UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිරාමිස සතුට ලැබීම

නිරාමිස සතුට ලැබීම

අතට හසුවන තරමට හිතට හසුවන තරමට ආහාර ගන්න බැහැ. අප ආහාර බෙදාගන්න විටම, මේ අවශ්‍යතාවයද? මේ වුවමනාවද? මේ ආශාවද? කියන දෙය කෑම මේසයක් දකින විටම අමතක වෙනවා. විවාහ උත්සවයකට, දානයකට සහභාගිවන පුද්ගලයා මුදල් ලබාදෙන ප්‍රමාණයටම කෑම කන්න සිතන නිසාම පෙරේත තටුව වගේ පිඟානට කෑම ගොඩගසාගෙන දුක්විඳිනවා. ඔහු ආහාර ලබන්නේ කුමන අවශ්‍යතාවයක් සඳහාද? යන්න දැනුවත් නැහැ. අප ආහාර ලබාගත යුත්තේ අපගේ යැපීම සඳහා බව අවබෝධ කරගත යුතුයි. “යැපීම” සඳහා පමණක් ආහාර ලබාගන්නා විට පුද්ගලයකුට සතුටු විය හැකියි.

නොයෙකුත් දේවල් අත්පත්කරගැනීම සඳහා පුද්ගලයෙකුගේ මනසෙහි පවතින ලෝභය හෙවත් කෑදරකම නිසාම සෑම මොහොතකම අලුත්ම දෙයක් සොයාගෙන යාම සඳහා උත්සාහ කරනු ලබයි.

හැම විටම අප සතුටුවෙන්න උත්සාහ කරන්නේ අලුත් දෙයක් ලැබුණාට පසුවයි. එම අලුත් දෙය තමා සතු කරගැනීමෙන් පසු ඒ පිළිබඳව ඇති ආශාව පසෙක තබා නැවතත් තවදුරටත් අලුත් දෙයක් අත්පත් කරගැනීමට හඹායයි. අප මේ ජීවිතය තුළ ආශාව සම්පූර්ණ කරගෙන අවසන්ව සතුටුවීමට සිටියොත් සතුටුවෙන්න නොලැබෙන්නෙත් ඒ නිසාමයි. ආර්ථික විද්‍යාඥ ඇඩමිස්මිත්ගේ යෝජනාව අනුව සීමිත සම්පත් තුළින් අසීමිත ආශාවන් සහ අවශ්‍යතා සම්පූර්ණ කරගත යුතු බවට පවසයි. සිමිත සම්පත්වලින් අපේ අසීමිත ආශා හෝ අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමට හැකියාවක් තිබෙනවාද? යන්න අප අවබෝධ කරගත යුතුයි. තණ්හාව විසින් මෙහෙයවනු ලබන අපට අසීමිත අවශ්‍යතා හා අසීමිත ආශාවන් කොපමණ ප්‍රමාණයක් ද්‍රව්‍යදීමෙන් ඉටුකරගත හැකිද? තමන් පළමුවෙන් ලබාගන්නා රෝද දෙකේ වාහනයෙන් සතුටට පත්නොවන පුද්ගලයා රෝද තුනේ වාහනයක්, ද ඊට පසුව රෝද හතරේ වාහනයක් දක්වා ගමන් කරයි. එයිනුත් සෑහීමකට පත්නොවී පුද්ගලික ගුවන්යානා ලබාගැනීමට පෙළඹෙනවා. ලෝභය කියන චෛතසිකයේ ස්වභාවය තමයි “තත්‍ර තත්‍රාභි නන්දිනී” ඒ ඒ තැන අලුත් දේ සොය සොයා ඇලි ඇලී සතුටුවීමට උත්සාහ ගනී. ඒ නිසා අප ළඟ තිබෙන ලෝභ සිත ආකාර දෙකකට අභිධර්මයෙහි සඳහන්කර තිබෙනවා. “සෝමනස්ස සහගත දිට්ඨිගත” සම්පයුත්ත අසංකාරික සිත කියලා. අප තුළ ලෝභය පවතින ආකාරය.

