දන්දීම හා අත්හැරීම
අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ
උපකුලපති, මහාචාර්ය
තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි
දානය යන වචනය අප හැම දෙනාටම සාමාන්‍ය හුරුපුරුදු වචනයක්. කොහොමටත්
ශ්‍රී ලංකා සමාජයේ මේ වචනය මේ තරම් පොදු වචනයක්, භාවිතයක් බවට පත් වීමට
අපේ පාරම්පරික බෞද්ධ හුරුව, තවත් වචනයකින් ප්‍රකාශ කළොත් උරුමය හේතු වී
පවතිනවා. අපේ ඉතා ළාබාල අවධියේ සිටම අපේ අම්මලා, ආච්චිලා අපට මේ සිරිත
හුරු පුරුදු කරලා තියෙනවා. දැනට වසර පනහකට හැටකට ඈත අතීතය අපට මේ
අවස්ථාවේ හොඳින් සිහිපත් වෙනවා. ඒ කාලයේ අපේ පන්සලට සලාක නැතිනම්
පේරුදානය නියම වන දවසට දින හත අටකට පෙර සිට ම අපේ ගෙවල්වල ඒ සඳහා හොඳ
සූදානමක් තිබුණා. ගෙදර කුස්සියේ ගොම මැටි අලුතෙන් ම ගානවා. එදිනට පෙර
දින ගෙදර කුස්සිය පිරිසුදු කර ළිපේ සියලු ම අළු ඉවත් කර පිරිසුදු
කරනවා. දර හනසු ආදි ළිප ලන දේ සූදානම් කරනවා. කල්තියා වී තම්බා වේලා
කොටා, හාල් පෑහලා කුල්ලේ දාලා පොළලා, සුණු සාල් ඉවත් කරලා අලුත් ම හාල්
පිළියෙළ කරලා උයන හට්ටි මුට්ටි පිරිසුදු කරළා, හෝදලා වේලා තැන්පත් කර
මේ කටයුතු සඳහා අම්මාත් කිරි අම්මාත් සූදානම් වන්නේ ගෙදර දොර සියලු ම
කටයුතු අයින් කරලා, උදේ පාන්දර සිටම දානය සූදානම් කරගෙන සියලු කටයුතු
නිමවලා එදා උයපු සියලු දේ පිළියෙල කර දානය තල්කොළ පෙට්ටිවල දාලා,
ව්‍යංජන ගින්නේ තවපු කෙසෙල්කොළවල ඔතලා දාන පෙට්ටියේ තැන්පත් කරලා පෙර
දින කඩෙන් මිලදී ගෙනා ඉදුණු කෙසෙල් ගෙඩි ඇවරියක් වත් අඩුම තරමින්
සූදානම් කර දාන පෙට්ටිය උස් මේසයක වගේ උඩක ම තියලා පෙට්ටිය
සුදුපිරුවටයකින් වහලා තෙල් මල් සූදානම් කර සියලු වැඩඅවසන් කර අම්මාත්
ගෙදර හෝ අවට නෑදෑ වන හෝ නැන්දා කෙනෙකුටත් පන්සලට යාමට සූදානම් වන ලෙස
පණිවුඩ යවලා අම්මා ළිඳ ළඟට හෝ වැවට ඉක්මණින් ගොස් නාගෙන ඇවිත් දානයත්
රැගෙන පන්සලට යනවා. එදාට ගෙදර උයපු වළංවල කිසිවක් ඉතිරි නොකර සේරම
පන්සලට ගෙනයාම සිරිත වුණා. එදාට අපට දවල් කෑම වෙන ම උයනවා. නැතිනම්
අම්මා කඩෙන් පාන් ගෙනත් සම්බෝලයක් හදලා හරි දෙනවා. මේ එදා පන්සලට
දන්දුන් පිළිවෙළ යි. මේ පිළිවෙළ කොපමණ වෙනස් වෙලාදැයි අද දවසේ ජීවත් වන
ඔබට දැන් සිතා ගන්නට පුළුවනි.
දන්දීමෙන් අත්හැරීම සිදුවුණාද?
මේ දන්දීමට කෙතරම් සූදානමක්, පිළිවෙළක්, පූජනීයත්වයක් කෙතරම් වතාවත්
රාශියක් එදා එකතු වී වුණාදැයි සිතාගත හැකිය. දන්දීමේ අරමුණද අද ඊටත්
වඩා වෙනසකට භාජන වී ඇති කරුණ යි මෙහිදී වැදගත් වන්නේ. අද දන්දීමේ දී අප
දකින බොහෝ විපරිත දේ තිබෙනවා. එයින් කෙසේවත් බුදුරජාණන් වහන්සේගේ
ඉගැන්වීම අනුව දන්දීමක් සිදුවෙනවාද? දන්දීමෙන් ප්‍රධාන වශයෙන් අරමුණු
කරන අත්හැරීම සිදුවුණා ද යන්න අප සිතා බැලිය යුතු මොහොත අද උදා වී ඇත.
