සම්බුදු උපත සිදු වූ බුද්ධ භූමි වන්දනාව
නාරන්වත්තේ
ධම්මසිරි හිමි
ශාන්ති නායක තථාගත අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලය පුරාම
සිදුකරන ලද්දේ අප්‍රමාණ සේවයකි. දඹදිව් තලයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම
ශාස්තෘවරයා වූ බුදුරජාණන් වහන්සේ තුන්ලෝවාසීන් වෙත එක ලෙස පිහිට වූ
උත්තරීතරම ශාස්තෘවරයාණන් වහන්සේය. තථාගතයන් වහන්සේගේ එම මෙහෙවර මෙසේ
කියා හෝ ලියා නිම කළ නොහැකිය. උන් වහන්සේගේ පාදස්පර්ශයෙන් අති
පාරිශුද්ධියට පත්වූ උත්තම දඹදිව් තලය ජීවිතේ කවදා හරි දිනක වන්දනා මාන
කරන්නට අදිටන් කර ගනිමු.
සද්ධාය භික්ඛවේ සම්මුඛී භාවා සද්ධාය කුල පුත්තා බහුං පුඤ්ඤං පසවති
(මහණෙනි ශ්‍රද්ධාව ඇතිවූ කල්හි සැදැහැවත් කුලපුත්‍රයෝ බොහෝ පින් රැස්
කරත්) එම නිසා මහත් ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ ගොස් සිටින පුද්ගලයන් ලෙස
මේ උත්තම වන්දනාව ජීවිතේ කවදා හරි දවසක සිදු කරගන්න.
ශ්‍රද්ධා සම්පත් කුල පුත්‍රයෙකු විසින් සියැසින් දැක ධර්ම සංවේගය උපදවා
ගත යුතු ස්ථාන හතරක් ගැන සඳහන් වේ. එනම්
ඉධ තථාගතෝ ජාතෝති ඉධ තථාගතෝ අනුත්තරං සම්මා සම්බෝධී අභිසම්බෝධිං ඉධ
තථාගතේන අනුත්තරං ධම්ම චක්කං පවත්තිතං ඉධ තථාගතෝ අනුපාදිසේසා නිබ්බාන
ධාතුයා පරිනිබ්බුතෝති. එම ස්ථාන නම්,
බෝධිසත්වයන් වහන්සේගේ උප්පත්තිය සිදුවූ ලුම්බිණි සල් උයන
තථාගතයන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත්වූ ස්ථානය වූ අති පූජනීය
බුද්ධගයා පුදබිම
තථාගතයන් වහන්සේ පළමු දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන ලද බරණැස
ඉසිපතන මිගදාය
තථාගතයන් වහන්සේ මහා පරිනිර්වාණයට පත්වූ කුසිනාරා පුද බිම
මෙම සතර මහා ස්ථාන වැඳ පුදා ගනු ලබන ශ්‍රද්ධාවන්ත භික්ෂු, භික්ෂුණී,
උපාසක, උපාසිකා අය අතුරින් යමෙකු පහන් සිතින් කළුරිය කළ හොත් (ආනන්තරීය
පාප කර්මයක් සිදු නොකර ඇත්නම්) මරණින් මතු නියත වශයෙන්ම සුගතිය
(දෙව්ලොව) උප්පත්තිය ලබන බව සඳහන් වේ.
