UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු සිත් පොබ කළ ඉල්පැන්දෙණිය රජ මහා විහාරය


බුද්ධ ප්‍රතිමාව

කන්ද උඩරට මධ්‍යම පළාතේ ඓතිහාසික උඩුනුවර ගඟ පළාත කෝරළයේ පිලිගල්ල ග්‍රාමයේ දකුණු සීමාවට ආසන්නව මහඇලබඩ තැනිතලා බිමක ඉල්පැන්දෙණිය රජමහා විහාරය පිහිටා ඇත. කොස්සින්න කඩමණ්ඩියේ සිට දකුණු පසින් ඇති මාර්ගයෙන්ද ගෙලිඔය සිටද හන්දෙස්සේ සිටද මෙම විහාරයට ළඟා විය හැකිය. ගම්පල රාජධානි සමයෙහි තුන්වන වික්‍රමබාහු රජතුමා උඩුනුවරට ගමන් කරන මාර්ගයත් මෙම විහාරස්ථානය අසල ඇලවේල්ල මධ්‍යකොට ගෙන පැවැතී ඇත. රජතුමා ඇතුළු පිරිසට ගම්වාසීන් රාජ බත මේ ගමේදී පිළිගන්වා තිබේ. භෝජනය පිළිගත් ගම ව්‍යවහාරයේ වෙනස්වීම මත පිළිගල්ල වී යැයි ජනවහරේ දැක්වේ.

ඉල්පැන්දෙනිය විහාරස්ථානය අනුරාධපුර අවදියේ දෙවන පෑතිස් රාජසමයේ ආරම්භ වී යැයි විශ්වාස කැරේ.

තුන්වන වික්‍රමබාහු රාජ සමයේ උඩුනුවර ප්‍රදේශයේ මහඟු ආගමික ශාසනික මෙහෙවරක් ඉටුකළ හෙණකඳ බිසෝබණ්ඩාර දේවියද මෙම විහාරස්ථානයට පැමිණ ඇත. ඇය විසින් ප්‍රතිසංස්කරණය කරන ලද විහාරස්ථාන අතර වෙහෙරවල පැරැණි ගල්ලෙන් විහාරය, හිඳගල විහාරය ඉල්පැන්දෙණිය විහාරය ප්‍රමුඛස්ථානයක් ගනී. හෙණකඳ බිසෝ බණ්ඩාර දේවිය විසින් මෙම විහාරස්ථාන සඳහා ඉඩ කඩම්ද පූජා කොට ඇත. මෙතුමිය ස්නානය කළායැයි සැලකෙන ළිඳක් අද ඉල්පැන්දෙණිය විහාරස්ථානය සමීපයේ පිහිටා ඇත.

ඉල්පැන්දෙණිය විහාරස්ථානයේ වත්මනෙහි දක්නට ලැබෙන විහාරගෙය මුලදී ටැම්පිට විහාරයක්ව තිබී පසුව 1938 දී ප්‍රතිසංස්කරණයට ලක්ව ඇත. විහාර මන්දිරය, බෝධිවෘක්ෂය, ගල්ඔරුව ,සංඝාවාසය, දාන ශාලාව අටවිසිබුද්ධ මන්දිරය අලංකාර තොරණ මෑතකදී ඉදිකරන ලද චෛත්‍යය ප්‍රාකාර බැම්ම පුස්තකාලය නවබුද්ධ ප්‍රතිමාව , මුළුතැන් ගෙය විහාරස්ථානයේ අංගයන් සේ ස්ථාපිතව ඇත.


විහාරයේ ඉපැරැණි බෝධින් වහන්සේ

මෙහි ඇතුළු විහාරයෙහි දක්නට ලැබෙන ඔත්පිළිම වහන්සේ ලංකාතිලක , ගඩලාදෙණිය විහාරස්ථානවල ප්‍රතිමාවලට සමානකමක් දක්වයි. අගසව් දෙනමගේ රූප වෙන් වශයෙන් දක්වා ඇත. ඔත්පිළිමයට ඉදිරියේ දෙපසින් හිටිපිළිම යුගලයක් නිර්මාණය කර ඇත. වම් පසින් ශ්‍රී විෂ්ණු දෙවිරූපයත්, දකුණුපසින්, ගම්බාර දේවතාවුන් වහන්සේගේ රූපයත් චිත්‍රයට නගා ඇත. බිත්තිවල මහනුවර යුගයේ සම්ප්‍රදායයට අනුව කොටුතුළ අඳින ලද සුවිසි විවරණ වේ. විහාරයේ බිත්තිවල අලංකාර ලියවැල් මෝස්තරවේ. විතානයෙහි විවිධාකාරව ඇඳි නෙළුම් මල් රටාවන් වේ. එහි වර්ණ දේශීයව නිපදවාගත් වර්ණ සංයෝග වලින් අලංකෘතව ඇත. මෙම චිත්‍ර ගොඩපල විසූ මනුවීරවික්‍රම ශිල්පියාගේ නිර්මාණයකි.


