාවනාවද විදර්ශනාව වැඩීමට උපයෝගී වෙයි. විදර්ශනාව නම් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කර ගැනීමයි. සමථ භාවනාවෙන් කෙරෙන්නේ කාමච්ඡන්ද ආදි පංච නීවරණ ධර්මයන් යටපත් කිරීමයි සමහරුන් සමථ භාවනාවෙන් නීවරණ ධර්මයන් බොහෝ කාලයක් යටපත්ව තිබෙන විට කෙලෙස් නසා රහත් වී යැයි වරදවා වටහා ගන්නා අවස්ථාද තිබෙන බව ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වී ඇත.

නිවන යනු බෞද්ධයන් බලාපොරොත්තු වන පරම නිෂ්ටාවයි. එය පඨවි ආදි ධාතුන්ගෙන් සෑදුණක් නොවේ. එහෙයින් නිවනට අසංඛත යනුද නමෙකි. සංයුත්ත නිකායේ අසංඛත වර්ගයේ සමථ විපස්සනා සූත්‍රයෙහි සඳහන් වන පරිදි “කතමං ච භික්ඛවේ අසංඛතං යෝ භික්ඛවේ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ ඉදං වුච්චති භික්ඛවේ අසංඛතං “ අසංඛත යනු රාග, දෝස, මෝහ දුරු කිරීම බව එම බුදු වදනින් පැහැදිලි වෙයි.

නි + වාන යන්නෙහි “ව“ යන්නට “බ” යන්න වී ද්විත්ව වීමෙන් නිබ්බාණ යන වචනය සෑදී ඇත. එහි “වාන” යනු තෘෂ්ණාවට නමෙකි. “වානතෝ නික්ඛන්තං නිබ්බානං “ යන්නෙන් පැහැදිලි කොට ඇත්තේ තෘෂ්ණාව දුරු කිරීම නිවන බවයි. බුදුරජාණන් වහන්සේ මංගල ධර්ම දේශනාවට කළ ධම්මචක්කපවත්තන සූත්‍රයෙහි ද නිවන පැහැදිලි කර ඇත්තේ “ඉදං ඛෝ පන භික්ඛවේ දුක්ඛ නිරෝධං අරියසච්චං යෝ තස්සායේච තණ්හාය අසේසවිරාග නිරෝධෝ වාගෝ පටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝ” යනුවෙනි. එයින් පැහැදිලි කෙරෙන්නේ තෘෂ්ණාව සම්පූර්ණයෙන් නැති කිරීම අතහැරීම, ඉතුරු නො කොට අතහැරිම මිදීම ආලය නො කිරීම යනුවෙන් තෘෂ්ණාව දුරු කිරීම නිවන බවයි. ඒ නිවනෙහි ඇත්තේ අවේදයිත සැපයකි. එනිසා එහි වෙනස් වීමක් නැත. නිවනෙහි ඇත්තේ වූසපම සැපයකි. එනිසා වෙනස්වීමක්ද නැත. එහි වින්දනයක් විඳින්නෙක් නැත.

මෙසේ විස්තර කරන විට නිවන ශූන්‍යද? යන ප්‍රශ්නයක් ඇතිවෙයි. රහතන් වහන්සේ නිවන් සුව ලබති. එසේ සිව් කෙලෙසුන් නසා රහත්වීමෙන් පසු උන්වහන්සේ සත් දිනක් නිරෝධ සමාපත්තියට සමවැද ජීවමාන කාලයෙහිම නිවනට පිවිස නිවන් සුව අනුභව කරති. නිවන ශූන්‍ය දෙයක් නම් එසේ පිවිසීමටද නොහැකි බව සිතිය හැකිය.

මෙම නිවනට යන ඒකායන මාර්ගය විදර්ශනා භාවනාව බව සතිපට්ඨාන සූත්‍රයෙහි දක්වා ඇත. එහෙත් සමථ භාවනාවද විදර්ශනාව වැඩීමට උපයෝගී වෙයි. විදර්ශනාව නම් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කර ගැනීමයි. සමථ භාවනාවෙන් කෙරෙන්නේ කාමච්ඡන්ද ආදි පංච නීවරණ ධර්මයන් යටපත් කිරීමයි. සමහරුන් සමථ භාවනාවෙන් නීවරණ ධර්මයන් බොහෝ කාලයක් යටපත්ව තිබෙන විට කෙලෙස් නසා රහත් වී යැයි වරදවා වටහා ගන්නා අවස්ථාද තිබෙන බව ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වී ඇත.

