අනුරාධපුර
රුවන්වැලිසෑය මහා විහාර
(විශ්‍රාමික) පරිවේණාධිපති
කොළඹ නව කෝරළේ සහ
නව තොටමුණේ ප්‍රධාන සංඝ නායක
වහුමුවේ විජයවංස නා හිමි ප්‍රශ්නය -
පරම විඥානාර්ථ බෞද්ධ සමාගම මඟින් ශ්‍රී ලංකාවේ පළමුකොට ආරම්භ කරන ලද
බෞද්ධ බාලිකා විද්‍යාලය කුමක්ද?
පිළිතුර -
කොළඹ මරදාන සංඝමිත්තා බාලිකා විද්‍යාලය.
ප්‍රශ්නය -
ත්‍රිපිටකයේ එන දේශනාවන්ගෙන් වැඩිපුර ප්‍රමාණයක් බුදුරජාණන් වහන්සේ
දේශනා කොට ඇත්තේ කුමන ආරාමයක් මුල්කර ගෙනද?
පිළිතුර -
දේශනා පාලියෙහි ඒ ‘වං මෙසුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනෙ
අනාථපිණ්ඩිකස්ස ආරාමෙ’ යන වැකියෙන් අවධාරණය වන පරිදි සැවැත්නුවර
ජේතවනාරාමයෙහි වැඩ සිටිමින් උන්වහන්සේ දහම් දෙසූ සේක.
ප්‍රශ්නය -
විල්ගම්මුල හිමිපාණන් වහන්සේ සිංහල බෝධිවංශය රචනාකොට ඇති පරමාර්ථය
කුමක්ද?
පිළිතුර -
අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමවීමේ ඓතිහාසික
පුවත විස්තර කිරීම සඳහා බෝධිවංශය රචනාකොට ඇත.
ප්‍රශ්නය -
බුද්ධත්වයෙන් පසු බරණැස ඉසිපතනයෙහිදී පැවැත්වුණු ප්‍රථම ධර්මදේශනාව
අවසානයෙහිදීම දහම් ඇස පාදාගත් (ධම්මචක්ඛුං උදපාදි) කොණ්ඩඤ්ඤ තව්සාණන්ට
“එහි භික්ෂු” භාවයෙන් “පැවිදි උපසම්පදාව“ ප්‍රදානය කළ බුදුරජාණන්
වහන්සේ බෞද්ධ ශ්‍රාවක ප්‍රථම භික්ෂු සංස්ථාව පිහිටුවූහ. මෙහි සඳහන් වන
“එහි භික්ෂු” භාව පැවිදි උප සම්පදාව යනුවෙන් සඳහන් කරන සංඝකර්මය
කුමක්ද?
පිළිතුර -
බුදුරජාණන් වහන්සේගේ අනුමැතියෙන් ධර්මදූත සේවයෙහි යෙදුණු ශ්‍රාවක
භික්ෂූන්ගේ සහ හා පැවිද්ද අපේක්ෂා කළ නවකයන්ගේ පහසුව පිණිස තිසරණ ගත
කිරීමෙන් පැවිදි උපසම්පදාව ප්‍රදානය කිරීම බුදුහිමියන් විසින් භික්ෂූන්
වහන්සේලාට පවරා දෙන ලදී. බුදු බණ ඇසීමෙන් අනතුරුව පුරාකෘත පින්මහිමය
මුහුකුරා ගිය අයෙකු බුදුරජාණන් වහන්සේ “මහණ මෙහි එවය” ඇමැතීමෙන්,
පැවිදි උපසම්පදාව ලැබීම එහි භික්ෂු භාවයයි. මුල් යුගයෙහිදී බුදුරජාණන්
වහන්සේ වෙතින්ම පැවිද්ද ලබාගත් ක්‍රමය මෙයයි. පසු කාලයේ දී ශ්‍රාවක
ආධුනික පිරිස වැඩිවෙත්ම පැවිදි උපසම්පදාව ප්‍රදානය කිරීම සංඝයාටම
පවරාදෙන ලදී.
ප්‍රශ්නය -
බුදුරජාණන් වහන්සේ සුංසුමාරගිරි පුරයට වැඩමවූ කල එක්තරා ගෘහපති
ගෘහපතිනි දෙපළක් බුදු දුටු විගස “පුතා ඔබ අපහැර මෙතෙක් දා හැසුරුණේ
කොහිදැයි හඬන්නට වූහ” මේ අඹුසැමි යුවළ කවුරුන්ද? අවස්ථාව කුමක්ද?
