පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු - 47
සිරිමන්ද මහරහතන් වහන්සේ
පොල්ගහවෙල
මහමෙවුනා භාවනා
අසපු නිර්මාතෘ
කිරිබත්ගොඩ
ඤාණානන්ද හිමි
මේ ජීවිතය කියන්නේ සාමාන්‍ය ලෝක සත්වයාට බාහිරින් පෙනෙනවාට වඩා
හාත්පසින්ම වෙනස් වූවකි. ඒ නිසාම ජීවිතය ගැන මනාකොට අවබෝධ කර ගැනීම
අතිශයින්ම දුෂ්කර වූවකි. සාමාන්‍ය ලෝ සතුන්ට අසාරවත් වූ මේ දිවිය
සාරවත් වූ එකක් ලෙසයි පෙනෙන්නේ. දුක් වූ මේ දිවිය සැපවත් එකක් ලෙසයි
පෙනෙන්නේ. ඒ නිසාම ජීවිතය ගැන රැවටීමෙන් රැවටීමටත් මුලාවෙන් මුලාවටත්
පත් වී තමයි සාමාන්‍ය ලෝක සත්වයන් වාසය කරන්නේ. අනවබෝධය නිසා බොහෝ
දේවල් වැසී තිබෙන මේ ජීවිතයේ ඒ වැසී තිබෙන කඩතුරාවන් ඉවත් කොට ජීවිතය
යනු කුමක්දැයි මනාකොට අවබෝධ කර ගත්තේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ
විසිනි.
සැබැවින්ම කුමක්ද අප ලැබූ මේ ජීවිතය කියා කියන්නේ? උපතින්ම මේ ජීවිතයේ
අපට ලැබෙන්නේ ඇස් දෙකක්, කන් දෙකක්, නාසයක්, දිවක්, කයක්, මනසක්,
බුදුරජාණන් වහන්සේ විසින් වදාළේ “ පින්වත් මහණෙනි, යම් තැනක ඇස උපදීද,
කන උපදීද, නාසය උපදීද, දිව උපදීද, කය උපදීද, මනැස උපදීද එය දුකෙහි
ඉපදීමයි. රෝගයන්ගේ හට ගැනීමයි. ජරා මරණ ශෝක වැළපීම් ආදියෙහි පහළ වීමයි”
කියායි. එසේ නම් අපි සතුටින් වැළඳගන්නා මේ ජීවිතයේ අපට උපතින්ම ලැබුණේ
රෝගයන් ගොඩකි. ජරා මරණ ශෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙළීම් ආදී
දුක් ගොඩකි. නමුත් ප්‍රඥා හීන සාමාන්‍ය ලෝසතුන් හට ජීවිතයේ පවතින මේ
යථාර්ථය වටහා ගත නොහැකි ය.
එනමුත් ජීවිතයේ යථාර්ථය මනාකොට පහදා දෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ
වදාළ ශ්‍රී සද්ධර්මය ප්‍රඥාවන්තයින් හට යටට හැරවී තිබූ දෙයක් උඩට හරවා
පෙන්වන්නාක් වැනි ය. වැසී තිබූ යමක් විවෘත කොට පෙන්වන්නාක් වැනිය.මං
මුලා වූවකු හට හරි මඟ පෙන්වන්-නාක් වැනිය. අඳුරක අතරමං වූවකුට ආලෝකය
දැල්වූවා වැනිය. ඒ ශ්‍රී සද්ධර්මය නිසා වැසී තිබූ මේ ජීවිතයේ යථාර්ථය
පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කළ මහරහතන් වහන්සේලා අතර වැඩ සිටි සිරිමන්ද නම්
මහරහතන් වහන්සේගේ ජීවිතය ගැනයි අද අපි ඉගෙන ගන්නේ.
