අනුගාමික නිධානය
කොබෙයිගනේ පුබ්බිලිය
ශ්‍රී සාරානන්ද පිරිවෙනෙහි ආචාර්ය
මාස්පොත ශ්‍රී ගංගාරාම විහාරවාසී
ගලගෙදර රතනවංශ හිමි
බුදුරජාණන් වහන්සේ දානය පිළිබඳ විවිධ තැන්හි සූත්‍රානුසාරයෙන් කරුණු
ඉදිරිපත් කොට ඇත. එයට හේතුව දානය යනු මහත්ඵල මහානිසංස ගෙන දෙන්නා වූ
උතුම් පින්කමක් සේම සද්පුරුෂ ක්‍රියාවක්ද වන බැවිනි. දන් දීමෙන් ලැබෙන
අනුසස් බුදුරජාණන් වහන්සේ තරම් ලොවට දේශනා කළ ශාස්තෘවරයෙක් තවත් නොමැත.
එයට හේතුව උන්වහන්සේ දානය පාරමිතාවක් වශයෙන් සම්පූර්ණ කර එහි ප්‍රතිඵලය
අත්විඳි බැවිනි. දස පාරමිතා ඇතුළු නොයෙක් තැන්වල දානයට ප්‍රමුඛස්ථානය
දී ඇති ආකාරය ඉතා පැහැදිලිය.
බුද්ධ ශාසනය තුළ විවිධ දාන ක්‍රම පිළිබඳ පැහැදිලි වේ. ඒ අතර, සාංඝික
දානයෙන් ලැබෙන අනුසස් ඉතා බලගතුය. පෞද්ගලික වශයෙන් දන් දීමේ දී
බුදුරදුන්ට දීම තරම් බලගතු දානයක් තවත් නොමැත. ඒ කෙසේ වුවද දන් දීම
ලෞකික වශයෙන්ද, ලොකෝත්තර වශයෙන්ද ,ආනිසංස ගෙන දෙන්නකි. මෙලොව වශයෙන්
සත්වයෙකුට අවශ්‍ය වන ආයුෂය,වර්ණය,සැපය, බලය, ප්‍රඥාව, යන ගුණ ධර්ම ලබා
දීමට තරම් දානය බලගතුය. පරලොව වශයෙන් සා, පිපාසාදී දුක් නොලැබීමටත්
නරක, තිරිසන්, පේ‍්‍රත අසුර යන සතර අපා දුක් වල නොවැටීමටත්, උසස්
දිව්‍ය – මනුෂ්‍ය සැප සම්පත් ලබා දීමටත් දානය තරම් බලගතු ක්‍රියාවලියක්
තවත් නොමැත.
අනුවණයන් නොහොත් බාලයින් දානයෙහි ඇති වටිනාකම නොදැන පව්කම් කරති.
බාලයින් යනුවෙන් මෙහිදී විග්‍රහ වී ඇත්තේ කුඩා ළමුන් නොව මෝඩයින්ය.
මෝඩයා නිතරම මෝඩ විධියට ක්‍රියා කරනු ඇත. සිත,කය, වචනය යන තිදොරින්
අකුසල් සිදු කර ගනු ඇත. තුණුරුවන් පිළිබඳ අනවබෝධය හා අවිශ්වාසය, කර්මය,
කර්ම ඵලය පිළිබඳ නොසිතීම,මෙලොව,පරලොව පව් පින් ආදිය පිළිබඳ අවිශ්වාසය,
බාලයාට උරුම දේවල්ය. ඒ අනුව බාලයා පිනට දහමට ආශාවක්,ඇල්මක් නොදක්වනු
ඇත. බුදුරජාණන් වහන්සේ ධම්ම පදයේ ලෝක වග්ගය තුළින් මේ පිළිබඳ පැහැදිලි
කිරීමක් කර ඇත. එහි සඳහන් 11 වෙනි ගාථා ධර්මය ඒ සම්බන්ධව කරුණු
ඉදිරිපත් කරනු ඇත. එනම්,
නවේ කදරියා දෙවලෝකං වජන්ති
බාලා නවෙ නප්ප සංසන්ති දානං
ධිරෝච දානං අනුමෝද මා නො
තෙනෙව සො හොති සුඛී පරත්ථ
තද මසුරෝ ඒකාන්තයෙන්ම දෙව්ලොවට නොයෙත්,මෙලොව පරලොව ගැන නොදත් බාලයෝ
ඒකාන්තයෙන්ම දානයට ප්‍රශංසා නොකෙරෙත්, නුවණැත්තා වනාහි අනුන්ගේ දානය
යහපත යහපතැයි අනුමෝදන් වන්නේ එයින් ජනිත කුසලයෙන්ම පරලොව දිව්‍ය සම්පත්
අනුභව කරමින් සුවපත් වන්නේය.