එක් කාලයක බුදුරජාණන් වහන්සේ චම්පා නුවර ගග්ගරා පොකුණ අසබඩ වාසය කරනවා.
ඒ කාලයෙහි දවසක් දා චම්පා නුවර උපාසක වරු සැරියුත් හාමුදුරුවෝ කොහි වැඩ
වසනවාද කියා සොයා බලා උන්වහන්සේ වැඩ සිටි තැනට පැමිණුනා. එසේ පැමිණිලා
එම උපාසකවරු සැරියුත් හාමුදුරුවන්ගෙන් ඉල්ලීමක් කළා. මොකක්ද මේ ඉල්ලීම?
ස්වාමීනි, අපි හුඟක් කාලයකින් බුදුරජාණන් වහන්සේගෙන් බණ කතාවක් අහලා
නැහැ. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ ලවා අපට බණ කතාවක් දේශනා කරවා
ගන්නට බැරිද? කියලා මේ උපාසකවරු විමසා සිටියා. මේ අවස්ථාවේදී සැරියුත්
හාමුදුරුවෝ චම්පා නුවර සිටි මේ උපාසකවරුන්ට කියා සිටියා එහෙම නම් පෝය
දවසේ විහාරයට පැමිණියොත්, බුදුරජාණන් වහන්සේගෙන් බණ කථාවක් අසා දැන
ගන්නට පුළුවන් බව. එයට උපාසකවරු කැමති වී පෝය දවසේ බුදුරජාණන් වහන්සේ
දකින්නට ඒමට බලාපොරොත්තුවෙන් සැරියුත් හාමුදුරුවන් වහන්සේගෙන් අවසර ලබා
ගෙන ආපසු යන්නට ගියා. ඒ වගේ ම පෝය දවස එළඹුණාට පස්සේ එදා කියපු
ආකාරයෙන් ම චම්පා නුවර උපාසකවරු සැරියුත් හාමුදුරුවන් හමු වන්නට පැමිණ
බුදුරජාණන් වහන්සේගෙන් බණකතාවක් අසන්නට පැමිණි බව දැනුම් දුන්නා.
දානය මහත්පල වීමට නම්
සැරියුත් හාමුදුරුවෝ මේ උපාසක පිරිස සමඟ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින
ස්ථානයට ගොස් බුදුරජාණන් වහන්සේට කාරණය සැලකර සිටියා. සැරියුත්
හාමුදුරුවෝ ම බණකතාවට මාතෘකාවක් පෙන්වා දෙමින් බුදුරජාණන් වහන්සේගෙන්
විමසා සිටියා. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, දානයක් මහත් ඵල වන්නේ
කෙසේද? ඒ වගේ ම එහි අනික් පැත්ත දානයක් මහත්ඵල නොවන්නේ කෙසේද? කියා.
එයට පැහැදිලි පිළිතුරක් ලබා දෙන බුදුරජාණන් වහන්සේ දානයක් මහත්ඵල වීමට
හා නොවීමට හේතුව පිළිබඳ කරුණු හතක් යටතේ පැහැදිලි කර දුන්නා. දානමහප්ඵල
සූත්‍රයේදී උන්වහන්සේ විසින් පෙන්වා දෙන මේ කරුණු හත අද දවසේ ජීවත් වන
අපට ඉතා වැදගත් වෙනවා.
එදා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් බණ කතාව අනුවත් අද ලෝකයේ අප දකිනා
පිළිවෙළ අනුවත් ඇතැමෙක් දන් දෙන්නේ අපේක්ෂා හෙවත් ප්‍රාර්ථනා ගොඩක්
සිතේ රඳවාගෙනය. එනම් දානය පිළිබඳ ගිජුකම, එසේත් නැත්නම් දන්වළඳන
භික්ෂූන් හෝ භුක්ති විඳින පිරිස් පිළිබඳ විවිධ සමහර විට කාමභෝගී
සිතිවිලිවලින් යුක්තව දන් දෙනවා. එමෙන්ම දානය නිධානයක් ලෙස සිතා තමන්ට
අවශ්‍ය වෙලාවක පිහිට වෙන ශක්තියක් ලෙස සළකා දන් දෙනවා. ඒ වගේම තමා දන්
දුන්විට නැවත ඒ දුන් දානය වගේ හෝ ඊට වඩා වැඩි ගුණයකින් ඒවා තමන්ට ආපසු
ලැබෙනවා කියා සිතලත් දන් දෙනවා. එමෙන්ම දන් දීලා පරලොව ගිය පසු පසුව
දිව්‍ය ලෝකයන්හි උප්පත්තිය ලබන්ට අවස්ථාව උදාවෙනවා කියලත් දන් දෙනවා.