ලෝභය සැමවිටම සතුටක් සමඟම පැමිණෙන බව අවබෝධකරගත යුතුයි. සතුටු වූ ගමන් ලෝභය එතැනට පැමිණිලා තියෙන්නේ. සමහර අවස්ථාවලදී ලෝභය සඳහා ඇතැම් අය ළඟ දෘෂ්ටියක් තියෙනවා. "සතුට ලබාගැනීම සඳහා අප කරනු ලබන ක්‍රියාවලින් කිසිදු පවක් වන්නේ නැත. අප කාගේ හෝ දෙයකට ආශාවක් උපදවාගෙන එය ලබාගැනීම සඳහා සොරකම නමැති උපක්‍රමය යොදනවා. හොරකම් කරනගමන් හිතනවා තියෙන තැනකින් ගත්තට කමක් නැහැ. ඒ ගොල්ලොත් සතුටින්නේ ඉන්නේ. අපිත් ඒ අයගෙන් හොරකම් කරල හරි අපිත් ටිකක් ලබාගෙන සතුටු වුණාට පාපයක් නැහැ. එහෙම අපායට යන්න ක්‍රමයක් නැහැ." එවැනි දිට්ඨි තියෙනවා. ඒවා පැමිණෙන්නේ අසංකාරිකව. කවුරු හෝ කියලා හෝ පෙළඹවීමකින් තොරව දැඩි ලෝභය නිසාම නිරායාසයෙන්ම එවැනි සිතිවිලි පැමිණෙනවා. ලෝභයේ දී අලුත් අරමුණුවලින් හැම විටම සතුටු වෙනවා. සතුටු වෙමින් ලෝභය නැවත පෝෂණය කරනු ලබනවා. ලෝභකමයි සතුටයි කියන දෙක එකටම ගමන් කරන බව අප වටහාගත යුතුයි. කුමක් හෝ සතුටක් ලබන දෙයටයි අප ලෝභ කරන්නේ. එම ආශාව සපුරාගත්ත ගමන් නැවතත් අප තාවකාලික සතුටක් ලබනවා. සතුටෙන් ආසාව වැඩිකරනවා. ආශාව විසින් නැවතත් සතුට වැඩිකරනවා. මෙය සතුටක් නොවන බව අවබෝධ කර නොගත හොත් නිරාමිස පරම සතුට කරා ගමන් කළ නොහැකියි. ලෝභකම නිසා දේවල් අරගෙන යම් යම් ක්‍රියාවන් කරලා යම් සතුටක් භුක්ති වින්දත් එය පරම සතුට නොවන බව දැනගෙන සිටිය යුතුයි. මෙසේ අල්ලාගෙන ඉන්නාදෙය සතුටක් නොවන බව වටහා ගත හොත් මිනිසුන් වැරැදි ක්‍රියාවල යෙදීමට පෙළඹෙන එකක් නැහැ. යම් දෙයක් ලබාගැනීමෙන් සතුටක් ලබාගත හැකි බව හිතුණොත් ඔහු එය ලබාගැනීම සඳහා ඕනෑම ක්‍රියාවක් කිරීමට පෙළඹෙයි. ඇස, කන, නාසය, දිව, ශරීරය පිනවමින් අප තාවකාලික සතුටක් අත්විඳිනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය පිනවමින් විඳින තාවකාලික සතුටක් බව අවබෝධකරගත යුතුයි. තාවකාලික සතුට ලබාගැනීමට යාමෙන් සදාකාලික සතුට නැතිකරගන්න යන්න එපා. සදාකාලික සතුට අහිමි කරගෙන තාවකාලික දේ විඳින්න යන්න එපා. අදින්න පුබ්බක වැනි චරිත විග්‍රහ කරනු ලබන්නෝ ලෝභයෙන් ආපසු චෛතසිකයක්ම එහා ගිය තත්ත්වයක් බවයි. කවුරුන් හෝ ලෝභයකු දැක්කොත් අප පුරුදුවෙලා ඉන්නේ එයා අදින්න පුබ්බකගේ නෑදෑයෝ කියලා කියන්න. ඒ අය ලෝභ චෛතසිකයට එහා ගිය මසුරුකම තුළ ජීවත් වූ අය. අපේ සම්පත් අනෙකකු භුක්තිවිඳිනවා දකින්නවත් අප අකැමැති වන අවස්ථා තිබෙනවා.