සසරේ ගමන් කරන කෙනෙකුට මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන්නේ පිනකිනි. ඒ ලද
මනුෂ්‍ය ජීවිතයට බුදු කෙනෙකුගේ ධර්මය මුණගැසෙන්නේ ඊටත් වඩා බලවත් වූ
පිනකිනි. සසර ගමනේ බොහෝ කාලයක් බලවත් වූ පින්දහම් රැස් කරමින් පැමිණි
ඔහු ගෞතම නම් පරමෝත්තම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයේ
දඹදිව සුංසුමාරගිරි නම් නුවර බමුණු කුලයක උපත ලැබීය. සිරිමන්ද නම් වූ
මේ පින්වන්ත කුමාරයා ක්‍රමයෙන් තරුණ වියට පත් විය. ඔහු ඉතාම
ප්‍රඥාවන්තයෙකි. එකල දෙව් මිනිස් ලෝකයට මහා කරුණාවෙන් පහළ වූ
සම්බුදුරජාණන් වහන්සේ සුංසුමාරගිරි නුවර අසල වූ භේසකලා නම් මහා වනයේ
වැඩ වසනා සේක.
ඒ බුදුරජාණන් වහන්සේ ගැන පැතිරී ගිය කල්‍යාණ වූ කීර්ති රාවය මේ
ප්‍රඥාවන්ත සිරිමන්ද තරුණයාටත් අසන්නට ලැබිණි. ‘ශාක්‍ය කුලයෙන් නික්ම
පැවිදි වූ ගෞතම නම් වූ ශ්‍රමණයන් වහන්සේ නමක් මේ දිනවල භේසකලා වනයේ වැඩ
වසති. උන්වහන්සේ ගැන අරහත්ය. සම්මා සම්බුද්ධය, විජ්ජාචරණසම්පන්නය ආදී
වශයෙන් මහත් වූ ගුණරාවයක් පැතිරෙමින් තිබේ. දෙවියන් මරුන් බඹුන් සහිත
මේ ලෝකයේ උන්වහන්සේ ස්වයම්භූ ඤාණයෙන් අවබෝධකර ගත් ධර්මයක් දේශනා කරයි.
ඒ ධර්මයෙහි ආරම්භයත් සුන්දරය, මැදත් සුන්දරය, අවසානයත් සුන්දරය, අර්ථ
සහිතය, පැහැදිලි ප්‍රකාශන මාධ්‍යයකින් යුක්තය, මුළුමනින්ම පරිපූර්ණ වූ
පාරිශුද්ධ වූ නිවන් මඟ ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් දේශනා කරතියි
ඇසූ පමණින් සිරිමන්ද තරුණයාගේ සිත පී‍්‍රතියෙන් ඉපිල ගියේ ය.
ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලබන ඒ සුන්දර දහම
කුමක්දැයි අසනු රිසියෙන් සිරිමන්ද තරුණයා භේසකලා වනයට පැමිණියේ ය.
සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය යනු ප්‍රඥාවන්තයින්ගේ දහමක් මිස
දුෂ්ප්‍රාඥයින්ට ගෝචර වන දෙයක් නොවේ. සිරිමන්ද තරුණයාට අසන අසන දහම්
පදය අමෘතය මෙන් රසවත් විය. බුදුරජාණන් වහන්සේ නිරාවරණය කොට පෙන්වා දෙන
මේ ජීවිතයේ යථාර්ථය කෙසේ හෝ අවබෝධ කළ යුතු යැයි බලවත් අධිෂ්ඨානයක් මේ
පින්වන්ත කුමාරයාගේ සිතේ ඇති විය. තමා සතු කුඩාවූත් මහත් වූත් සියලු ධන
සම්පත් සියලු ඤාති හිතමිතුරන් අත්හැර දමා ඔහු සම්මා සම්බුදුරජාණන්
වහන්සේ සමීපයේ උතුම් පැවිදි බවත් උපසම්පදාවත් ලබා ගත්තේ ය. සම්බුදු
සසුනේ පැවිදි වී උපසම්පදාව ලැබූ ස්වාමීන් වහන්සේලා සෑම අඩ මසකට වරක්ම
