UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පරාර්ථ සේවයෙහි යෙදෙන්න

එදා දීපංකර බුදුරජාණන් වහන්සේ හමුවෙහි තමාට ලැබුණ නිවන් සැප අත්හැර, සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් සංසාර සාගරයට වැදී අපමණ දුක් ගැහැට වින්දේ පරාර්ථ සේවයේ අගය ලෝක සත්ත්වයාට පැහැදිලි කිරීමටය. එදා සුමේධ තාපසතුමා මහා මඩවලක් ගොඩකොට මහා මාර්ගයක් තනමින් සිටින විටයි දීපංකර බුදුරජාණන් වහන්සේට හමුවුනේ. දීපංකර බුදුරජාණන් වහන්සේ විසි ලක්ෂයක් රහතන් වහන්සේ අමතා මේ පරාර්ථ සේවයේ යෙදී සිටින පුද්ගලයා එසේ මෙසේ කෙනෙක් නොවෙති මතු ගෞතම නමින් බුදුවන උත්තමයායි හඳුන්වා දුන්හ. එදා දීපංකර බුදුරජාණන් වහන්සේ හා විසි ලක්ෂයක් රහතුන්ගෙන් උපහාර පුද පූජා ලැබුවේ පරාර්ථ සේවයේ උත්තරීතර ගුණය නිසාය.

පරාර්ථ සේවයේ අග්‍ර ඵලය වූ ලොව්තුරා බුදුබව තමාට නියතයෙන්ම ලැබෙන බව දුටු අප මහ බෝසතාණෝ බුදුබව සඳහා අවශ්‍ය පාරමිතා, උපපාරමිතා, පරමත්ථ පාරමිතා යනුවෙන් සමත්‍රිංෂත් පාරමී ධර්මයන් සම්පූර්ණ කළහ. සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පිරූ පාරමිතා ලෙහෙසියෙන් පහසුවෙන් කළ ඒවා නොවෙයි. මහත් ජීවිත පරිත්‍යාගයෙන්ම සිදුකළ බව.

සොර සාගරෙ ජලධිකං රුධිරං අදාසි
භූමිං පරාජිය සමංස මදාසි දානං
මෙරුප්පමාණ මධිකං ච සමොලි සීසං
ඛෙ තාරකාධික තරං නයනං අදාසි

යන්නෙන් පැහැදිලි කරයි. යොදුන් අසූහාර දහසක් ගැඹුරැති මහා සාගරයේ ජලයටත් වඩා සසර ඇවිදින කාලවල දී තම ශරීරයේ ලේ අනුන්ගේ යහපත සඳහා දන්දුන් බවත්, යොදුන් සතළිස් දහසක් ඝනකඩ මේ බොල් පොළවෙහි පස්වලටත් වඩා ශරීර මාංශ දන්දුන් බවත්, යොදුන් එක් ලක්ෂ හැට අට දහසක් උස මහාමේරු පර්වතයටත් වඩා ඔටුණු පළන් ඉස් ප්‍රමාණයක් දන්දුන් බවත්, ආකාසයේ දිලිසෙමින් පවතින තාරකා සමූහයටත් වඩා ඇස් දන්දුන් බවත් මේ ගාථාවෙන් කියැවෙයි. මේසා විශාල ඇස්, ඉස්, මස්, ලේ පරිත්‍යාගයක මහඟු ප්‍රතිඵලයකි, ලොව්තුරා බුදුබව.

ලොව්තුරා බුදුබව පතන උත්තමයකුගේ පරමාධ්‍යාශය දෙකක් වෙයි. එයින් එකක් සියලු කෙලෙසුන්ගෙන් මිදුන චතුස් සත්‍යාවබෝධයයි. අනික අනන්ත දුක් විඳින ලෝක සත්ත්වයා සසර සයුරෙන් එතෙර කිරීමේ පරාර්ථ සේවයයි. ආත්මාර්ථ සේවය, පරාර්ථ සේවය, යනුවෙන් හඳුන්වන්නේ ද එයමයි. බෝධිසත්වයන් වහන්සේ ආත්මාර්ථයම පදනම් කරගෙන ක්‍රියා කළා නම් දීපංකර බුදුන්හමුවේ දී රහත් වී නිවන් දකින්නට තිබුණි. එහෙත් ආත්මාර්ථයට වඩා පරාර්ථ සේවය අගය කළ උන්වහන්සේ ඝෝර වූ කටුක වූ සසරට වැදී අපමණ සේවයක් ඉටු කිරීමට මෙසේ ඉටා ගත්හ.