බුදුරජාණන් වහන්සේ බුද්ධගයාවේදී සම්බුද්ධත්වයට පත්වී සාරානාත් හිදී
ප්‍රථම ධර්ම දේශනාව පවත්වා, මුල්ම ශ්‍රාවක භික්ෂූන් සියලු දෙනා වහන්සේ
අමතා “චරථ භික්ඛවේ චාරිකං – බහුජන හිතාය බහුජන සුඛාය” යනාදී වශයෙන්
දෙව් මිනිසුන්ට හිත සුව පිණිස ධර්ම චාරිකාවල යෙදෙන ලෙස උපදෙස් දෙනු
ලැබූ සේක. තමන් වහන්සේ දේශනා කළ ධර්මයම මුල් තන්හිලා සලකන ලෙස අනුශාසනා
කළ සේක. උන්වහන්සේගේ මහා පරිනිර්වාණය සිදුවන විටත් අගසව් දෙපළ වන
සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා පිරිනිවී අවසානය. ධර්ම භාණ්ඩාගාරික
අනඳ මා හිමියන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කළ සියලු ධර්ම දේශනා ශ්‍රවණය
කිරීමේ භාග්‍යය ලැබුණු අතර, බුද්ධ පරිනිර්වාණයෙන් පසු තෘතීය මහා
ශ්‍රාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රජගහ නුවරදී
පැවති ප්‍රථම ධර්ම සංගායනාවේදී තමන් ඇසු පිරූ ධර්මය (ඒවං මේ සුතං...)
ඉදිරියට මුඛ පරම්පරා ගතව පවත්වාගෙන යාමේ වගකීම සමස්ත මහා සංඝ රත්නය වෙත
පවරනු ලැබිණි.
එම නිසා මේ ප්‍රයත්නය දරන්නේ දඹදිව බුදුන් උපන් සුද්ධ භූමියේ ඇති
වැදගත්කම ඔබට වටහා දීමටයි. ජීවිතයේ කිනම් හෝ දිනක දඹදිව වන්දනාවකට
සහභාගි වී මේ සසර දුකින් එතෙරව ඔබට උත්තම නිවන් සුව ලැබේවායි
ප්‍රාර්ථනා කරමි. මේ බුද්ධ භූමි වන්දනාවෙන් අපේ සිත් පහන් කර ගනිමු.
භාරතය
තුන් පැත්තකින් වට වු අර්ධද්වීපයක් ලෙස භාරතය හඳුනාගත හැකිය. අති රමණීය
හිමාල කඳු වැටිය උතුරු සීමාවේ මායිමයි. ගංගා, යමුණා, අචිරවතී යන ගංගාවෝ
භාරතය මැදින් භාරතයට සිසිල බෙදමින් නිසොල්මනේ ගලා බසියි. විශාල
අර්ධද්වීපයක් වන ඉන්දියාව ජාතක කථා වලට අනුව ජන පද දහසයකින් යුක්ත විය.
ප්‍රධාන රාජ්‍ය හතරකටත් බුද්ධ කාලීන භාරතය බෙදා ඇත. මගධ රාජ්‍යයේ
රජගහනුවරත්, කෝසල ජනපදයේ සැවැත් නුවරත්, අවන්ති රාජ්‍යයේ උදේනි නුවරත්,
වජ්ජි ජනපදයේ විශාලා මහනුවරත්, බෞද්ධ සමාජයේ කේන්ද්‍රස්ථාන බවට පත්
විය. බුද්ධ කාලයේ දී අංග හා මගධ රාජ්‍යයන්, එකතුව මගධ රාජ්‍ය ගොඩ නැගී
තිබු අතර එහි පාලකයා බිම්බිසාර රජතුමායි. කාශි සහ කෝසල ජනපද එකතු
වීමෙන් කෝසල රාජ්‍යය ගොඩ නැගූ අතර එහි පාලකයා කොසොල් රජතුමා විය. වත්ස
රාජ්‍යයේ අගනුවර කොසබෑ නුවර වන අතර එහි පාලකයා උදේනි රජතුමා විය. මේ
කාලය භාරතය තවත් බෙදීම් හතරකට වර්ග කරන ලදී. ක්‍රි.පූ. 6 වන සියවසේ
බුදුරජාණන් වහන්සේ දඹදිව පහළ වන විට විවිධ දාර්ශනික මත දඹදිව පහළ වී
තිබුණි. දාර්ශනික මත පිළිබඳව උනන්දුවක් දැක්වු සමාජය පිළිතුරු සෙවීම
සඳහා විවිධ ව්‍රත අනුගමනය කරන ලදී.
