ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ
විංශත් වංගික කාරක
මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සභික
පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති,
අස්ගිරිය ඓතිහාසික ගෙඩිගේ රාජමහා විහාරවාසී,
ශ්‍රී දළදා මාලිගාවේ මෙවර තේවාව භාර,
ශාස්ත්‍රපති වේඩරුවේ ශ්‍රී උපාලි නා හිමි
නමො තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
ධම්මං චරේ සුචරිතං
නනං දුච්චරිතං චරේ
ධම්මචාරි සුඛං සේති
අස්මිං ලෝකේ පරම්හිච
“සුපින්වත්නි”
සකල සතවෙත සුපතළ කරුණා දයාවෙන් උතුම් සඳහම් දෙසූ අප භාග්‍යවත්
බුදුරජාණන් වහන්සේ අද වැනි බිනර පුර පසළොස්වක් පෝදිනක. මහා
ප්‍රජාපතීගෝතමී ප්‍රධානව පන්සියයක් කාන්තාවන්ට සම්බුද්ධ ශාසනයේ පැවිදි
වන්නට අවසර ලබාදෙමින් භික්ෂූණී ශාසනය පිහිටුවා වදාළ සේක.
රෝහිණී ගංගාවේ ජලය බෙදා ගැනීමෙහිලා ශාක්‍ය,කෝලිය, රජවරුන් ඇතුළු මහා
සේනාව රෝහිණී ගං ඉවුරේ මහා යුද්ධයකට සූදානම් වූහ. අප බුදුරජාණන් වහන්සේ
මහා කරුණාවෙන් ලොව බලනසේක්. තව මොහොතකින් රෝහිණී ගං ඉවුරේ සිදුවන්නට යන
මහා යුද්ධයත් එයින් වන මහා මනුෂ්‍ය ඝාතනයත් දිවැසින් දැක සෙනඟ මැද ගං
ඉවුරෙහි අහසේ පලක් බැඳ වැඩසිටි සේක. එවේලෙහි ශාක්‍ය කෝලිය සේනාවෝ අපගේ
ඤාතිවන බුදුහු අපටම අනුකම්පාවෙන් වැඩිසේක්වේදැයි අවි ආයුධ බිම හෙලා
බුදුන්ට නමස්කාර කරමින් හුන්හ.
අප බුදුරජාණන් වහන්සේද ජලයට වඩා ජීවිත වටනේ වේ යැයි විස්තර කරමින්
“සුසුඛංවතජීවාම
වේරිනෙසු අවේරිනෝ
වේරිනෙසු මනුස්සේසු
විහරාම අවේරිනෝ
යනාදී වශයෙන් බණ වදාරා යළි ජාතක කතාවලින් විසිතුරු දහම් කරුණු පෙන්වා
දෙනුවර රජවරුන් ක්ෂමා කරවා වදාළ සේක. ශාක්‍ය කෝලිය රජවරුන්ද බුදුරජාණන්
වහන්සේගේ වැඩමවීම ඉතා උදාර ලෙස වර්ණනා කරමින් දෙපාර්ශයෙන්ම දෙසිය පනස
බැගින් පන්සියයක් රජකුමාරවරුන් බුද්ධ ශාසනයට පූජා කළ බැවින් එම
පන්සියදෙනාම එතනදීම මහණ කරවා පිරිවර ගෙන දෙව්රම් වෙහෙරට වැඩිසේක.
එකල එම පන්සියයක් රජකුමරුවන්ගේ බිසෝවරු පුරුෂ වියෝගයෙන් තම තමන්ගේ
පුරුෂයන්ට සොරපත්, සොරපඩුරු යවා මහණ දම් පිරීමෙහි උත්සාහය දුර්වල කරති.
අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේද මේ කාරණය දැන මෙම පන්සියක් මහණුන්
හිමාල වනයට ගෙන ගොස් කුණාල ජාතකය දෙසා නැවත කිඹුල්වත් පුර මහවනයේදි
මහාසමය සූත්‍රය දෙසා සෝවාන් ආදි මාර්ගඵල පිළිවෙලින් නිවන් පසක් කරවූහ.
මෙසේ ගිහි ජීවිතයෙන් අතරමංවූ පන්සීයක් බිසෝවරු මහාප්‍රජාපතීගෝතමී වෙත
පැමිණ අප සැමදෙනාම කැඳවා ගෙනගොස් ස්ත්‍රීන්ටද පැවිදිවීමට අවසර ලබාගෙන
මෙහෙණ සස්න අනුදන්වාගෙණ එමු යයි මන්ත්‍රණය කරගත්තාහුය.