බුද්ධොහං බොධයිස්සාමි
මුත්තොහං මොචයෙ පරෙ
තිණ්ණොහං තාරයිස්සාමි
සංසාරොඝා මහබ්භයා

මම පළමු කොට ම ලොව්තුරා බුදුබව ලබාගෙන ආත්මාර්ථය සපුරා ගන්නෙමි. දෙවනුව තෙරක් නැති සසර සයුරෙහි ගැලී දුක් විඳින අනන්ත සත්ත්වයන් සසර සයුරෙන් ගොඩ ගන්නෙමි. යන පරම පවිත්‍ර චේතනාව පෙරදැරි කරගෙන දස පාරමිතා පූරණයට පටන් ගත්හ. ආත්මාර්ථයෙන් තොර පරාර්ථ සේවයක් නැත. මෙහි ආත්මාර්ථය යන්න වරදවා තේරුම් ගන්න එපා. තණ්හා, මාන, දෘෂ්ටි වශයෙන් දැඩිව එල්බගෙන තමා පමණක් හිටියොත් ඇති අනිකාට හෙණ ගැහුවත් කමක් නැහැ යනාදී පටු අදහසක් සඳහා නොව මෙහි ආත්මාර්ථය යන්නෙන් අදහස් කළේ පරාර්ථ සේවයට සුදුසුකම ලැබීමයි. එනම් සද්ධා, සීල, ශ්‍රැත, චාග, පඤ්ඤා, විමුක්ති ඤාණ දස්සනාදියෙන් සුදුසුකම ලැබීමයි. බෝසත්වරයකු සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් අටාසංඛ්‍ය කල්ප ලක්ෂයක්, සොළසා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී ධර්මයන් සම්පූර්ණ කරන්නේ මේ සුදුසුකම ලැබීමටය.

මේ අනුව සලකා බලන විට බෞද්ධ ආචාර ධර්ම විෂයයෙහි තමන් තුළ ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කර නොගෙන අංග සම්පූර්ණ පරාර්ථ සේවයක් නිසි පරිදි කළ නොහැකිය. අපේ බෝධිසත්වයන් වහන්සේ පරාර්ථ සේවය මොන තරම් අගය කළ සේක් ද යන්න ජාතක පොතෙන් මනාව පැහැදිලි වෙයි. ජාතක කතාවන්ගෙන් අනුන්ගේ දියුණුව සඳහා උදව් උපකාර කළ සැටිත්, ඒ හැම අවස්ථාවකම තමාට එල්ල වූ තර්ජන ගර්ජනත් මැනවින් නිරූපණය වී ඇත.

ජාතක පොතෙහි සඳහන් පරිදි පැරණිතම පරාර්ථ සේවයෙහි නියැලුණු කෙනෙකි. මඝමාණවක කුමරු. මොහු සහජයෙන්ම පරාර්ථ සේවයට කැපවුණ දුප්පත් ගැමි තරුණයෙකි. මොහු පරාර්ථ සේවය වශයෙන් කරගෙන ගියේ යන එන්නන්ගේ සුව පහසුව සඳහා මං මාවත් ශුද්ධ කිරීමත්, මහජනයා ප්‍රයෝජනයට ගන්නා පොකුණු ශුද්ධ කිරීමත්, දුර බැහැර යන එන්නන්ගේ පිපාසය සිංසිඳුවා ගැනීමට පැං තාලි තැබීමත්, සෙවනට ගස් සිටුවීමත් යනාදී හොඳ වැඩය. මොහුගේ පරහිතකාමී ක්‍රියාවලිය දුටු එවැනිම අදහස් වලින් පිරුණු තවත් තරුණයෝ තිස් දෙදෙනෙක් මඝමාණවකයාගේ සද් ව්‍යාපාරයට උදව් දුන්හ. මෙය ලෝකයේ මුල් වරට ඇති වූ ග්‍රාමසංවර්ධන සමිතිය හැටියට හඳුන්වන්නට පුළුවනි. නොයෙකුත් පරාර්ථ සේවයන්හි නිරත වූ මේ පිරිස පසුව දර්ශනීය සමාජ ශාලාවකුත්, රමණීය පොකුණකුත් සතර මංසන්ධියක තනවා, වාඩි වීමට විශාල ගල් පුවරුවකුත්, සෙවනට ගසකුත් රෝපණය කරවූහ. මොවුන්ගේ හොඳ වැඩට ඇති වූ හිරිහැර කරදර අපමණය. එහෙත් ඔවුහු ඇරඹූ පරහිතකාමී පරාර්ථසේවය ජිවිත පරිත්‍යාගයෙන් ඉදිරියට ම ගෙන ගියහ. එහි මහඟු ප්‍රතිඵලය වූයේ මරණයෙන් පසු ඔවුනට “තාවතිංස” නමින් අමුතුම දෙව්ලොවක් හිමිවීමය.