දැඩි ලෝභය හෝ එයට එහාට ගිය මසුරුකම නිසාම අපට තිබෙන සම්පත් කවුරු හෝ දැක්කොත් ඒ පිළිබඳව අපට දොම්නසක් ඇතිවෙනවා. අදින්න පුබ්බකගේ පුතු වන මට්ටකුණ්ඩලී එළියෙන් තිබ්බේ ලෙඩා බලන්න එන පිරිස ඇතුළත තිබෙන සම්පත් දකිවී යන දැඩි ලෝභය නිසයි. පුතා මැරුණට පසුව අවසානයේ අදින්න පුබ්බක මළ පුතා වෙනුවෙන් සොහොනට ගිහිල්ලා අඬනවා. අදින්න පුබ්බක අවසානයේ විඳෙව්වා. එම මළ පුතාම බුදුපියාණන් වහන්සේ කෙරෙහි පහැදීමක් ඇතිවූ නිසාම දිව්‍යපුත්‍රයකු වී උපත ලබනවා. එම පුතත් අඬනවා. එම පුතා අඬන්නේ ඉරයි හඳයි ඉල්ලමින් බවට ප්‍රකාශ කළා.

මම අඬන්නේ මගේ මළපුතා වෙනුවෙන් කියලා ප්‍රකාශ කරන විට, මළ පුතා වෙනුවෙන් අඬන ඔයා හරිද? පේන ඉරයි හඳයි ඉල්ලා අඬන මමද හරි? කියලා සාකච්ඡාවක යෙදුනා. අදින්න පුබ්බක හරියට විඳෙව්වචරිතයක් මසුරු සිටුතුමන්ලා කවුරුත් සම්පත් හංගාගෙන ඒවා කවුරුත් දකියි කියලා බයෙන් විඳවපු අය. තමන් ආශා කරන දේ කාටවත් පේන්නවත් නැතිව තියාගන්න ලෝභකමට එහා ගිය මසුරුකමක්. බිරිඳට ඔබ දැඩි ලෙස ආදරය කරමින් ඇය පිළිබඳව ඔබ දැඩි මසුරුයි නම්, ඇය තවකෙකු දකිනවටවත් අකැමැති නිසා කාමරයකට දමා දොර වසා යන තත්ත්වයට පැමිණියහොත් ඔබට විඳවීමක් මිස කිසිදු සැනසිල්ලක් තිබේද? ලෝභය නිසාම මිනිසුන්ට විඳවීමට සිදුවෙනවා. ලෝභය දැඩිව තියෙන අය අදාළ අරමුණ සමඟ හැමවිටම විඳවමින් ජීවත් වන අය. ඒ පුද්ගලයන් තුළ මානසික සුවය නැහැ. උපාසක අම්මල සිල්ගන්න පන්සලට පැමිණිලත් ගෙදර දොර වහලාද, මුණුබුරා පෙර පාසල් ගියාද? යන කරුණු කාරණා දුරකතනයෙන් විමසන්නට පෙළඹෙනවා. ඒ මිනිස් මනසෙහි ස්වභාවයයි. අප කැමැතියි අප කොතනක සිටියත් ආසම කරන ස්ථානය හෝ පුද්ගලයා සමඟ සම්බන්ධය තියාගන්න උත්සාහ කරනවා. ඒ නිසාමයි ලෝභය නිසා මිනිසුන් විඳවමින් ජීවත් වන්නේ.

අධිපරිභෝජනය ද පුද්ගලයකුගේ සතුටට බාධා පමුණුවයි. සතුටුවීමට නම් හැකිතාක් ආහාරගත යුතුයැයි සිතනවා. යම් යම් ආහාරපාන ගැනීමෙන් සතුට බෝවෙමින් උතුරායන බව වෙළෙඳ දැන්වීම් තුළින් ප්‍රචාරණය කරනු ලබනවා.

