ධනවතකු වීමේ බොදු මඟ
මහාචාර්ය විලේගොඩ අරියදේව හිමි
‘මහණෙනි,දිළිඳුකම ලෝකයෙහි පවත්නා දුකකි. (දාළිද්දියං) දුකෙඛා ලොකෙ)
එසේම ධන සම්පත් ඇති බව සැපයකි. එය අත්ථි සුඛ නම් වේ. බුදු දහම ලෝකය
දුක් සහගත බව පැහැදලි කරන්නේ ඒ දුකෙහි සදාකාලිකව ගැලී සිටීමට නොව එයින්
මිදීමටයි. ඒ දුකින් මිදීමේ මාර්ගයද බුදු දහම හෙළිකරයි. ඒ අනුව භෞතික
ලෝකය තුළ පවත්නා දුක අධ්‍යාත්මික වශයෙන් පවත්නා භව දුකක් යන අංශ දෙක
පිළිබඳවම හේතුඵලවාදි ලෙස පැහැදිලි කරන බුදුදහමෙහි ඒ සියලු ආකාරයේ දුක
නැති කිරීම සඳහා මාර්ගයන් පහදා දී ඇත. තවද වාස්තවික හෙවත් ව්‍යවහාර
ලෝකයේ පවත්නා දිළිදුකම පිළිබඳ දුක පිටුදැකීම සඳහා පෙන්වාදී ඇති මාර්ගය
මිනිසාගේ ලෝකෝත්තර සැපයට බාධාවක් නොවන අයුරින් දේශනාකොට තිබීම සුවිශේෂී
කරුණක් බව අප වටහාගත යුතුය.
මිනිසා පමණක් නොව ලොව සියලු සත්වයා දුක්විඳීම පිළිකුල් කරති. එබැවින්
සියල්ලෝ සැපයට කැමැති වෙති. “සබෙබ සත්තා දුක්ඛ පටිකකූල, සබෙබ සත්තා
සුඛකාමා” මේ නිසා මිනිසුනේ සෑම ක්‍රියා මාර්ගයක්ද සැපය අරමුණ කරගෙන
ක්‍රියාත්මක වේ” ව්‍යාපාරා සබ්බ භූතානං සුඛත්ථාය විධියරේ. බුදුදහම
මිනිසාගේ සසර දුකින් මිඳීමට අවශ්‍ය ධනය වශයෙන් හඳුන්වන්නේ සප්ත ආර්ය
ධනයයි. ශ්‍රද්ධා, සීල, හිරි, ඔත්තප්ප, ත්‍යාග හා ප්‍රඥා යනු එම ආර්ය
ධනයයි.
ලෝකයේ සාර්ථක ව්‍යාපාරිකයන් , ධනවතුන් බිහිවූයේ දවසකින් දෙකකින් නොවේ.
එබඳු ව්‍යාපාරිකයන් පිළිබඳව ඔබ විමසිල්ලෙන් පරික්ෂා කළොත් ඔබට පෙනේවී
බුදු දහම අනුමත ධනෝපායන මාර්ග ඔවුන් විසින් දැනුවත්ව හො නොදැනුවත්ව
අනුගමනය කර ඇති බව, ඔබට ධනවතකුවීමට අවශ්‍ය නම් මේ හැම ව්‍යාපාරිකයෙක්ම
දහවල් වන තුරු නිදාගත් අලසයන් නොවන වග පැහැදිලි වේවි. සමහර විට ඇතැම්
අය සියලු දුරාචාරයන් අනුගමනය කරමින් ධනවත් වී ඇති බව ඔබට ව්‍යාපාර
ලෝකයෙන් සාධක ඉදිරි පත් කරන්නත් හැකිවේවි. ඒ අය දියුණුවට පත්වූයේ බෞද්ධ
පිළිවෙත්වලට අනුව නොව කවර හෝ අයථා ක්‍රමයකින් වියහැකිය. එබඳු තැනැත්තා
මෙලොවත් පරලොවත් විනාශය අත්වන බවද සිතට ගත යුතුය. එසේ නම් බුදුරදුන්
අනුදැන වදාළ ධනවතකුවීමේ දැහැමි මාර්ගය කුමක්ද?
