UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පින්බර වස්සානය හා භික්ෂූන් වහන්සේ

මෙම ලිපියේ මුල් කොටස නිකිණි පුරපසළොස්වක (අගෝස්තු 10) පත්‍රයේ පළවිය.

3.මහණදම් පිරීම

තෙරුවන් පිළිබඳ සැදැහැයෙන් යුතුවන ශාසනයට එළඹෙන පැවිද්දාගේ මූලික අරමුණ සියලු දුක්වලින් මිදී නිවන පසක්කිරීමයි . එම අභිප්‍රාය සඵල කර ගැනීමට හුදකලා වාසය මහත් පිටිවහලකි. වස්කාල හුදකලා වාසයටත් සිව්පස ලැබීමටත් සුදුසුම අවධියයි. ඒ අනුව මහණදම් පුරණ භික්ෂූන් වහන්සේලාට වස් කාලය තුළ ස්වාර්ථය සාදාගත හැකිය.ඒනිසා පුරාණ තෙරවරු සියලු කරදර දුරු කර ඒකචාරිකාවත (හුදෙකලා විසීම) පිරූහ. එසේම දසකථාවෙන් හා දසඅනුස්සති, දස අසුබ හා අටනිස අරමුණු ඇතිව විසූහ. වැසි සමය තුළ භික්ෂූන් වහන්සේලා මෙම දස කථාවෙන් යුක්තව වාසය කර තම අභිමතාර්ථය ඉටු කරගත්හ.

1.අප්පිච්ඡකථා – අපිස්බව පිළිබඳ කතාව
2.සන්තුට්ඨිකථා – ලද දෙයින් තුටු වීම පිළිබඳ කතාව
3.පවිචිත්ත කථා – පිවිතුරු බව පිළිබඳ කථාව
4.අසංසට්ඨකථා – නොගැටීම පිළිබඳ කථාව
5.විරියාරම්භ කථා – වීර්ය ඇරඹීම පිළිබඳ කථාව
6.සීලසම්පදා කථා – සීල සම්පත්තිය පිළිබඳ කථාව
7. සමාධිසම්පදා කථා – සමාධි සම්පත්තිය පිළිබඳ කථාව
8.පඤ්ඤාසම්පදා කථා – ප්‍රඥා සම්පත්තිය පිළිබඳ කථාව
9.විමුත්තිසම්පදා කථා – විමුක්ති සම්පත්ති පිළිබඳ කථාව
10. විමුත්තිඤාණ දස්සන සම්පදා කථා – විමුක්ති ඤාණදස්සනය පිළිබඳ යනුවෙනි.

මෙබඳු කථාවෙන් යුක්තවන භික්ෂූන් වහන්සේ පහත දැක්වෙන කථාවන්ගෙන් දුරස් වේ.

විරුද්ධවාද කථා, නින්දා පරිභව කරන කථා, මානය පිළිබඳ කථා, දෝෂාරෝපණය පිළිබඳකථා, අනුන්ගේ ලාභ ප්‍රයෝජන පිළිබඳ ඊර්ෂ්‍යා පරවශ කථා, ඊර්ෂ්‍යා පරවශ කථාව බොරුකීම, පරුෂ වචන , ප්‍රලාප වලින් බැහැරවීම, සිදුවේ. මේ නිසා වැසි සමය භික්ෂූන් වහන්සේ ශ්‍රවණාකාරක ධර්ම වන මෙම වත් පිළිවෙත් පිළිපදියි. ආරාමිකවත්, වච්චකුටිවත්, ගිලන්වත්, දන්තකට්ඨවත්, භික්ෂුචාරාවත්, පිළිබඳ භික්ෂූන් වහන්සේලා දැනුවත් වේ. එසේම දායකයන් හා සිව්පස ලාභය පිණිස නොව නෛයාණික කථාවක්ම කරයි.

මේ අනුව ගිහිපිරිසට වැසි සමයේ තිදොරින් බොහෝ පින් රැස් කළ හැකිය.

“යං භික්ඛවේ සිලවෙනකතා පබ්බජිතා ගාමං වා නිගමං වා උපනිසපාය විහරන්ති නන්ථ මනුස්සා නීහි ඨානෙහි බහුං පුඤ්ඤං පසවන්ති කායෙන වාචාය මනසා

මෙසේ සිල්වත් පැවිදි කෙනෙක් යම් ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරු කොට වාසය කෙරේද එහි මිනිස්සු තුන් තැනකින් බොහෝ පින් රැස් කෙරෙත්. එනම් කයින් වචනයෙන් සිතින් යන තිදොරිනි. මෙබඳු අවස්ථාවක් ධම්මපදට්ඨ කථාවේ එන චක්ඛුපාල තෙරණුවන්ගේ පුවතින් හෙළිවේ වස් සමයේ ආරම්භයේම පුහුදුන් භික්ෂූ පිරිසක වූ චක්ඛූපාල තෙරුන් වහන්සේ ඇතුළු පිරිස් වස් අවසානයේ මාර්ගඵල ලාභීහු වූහ. දායකයෝද උන්වහන්සේලාට වැඳ පුදා දන් දී උපස්ථාන කර බණ අසා පන්සිල් රැක, ඒවා සමාදන්ව දස පුණ්‍යක්‍රියා සිදුකර අවසානයේ ලෝකෝත්තර සැප සලසා ගත්හ.