මහාප්‍රජාපතීගෝතමීද බුදුරදුන් නිග්‍රෝධාරාමයෙහි වැඩ සිටින බව දැන
එහිගොස් බුදුන් වැඳ අපට ගිහිගෙයි විසීමෙන් කම් නැත. අපිද මහණවනු
කැමැත්තෙමු භික්ෂූණී ශාසනය අනුදැන වදාළ මැනවැයි ආයාචනා කළහ.
අප බුදුරජාණන් වහන්සේද මතු වන්නාවූ වැඩ අවැඩ සලකා ස්ත්‍රීන් මහණ කිරීමට
එක්වරම අවසර නොදුන්සේක. පළමුව හා දෙවනුවත්, ආයාචනා කොට නොලැබ
බුදුරජාණන් වහන්සේ විසාලා මහනුවර කූටාගාර ශාලාවෙහි වැඩවසන සමයෙහි මහා
ප්‍රජාපතී ගෝතමි ප්‍රධානකොට පන්සීයක් කාන්තාවෝ හිස මුඩු කොට කසාවත් ඇඳ
මැටි පාත්‍රාගෙන විශාලා මහනුවර කූටාගාර ශාලාව වෙත ගමන් ඇරඹූහ.
කිඹුල්වත් නුවර සිට විශාලා මහනුවර දක්වා ඇති දීර්ඝ මාර්ගයක පයින්ම ගමන්
කිරීම මෙම රාජකීය කාන්තාවන්ට අති දුෂ්කර කාර්යක් විය. දුටුදුටුවන්ගේ
නෙත්වලට කඳුළු උනවමින් පැලුනු ලේ ගලන දෙපතුල් ඇතිව එක්පනස් යොදුන් පමණට
ආහාරයක් නොගෙනම බුදුරදුන් වැඩ සිටින කූටාගාර ශාලාවෙන් පිටත මලානිකව
පන්සීයක් කහවත් පොරවාගෙන පෙළට සිටි දර්ශනය ජනතාවට ඉතා සංවේදී හැඟීම්
ජනිත කරන්නක් විය.
අනඳ මහ තෙරුන් වහන්සේ ඇතුළෙහි බුදුන්ට කළමනා උවටැන් නිමවා තබා මොහොතකට
පිටතට වඩින්නේ දොරටුවෙන් පිටත ඉදිමී ගිය දෙපතුල් ඇති කඳුළින් පිරි
දෙනෙත් ඇති මලානික ගතින් සිටගෙනම හුන් මහාප්‍රජාපතී ගෝතමි ප්‍රධාන
පන්සීයක් බිසෝවරුන් දැක “ කිමෙක්ද මෑණියෙනි, මෙතරම් වෙහෙසකරව මෙහි
පිටතට වී සිටියේ කුමක් නිසාදැයි විචාළසේක.
මෙම අවස්ථාවේදී මහා ප්‍රජාපතී ගෝතමී සියලු විස්තර ආනන්ද හිමියන්ට දක්වා
තමන්ගේ පරමාර්ථය ඉතා බැගෑපත්ව දැන්වූවාය. ආනන්දහිමියෝද, බුදුරදුන්ගේ
අදහස් දැනගෙන එනතුරු මොහොතක් පිටතම සැනසුන මැනවැයි කියා ඇතුළු වෙහෙරට
ගොස් බුදුන් දැක වැඳ “ස්වාමීනි” මහා ප්‍රජාපතී ගෝතමි පන්සීයක්
බිසෝවරුන් සමඟ පැමිණ පැවිදිකම ආයාචනා කරති. පැවිදිකම දෙනසේක්ද නොදෙන
සේක්දැයි කියා වැලපෙමින් සිට ලැබේනම් ඇතුළට වැඳ බුදුන් දකිමි.