මෙසේ විවිධ අපේක්ෂා ඇතිව දන් දුන්නහම ඒවායෙහි ලෞකික විපාක ඒ ආකාරයෙන් ම
ලැබෙන්නට ඉඩ තිබෙනවා. එහෙත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ දානය සසර
දික්කරගැනීමේ වැඩපිළිවෙළක් නොවිය යුතු බවත් එය එවිට කාමභෝගී ජීවිත ගත
කිරීමේ අවස්ථාවක් උදා කර ගැනීමක් බවත් ය. මෙහිදී උන්වහන්සේ පෙන්වා
දෙනවා දානයක් මහත්ඵල වීමට නම් එවැනි ලෞකික ප්‍රාර්ථනා ඇතිව දන් දීම
නුසුදුසු බව. දානයක් මහත්ඵල වන්නට නම් එය මෙසේ කරුණු හතක් සපුරා තිබිය
යුතු වෙනවා.
දානයෙන් සසර කෙටිවීමට නම්
අපේක්ෂා නොමැතිව දන් නොදීම පළමුවන අවශ්‍යතාවයයි. ඒ අනුව මුලින් කී
පරිදි දානයෙන් ලැබෙන ලෞකික ප්‍රතිලාභ ගැන නොසිතා දන් දීම යි මේ ප්‍රකාශ
කරන අර්ථය.
දන් වළඳන පිරිස අන් අයගේ ලෞකික තත්ත්ව, තනතුරු, ලොකුකම පිළිබඳ බැඳීමක්,
ගිජුබවක් හෝ දෙන දාන වස්තුව පිළිබඳ ආශාවක් නැතිව එය යටපත් කරගෙන ආශාව
හෙවත් තෘෂ්ණාව අඩුකරගැනීමේ අදහසින් ම දන් දෙන්නට අවශ්‍ය වෙනවා. දානය
නිධානයක් තැන්පත් කිරීමක් කොට නොසලකා දන් දිය යුතු වෙනවා.
මේ දෙන දානය වගේ දෙගුණ තෙගුණ හෝ ඊටත් වඩා වැඩි වාර ගණනකින් ලැබෙන ලෞකික
ලාභය ගැන නොසිතා දන් දිය යුතු වෙනවා.
අපේ දෙමාපියන් විසින් හෝ මේ දන්දීම කරගෙන ආ චාරිත්‍රයක්, කුලසිරිතක්
කියා නොසිතා දන්දීමයි. ධර්මයට එකඟ වන්නේ අපේ පරපුරේ චාරිත්‍රයක් වූ
දන්දීම අප විසින් කඩ කිරීම සුදුසු නොවේ කියා සිතීමකුත් නැතිව දන් දිය
යුතු වෙනවා.
ඒ වගේම දන්දෙන අප වගේ මේ දන් පිළිගන්නා මහණ බමුණන්ට රසට ගුණට උයා පිහා
ගන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා ඒ අඩුව පිරිමසා ගන්නට කියා නොසිතලා දන්
දීමයි සුදුසු වන්නේ.
එමෙන්ම මේ දන් චාතුම්මහාරාජිකාදී අප අසා ඇති දිව්‍ය ලෝකයන්හි උපදින්නට,
එහි සැප විඳින්නට තරම් ආනිසංස ඇති වෙනවා කියා කල්පනා නොකර, ප්‍රාර්ථනා
නොකර දන් දියයුතු වෙනවා.
එසේ නම් දන් දෙන්නේ කුමකටද?
දන්දීමේ එකම අරමුණ කර ලෙස තිබිය යුත්තේ මේ දානය දීමෙන් මගේ සිත
පහදිනවා. ප්‍රසන්න භාවයට පත් වෙනවා. තම මනසින් ම සොම්නස උපදවා ගන්නවා.