“මස් ලේ නැති ඇට බලුලෙවකන්නේ
කුස් පිරිමක් ඵලයක් නොලබන්නේ”

බල්ලාට මස්කටුව කට දෙපැත්තට දමා කෑවත් එම සතාගේම කට තුවාල වීම නිසා එයාගේම ලේ රසය එම බල්ලාගෙම කටට දැනෙනවා. අප අධික ලෙස ආහාර පරිභෝජනයට පෙළඹීමෙන් කොසොල් රජුමෙන් නිතරම ස්මෘතාවෙන් ජීවත්වෙන්නට සිදුවෙයි. තමාගේ ශරීරය, තමාගේ නිදිමත ඔහුට හෝ ඇයට පාලනය කරගත නොහැකියි. ආහාර ලබාගෙන සතුටු වෙන්න අවශ්‍ය නම් අල්ප වූ ආහාරයකින් සතුටුවෙන්න. අල්ප වූ ආහාරයකින් පෝෂණය කළ හැකි විය යුතු යි. භෝජනයෙහි මාත්‍රාව දැනගත යුතු බව බුදුපියාණන් වහන්සේ වදාරා ඇත. බඩගින්න නමැති රෝගී තත්ත්වය සන්සිඳවාගැනීම සඳහා ගනු ලබන ආහාරය බෙහෙත් ගන්නා අයුරින් මාත්‍රාවකට අනුව ගත යුතුයි. අතට හසුවන තරමට හිතට හසුවන තරමට ආහාර ගන්න බැහැ. අප ආහාර බෙදාගන්න විටම, මේ අවශ්‍යතාවයද? මේ වුවමනාවද? මේ ආශාවද? කියන දෙය කෑම මේසයක් දකින විටම අමතක වෙනවා. විවාහ උත්සවයකට, දානයකට සහභාගිවන පුද්ගලයා මුදල් ලබාදෙන ප්‍රමාණයටම කෑම කන්න සිතන නිසාම පෙරේත තටුව වගේ පිඟානට කෑම ගොඩගසාගෙන දුක්විඳිනවා. ඔහු ආහාර ලබන්නේ කුමන අවශ්‍යතාවයක් සඳහාද? යන්න දැනුවත් නැහැ. අප ආහාර ලබාගත යුත්තේ අපගේ යැපීම සඳහා බව අවබෝධ කරගත යුතුයි. “යැපීම” සඳහා පමණක් ආහාර ලබාගන්නා විට පුද්ගලයකුට සතුටු විය හැකියි. ද්වේශයද සතුටට බාධා පමුණුවයි. ද්වේශ චෛතසිකය කාමාවචර භූමිවල පහළවන සත්වයා සිතෙහි යෙදෙන අකුසල චෛතසිකයක් ලෙසට බුදුපියාණන් වහන්සේ වදාරා ඇත. මිනිස් ලෝකය, සදෙව් ලෝකය සහ සතර අපාය යන භූමි එකොළහ තුළ කාමාවචර ලෝකවල පහළ වන සත්වයන්ට ඇතිවන්නාවූ සිත් පනස් හතරෙන් අකුසල සිත් දොළහක් තිබෙනවා. එයින් අටක ලෝභ මූලයන්, දෙකක් දෝස මූලිකයි. දෙකක් මෝහ මූලිකයි. ද්වේෂ මූලික සිත් පිළිබඳව දෝමනස්ස සහගත පඨිඝ සම්පයුක්ත අසංකාරික සිත දෝමනස්ස සහගත එයින් සම්පයුක්ත සසංකාරික සිත යනුවෙන්,

“පටිඝ” යනු අපට හමුවන අරමුණ සමඟ ගැටීමයි. ගැටෙන හැම මොහොතකම දෝමනස්සයක් මිස සෝමනස්සයක් නොපවතී. මට එයාගේ මුහුණ, එයාගේ කතාව, එයාගේ හැසිරීම අල්ලන්නේ නැහැ. එයා ශරීරයේ ස්පර්ෂවූවත් මට අපි‍්‍රයයි. ඒ ආකාරයට තමන්ට මුණ ගැසෙන අරමුණ ගැටෙන සුළු බවට ද්වේෂ හෙවත් දෝස බවට බුදුදහම හඳුන්වනු ලබයි. කෝපය, ක්‍රෝධය, කේන්තිය යන සමීපව යන චෛතසිකයන් වෙයි.