දීඝජානු කෝලිය නම් උන් මිනිසකුට ධාර්මිකව ධනවතකුවීමට පෙන්වාදුන් කරුණු
සතරකි. එය උට්ඨාන සම්පදාව, කල්‍යාණ මිත්‍රත්වය උපයන ධනය සුරක්ෂිත කර
ගැනීම , හා සමබර ජීවන ක්‍රමයක් අනුගමනය කිරීම යනුවෙනි. ලොව බොහෝ සාර්ථක
ව්‍යාපාරිකයෝ තම ව්‍යාපාර පටන්ගෙන ඇත්තේ සුළුවෙනි. ඒ බොහෝ ව්‍යාපාරිකයෝ
ඒ ව්‍යාපාර ආරම්භ කර ඇත්තේ බේකරියක පිටි ඇනූ සේවකයකු වශයෙනි. නැතහොත්
පදිකවේදිකාවේ ලේන්සු, බැනියම් විකුණූ අයකු වශයෙනි. පෙදරේරුවකුව අත්
උදව් වූ කම්කරුවකු වශයෙනි. අම්මා උදේට සෑදූ ආප්ප ටික පාසලට යන ගමන්
කඩයට ගෙන ආ දරුවකු වශයෙනි. චුල්ල සෙට්ඨි ජාතකයේ පෙන්වා දෙන ලද්දේ
කුණුුගොඩට විසිකිරීමට ගෙන යන මීකුණකින් වුවද උත්සාහ වන්තව සැලැසුම්
කිරීමෙන් කැපවීමෙන් ප්‍රඥාවෙන් මහා ධනවතකු වීමේ හැකියාවයි.
බොහෝ දෙනා කෙනෙකුගේ “දෛවඥ’ හෙවත් පෙර පින, නැතහොත් ‘ස්ටාර්’ එක
කෙනෙකුගේ ධනවත් වීමට ප්‍රධාන හේතුවක් ලෙස සැලකුවද බුදුදහම එබඳු
අන්තවාදි කර්ම නියාමයකට මිනිස් ජීවිතය යට නොකරයි. සමහර කෙනෙකුට එබඳු
පෙර වාසනා ගුණයක් නොතිබුණත් උට්ඨාන වීර්යයෙන් අධිෂ්ඨානයෙන් හා
කැපවීමෙන් දෛවය ඇති බව ජයග්‍රහණය කළ හැකි බවද පෙන්වා දෙයි. ඒ පිළිබඳව
බුදුදහම සතර වැදෑරුම් පුද්ගල වරගීකරණයක් කරයි. ඒ මෙසේය.
1.කම්මඵලුප ජීවි පෙර වාසනා ගුණ ඇති තැනැත්තා
2.කම්මුට්ඨාන ඵලූපජීවි, වාසනාව හා උත්සාහය දෙකම ඇති තැනැත්තා
3.උට්ඨාන ඵලූපජීවි වාසනාගුණයක් නැති උත්සාහයක් පමණ ඇති තැනැත්තා
4.නෙක්ඛම්ම නෙවඋට්ඨාන ඵලූපජීවි පෙර වාසනා ගුණයත් නැති උත්සාහයකුත් නැති
තැනැත්තා
පළමු තැනැත්තා දෙමාපියන්ගෙන් උරුම වූ දේපලකට හිමිකම් ඇති වාසනාවන්ත
තැනැත්තෙකි. ඔහු කිසිදු උත්සාහයක් නැතිව ව්‍යාපාරික කටයුතු ඒ අයුරින්ම
කරගෙන යයි. පෙර වාසනා ගුණය අවසන් වූ විට ඔහුගේ ව්‍යාපාර කඩා වැටීමටද ඉඩ
ඇත. බොහෝ ව්‍යාපාර පරම්පරා දෙකකින් තුනකින් කඩා වැටෙන්නේ මේ නිසාය.
දෙවෙනි තැනැත්තා වාසනාවත් උත්සාහයත් දෙකම ඇති තැනැත්තාය. ඔහු නොපසුබට
වීර්යයෙන් තමාට පෙර වාසනා ගුණයෙන් ලැබුණු දේ දියුණු තියුණු මෙබඳු
ව්‍යාපාරිකයන් අතගන්න සියලු ව්‍යාපාර දියුණුවට පත්වේ. ස්වභාවික
උපද්‍රවයන්ගෙන්ද ආරක්ෂාවේ. පාඩු ලාභ ඔහුට කල්තියා පැහැදිලිවේ. ඔහුගේ
මනස නිරවුල්ය. එබඳු අයගේ ව්‍යාපාර දිගුකලක් පවතී.