අතීතයෙහි කම්කරු පුරුෂයන් පන්සියයක් හා ස්ත්‍රීන් පන්සීයයක් දැයි මෙසේ දහසක් එකම වැඩපලක සමගියෙන් කර්මාන්ත කොට ජීවිකාව කෙරෙති. මන්ද ස්ථවිරයන් වහන්සේ එකල්හි ඒ පිරිසෙහි ප්‍රධාන කම්කරුවා වූහ. මහා ප්‍රජාපතී ගෝතමි ප්‍රධාන කම්කරු ස්ත්‍රීය විය. ඤාණවන්ත විචක්ෂණශීලි කාන්තාවක් විය. මේ දහස්දෙනා පින්කම් කරන කල්හි සමඟියෙන් යුතුව කල් ගෙවයි. එක් වස්කාලයක පසේ බුදුරජාණන් වහන්සේලා පස්නමක් සෙනහුනක් සොයා යන්නේ බරණැස සිටාණන්ගේ මාලිගයට වැඩියහ. සිටු භාර්යාව උන්වහන්සේලා පැමිණි කරුණ විමසුවත් සෙනහුනක් ඉදි කිරීමට අකමැතැත්ත පළකළාය. ආපසු වඩින පසේ බුදුන් වහන්සේලා දුටු කම්කරු නායිකාව සෙනසුන ඉදිකර දීමට ඉදිරිපත් වූවාය. සෙනසුනක් ඉදිකිරීම දුප්පත්, පොහොසත් භේදයකින් තොරව ඕනෑම අයෙකුට කළ හැකිය. එබැවින් කාටත් පොදුවේ. අනුසස් උපදවා ගත හැකි කටයුත්තක් වශයෙන් වැසි සමයේ සෙනසුන් ඉදිකිරීම හඳුනාගත හැකිය. ඒ අනුව සිය කම්කරු පිරිසගේ ශ්‍රම දායකත්වය ඇතිව ප්‍රධාන කම්කරු නායිකාවගෙ මඟ පෙන්වීම හා උපදෙස් මත කුටි පහක් හා සුදුසු සක්මන් මලුද, වැසිකිළිද සෙනසුන් ද ජලය රැස් කර තබා ගත හැකි ස්ථානද සහිතව සියලු පහසුකම් සපිරි සෙනසුන් සාදා පුජා කර වස්තුන්මාසය පුරා සිවුපසයෙන් උපස්ථාන කළහ. චීවර මාසයේදි සියලු දෙනා එක්ව සිවුරු පූජා කළහ. එම පිරිස එම ආනිසංසයෙන් ලෞකික ලෝකෝත්තර අනුසස් ලැබ රහත් වූ බව කියවේ. මෙසේ වස් කාලය උභය ලෝකාර්ථ සුබසිද්ධීය ඇති කරන සද් ක්‍රියාවක් බව පැහැදිලිය.

මේ අනුව වැසි සමය ලෞකික ලෝකෝත්තර වශයෙන් දියුණුව ඇති කරලයි. ඒ සඳහා මඟ පෙන්වන අවස්ථා ඇත. ඒවා මෙසේ පෙළ ගැස්විය හැකිය.

වැසි වසන භික්ෂූන්ට සෙනසුන් ඉදිකිරීම,
සෙනසුන්වල මූලික පහසුකම් සැපයීම,
වස්කාලය තුළ සිවුපසයෙන් සංග්‍රහ කිරීම,
දිනපතා උදේ සවස තෙරුවන් නැමදීම,

ධර්මශ්‍රවණය කිරීම, භාවනා කටයුතු වැනි ලෝකෝත්තර දියුණුවට මඟ පාදන ක්‍රියාවල නිරත වීම වැසි සමයෙන් අනතුරුව චීවර පුජාව

එසේම වැසි වසනා භික්ෂූන්ට ද තම ලෝකෝත්තර ප්‍රගතිය ඇති කරගත හැකි අවධියක් වශයෙන් වැසි සමය සැළකිය හැකිය. ඒ අනුව එක් ස්ථානයක් ඇසුරු කරගෙන භාවනා කටයුතුවල නිරතව යථාර්ථාවබෝධය තුළින් නිවන ප්‍රත්‍යක්ෂ කළ හැකිය. බුදුරදුන් දවස භික්ෂූන් වහන්සේලා වැසි ආරම්භයේදී කමටහන් රැගෙන යන අතර වැසි සමය අවසානයේදි රහතන් වහන්සේලා බවට පැමිණ බුදුන් වහන්සේ බැහැ දකියි. මෙසේ ගිහිපැවිදි දෙපිරිසට ලෞකික ලෝකෝත්තර දියුණුව සාදාලන කාලයක් වශයෙන් වස් කාලය සැලකිය හැකිය.

 

 නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු මස 17 වැනිදා ඉරිදා පූර්ණ භාග 05.58 ලබයි. 18 වැනිදා සඳුදා පූර්වභාග 06.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 17 වැනිදා ඉරිදා ය.

මීළඟ පෝය
අගෝස්තු 24 වැනිදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 17

Full Moonඅමාවක

අගෝස්තු 24

First Quarterපුර අටවක

සැප්තැම්බර් 02

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 08


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]