බුදුරජාණන් වහන්සේ ලොව පහළවන්නට පෙර ඉන්දීය සමාජය පුරාම මෝක්ෂය සෙවූ නා නා මාදිලියේ ශ්‍රමණ බ්‍රාහ්මණයන්, තාපසයන්, සෘෂිවරයන්, ශාස්තෘවරයන්, චින්තකයින් පහළ වූ බව ප්‍රසිද්ධය. මේ හැම කෙනෙක්ම තමා බලාපොරොත්තු වූ සැනසීම, විමුක්තිය ලබාගත් පසු සමාජය අමතක කර දමා වනගත වූහ. ඔවුන් නැවත සමාජයට ආවේ ඔවුන්ගේම සුඛ විහරණය සඳහා ලුණු ඇඹුල් සෙවීමට මිස සමාජයට යහපතක් කරන අදහසින් නොවන බව පෙනේ. ලුණු ඇඹුල් සෙවීමට පැමිණි සෘෂිවරුන් තවුසන් තණ්හා, දිට්ඨි, මාන ආදියෙන් හිස උදුම්මාගත් අය බව “ධම්මපදට්ඨ කතාවේ” එන “දේවල” තවුසාගේ කතා පුවතෙන් හෙළිවෙයි. අතීතයෙහි හිමාලයෙහි වසන දේවල නම් තවුසෙක් ලුණු ඇඹුල් සෙවීම පිණිස නගරයට පැමිණ එක්තරා කුම්භකාර ශාලාවක නවාතැන් ගත්තේ ය. ඒ සමඟම “නාරද” නම් තවුසෙක් ද එම ශාලාවෙහි ම නවාතැන් ගත්තේ ය. රාත්‍රියෙහි කළුවරේ එළියට යනවිට දොරටුව අසල නිදාසිටි දේවලගේ ජටාව නාරදට පෑගුණේ ය. ඒ නොදැන සිදුවූ වරදින් හොඳටම කිපුණු දේවල නාරද තවුසාට තදින්ම බැණ වැදුණේ ය. නාදර එළියේ සිට ගෙතුළට යන්නේ නැවතත් දේවලගේ ජටාව පෑගේදෝ යන බියෙන් අනෙක් පැත්තෙන් යන්නේ හිස හා පය මාරු කොට නිදන දේවලගේ බෙල්ල ඒ වාරයේ පෑගුණේය. දඬු පහර ලත් නාගයෙකු මෙන් කිපුණු දේවල තවුසා සිදුවූ වරදට සමාව යදින නාරදට කිසිදු සමාවක් නොදී “හිරු නැගෙන වේලෙහි තාගේ හිස සත්කඩකට පැලේවායි” නාරදට ශාප කළේ ය. පඤ්ව අභිඥාඅෂ්ට සමාපත්ති ලාභී උග්‍ර තවුස්දම් රකින මේ තාපසයන්ගේ ඉවසීමේ තරම පේනව නේද? තමාට සමාන තත්ත්වයේ සිටින කෙනෙකුගෙන් අත්වැරැද්දකින් තමාට සුළු කරදරයක් සිදුවූ විට, එයට සමාව ඉල්ලත්දීත් සමාව දී එය ඉවසීමට තරම් උසස් මිනිස්කමක් ගුණදහමක් මොවුන් තුළ නොතිබුණ බව එයින් පෙන්නුම් කරයි. මේ තාපසයන් තමාගේ නිදහසම, තමාගේ සුව පහසුවම සැලකුවා මිස, අනුන් ගැන හෝ සමාජය ගැන මොනම තැකීමක්වත් නොකළ බව එයින් පෙන්නුම් කරයි.