අපගේ අපේක්ෂාව වන්නේ කිසිවකු අපගේ පහසුවට අපගේ සැපතට බාධාවක් නොවන ආකාරයට හැසිරිය යුතු ය. එම අපේක්ෂාව තුළ සිටින අපට අප අපේක්ෂා නොකරන ආකාරයට හැසිරීමට පෙළඹුණහොත් අප තුළ පටිඝයක් සහ දෝමනස්සයක් හටගනී. එය ප්‍රකාශ කරන ආකාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකියි. ද්වේශය සමඟ පැටළුණු චෛතසික රාශියක් තිබෙනවා. ඊර්ෂ්‍යාව, මසුරුකම, උද්ධච්ඡය, මෙම අකුසල චෛතසික සියල්ලම ද්වේශයේ දිගුවක්. අප ද්වේශය තුළ සිට අනෙකාට ඊර්ෂ්‍යා කරනු ලබයි. අප සිටින මට්ටම අනෙකකු පැමිණෙනවාට අප අකැමැති සේම අපට වඩා ඉහළ තත්ත්වයකට තවකෙනකු යනවා දකින්නටත් අකැමැතියි. අප නොවිඳින සැපතක් අනෙකකු විඳිනු ලැබුවහොත් අපට අනෙකාට ඊර්ෂ්‍යාව ප්‍රක්ෂේපණය කරනු ලබයි. තමාගේ දොම්නස ඊර්ෂ්‍යාව ලෙස පිටතට පැමිණෙයි. සමහර විට ප්‍රාණඝාත අකුසල් පවා සිදුකරනු ලබයි. දෝමනස්ස සහගත චෛතසික තුළින් ක්‍රියා කිරීමේ දී පරුෂ වචන කීමට පෙළඹෙයි. පරුෂවචන නොකියන පුද්ගලයන් ගොස් උපදින ස්ථානය බ්‍රහ්ම ලෝකයයි.

ව්‍යාපාදයද භයානකම අකුසල චෛතසිකයකි. අනෙකා නැසිය යුතුය. අනෙකා විනාශ විය යුතු ය. යන්න සිතන චෛතසිකය අප සසරෙහි දීර්ඝව රැගෙන යන සංකල්පයකි. යම් අයකු ද්වේෂය ඛණ්ඩණය කළහොත් ඔහුගෙන් ව්‍යාපාදයත් ඛණ්ඩනය වී යයි. ඔහු තුළ ව්‍යාපාදයකට අවස්ථාවක් නැහැ. කායිකව දුර්වල පුද්ගලයන් තුළ වැඩි වශයෙන්ම ව්‍යාපාදය පවතී. ආර්ථිකමය වශයෙන් දුර්වල හෝ බලයෙන් දුර්වල හෝ පුද්ගලයකු විය හැකියි. පරුෂ වචන කියමින් බැණ තමාගේ කොටස ප්‍රකාශ කරගත නොහැකි නම් හෝ උපරිම බලය යොදමින් ප්‍රාණඝාතයක් කළ නොහැකි නම් හෝ තමාගේ සතුරා ලෙඩ වී ඇති බව ආරංචි වුවහොත් ඒ මොහොත තුළ ව්‍යාපාදය ඉදිරියට පැමිණෙයි. ඔහොමවත් මැරිල ගියොත් හොඳයි. ඔය ගමනින්ම නැවත නාවොත් මගේ ප්‍රශ්නයත් ඉවරයි. යනුවෙන් සිතන්නට පෙළඹෙනු ඇත. අනෙකා නැසිය යුතුයි යනුවෙන් මිනිසුන් සිතින් සිත සිතා කල්පනා කරමින් ප්‍රාර්ථනා කරමින් ඉන්නවා. දස අකුසල්වල පවතින මෙම ප්‍රධාන කර්ම තුනෙන් ඉවත්වන පුද්ගලයා දස කුසල් කිරීමට පටන් ගනී. ව්‍යාපාදය වෙනුවට අව්‍යාපාදය කිරීමට පටන් ගනී. පරුෂාවාචා වෙනුවට ඉතාම මිහිරි වචන කතා කරයි. ප්‍රාණඝාත වෙනුවට මෛත්‍රිය වඩයි. ඔවුන් බ්‍රහ්මලෝකවල උපත ලබයි. මෛත්‍රී චින්තනය දීර්ඝකාලීනව වැඩීමෙන් අනාගාමී විය හැක. ද්වේශය සෘජුවම ඔබට පරම සතුට කරා යන්න තිබෙන ගමන වළක්වනවා. ද්වේශය විසින් කරනු ලබන පරුෂ වචන, ප්‍රාණඝාත හා වෙනත් අකටයුතු නිසා ව්‍යාපාදය කියන චෛතසිකය නිර්මාණය කරගෙන එහි අඛණ්ඩව නියැළීම නිසා ඔහුගේ විඤ්ඤාණධාරාව නිරය පැත්තට ගමන් කරයි. දේවදත්ත හාමුදුරුවන් ව්‍යාපාද චෛතසිකය තුළ ද්වේෂය මුල්කරගෙන පටිඝයෙන් බුදුහිමියන් වැඩි පන්සල තුළම වාසය කළත් පලක් වුණේ නැහැ.