බ්‍රාහ්මණ සමාජය හිස මුඩු කිරීම අසුබවාදී දෙයක් ලෙස පෙන්වා දෙමින්
ඔවුන් සාංසාරික ජීවිතයට ඇලුම් කරන ලදී. එකල සමාජයේ ඉහළින් සිටි බමුණන්
හා ශ්‍රමණ සමාජය අතර මත ගැටුමකද නිරත විය. අනගාරිකවූ ශ්‍රමණ පිරිස
බ්‍රහ්මචාරි ජීවිතයෙන් අත් මිදී සමූහයක් වශයෙන් එකතුව කටයුතු කරමින්
සංසාර විමුක්තිය සොයා යන ලදී, මේ නිසා බොහෝ පිරිස් ගිහි ජීවිතය අතහැර
සත්‍ය සොයා යාමට යොමු විය. එකල පහළ වූ දාර්ශනිකයන් අතර මක්ඛලිගෝසාල
,අජිත කේශකම්බල, පකුධකච්ඡායන , නිඝන්ඨනාථපුත්ථ, සංජය බෙල්ලට්ඨිපුත්ත,
පූර්ණ කස්සප එකල සමාජයේ ප්‍රබල දාර්ශනිකයන් විය. මෙවැනි දාර්ශනික මත
පැවැති යුගයක ක්‍රි.පූර්ව හයවන සියවසේ ලුම්බිණියේදී උපත ලද සිද්ධාර්ථ
කුමාරයා බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව මුළු ඉන්දියාවටම නව වෙනසක් ඇති
කරන ලදී.
මහා බෝධි සත්වයන් වහන්සේගේ උපත සිදු වූ
ලුම්බිණි සල් උයන
මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වන අන්දමට සතර මහා ස්ථාන අතුරින් පළමු
ස්ථානය ලබා ගන්නේ ලුම්බිණි සල් උයනයි. ඒ අප මහා බෝධි සත්වයන් වහන්සේගේ
උප්්පත්තිය සිදු වූ අති උත්තම පුණ්‍ය භූමිය නිසාය.
ශාක්‍ය සහ කෝලිය යන රාජ වංශ දෙපාර්ශ්වයේදී උත්සව පැවැත්වණු ලුම්බිණිය
අද නේපාල රාජ්‍යයට අයත් භෛරව නම් දිස්ත්‍රික්කයේ දක්නට ලැබෙයි.
බුදුරජාණන් වහන්සේගේ පහළ වීම අහඹු සිදුවීමක් නොව උතුම් බුද්ධත්වය අවබෝධ
කර ගැනීම සඳහා අප මහා බෝධි සත්වයන් වහන්සේ දීපංකර බුදු රජාණන් වහන්සේ
වෙතින් නියත විවරණ ලබා සුදුසු පාරමිතා පුරමින් බෝසත්වරයෙක් ලෙස ලොව පහළ
වීම සඳහා පඤ්ච මහා විලෝකනයන් බලන ලදී. ඒවා නම් කාලය, දීපය, දේශය, කුලය,
මව යන පස්මහ බැලුම් සැළකිල්ලට ගන්නා ලදී. බුදුවරයෙකුගේ උපත ලොව සිදුවන
උත්තරීතරම උපතයි.
සිද්ධාර්ථ කුමාරයාගේ මාතෘ පීතෘ පරම්පරාව පාරිශුද්ධ පරම්පරාවකින් පැවත
එන්නකි. කල්යාමේ දී කපිල වස්තු වාසී ශාක්‍ය වංශිකයෝද කෝලිය වාසි කෝලිය
වංශිකයෝද ආවාහ විවාහ මගින් ඥාති සබඳතා ගොඩ නගා ගත්හ. සිද්ධාර්ථ
කුමාරයාගේ පිය පාර්ශ්වයෙන් ශාක්‍ය වංශයට ද (සූර්ය වංශය) මව් පාර්ශ්වය
කෝලිය වංශයට ද අයත් විය.