විභංග අටුවාවෙහි එන උච්ඡතලංග වාසි මහානාග තෙරණුවන් එබඳු කෙනෙකි. උන්වහන්සේගේ ශිෂ්‍ය නමක් වු රුහුණේ තලගුරු වෙහෙර විසු ධම්මදින්න තෙරණුවෝ දිනක් තම ආචාර්ය මහා නාග තෙරුන් වෙත පැමිණ “ඔබ වහන්සේ උත්තරී මනුෂ්‍ය ධර්මයට පත්වී ඇද්දැ”යි විමසූහ. එවිට උන්වහන්සෙ “මා රහත් බවට පත්වී දැනට සැට වසරකටත් වැඩිය”යි කීහ. ධම්මදින්න තෙර “එසේ නම් ස්වාමීනි, ඇතෙක් මවන්නැ”යි ඉල්ලා සිටියේය. ඇතා මැවීය. “ඔය ඇතා අපට පහර දෙන්න එන ආකාරයට මවනු මැනවැ”යි ඉල්ලීය. එසේද මැවීය. ඇතා ළං වෙත්ම මහානාග තෙරණුවෝ පැන දිවූහ. ධම්මදින්න තෙර උන්වහන්සේගේ සිවුරෙන් අල්ලා, ඇතා ද අතුරුදන් කොට ස්වාමීනි, රහතුන්ටත් භය ඇතිවේදැයි විමසූහ. එයින් උන්වහන්සේට තමා රහත් නැති බව අවබෝධ වී ධ්‍යාන පාදක කොට ගෙන විදසුන් වඩා රහත් වූහ.

සමථ භාවනාවට නිමිති වශයෙන් ගත හැකි කර්මස්ථාන සතළිහක් ධර්ම ග්‍රන්ථයහින් දක්වා ඇත. දස කසිණ, දස අසුභ, දස අනුස්සති, සතර අප්පමඤ්ඤා ආහාරේ පටික්කූල සංඤ්ඤාව චතුධාතු වවත්ථාන සතර ආරුප්ප යනු එම සතළිස් කර්මස්ථානයන්ය. මෙම සතළිස් කර්මස්ථානයන්ගෙන් එකක් ගෙන භාවනා කරන විට නීවරණ ධර්ම යටපත් කොට එක අරමුණකට සිත නංවා ගැනීමට හැකිවෙයි. තම චරිතයට ගැළපෙන කර්මස්ථානයක් ගෙන භාවනා කිරීම පරිකර්ම අවස්ථාව යැයි කියනු ලැබේ. දිගටම පරිකර්ම අවස්ථාවේ නියැළී සිටින විට උග්ගහ නිමිත්ත ඇතිවේ. එනම් අන් ස්ථානයකට ගියද නිමිත්ත පේන තත්ත්වයට පත්වීමයි. තවදුරටත් භාවනා කරන විට නිමිත්ත ඉතා පැහැපත්ව ඒ මැදින් කලාමැදිරියෙක් තරම ආලෝකයක් මතු වෙයි. එය පටිභාග නිමිත්ත වශයෙන් හැඳින්වේ. පරිකර්ම, උපචාර, අර්පණා යනුවෙන්ද අවස්ථා තුනකි. දෑස් පියා ගත්තද නිමිත්ත පෙනෙන තුරු භාවනා කිරීම පරිකර්ම අවස්ථාවයි. පංච නීවරණ ධර්මයන් යටපත් කොට කසිණාලෝකය උපදවා ධ්‍යාන ලබා ගැනීම තෙක් පවත්වාගෙන යාම උපචාර නම්වෙයි’. උපදවා ගත් ප්‍රතිභාග නිමිත්ත ස්ථීරත්වයට පත්වීම අර්පණා අවස්ථාවයි.

භාවනා වැඩීමේදී තම චරිතයට ගැළපෙන කර්මස්ථානයක් තෝරා ගැනීම භාවනාව සාර්ථක වීමට ඉවහල් වේ. මිනිසා චරිත වශයෙන් සයාකාරයකට බෙදා දක්වා ඇත.

රාග චරිතයා, දෝස චරිතයා, මෝහ චරිතයා, ශ්‍රද්ධා චරිතයා, බුද්ධි චරිතයා, විතර්ක චරිතයා යනු ඒ චරිතයන්ය.

රාග චරිතයා පංචකාම වස්තූන් කෙරෙහි වඩාත් ඇලෙයි. ලස්සනට පිරිසුදුව සිටීම රාග චරිතයාගේ ස්වභාවයයි. මේ නිසා රාග චරිතයාට දස අසුභ හා කායගතාසති භාවනාව සුදුසු වෙයි. ද්වේෂය බහුල පුද්ගලයා ද්වේෂ චරිතයාය. නිතර කෝප වීම ඔහුගේ ස්වභාවයයි. මේනිසා ඔහුට මෙත්තාදී අප්පමඤ්ඤා සතරත්, නීල, පීත, ලෝහිත ඕදාත යන කෂීණත් යෝග්‍ය වන්නේය. මෝහය බහුලව ඇති පුද්ගලයා මෝහ චරිතයාය. ථීන මිද්ධ , උද්ධච්ඡ කුක්කුච්ච , විචිකිච්ඡා ඔහුට බහුලව පවතී. ඒ නිසා ඔහුට එළිමහනක සක්මන් භාවනාව ,ආනාපානසති භාවනාව සුදුසුය.