පිළිතුර -
බුදුරජාණන් වහන්සේට නකුල මාතා සහ නකුල පිතා – පන්සිය වාරයක් දෙමව්පියන්
වූවා ය. බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ සිත් තුළින් පුත්‍ර ස්නේහය
පහවනතෙක්ම වැඩසිට දහම් දෙසූහ. සදහම් ඇසූ දෙමහල්ලෝ සෝවාන් ඵලයෙහි
පිහිටියහ.
ප්‍රශ්නය -
සුජාත ජාතක කතාව සුමනා නම් සිටු දියණිය අරභයා දේශනා කොට වදාළ ජාතක
කතාවකි විවාහය පිළිබඳව පමණක් සලකා භාර්යාවකගේ වර්ගීකරණයක් මෙම ජාතක
කතාවට ඇතුළත්ව ඇත. පැහැදිලි කරන්න.
පිළිතුර -
භාර්යාවෝ සත් දෙනෙකි.
1. වධක භාර්යාව - (ස්වාමී සේවක අසල්වැසි සියලු දෙනාට කරදරගෙන දෙන්නාවූ)
2. චොර භාර්යාව - (ස්වාමියා උපයන වස්තුව විනාශ කරයි)
3. ආරීය භාර්යාව - (ස්වාමියා අවමානයට ලක් කරන භාර්යාව)
4. මාතු භරියා - (ආදරණීය බව සියලු දෙනා වෙත පවත්නා තම එකම පුතු ආරක්ෂා
කරන මවක් මෙන් සිටින භාර්යාවය.
5. භගිනී භාර්යාව - (සැමියාට සොහොයුර දයාවෙන් සලකන භාර්යාවයි)
6. සඛී භාර්යාව - (ස්වාමියාට මිත්‍රස්නේහයෙන් කටයුතු කරන භාර්යාවයි.
7. දාසි භාර්යාව - (සන්සුන් සිත් ඇති සැමියාගේ වදනට කීකරු බිරිය දාස
භාර්යාවය.)
මෙයින්, මාතු, භගනී, සහ දාසී යන භාර්යාවන් මරණින් මතු දෙව්ලොව උපදනා
යහපත් භාර්යාවන් බව බෞද්ධ සාහිත්‍යයේ එයි.
ප්‍රශ්නය -
පරිසරය පිළිබඳව බුදුසමය අවධාරිත දේශනා වර්තමානිකයනට බෙහෙවින්
ප්‍රායෝගිකය. බෞද්ධ අධ්‍යයනයෙහි දී විශේෂයෙන් දහම් පාසලේ දී ගුරු
ශිෂ්‍ය දෙපිරිසම අවධානය යොමු කළ යුතු ය. වාතය, සුළඟ දූෂණය වළක්වා ගැනීම
සඳහා දේශනා පාඨයන්හි සඳහන් කරුණු පැහැදිලි කිරීමක් කරන්න.
පිළිතුර -
(චුල්ලවග්ග පාලි වත්තක්ඛන්ධ)
දෛනික ජීවිතයෙහි දී වාතය දූෂණයෙන් වළක්වා ගැනීම සඳහා ඉහත සඳහන්
ග්‍රන්ථාගත ග්‍රන්ථයෙහි මෙසේ සඳහන් වෙයි. ඉදින් පෙරදිග වූ දූවිලි සහිත
වාතයෝ හමත් නම් පෙරදිගට අයත් (වාබොන) ජනෙල් වැසිය යුතු ඉදින් පැසීම්
දිගට උතුර දිගට දකුණු දිගට උණුසුම් කාලයක නම් (වා කවුළු) ජනෙල් වසා තබා
රාත්‍රී විවෘත කළ යුතු ය. ශීත කාලය වී නම් රාත්‍රියද වසා තැබිය යුතු
දහවල් විවෘත කළ යුතු නිවහන සහ වටාපිටාව පිළිබඳවද අවධානය කළයුතු බව මෙසේ
සඳහන් වෙයි.
ඉදින් පිරිවෙන (විහාර ප්‍රාකාර අතර පෙදෙස) කැළි කසළ සහිත වී නම් එය
හැමැන්ද යුතු එසේම දොරකොටුව, උවටැන්හල, ගිනිහල, වැසිකිළිය ඉදින්
පැන්නොවීනම් පැන් එලවා තැබිය යුතු වැසිකිළියේ ප්‍රයෝජනයට ගන්නා ජලය
බහාලන භාජනයෙහි ජලය නොවේනම් එහි ජලය පුරවාලිය යුතු ය.
ප්‍රශ්නය -
පරිසරය දූෂණය නොකිරීමත් පිරිසුදුකම ආරක්ෂා කරගැනීමත් පමණක් නොව පරිසරය
අලංකාර කිරීම හා වැඩිදියුණු කිරීමත් යන බුදුසමය අවධාරණයයි. සූත්‍රාගත
දේශනා මගින් පැහැදිලි කරන්න.