මහ බෝධි සත්වයන් වහන්සේ වෙස්සන්තර ආත්මභාවයෙන් පසුව තුසිත දිව්‍ය ලෝකයේ
සන්තුෂිත නම් දෙවියන්ව කල් ගත කරන ලදී. උන් වහන්සේ එහි වාසය කරන කල්හි
දිව්‍ය, මනුෂ්‍ය , බ්‍රහ්ම යන ලෝකයේ බුද්ධකෝලාහලයක් ඇති විය. ඉන් පසු
සන්තුෂිත දෙවියන් වෙත පැමිණ දෙවි බඹුන් විසින්
කාලොයංතෙ මහාවීර
උප්පජ්ජි මාතුකුච්ඡියං
සදෙවකං තාරයන්තො
බුජ්ඣස්සු අමතංපදං
(මහා වීරයන් වහන්ස බුද්ධත්වය සඳහා මව්කුසක ඉපදීමට මේ කාලයයි. දෙවියන්
සහිත ලෝකයා එතෙර කරමින් නිර්වාණය ද අවබෝධ සරණ යැයි දෙවියන් විසින්
ආරාධනා කරන ලදී)
දඹදිව ඇසළ මාසය පුරාවටම උත්සව පවත්වයි. ලෞකික සැප සම්පත් වලින් පිරුණු
උත්සවයක් සේ ආධ්‍යාත්මික ගුණ ධර්ම වර්ධනය කරන උත්සවයක් ද විය. මහාමායා
දේවිය සත්වන දිනයෙහි දුගී මගී ආදීන්ට දන් දී පෙහෙවස් සමාදන්ව නිවසට
පැමිණ ධර්ම සංවාද හා මෛත්‍රී භාවනාවේ යෙදී සිටින ලදී. එදින රාත්‍රියේදී
අනාගතයේ ලොව පහළව බුද්ධ රාජ්‍ය සාක්ෂාත් කර ගනිමින් ලෝකයා දුකින් මුදවන
කුමාරයෙකු පිළිසිඳ ගැනීම පිළිබඳව සිහින දකින ලදී. එනම් සතරවරම්
දෙවිවරුන් පැමිණ බිසව නිදා සිටි යහන පිටින්ම ඔසවාගෙන හිමවතට ගොස්
සල්ගසක් මුල සිරියහන ගල්තලාවක තැබූ අතර එම දෙවිවරුන්ගේ දේවීන් පැමිණ
මහාමායා දේවිය අනෝතප්ත විලට ගෙන ගොස් නහවා දිව්‍යමය වස්ත්‍ර අන්දවා
දිව්‍යමය සුවඳ විලවුන් ගල්වා දිව්‍යමය මල් පළඳවා සමීපයෙහි වූ රිදී
පර්වතයෙක තිබූ රන් පහයකට ගෙන ගියහ. එහි බටහිර දෙසට හිසලා පිළියෙල කරන ලද
යහනෙහි මහාමායා දේවිය සැතපුණාය. ඉන් පසු සුරතල් සුදු ඇත් පැටවෙක්
සමීපයෙහි වූ රන් හා රිදී පර්වතවල පිළිවෙළින් ඇවිද උතුරු දිශාවෙන් පැමිණ
සුදු නෙළුම් මලක් සොඬින් ගෙන දේවිය සැතපෙන රන් විමනට ඇතුළු විය. ඉන්
පසු ඇයගේ යහන වටා තුන් වරක් ඇවිද දකුණැලයට ළංව ඇයගේ කුසට පිවිසියාක්
මෙන් දේවිය සිහිනයෙන් දුටුවාය.
මතු සම්බන්ධයි |