ශ්‍රද්ධා චරිතයාට ඇදහීම් බහුලය. සමහර විට රාග චරිත ලක්ෂණද පවතී. ශ්‍රද්ධා චරිතයාට යෝග්‍ය වන්නේ බුද්ධානුස්සති ආදී අනුස්සති භාවනාවන්ය. නුවණ වැඩි තැනැත්තා බුද්ධි චරිත ගණයට වැටේ. යමක් අවබෝධ කර ගැනීමට සමත් බැවින් බුද්ධි චරිතයාට මරණානුස්සතිය, උපසමානුස්සතිය ආහාරෙ පටික්කූල සංඤ්ඤාව ආදි කර්මස්ථාන යෝග්‍ය වෙයි. විතර්ක බහුල තැනැත්තා විතර්ක චරිතයාය. ඇතැම් කරුණුවලින් මෝහ චරිතයාට සමාන වෙයි.ආනාපානසති භාවනාව විතර්ක චරිතයාට යෝග්‍ය වෙයි. කසිණ භාවනාවේදි කුඩා කසිණ මණ්ඩලය සුදුසුය.

සමථ භාවනාවෙන් සිදු වන්නේ උපදවා ගත් ධ්‍යාන බලයෙන් පංච නීවරණ ධර්මයන් යටපත් වීමයි. එහෙත් හේතු ප්‍රත්‍යයන්ගේ සමවායයෙන් යටපත් වූ නීවරණ යළි නැගී සිටීමට පිළිවන, විදර්ශනා භාවනාවෙන් කෙරෙනුයේ නීවරණ ධර්මයන් සමුච්ඡේද වශයෙන් නැති කර දැමීමයි. මේනිසා නිවන් දැකීමට අවශ්‍යම භාවනාව විදර්ශනාවයි. සමථ භාවනාවෙන් ධ්‍යාන උපදවාගෙන විදර්ශනාවට යොමුවීම බොහෝ යෝගාවචරයන්ගේ සිරිතයි. එහෙත් විදර්ශනා භාවනාවෙන් පමණක් වුවද කෙලෙස් නැති කර දැමිය හැකිය. එබඳු උතුමන් ශුස්ක විදර්ශක නාමයෙන් හඳුන්වනු ලැබේ. විදර්ශන යනු විශේෂ දැකීමයි. එනම් අනිත්‍ය, දුක්ඛ අනාත්ම වශයෙන් දැකීමයි. සමථ භාවනාවෙන් සිත දියුණුූ වන හෙයින් චිත්ත භාවනා වශයෙන් හඳුන්වන අතර විදර්ශනා භාවනාව ප්‍රඥාව දියුණූ කර ගැනීමට පාදක වන බැවින් ප්‍රඥා භාවනා නමින් හැඳින්වේ.

පෘථග්ජන පුද්ගලයෝ නාම රූප ධර්මයන් සත්ත්ව පුද්ගල වශයෙන් ගනිති. සම්මුති වශයෙන් එසේ ගත්තත් පරමාර්ථ වශයෙන් ගත් විට ධාතු සමූහයක් පමණි.

සබ්බේ සංඛාරා අනිච්චාති
යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්භින්දති දුක්ඛේ
ඒස මග්ගෝ විසුද්ධියා

සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යාදී වශයෙන් දැන දැක දුක පිළිබඳව කලකිරීමෙන් නිවනට මඟ පාදාගත හැකිය. අනිත්‍ය නම් ක්ෂණයක් පාසාම වෙනස්වන ආකාරය ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අවබෝධ කර ගැනීමයි. “යං අනිච්චං තං දුක්ඛං” යමක් අනිත්‍ය නම් එය දුකෙකි. යීයං දුක්ඛං තදනත්තා” යමක් දුක නම් එය අනාත්මය. මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණයෙන් එකක් අවබෝධ කරගත් තැනැත්තාට නිවන් සුවය ලබා ගත හැකිය. නිවනට යන ඒකායන මාර්ගය නම් මේ විශේෂ දැකීමයි.

 

 ඉල් පසළොස්වක පෝය

ඉල් පසළොස්වක පෝය නොවැම්බර් මස 06 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 05.37 ට ලබයි. 07 වැනිදා සිකුරාදා පූර්වභාග 03.55 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය නොවැම්බර් 14 වැනිදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 06

Second Quarterඅව අටවක

නොවැම්බර් 14

Full Moonඅමාවක

නොවැම්බර් 22

First Quarterපුර අටවක

නොවැම්බර් 29


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]