පිළිතුර -
වර්ෂාව හා ජලය මිනිසාට ප්‍රයෝජනවත් අයුරු ‘දේවතා සංයුත්තයෙ’ පජ්ජෝත
සූත්‍රයෙන් මෙසේ සඳහන් වෙයි.
වුට්ඨිං අලසං අනලසඤ්මාතා
මාතා පුත්තාච පොසති
වුට්ඨිං භුතුප ජීවන්ති යේ පාණා
පඨවිං සිතාති (ස.නි. පජ්ජොති සූත්‍ර)
“වැස්ස අලස, අනලස දෙදෙනාම මව දරුවකු පෝෂණය කරන දයාවෙන් පෝෂණය කරයි.
පොළොව ඇසුරු කළ යම් ප්‍රාණීන් වෙත්නම් වැස්ස නිසා ජීවත් වෙති. ජලය
දූෂණය කිරීම බලවත් වරදකි. ජලයෙහි මළ මුත්‍ර පහ කිරීම කෙළ ගැසීම
භික්ෂුවට දුක්කටාපත්තියකි.
යො අනාදරියං පටිච්ච උදකෙ
අගිලානෙ උච්චාරං වා පස්සාවංවා
මෙලං වා කරොත්, ආපත්ති දුක්කටස්ස,
(පාචිත්තිය පාලි)
ජලය පානීය ජලය සහ පරිභෝජනීය ජලය කොටස් දෙකකට වෙන්කොට දක්වා ජලය
අපිරිසුදු නොකොට පරිභෝජනය කළයුතු බව අනුදැන වදාළහ.
ප්‍රශ්නය -
රහතන් වහන්සේලා වාසය සඳහා අට සැටක් ලෙන් එකම ස්ථානයක පිහිටා ඇත. ස්ථානය
සඳහන් කරන්න.
පිළිතුර -
අනුරාධපුර මිහින්තලය පූජනීය භූමිය තුළ අටසැටලෙන් පිහිටා ඇත.
ප්‍රශ්නය -
ක්‍රි.පූ. 236 දී මිස්සකපව්ව මුල්කරගෙන ශ්‍රී ලංකාවේ සිදුවුණ සුවිශේෂී
වූ ශාසනික මෙහෙවර කුමක්ද?
පිළිතුර -
ඉපැරැණි රාජකීය සම්ප්‍රදායක් අනුගමනය කළ දේවානම්පියතිස්ස රජු
දඩකෙළියෙහි ගොස් සිටි අවස්ථාවක මිහිඳු මාහිමියන් පොසොන් පෝ දින හමුවිය.
අනුරාධපුරයෙහි සිට සැතපුම් 08 ක පමණ දුර පිහිටි මිස්සක පව්ව නම්
ස්ථානයෙහි දී (වර්තමාන මිහින්තලය) මෙම රාජකීය හමුවීම සිදුවූබව පාලි
වංසකතාවල සඳහන් වෙයි.
මිහිඳු මාහිමියන් මෙරට වැඩම කළේ, තවත් තෙරවරු හතරනමක් කැටිවය.
උන්වහන්සේ කැටුව ආ පිරිසෙහි මිහිඳු මාහිමියන් කිට්ටු නෑදෑ දෙපළක් වූහ.
එනම් උන්වහන්සේගේ නැගණියන් වූ සංඝමිත්තා කුමරියගේ පුත් සුමන සාමණේරයන්
සහ මෑණියන්ගේ සොහොයුරන්ගේ දුවණිය ගේ පුත් භණ්ඩුක උපාසක යන මේ දෙදෙනාය.
මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනය සිංහල සංස්කෘතියේ ආරම්භය වශයෙන් සැලකිය
හැකිය.
ප්‍රශ්නය -
පොළොන්නරුව පූජනීය පෙදෙසේ පිහිට “උත්තරාරාමය” නමින් හැඳින්වෙන ස්ථානය
කුමක්ද?
පිළිතුර -
පොළොන්නරුව ගල් විහාරය නමින් සඳහන් වන ස්ථානය ඉපැරණි භාවිතය උත්තරාරාමය
නම් වෙයි.
ප්‍රශ්නය -
අනුරාධපුර, දුටුගැමුණු මහරජතුමා විසින් කරවන ලද ‘රුවන්මැලි සෑය’ ස්ථූප
ආකෘතික වශයෙන් කුමන ආකෘතියක් අනුව සකස්කොට තිබේද?
පිළිතුර -
ඉපැරණි ස්ථූප ආකෘති (සැලැස්ම) සයක් එයින්, බුබ්බුලාකාර ආකෘතියට (දිය
බුබුලක) අනුව රුවන්වැලි සෑය නිර්මාණය කොට ඇත.
|