UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදු සසුන සහ මහ සයුර

බුදු සසුන සහ මහ සයුර

සමස්ත දර්ශනයම හකුළුවා දක්වන ලද සූත්‍ර අතර පහාරාද සූත්‍රය ප්‍රධානය. මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ සම්බුදු සසුන කුමනාකාරද යන්න බුදුරදුන් විස්තරාත්මකව උපමා උපමේය භාවිතා කරමින් දේශනා කිරීමයි. අංගුත්තර නිකාය අට්ඨක නිපාතයට අයත් මෙම දේශනාව පහාරාද නම් අසුරයා උදෙසා දේශනා කරන ලද්දකි. බුදුරදුන් බැහැ දැකීමට පැමිණි පහාරාද අමතා උන්වහන්සේ විචාළේ අසුර පිරිස් මහමුහුදුට ආශාකරන බවත් එසේ ආශා කිරීමට විශේෂ හේතුවක් ඇද්ද යනුවෙනි. ඊට පිළිතුරු ලෙස පහාරාද හේතූන් අටක් ඇති බවත් මේ නිසා මහා සාගරයට අසුර පිරිස් අධිකව කැමැත්තක් දක්වන බව පැවසීය. එම කරුණු අට මෙසේය.

1. මහ මුහුද පටන්ගත් තැනම ගැඹුරු නැත. එය ක්‍රමයෙන් ගැඹුරු වේ.
2. වෙරළ ඉක්මවන්නේ නැත.
3. මළකුණු රැඳෙන්නේ නැත.
4. කෙතරම් ජලය වැඩිවුවත් උතුරන්නේ නැත.
5. මොන ගංඟාවක ජලය මුහුදට ආවත් ජලයෙහි වෙනසක් නැත.
6. කොතැනින් ජලය ගත්තත් එකම ලුණු රසයෙන් යුක්තය.
7. මහා සාගර ආශ්‍රය කරගෙන බොහෝ ප්‍රභූ සත්තු ජීවත් වෙති.
8. සාගරයෙහි වස්තු විශාල ප්‍රමාණයක් ඇත.
උදා – මුතු, මැණික්, සංඛ, වටිනාගල් ,රන්,රිදී

මෙසේ පිළිතුරු සැපයූ පහාරාද එම ප්‍රශ්නය බුදුරදුන්ට යොමු කළහ. එනම් බොහෝ ශ්‍රාවකයන් සසුනෙහි පවතින්නේ කිනම් කරුණක් නිසාද? පහාරාදය, එයට හේතුවන්නේද මෙම ඵෙශ්චර්ය කරුණුූ අටම බව වදාරණ බුදුරදුන් එය සිදුවන ආකාරය මෙසේ විස්තර කළහ.

මහා සාගරය ක්‍රම ක්‍රමයෙන් ගැඹුර කරා යන්නාසේ ශාසනික ප්‍රතිපදාවන්ද එසේමය. මෙම මාර්ගය පටන් ගත් තැනම ගැඹුර නැත. මෙහි සත්‍යතාව බෞද්ධයාට පසක් කරගැනීම දුෂ්කර නොවේ. එනම් බුදුන් සරණයාම පන්සිල් ආරක්ෂා කිරිම, අටසිල් රැකීම, ඉන්පසු පඤ්ච උපාදානස්කන්ධය, පටිච්චසමුප්පාදය, අවබෝධ කරගැනීම සඳහා යන මග ක්‍රමානුකූලය. ශ්‍රද්ධාවෙන් ශීලයට , ශීලයෙන් සමාධියට, සමාධියෙන් බෞද්ධයා ප්‍රඥාවට ළඟාවෙයි. එය අනුපුබ්බී ක්‍රමයකි. අනුපූර්ව ප්‍රතිපදාවක්, අනුපූර්ව ශික්ෂාවක් අනුපූර්ව ගමන් මාර්ගයකින් මේ දහම සමන්විතය. සද්ධානුසාරී වන බෞද්ධයා ඉන්පසු ධම්මානුසාරි වෙයි. ඉන්පසු අරි අටඟිමග ඔස්සේ තුන්තරා බෝධියෙන් එක් තත්වයකට පත්වේ. මහා සාගරය වෙරළ නොඉක්ම වන්නාසේ තථාගත ශ්‍රාවකයෝ සීලය නමැති සීමාව නොඉක්මවා ශාසනික බ්‍රහ්මචරියාවෙහි නිරත වේ.