එක් වී තමන්ගේ සීලය ආවර්ජනය කරති. එයට ප්‍රාතිමෝක්ෂ උදෙසීම යැයි කියනු
ලැබේ. ඒ ප්‍රාතිමෝක්ෂ උදෙසීමේ දී සංඝ සීමාව තුළ රැස් වන සියලු සංඝයා
අමතා වැඩිමහළුම භික්ෂූන් වහන්සේ මෙසේ විමසති. “පි‍්‍රය ආයුෂ්මතුන්
වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වදාළේ දැන දැන බොරුකීම වනාහී නිවන් මඟට
අනතුරුදායක දෙයක් බවයි. ඒ නිසා වරදක් සිදු වී ඇත්නම් ඒ වරද නොසඟවා
හෙළිදරව් කළ මැනැව. වරදක් නැති නම් නිහඬව සිටිනු මැනැව. එසේ නිහඬව
සිටීමෙන් ආයුෂ්මතුන් වහන්සේලා වැරැදි වලින් තොරව පාරිශුද්ධ වූ සීලයෙන්
යුක්ත වන්නේ යැයි මම දැන ගනිමි. මෙසේ විමසන විට ඒ භික්ෂු පිරිස අතරේ
වැඩ සිටි සිරිමන්ද ස්වාමීන් වහන්සේගේ සිතේ බුදුරජාණන් වහන්සේගේ
ශ්‍රාවකයන් ගැන මෙබඳු අදහසක් ඇති විය. මේ බුද්ධ ශාසනය යනු අතිශයින්ම
පිරිසුදු වූවකි. පිරිසුදු වූ උතුමන්ගෙන්ම පිරී පවතින්නකි. තමන්ගේ වරද
වරදක් වශයෙන් දැක එය හෙළි කරන පිරිසක් බුදුරජාණන් වහන්සේගේ සසුනේ හැර
වෙන ක වර තැනක නම් සිටිත්ද? ඒ සිතිවිල්ල නිසාම උන්වහන්සේගේ සිතේ විශාල
පී‍්‍රතියක් පැන නැඟින. ඒ පී‍්‍රතිමත් සිතින් ඒ භික්ෂු පිරිස අතරේම
සිටිමින් උන්වහන්සේ විදර්ශනා ප්‍රඥාව දියුණු කර ගත්තේ ය. එදින
ප්‍රාතිමෝක්ෂ උදෙසීම නිමා වන්නට පෙර අවිද්‍යාව නම් වූ කඩතුරාවෙන් වැසී
ගිය මේ ජීවිත ගුහාවේ යථාර්ථය අවබෝධකරගෙන විද්‍යාව පහළ කරගත් උතුම්
මහරහතන් වහන්සේ නමක් බවට පත්විය. නිවන් සැපය යනු කොයි තරම් සැපයක්දැයි
සැබෑවටම දන්නේ ඒ නිවන අවබෝධ කළ රහතන් වහන්සේලාමය. ඉතින් සිරිමන්ද
මහරහතන් වහන්සේ ඒ අමා මහ නිවනේ සැප විඳින හදවතකිනුයි මේ සුන්දර ගාථාවන්
දේශනා කොට වදාළේ.
ඡන්නමතිවස්ති – විවටං නාතිවස්සති
තස්මා ඡන්නං විවරේථ – ඒවන්තං නාතිවස්සති
වරද හංගගත්තම තමයි කෙලෙස් වැගිරෙන්නෙ. විවෘත වුණොත් එහෙම වෙන්නෙ නෑ. ඒ
නිසා සඟවගෙන ඉන්නෙ නැතිව විවෘත වෙන්ට ඕනෙ. එතකොට කෙලෙස් වැගිරෙන්නෙ නෑ.
මව්චුනාබ්භාගතෝ ලෝකෝ - ජරාය පරිවාරිතෝ
තණ්හා සල්ලේන ඔතිණ්ණෝ - ඉච්ඡාධුපායිතෝ සදා
මේ ලෝක සත්වයාට පහර දෙන්නේ මරණය විසිනුයි. පිරිවරා ගෙන ඉන්නේ
ජරාවෙනුයි. ඇතුළට බැහැල තියෙන්නෙ තණ්හාව නමැති හුලයි. කැමැති
දේවල්වලින් තමයි හැම තිස්සෙම දුම් දාන්නෙ.
මච්චුනාබ්භාහතෝ ලෝකෝ - පරික්ඛිත්තෝ ජරාය ච
හඤ්ඤති නිච්චමත්තානෝ - පත්තදණ්ඩෝව තක්කරෝ
මේ ලෝක සත්වයාට පහර දෙන්නෙ මරණය විසිනුයි. වට කරල තියෙන්නෙ ජරාවෙනුයි.