නොලැබේනම් ආපසු යන්නෙමුයි කියමින් සිටිතියි දැන්වූහ. මෙසේ ආනන්ද
හිමියන්ගේ සැළකිරීමෙන් මේ කාරණය සම්බන්ධව තුන්කල් දක්නා අප බුදුරජාණන්
වහන්සේ මතු ශාසනයට වන්නාවූ වැඩ අවැඩ දැනගෙන ආනන්ද හිමියන්ගේ ඉල්ලීම
තුන්වරක් ප්‍රතික්ෂේප කොට සිව්වන වර ආනන්ද හිමියන්ගේ ස්ථානෝචිත
ප්‍රඥාවෙන් තර්කානුකූලව කළ ආයාචනයෙන් බැහැර නොවී, “අෂ්ඨගරුධර්ම” නමැති
මහා ප්‍රාකාරයෙන් ආරක්ෂාවන පරිදි ස්ත්‍රී පක්ෂයටද පැවිදි උපසම්පදාවට
අවසර දෙමින් භික්ෂූණී ශාසනයටද පිහිටුවා වදාළ සේක.
ආනන්ද මහතෙරුන් වහන්සේ බුදුන්ගෙන් සමුගෙන අවුත් පිටත රැඳී සිටි මහා
ප්‍රජාපතී ගෝතමී ප්‍රධාන බිසෝවරුන්ට, තුන්වරක් මෙම කාරණය සැළ කළ බවත්,
තුන්වරම එය ප්‍රතික්ෂේප කළ බවත් එහෙත් මාගේ බලවත් උත්සාහය අත්නොහැර
ප්‍රශ්න විචාරයෙන් මෙහෙණ සස්න අනුදන්වා ගෙන ගරු ධර්ම අටක් යටත්කොට එය
පවත්වාගෙන යා යුතුබවත් දැන්වූහ. එකෙනෙහි පස්වණක් පී‍්‍රතින් පිණා පළමුව
බුදුන් දිසාවට වැඳ එම උතුම් පැවිදිකමත් අෂ්ටගරු ධර්මත් පිළිබඳව
ප්‍රසන්න මනසින්ම පිළිගනිමි, පිළිගනිමි, පිළිගනිමියි කියා පිළිගත්හ. ඒ
හා සමඟම මහා ප්‍රජාපතීගෝතමී ඇතුළු පන්සීයක් බිසෝවරුන්ට මහණ උපසම්පදාව
පිහිටියේ විය.
මෙසේ පැවිදි උපසපන්වූ මහාප්‍රජාපතී ගෝතමි ප්‍රධාන පන්සියයක් මෙහෙණින්
වහන්සේලා වෙහෙරට පිවිස බුදුන් දැක වැඳ එකත්පස්ව හුන්හ. බුදුරජාණන්
වහන්සේ අවස්ථාවට අනුරූපව දහම් දෙසා සමාධිකරවා “ මෙතැන් පටන් මාගේ
භික්ෂුණී සාසනයට ඔබ ප්‍රධානයයි චිරකාලීන පැවිදිවූ භික්ෂූණීන් අතර
ප්‍රධානයයි . ප්‍රථම භික්ෂුණී තනතුරුද දෙවා වදාළසේක.
ඒතදග්ගං ,භික්ඛවෙ මම සාවිකානං භික්ඛුණීනං
රක්තඤ්ඤුනං යදිදං මහාපජාපතී ගොතමී
යනාදී වශයෙන් දෙවා වදාළ තනතුරත් ඇතිව මහා ප්‍රජාපතී ගෝතමි මෙහෙණීන්
වහන්සේ නොබෝ දවසකින් භාවනාකොට විදර්ශනා වඩා පංච අභිඥා අෂ්ට සමාපත්ති
උපදවා ත්‍රිවිද්‍යාව සමඟ අර්ථ,ධර්ම, නිරුක්ති, ප්‍රතිභාන යන
සිව්පිළිසිඹියා පත් රහත් බවට පත්ව කාන්තා ලෝකයේ පරමාදර්ශයට පත්ව ශ්‍රී
සම්බුද්ධ ශාසනය විරාජමාන කළ සේක.
උතුම් බුද්ධ ධර්මය තම තමා විසින්ම අවබෝධ කරගෙන එයින් මෙලොව පරලොව යහපත
සලසා ගත යුතු වන්නේය. අප බුදුරජාණන් වහන්සේ හතළිස් පස් වසරක් විවිධ
අවස්ථාවල නොයෙක් පුද්ගලයන්ට දේශනා කළ සෑම ධර්මයක්ම චතුරාර්ය සත්‍ය කුළු
ගන්වා ඇත. එයම මෙම විශ්වයේ පරම සත්‍යවන අතර එය කෙදිනක හෝ අවබෝධ
කරගැනීමට, නිවණින් සැනසීමට අදිටන් කරගන්න.
ඔබ සැමට තෙරුවන් සරණයි. |