“ඉඳ ඉඳ එක වෙහෙර
විඳ විඳ දහම් මනහර
සිඳ බිඳ දුක් සසර
අහෝ දෙව්දත් නොදිටි මොක්පුර”

එකම පන්සල තුළ වැඩ වසමින් බුදුහාමුදුරුවන්ගෙන් බණ ඇහුවත් එම පරම සතුට විඳින්න බැරිවුණා. ඔහු තුළ පැවැති ද්වේෂය නිසාම අදටත් නිරයගාමීව ජීවත්වනවා. දේවදත්ත චිංචිමානවිකාව ද්වේෂය නිසාම තවමත් නිරයෙහි ඉපදෙයි. එනිසා අපට පරම ආනන්දය කරා යාමට තිබෙන අවස්ථාව වැළකී යනු ලබන්නේ ද්වේෂ තුළ රැස් කරන කර්මඵල නිසා චුති චිත්තය නිරය පැත්තට ගමන් කිරීම නිසයි. තිරිසන් අපාය තුළ ඉපදුණත් නයි, පොළොංගු වැනි විෂඝෝර සර්පයන් වෙන්න පුළුවනි. එනිසා ද්වේෂයේ ප්‍රතිවිරුද්ධ කුසල චෛතසිකය වන අද්වේෂය ම ද්වේශය තිබෙන තැන හැදිය යුතුයි. අකුසල විතර්කය වෙනුවට එතනම කුසල විතර්කය ගොඩනඟා ගත යුතු යි.