තුන්වෙනි ව්‍යාපාරිකයා පෙර වාසනා ගුණ කිසිවක් නැති තම උත්සාහයෙන් දෑතේ
වීර්යයෙන් ව්‍යාපාරය පවත්වාගෙන යයි. ඔහු ලුණු පොල්කට්ටේ පටන් සියල්ලම
තම උත්සාහයෙන් ලබාගත් කෙනෙකි. හුඹස බඳින වේයකු මෙන් ඔහු සතයෙන් සතය
ටිකෙන් ටික උපයා ඉතිරිකරගත් මුදලකින් ව්‍යාපාර කටයුතු අරඹා උපයාගත් දෙය
ආරක්ෂා කරගනිමින් ව්‍යාපාරය තවදුරටත් දියුණු කිරීමට වෙහෙසෙයි. ඔහුද
සාර්ථක ව්‍යාපාරිකයෙකි.
සතරවැනි පුද්ගලයා පෙර වාසනාගුණයත් නැති උත්සාහයක් ද නැති ව්‍යාපාර ගැන
උදේ හවස සිහින මවන පණ්ඩිතයෙකි. කුසීතව සිට තර්ක කරමින් අනුන් කරන්නන්
වාලේ යමක් කරන්නට යන කෙනෙකි. එබඳු අය තිබෙන දේවලද විකුණූ කණකර ආභරණ
විකුණා වෙළෙඳාමක් කරයි. නැතහොත් විදේශ ගතවීමට උත්සාහ කරයි. වාසනා
ගුණයත් නැති ධනවතකු වීමේ සිහින මවන එබඳු අය අදූර දර්ශීව කටයුතු කොට
විනාශ වෙයි. මෙබඳු වාසනාගුණයත් උත්සාහවත් නැති ව්‍යාපාරිකයා
හැඳින්වෙන්නේ බැස්ස තැනදීම ගිලෙන (සකිං නිවුග්ග) තැනැත්තා වශයෙනි.
බුදු දහමේ “සම්මා ආජීව ‘ සංකල්පලයෙන් අවධාරණය කෙරෙන්නේ නිවැරැදි ධන
සම්පත් ලැබීමේ ක්‍රමයයි. මේ නිසා ධනය ධර්මානුකු ඉපදවීම ආර්ය අෂ්ටාංගික
මාර්ගයට පටහැනි නොවේ. බුදුරදුන්ගේ ප්‍රධාන දායකයො ධනවත්තු දුක් වුහ.
සුදත්ත නම් අනේපිඬු තුමාද ඡ්‍යොතිය මෙණ්ඩක , මිගාර වැනි සිටුවරුන්ද
බුදුරදුන්ට දහම ප්‍රචාරය කිරීමට මහත් අනුබලයක් සැපයූහ.
චීනයේ සිට ගී‍්‍රසිය දක්වා දිවෙන සේද මාර්ගය ඔස්සේ බුදුන් වහන්සේගේ
ශ්‍රාවකයෝ සංවරය සහජීවනයේ පණිවිඩය ගෙන ගියෝ ධනවත් වෙළෙඳ පංතියේ
සහයෝගයෙනි. රටක ආර්ථික සමෘද්ධිය ,සාමකාමි වාතාවරණය,යුද්ධ බහුල නොවු
අවස්ථා බුදුසමයේ ව්‍යාප්තියට වෙසෙසින් හේතුවිය. නිර්ධනයාට වඩා ධනවතුන්ට
ධනයේ ආස්වාදසය හා ධනයේ ආදීනවය අවබෝධ කර ගැනීමට පහසුය. ඒ අනුව බුදුදහමට
අනුව සියල්ල අතහැරීමට පහසුවන්නේ යමක් තිබෙන කෙනෙකුට බව ව්‍යහාරය
ලෝකයෙන් පැහැදිලි කර ගත හැත හැකිය. රට්ඨපාල, තරුණයා මහත් ධනසම්පත්තියක්
අතහැර නිවන් මගට පිවිසියේ ඔහුගේ ආදිනව දුටු නිසාය. මේ නිසා බුදුදහම
ධනවතකු වීම ප්‍රතික්ෂේප නොකරයි. ධනවතකු වීමට මාර්ගයත් ඒ ධනය
ප්‍රසංසාත්මක නිග්‍රහ නොකටයුතු ධනමාර්ගයක් බවට පත්කර ගැනීමටත් බුදුන්
වහන්සේ ධනවතුන්ට උපදෙස් දී ඇත.