“පරාර්ථ සේවය” යන්න බුදුසමය සමාජයට හඳුන්වා දුන් මූලධර්මයකි. බුද්ධ කාලීන සමාජයේ නොයෙක් මාදිලියේ ශාස්තෘවරු, චින්තකයෝ බොහෝ වූහ. එහෙත් ඔවුන් ලෝක සේවය හෝ සමාජ සේවය අගය කළ බවක් පෙනෙන්නට නැත. බුදුසමය මගින්ම එය කුළුගන්වා ඇති සැටි බෞද්ධ සාහිත්‍යය විමසීමෙන් පෙනී යයි. බෞද්ධ ආචාර ධර්මයට අනුව තමා තුළ අධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කර නොගෙන අංග සම්පූර්ණ පරාර්ථ සේවයක් නිසි පරිදි කළ නොහැකි ය.

“සයං පලිප පලිපන්නො පරං පලිප්පලි පන්නං
උද්ධරිස්සතීති නෙතං ඨානං විජ්ජති”

තමන් මඩෙහි එරී සිටගෙන මඩෙහි එරුණ තවත් කෙනෙකු ගොඩ ගන්නේ ය යන මෙබන්දක් නොවිය හැකිය යන ප්‍රකාශයෙන්ද පැහැදිලි කරන්නේ එයයි. මේ අනුව තමන් ආධ්‍යාත්මික වශයෙන් සුදුස්සෙකු වීමත්, තමන් ආධ්‍යාත්මික පාරිශුද්ධියට හා ආත්මාර්ථයට බාධා කර නොගෙන කරන්නාවූ පරාර්ථ සේවයත් බුදුදහම ඉතාමත් අගය කරයි. ආත්මාර්ථයත් පරාර්ථයත් සමව සිතන්නැයි “අත්වැඩ පරවැඩ සමව සිතන්නේ මෙත් සිත සව් සත කෙරෙහි කරන්නේ” යන බෞද්ධ සාහිත්‍යගත අදහස විමසන අපට ආත්මාර්ථයට සමාන තැනක් පරාර්ථයට ද හිමිවන බව, බුදුදහමේ හෙවත් බෞද්ධ ආචාර ධර්මයේ ඇති බව වැටහෙයි.

“බහුන්නං වත අත්ථාය උප්පජ්ජන්ති තථාගතා” යන පාඨයෙන් කියැවෙන්නේ ඒකාන්තයෙන්ම බොහෝ දෙනාගේ අර්ථය පිණිස යහපත සඳහා තථාගතයන් වහන්සේලා ලෝකයේ පහළවන බවයි. සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පරාර්ථ චරියාව උදෙසාම සමත්‍රීංෂත් පාරමී ධර්මයන් පූරණය කොට ලොව්තුරා බුදුබවට පත් වූ මහාකාරුණිකයන් වහන්සේ ඉතා කෙටි කාලයක් ඇතුළත දී අති විශිෂ්ට ශ්‍රාවක පිරිසක් බිහිකළහ. ලෝකයෙහි ප්‍රථම වරට පහළ වූ සංවිධානාත්මක සංස්ථාවත් මේ සංඝ සමාජයයි. බෞද්ධ ආචාර විද්‍යාවෙහි සංයමය, ඉන්ද්‍රිය දමනය තපස ආදී ආධ්‍යාත්මික ගුණ පෝෂණයන්ගෙන් පරිපූර්ණ ශිෂ්‍යයන් තැනීම නිසා එහි ගෞරවය ද උන්වහන්සේට හිමිවෙයි. තම ශ්‍රාවක පිරිස හැට නමක් වූ වහාම ඔවුන් අමතා අවවාද දෙන්නේ මෙයට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර සිතූ පැතූ පරාර්ථ සේවය මල්ඵල ගැන්වීමටය.

ඉතිරි කොටස සැප්තැම්බර් 16 වන දා බිනර අව අටවක පත්‍රයේ පළ වේ.

 

 බිනර පසළොස්වක පෝය

බිනර පසළොස්වක පෝය සැප්තැම්බර් මස 08 වැනිදා සඳුදා පූර්වභාග 05.04 ට ලබයි. 09 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 07.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 08 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 16 වැනිදා අඟහරුවාදා  ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 08

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 16

Full Moonඅමාවක

සැප්තැම්බර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 01


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]