මෝහයේ ස්වභාවය විචිකිච්ඡාසහගත ආකාරයට පිටතට පැමිණීම, මෝහය සැමවිටම සැකයක් ලෙස හා නොසන්සුන් බවක් හැටියට එළියට පැමිණීම බුදුන්වහන්සේ ධර්මයෙහි වදාරා ඇත. මෝහය ව්‍යාකූල බව විසින් හටගන්නා දෙයක් බව ව්‍යාකූලව සිටින පුද්ගලයාට පරම සතුට කරා යා නොහැකියි. සැකයෙන් සිටින පුද්ගලයාටත් පරම සතුට කරා යා නොහැකියි. පරම සතුට අත්වින්දා යැයි බුදුරජාණන් වහන්සේ විසින් අනුමත කරනු ලැබුවා වූ මහරහතුන් පිළිබඳව සැක කරනවා නම් ඔහුට පරම සතුට අත්විඳිය නොහැකියි. පරම සතුට අත්විඳීම සඳහා වූ පවතින සීලය පිළිබඳව සැකකරනවා නම් ඔහුට එම පරම සතුට අත්විඳිය නොහැකියි. පෙරභවය පිළිබඳව සැක කරනවා නම් ඔහුට පරම සතුට ලබාගත නොහැකියි. විචිකිච්ඡාව තියෙනතාක්කල් බුදුහාමුදුරුවන් දේශනා කළ පරම සතුට අත්විඳින්න ලැබෙන්නේ නැහැ. සැම විටම තමන්ගේ සිත ගල්පහර ලත් අලුගොඩක් වගේ ව්‍යාකූල මනසකින් ඉන්න පුද්ගලයකුට කවදාවත් සතුටක් ලැබෙන්නේ නැහැ. මෝහය මත පදනම් වෙලා ජීවිතය ගෙවන මිනිසුන්ට පරම ආනන්දය කරා ගමන් කළ නොහැකි වන්නාසේම මෝහයෙන් අන්තයට ගිය පුද්ගලයා මිථ්‍යාදෘෂ්ටිකයකු ද වනු ඇත. එම දෘෂ්ටින්වල එල්බ සිටීමෙන් ඔහු කිසිවක් පිළිනොගනී. ඒ නිසාම ඔහුට ගැළවීමක් නැහැ. තමන් සතුටුවෙන්න කරන වැඩ වැරැදි කියලවත් තමන් දන්නවා නම් අවම වශයෙන් ඔහු පව්කාර සම්‍යයක් දෘෂ්ටියකුවත් වෙයි. කවදාහරි හෝ දවසක ඔහු ගැලවෙයි. තමන් කරන සියලු වැඩ නිවැරැදි යැයි සිතා සිටින පුද්ගලයාට කවදාවත් ගැලවීමක් නැත. මිථ්‍යාදෘෂ්ටිකයා සතුටුවීම සඳහා කරන වැරැදි ක්‍රියාත් නිවැරැදි යැයි විශ්වාසය කරයි. එය සතුට බවද විශ්වාස කරයි. තමන් යම්කිසි ආකාරයක වරදක් කරමින් සිට ඔහු නිවැරැදිවී පසුතැවීමට පටන් ගතහොත් අංඟුලිමාල වැනි අලුත් පුද්ගලයකු නැවත ඉපදෙයි. අංඟුලිමාල කළ කාර්යයන් පිළිබඳව ඔහු නිවැරැදිවී පසු තැවුණා. නැගණියනි, මම ආර්ය ජාතියේ ඉපදුණ දා පටන් කිසිවකුගේ ප්‍රාණයක් නිරුද්ධ කළේ නැති බව. කවුරු හෝ පුද්ගලයකු නිවැරැදිව පසුතැවෙන්න පටන්ගැනීමම ඔහුගේ අලුත් භවයක්. එය ඔහුගේ අලුත් උප්පත්තියක්. නමුත් අංගුලිමාල හාමුදුරුවන්ටත් නොයෙකුත් ගල්මුල් ප්‍රහාරයන් වැදුණා.

කර්ම කළා නම් අප විපාක විඳිය යුතුයි. අංඟුලිමාල තෙරුන්ට, මුගලන් තෙරුන්ට විපාක ලැබුණා නම් සියලු දෙනාටම එලෙසම විපාක විඳින්න වෙනවාමයි. තමා අයහපත් ක්‍රියාවක් කළහොත් එහි විපාකය තමන්ම ගෙනයා යුතුයි. එය තමාගේ විඤ්ඤාණධාරාව තුළ තැන්පත්ව පවතී. බුදුපියාණන් වහන්සේ විමසන්නේ ඔබ මේ මොහොත හොඳින් පවත්වනවාද? මේ මොහොත හොඳින් පවත්වමින් ඉදිරියට යන්න. අතීතයේ කළ දෙයට ලැබෙන විපාක හිතමින් මේ මොහොත වෙනස් කරගන්නත් එපා. ආපු නැති අනාගතය පිළිබඳ සිතමින් පසුතැවෙන්න එපා. ඔබට නිවැරැදි පසුතැවීමක් ගොඩනඟා ගැනීමට හැකිවුවහොත් ඔබට උපරිම සුවය විඳිය හැකියි. අප කා තුළත් කුඩා කළ සෑදුන තුවාලවල කැළැල් තිබෙනවා. ඒ තුවාල හොඳ නම් කැළැල් මකාදමන්න උත්සාහ කරන්න එපා. ඔබට කවදාවත් කැළැල් මකාදැමිය නොහැකියි.

 

 වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය ඔක්තෝබර් 15 වැනිදා බදාදා පූර්වභාග 11.49 ට ලබයි. 16 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 01.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 15 වැනිදා බදාදාය.

මී ළඟ පෝය ඔක්තෝබර් 23 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 15

Full Moonඅමාවක

ඔක්තෝබර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 31

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 06


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]