වරක් බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටුතුමාට සාර්ථක ධනවතකු තුළ තිබිය
යුතු ලක්ෂණ කිහිපයක් කාමභෝගි සූත්‍රයෙන් පෙන්වා දුන්නාහ.
1.ධනවතා ධර්මානුකූලව ධනය ඉපයිය යුතුය. සාහසික නොවිය යුතුය.
පාරිභෝකියාත්, සේවකයාත් නොපොල ධනය ඉපයීම මෙයින් අදහස්වේ.
2.උපයාගත් ධන’ සම්පත්වලින් තමන් සැප විඳිය යුතුය.
3.තම ධනයෙන් ඥාතීන් , සේවක සේවිකාවන් හා සමාජයේ යහපත සඳහා යෙදවිය
යුතුය.
4.උපයන ධනයේ වහළකු නොවි අගතිගාමී නොවී මුලාවට ආඩම්බරයට පත්නොවි එය
තෘෂ්ණාවෙන් දැඩිව අල්ලා නොගෙන ධනයෙහි ආදීනව දකිමින් ඒ ධනය පරිභෝජනය කළ
යුතුය.
මේ සියලු කටයුතු වලදී බුදු දහම ධනය පිළිබඳ අවධාරණය කරන්නේ ධාර්මික
පදනමයි. දෑතේ දෙපයේ වීය¸යෙන් ධර්මානුකූලව ධනය සෙවිය යුතුය. අවි ගනුදෙනු
වස විස වෙළෙදාම , සත්ව වෙළෙඳාම වහල් වෙළෙඳාම , ධනෝපායන මාර්ග
ප්‍රතික්ෂේප කරන බුදු දහම ධර්මානුකූල ව්‍යාපාරිකයා ප්‍රශංසාවට ලක්කරයි.
සාර්ථක ධනවතකු වීමට අනුගමනය කළ යුතු උපාය උපක්‍රම, අත්හළ යුතු ගති
ලක්ෂණ ,ව්‍යඝ්‍රපජ්ජ සූත්‍රයෙන් පෙන්වා දෙන කරුණු ඉතා වැදගත් වේ. මෙම
කරුණු සියුම් ලෙස විමසා බැලිය යුතුය.
”එකෙන භොගෙ භුංජෙය්‍ය
ද්වීහි කම්මං පයොජයෙ
චතුත්තංච නිධාපෙය්‍ය
ආපදාසු භවිස්සති
උපයන ධනයෙන් සතරෙන් එකක් එදිනෙදා පරිභෝජනයෙත් සතරෙන් දෙකක් එම ධනය වැඩි
දියුණු කරගැනීම සඳහාත්, සතරවෙනි කොටස අනාගතයේ ජීවිත රක්ෂණය ,දේපල
රක්ෂණය සඳහාත් යෙදවීමට මෙයින් උපදෙස් සපයයි.කෙනෙක් වර්තමාන ජීවන රටාව
තුළ මෙසේ කරන්නේ කෙසේදැයි එකවරට විරෝධය පෑමට ඉඩක් ඇත. එය අසාධාරණ නොවේ.
එහෙත් කොටස් දෙකක් තමා ඉපයූ ධනයෙන් ආරක්ෂා කොට එය ධන සම්පත් වර්ධනය කර
ගැනීමට යෙදවීමෙන් අදහස් කරන්නේ ඔහු සැමදාම ධනවතකුගේ තත්වයට පත්වීම
නොවේද ? මෙය එක දවසින් ලැබිය හැකි තත්වයක් නොවේ. මා මුලදි සඳහන් කළ
පරිදි ඉවසීමෙන් හා කැපවීමෙන් මෙන්ම තීක්ෂණ බුද්ධියෙන් ඔබ ක්‍රියා
කළහොත් ඔබ ධනවතකුවීමේ සිහිනය ඈතක නොවේ.
අවසාන වශයෙන් සාර්ථක ව්‍යාපාරයක් දීර්ඝ කාලයක් පැවැතීමේ හේතුඵල පදනම
මෙසේ පිඬුකොට දැක්විය හැක. පාරිභෝගිකයාට හොඳ දේ අඩු ලාභයක් තබාගනිමින්
නිෂ්පාදනය කෙරෙයි නම් අලෙවි කෙරෙයි නම් එය ධර්මානුකූල දිගුකලක් පවත්නා
ව්‍යාපාරයක් බව වටහාගත යුතුය. |