ඉහත ගාථා ධර්මයට අනුව බාලයා දානය ප්‍රශංසා නොකරන බව පැහැදිලි වේ. එයට
හේතුව ඔහු සිතන්නේ පතන්නේ එදිනෙදා කම්සැප පිළිබඳව වීමය. එතැනින් එහා
සිතීමට තරම් බුද්ධියක් ඔහුට නොමැත. බුදු හිමි දේශනා කෙළේ දානයෙහි
ආනිසංස බුදු හිමි තරම් දත් කෙනෙක් ඇත්නම් බත් සරලුවක්වත් අනුනට නොදී
අනුභව නොකරන බවය. ඒ අනුව දන් දීමේ අනුසස් බුද්ධ චරිතය තුළින්ම හා
උන්වහන්සේ දේශනා කළ ධර්මය තුළින්ම අවබෝධ කර ගත යුතුව ඇත. එහි ආනිසංස
දන්මෝ මිත්‍යා දෘෂ්ඨික අදහස් ඉවත දා නොපමාව දන් දීමට පෙළඹෙති. බාලයෝ
දානය ඉවත දැමුවද සද් පුරුෂයෝ දානයට ලං වෙති. නිතර නිතර දන් දෙති. දන්
දී මෙලොවත් පරලොවත් සැප සම්පත් ලබති.
සසර බොහෝ දීර්ඝය. ඉපදුන භවයන් අනන්තය. ඉපදීමට ඇති භවයන්ද අනන්ත වීමට
පුළුවන. එම කරුණු හේතුවෙන් අප ඉපදෙන ආත්මභාව වල අභව්‍යස්ථාන වල
නොඉපදීමට ඇති එකම මඟ දන් දීමය. දන් දීමේ අනුසස් අප පසුපස ගමන් කරන්නේ
අනුගාමික නිධානයක් වශයෙනි.අප ඉදිනෙදා පරිහරණය කරන සියලු දේ අත් හැර යා
යුතුය. දූ දරුවන්ගෙන්ද එම අවස්ථාවේ දී පිහිටක් නොමැත. ඒ කිසිවක් අපේ
තනියට අප සමඟ නොඑනු ඇත. නමුදු දානාදී පින්කම් කර ඇත්නම් එහි ආනිසංස අප
පසු පස්සේ ගමන්කොට අපට පිහිටවනු නියතය.
ඉහත කරුණු සිතට ගෙන බාලයින් සේ දානයට පිටු නොපා දානය පිළිබඳ බුද්ධිමත්ව
සිතා කටයුතු කළ යුතුය. දානය තමන්ගේ ජීවිතයට හා ඊළඟ ආත්මභාව සැපවත් කරවන
නිධානයක් සේ සිතා කටයුතු කළ යුතුය. බුදුපියාණන් වහන්සේ ඇස්.ඉස්, මස්,
ලේ පමණක් නොව අඹුදරුවන් පවා දන් දුන් ආකාරය ඉතා පැහැදිලිය.උන්වහන්සේ
බුද්ධත්වය උදෙසා දානය පාරමිතාවක් වශයෙන් සම්පූර්ණ කළහ. අපද දන්දී ඉපදෙන
ආත්ම භාවයන් හෝ සැපවත් කර ගැනීමට සිතට ගත යුතුය .
|