සාගරයෙහි මළ කුණු නොරුඳෙන්නා සේ සසුනෙහි මළකුණූ බදු දුස්ශීලයින් ඉවත් කෙරේ. සිව්වනක් පිරිසෙහිම යහපත් අය පමණක් සසුනට ඇතුළත්වන අතර ඉතිරි සියල්ලෝ රැල්ල විසින් මළකුණූ ගොඩට ගසන්නාක් මෙන් සසුනෙන් නෙරපයි. පනවන ලද විනය ශික්ෂාවන් කඩ කරන්නන් සසුනෙන් නෙරපීම සඳහා අධිකරණ ක්‍රියාවලියක් පවා සම්බුදු සසුන සතුය. යමෙක් යම් ආයතනයක ව්‍යවස්ථාව කඩ කිරීම ආයතනයෙන් නෙරපීමට හේතුවක් වන්නාසේ සංඝ සම්මුතීන් ඡේදනය කිරීම සංඝ සංස්ථාවෙන් ඉවත් කිරීමට හේතුවකි. මෙසේ හෙයින් බුද්ධිමත් ශ්‍රාවකයින් සම්බුදු සසුනට පි‍්‍රයතාවයක් දක්වති.

කුමන කුලයකට අයත් වුවත් සසුන තුළ එක් ආර්ය කුලයකට නතුවෙයි. නොයෙක් ගංගාවන් තුළින් එන ජලය මුහුදට වැටුණු පසු වෙන වෙනම ගංගාවෙහි නාමයෙන් ජලය වර්ගීකරණය කළ නොහැකි වන්නාසේ සසුනේ ඇති එකම බෙදීම වන්නේ භික්ෂු, භික්ෂුණී ,උපාසක,උපාසිකා වශයෙනි. වෙන කිසිම බෙදීමක් ජන්මය මත සිදුකර නැත. උපතින් උස් පහත් භේදය ගණනය කළ නොහැකි අතර ඒ සඳහා හේතුවෙන්නේ පුද්ගල ක්‍රියාකාරිත්වය පමණි. තමන්ගේ ජීවිතය කිළිටි කරගනිමින් සංඝයා මැද සිටියත් ඔහු සංඝ ගණයට නොවැටේ.

මහමුහුද උතුරා පිටාර ගැලීමක් නැත්තාසේ සසුනෙහි කෙතරම් රහතන් වහන්සේලා පිරිනිවන් පෑවත් ඒ අමා නිවන අඩු හෝ වැඩි නොවේ. සාගරයෙහි ජලය කොහෙන් ගෙන බැලූවද එය එකම ලුණු රසයෙන් යුක්තය. එමෙන්ම සසුන තුළද ඇත්තේ විමුක්තිය නමැති රසය පමණි. එය බෞද්ධ දර්ශනයෙහි පවතින සුවිශේෂිත්වයයි.

මහ මුහුදු ආශ්‍රය කරගනිමින් තිමවි, තිමිංගල තිමිර, පිංගල ආදී ප්‍රභූ සත්ව කොට්ඨාස ජීවත්වනවා සේම සම්බුද්ධ ශාසනය තුළද සෝවාන් ,සකෘදාගාමී, අනාගාමි, අරහත් ආර්යන් වහන්සේලා සෑම කාලයකම මේ සසුන තුළ අඩුවක් නැත.