දඬුවම් ලබන හොරෙක් වගේ හැම තිස්සෙම අසරණ වෙලා දුක් විඳිනව.
ආගච්ඡන්තග්ගික්ඛන්ධාව - මච්චුඛ්‍යාධිජරා තයෝ
පච්චුගන්තුං බලං නත්ථි – ජයෝ නත්ථි පලායිතුං
මරණයත්, ලෙඩදුකත්, වයසට යාමත්, ජීවිතය කරා එන්නෙ මහා ගිනි කඳු වගේ. ඒකට
ප්‍රතිවිරුද්ධව සටන් කරන්ට බලයක් නෑ. පලායන්ට ජයකුත් නෑ.
අමෝඝං දිවසං කයිරා - අප්පේන බහුකේන වා
යං යං විහරතේ රත්තිං - තදුනං තස්ස ජීවිතං
ටික ටික හෝ බහුලව හෝ දවස හිස් විදිහට ගත කරන්ට හොඳ නෑ. ගෙවී යන හැම
රාත්‍රියකින්ම ජීවිතේ කෙටි වෙලා යනවා.
චරතෝ තිට්ඨතෝ චාපි - ආසීන සයනස්ස වා
උපේති චරිමා රත්ති – න තේ කාලෝ පමජ්ජිතුං
එනිසා ඇවිදින කොට, හිටගෙන ඉන්න, කොට ඉඳගෙන ඉන්න කොට, නිදාගෙන ඉන්න කොට,
මේ කොතැනත් අවසන් මොහොත පැමිණෙන්ට පුළුවන්. ඒ නිසා පමා නොවීමට මේ
කාලයයි.
ජීවිතය ගැන පරිපූර්ණ වශයෙන් අවබෝධ කළ මේ උතුම් රහතන් වහන්සේලාගේ හදවතේ
පැනනැඟුණු ගම්භීර අදහස් දෙස බලන්න. ඇහැට පෙනෙන රූපයට වසඟ වූ, කනට ඇසෙන
ශබ්දයට වසඟ වූ, ආඝාණය කරන සුවඳට වසඟ වූ දිවට දැනෙන රසයට වසඟ වූ, කයට
දැනෙන සුවපහසු පහසට වසඟ වූ ලෝ සතුන් අතරේ සම්බුද්ධ ශ්‍රාවක වූ රහතන්
වහන්සේලා කොයි තරම් ශ්‍රේෂ්ඨද? මඩක ඉපදී, මඩෙහිම හැදී වැඩී, මඩෙන් උඩට
විත් ලෝකයම සුවඳවත් කරන පියුමක් වගෙයි අඥානයින්ගෙන් ගැවසීගත් ලෝකයේ
ප්‍රඥාාවෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙලයි සම්බුදුරජුන්ගේ ශ්‍රාවකයා වැඩ
ඉන්නේ. අපි හැම දෙනාටම ලැබුණු මේ ජීවිතයට පහර දෙන්නේ මරණය විසිනුයි. මේ
ජීවිතය පිරිවරාගෙන ඉන්නේ ජරාව විසිනුයි. ජරා මරණවලින් බේරිලා පළා යන්නට
ජවයක් ලෝකයේ කිසිම ජගතෙකුට නැහැ. මහා ගිනි කන්දකට යට වෙනවා වගේ ඕනම
මොහොතක ජරා මරණවලින් අප යට වෙන්නට පුළුවනි. ඒ නිසා දුර්ලභව ලැබුණු මේ
මනුසත් ජීවිතය මොහොතක්වත් හිස් විදිහට නම් ගත කරන්නට හොඳ නෑ. මෙය සසරේ
ගමන් කරන අපට මිනිස් දිවියක් ලැබුණු කාලයයි. බුදු සසුනක් මුණ ගැසුණු
කාලයයි. සොඳුරු දහමක් ඇසෙනා කාලයයි. ඔව් මේ අප්‍රමාදී වීමට කාලයයි. අප
කාටත් අප්‍රමාදීව බුදු සසුනේ පිළිසරණ ලබන්නට වාසනාව ලැබේවා!
නයනා නිල්මිණි
පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු - 46 කුල්ල මහරහතන් වහන්සේ |