කාගේවත් බලපෑමක්. යොමු කිරීමක් නොමැතිව මගේ සිත මේ හේතුවෙන් පිරිසුදු
වෙනවා. ඒ සිතේ පිරිසුදු බව කියලා කියන්නේ අන් කිසිවක් නොව ඒ දන්දෙන
අවස්ථාවේ සියලු දෑ සොයා බලා දන්දියයුතු අය කවුදැයි විමසා බලනවා. එහිදී
සීලාදි ගුණයෙන් යුක්ත වන්නා වූ පාප ධර්මයන්ගේ හෙවත් ලාමක
ක්‍රියාවන්ගෙන් දුරුවුණු ඒ වගේ ම පාප ධර්මයන් බැහැර කළ ආර්යගුණ සපිරි
උතුමන්ට ම (ශ්‍රමණ, බ්‍රාහ්මණ) දන් දෙනවා කියා සිත පහදිනවා. ආහාර දානය
පමණක් නොව පානවර්ග, වස්ත්‍ර, යානවාහන කොට්ටමෙට්ට හෙවත් යහන් ආදිය පහන්
ආලෝකය දල්වන උපකරණ ආදී මේ අත්‍යවශ්‍ය බොහෝ දේ දන්දෙනවා. මෙසේ දන්
දීමෙන් එවැනි දන්දෙන උතුමන්ගේ ප්‍රාර්ථනාව වන්නේ දන්දීම නිසා සිතේ ඇති
වන ප්‍රසාදයයි. හෙවත් පිරිසුදු බවයි. තෘෂ්ණාව තාවකාලිකව හෝ යටපත් කර ඊට
අනුව ඇති වන දන් ලබන පිරිස පිළිබඳ මෛත්‍රී සහගතව ද්වේෂයෙන් මිදී, නැණ
නුවණ යොදවා දන්දීමයි. එවිට දෙනු ලබන දානය පිළිබඳ අපේ සිත් සතන් තුළින්
යටපත් කරන්නෙ රාග, ද්වේෂ හා මෝහ යන සසර දිගු කරන අකුසල ගණයට වැටෙන
සිතිවිලිය. එහෙත් අප මෙහිදී සිතට ගතයුතු එක් දෙයක් පැහැදිලිව ප්‍රකාශ
කරන්නට අවශ්‍ය වෙනවා. වර්තමාන ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රමාණයන්ගෙන් සිය
ගණනින්, දහස් ගණනින් දන් දීමට විශේෂයෙන් බෞද්ධයෝ පෙළගැහී සිටිනවා.
සසර ආගාමි නොවී අනාගාමි බව
දානමහත්ඵල සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ මුලින් පෙන්වා දුන් පරිදි එසේ
දන්දෙන තැනැත්තා මේ සසර නැවත උපත ලබන ආගාමි කෙනෙකු හෙවත් සසර ඇදබැඳ තබන
කෙනෙකු බවට පත් වෙනවා. එහෙත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන පරිදි මේ
සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ දන්දෙන තැනැත්තාට හිමිවිය යුතු ආසන්න
ආනිශංසය විය යුතු වන්නේ සත්වයා අනාගාමි හෙවත් මෙම කාම ලෝකයෙහි නැවත
නැවත නූපදින සත්වයෙකු බවට පත් කිරීම හෙවත් අනාගාමි අයෙකු බවට පත්
කිරීමයි. කිරිගවයෙකු නිදහස් කරන විට, අනාථාධාර ලබාදෙන විට, සියක් නමකට,
දහස් නමකට ආදී වශයෙන් දන්දෙන විට ප්‍රසිද්ධියට, ප්‍රචාරයට කොපමණ මුදල්
වැය කරන්නට අප පුරුදු වෙලා ඉන්නවාද? එපමණක් ද තමාගේ පියා හෝ ආයතනයේ
ප්‍රධානියා වෙන්නට පුළුවනි. එවැන්නෙකු මිය ගිය විට අපි දන්දෙනවා.ඒ පුවත
පවා පුවත්පත්වල පත්තර පිටුවක් වෙන් කර විශාල මුදලක් ගෙවා කොපමණ මුදලක්
ප්‍රසිද්ධිය සඳහා අප යොදනවාද? සැබෑ දන් දීමක් සිදු වී තිබේද? මොහොතක්
මේ කරුණු සිතා බැලුවොත් අද බොහෝ දෙනෙකු දෙන දානය ලෝභ, ද්වේෂ (දාන තරග
නිසා සිදු වන්නකි.) මෝහ වැනි අකුසල සිතිවිලි කොපමණ වැඩිදියුණු කරනවාද
යන ගැටලුව එක්වරටම සිතට එනවා? අන්තිමට අප විසින් බුදුදහමේ ඉගැන්වෙන
පරිදි ඇත්තට ම සැබෑ අරුතෙන් ම දානයක් දී ඇත්දැයි සිතා බැලීමට කාලය එළඹී
ඇත. |