මිල කළ හැකි සේම අමිල වස්තු සම්භාරයක් මහමුහුද සතුය. විශේෂයෙන් මුතු , මැණික් ,රන් , රිදී, වෛරෝඩි ආදි මහා වස්තු සම්භාරයක් ඇත. එමෙන්ම බුද්ධිමත් ශ්‍රාවකයා ශාසනයට කැමැති වන්නේද සත්තිස් බෝධිපාක්ෂික ධර්ම නමැති අගනා වස්තු තිස් හතක් මේ සසුන සතු වන බැවිනි. බෞද්ධ නිෂ්ඨාව (නිවන) ප්‍රාර්ථනා කරන්නා මෙම අංග තම ජීවිතයේ පුරුදු කළ යුතුය.

1.සතර සතිපට්ඨානය –      4
2.සතර සම්‍යක් ප්‍රධාන –    4
3.සතර ඍද්ධිපාද –             4
4.පංච ඉන්ද්‍රිය –                    5
5.පංච බල –                          5
6.සප්ත බොජ්ඣංගය –    7
7.ආර්ය අෂ්ටාංගික මාර්ගය– 8
                                                     37

බුදු දහම දර්ශනයකි. එබැවින් මෙහි ඇත්තේ පිළිපැදීම් මාලාවක් මෙන්ම පුරුදු කළයුතු ගුණධර්ම කොටසකි. ඒ බව බුද්ධිමත් ශ්‍රාවකයා දැනගත යුතුය. ඇදහීම පහසු වන අතර පිළිපැදීම අපහසුයි. බුදු දහම අන්‍ය ආගම්වලින් වෙනස් වන්නේ මේ කාරණාව නිසාවෙනි. වන්දනය හෝ පූජාවෙන් මාහැඟි වස්තු ලැබීම හෝ ආර්ය භූමියට පැමිණිය නොහැකිය. බුදුරදුන් සරණයාම යනු උන්වහන්සේ පෙන්වා වදාළ මාර්ගයෙහි ගමන් කිරීමයි. ඒ බව උන්වහන්සේ මෙසේ දේශනාකොට වදාළහ.

“මල් සුවඳ දුම් වලින් මා පුදන්නෝ නියම ලෙස මා පුදන්නෝ නොවෙති. යමෙක් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් යුක්ත වන්නේ නම් ඔහු නියම ලෙස තමන් වහන්සේ පුදන්මෝ වෙති”

මාහැඟි වස්තු බඳු ධර්ම කොටස් අධ්‍යයනය නොකරමින් බාහිර පුද පූජාවන්ට නැඹූරුව තමන් බුදුන් දැක්ක හා සමාන යැයි පැවසීම අමූලිකා ශ්‍රද්ධාව පදනම් කොටගත් ප්‍රකාශයකි.

ඒ තුළ ප්‍රඥාව නැත. සීලය හෝ වීර්ය අර්ථවත් වන්නේ ප්‍රඥාව ඇත්නම් පමණි. තමන් වහන්සේගේ දහම මෝඩයන්ට නොව ප්‍රඥාවන්තයින්ට පමණකැයි දක්වා වදාරන්නේද එහෙයිනි. ධර්මය ගැන යම් ගැටලුවක් ඇත්නම් බුද්ධ නියමයට අනුව එය සූත්‍රවලට ඔබ්බවා බැලිය යුතුය.

පහාරාද සූත්‍රයට අනුව සැබෑ සද්ධර්ම පිපාසිතයා බුදුදහම කෙරෙහි අතීතයේ සිට ලොකු නැඹුරුවක් දක්වා ඇත්තේද මෙය ප්‍රතිසංස්කරණවාදී ආගමක් නොවූ බැවිනි. දෙව්දත් තෙරුන්ද අනුගාමිකයෝ වූහ. සැබෑ දහම ගරුකරන පිළිපදින පිරිස් සුගතිගාමී වන අතර එසේ නොවන්නන් දුගතිගාමි වෙති.

 

 බිනර පසළොස්වක පෝය

බිනර පසළොස්වක පෝය සැප්තැම්බර් මස 08 වැනිදා සඳුදා පූර්වභාග 05.04 ට ලබයි. 09 වැනි දා අඟහරුවාදා පූර්ව භාග 07.10 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 08 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 16 වැනිදා අඟහරුවාදා  ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 08

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 16

Full Moonඅමාවක

සැප්තැම්බර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 01


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]