යටිවැල්දෙණියේ ධම්මරක්ඛිත නා හිමි

බුදුකුටිය ඉදිරිපස ආලින්දයේ දාරුමය විතානයකි. එහි බිනර මල්,නෙළුම් මල් බෝපත් ආදී චිත්‍ර වේ. දේවාරාධනාව චිත්‍රයට නගා ඇත. දොරටුපාල ප්‍රතිමා පැරැණි තත්ත්වයෙන්ම පවතී. අලංකාර මකර තොරණද විස්මිත නිර්මාණයකි. විහාර මන්දිරයෙහි පදනමේ ඇති බැස්මක් හේතු කොට ගෙන වම්පස මකර රුව දෙකඩ වී ඇත. ආලින්දයේ කුලුනුවල චිත්‍ර තිබූ බවට සාධක ඇත. විහාරයේ දොරටුවල සෙල්මුවා පඩිපේළිය, පඩිපේළි දෙපස කොරවක් ගල්ය. ඉදිරි දොරටුව සඳකඩපහණකි. මෙහි ඇති ගල්ඔරුව ඉපැරැණි සලකුණකි. සීමාගල්වල බලු කපුටු රුව නෙළා ඇත. විහාරස්ථානයේ ඉදිරිපස ඇති බෝධි වෘක්ෂය වසර දෙසිය පනහක් ඉක්මවා සිටී. මෙය රෝපණය කර ඇත්තේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු දවස පොල්ගහ අංගේ රාජගුරු අවුනේ බුවනෙකබාහු ධර්මකීර්ති නම් හිමි නමක් විසිනි. බෝධියට සමීපව නා බෝධි යුගල පසුකාලීනව රෝපණය වී ඇත.

මෙහි සඟ පරපුර යටන්වල සුනන්ද මහා නාහිමි ඉල්පැන්දෙණියේ අත්ථදස්සි, හිමි, ධම්මරක්ඛිත හිමි,සිරිනිවාස , හිමි 1688 , කඹුරාදෙණිය් හිමි , 1803 දස්කර සරණංකර හිමි 1862 අත්තරගම සෝභිත හිමි, 1902 වනරතන හිමි, රන්දිවල පියදස්සි හිමි, උඩු මහනේ ධම්මාලෝක හිමි 1936 ප්‍රධාන වෙයි.

1990 සිට මෙම විහාරස්ථානයේ විහාරාධිපති පදවිය දරන්නේ යටිවැල්දෙණියේ ධම්මරක්ඛිත හිමිපාණන් වහන්සේය. උඩුනුවර ගඟ පළාත ඉල්පැන්දෙෙණිය රජමහා විහාරාධිපති හා ගම්පොළ ශාස්ත්‍රාලෝක පිරිවෙනේ පරිවේනාධිපති ප්‍රවීණාචාර්ය ශාස්ත්‍රවේදී යටිවැල්දෙණියේ ධම්ම රක්ඛිත හිමියෝ උඩුනුවර සහ උඩපළාතේ ප්‍රධාන සංඝනායක ධුරයද හොබවති. උන්වහන්සේ මෙම විහාරස්ථානයේ දියුණුවට අමිල මාහැගි සේවාවක් ඉටුකොට ඇත.

 

 නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු මස 17 වැනිදා ඉරිදා පූර්ණ භාග 05.58 ලබයි. 18 වැනිදා සඳුදා පූර්වභාග 06.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 17 වැනිදා ඉරිදා ය.

මීළඟ පෝය
අගෝස්තු 24 වැනිදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 17

Full Moonඅමාවක

අගෝස්තු 24

First Quarterපුර අටවක

සැප්තැම්බර් 02

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 08


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk