UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දැල්වෙන පහන් සිළ සිරි පැරකුම්බා පිරිවෙන

දැල්වෙන පහන් සිළ සිරි පැරකුම්බා පිරිවෙන

මාතෘ භූමියේ වංශ කතාව යුග අටකට බෙදෙන අතර එයින් හයවෙනි යුගය වශයෙන් සඳහන් වන්නේ ජයවර්ධනපුර කෝට්ටේ යුගය යි. (ක්‍රි.ව1412-1580)

එහෙත් ලක් ඉතිහාසයේ එක් යුගයක ප්‍රබල නියෝජනයක් වූ ‍ඓතිහාසික කෝට්ටේ රාජධානියේ සිහිවටන - සැමරුම් දැක උද්ධාමය සතුට අත් විඳීමට මේ පුරවරටය සැපත් වන්නකුට ආපසු හැරී එන්නට සිදුවන්නේ එවන් විශිෂ්ට යුගයක කිසිදු අබිමානයක් සිහිවටනයක් නොදකිමින් මංමුළාවූවකු ලෙසිනි.

‍ඓතිහාසික ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ රාජධානියේ අතීත මතකය අවධි කරවන්නේ වීදියක්-වීදියක් මාවතක් ගණනේ නම්කර ඇති-‘වීදිය බණ්ඩාර මාවත’ - ‘සපුමල් පෙදෙස’ - ‘මාලිගාව පාර’ - ‘පැරකුම් උයන’ ආදී කිව හැකි කියවීමෙන් පමණක් සෑහීමට පත්වීමට සිදුවන නාම පුවරුවලට පින් සිදු වන්නට ය.

මෙම ඛේදවාචකයට වගකිවයුත්තෝ බොහෝ වෙති. ඒ අතර පරදේශක්කාර පරපුටු ආක්‍රමණිකයන් පිළිබඳ පුදුම විය යුතු නොවේ. පුදුම විය යුත්තේ මී මුත්තන්ගේ අභිමානවත් - සාඩම්බරණීය ආගමික, ජාතික, පාරම්පරික උරුමයේ පංගුකාරයින්ම ඒ ‍උරුමයන් විකුණාගන කන්නට තරම් හීන-දීන වීම පිළිබඳව ය.

කෝට්ටේ රාජධානියේ ජාතික ආගමික උරුමයේ වැනසීම පිළිබඳව මහාචාර්ය සෙනරත් පරණවිතානයන් පළ කළ අදහස් කීපයකට ඔබගේ අවධානය යොමු කරවමි.

‘ඓතිහාසික නෂ්ටාවශේෂ සම්බන්ධයෙන් දක්වන නොසැලකිල්ල හා ඒවා විනාශයට පත් කිරීම ගැන කෝට්ටේ ප්‍රභූවරයකු වූ ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතා ස්වකීය විරෝධය පළ කර සිටියේ ය. එහෙත් ඔහු හුදෙකලාව පළ කළ විරෝධයට කන් දීමට කිසිවකු නො සිටියෙන් ඔහුගේ වෑයමෙන් පලක් නොවී ය.’

‘කලා වස්තු කෙලෙසීමේ එක් දරුණුම සිද්ධියක් 1909 දී වාර්තා වී ඇත.’

“දළදා මාලිගාවට අයත් යැයි ප්‍රදේශවාසීන් කල්පනා කළ නටබුන් රාශියක් මුහන්දිරම් කෙනකුගේ ඉඩමක තිබුණේ ය. ඔහු එම ස්ථානය ‘කැණීමට’ තීරණය කළේය. පුරාණ නෂ්ටාවශේෂ දුටු දුටු තැන හාරා එහි තිබුණු කපා ඔපමට්ටම් කළ ගල් ද කැටයම් කළ ගල් ද හැමෙකක්ම එක් තැනක ගොඩ ගැසීම ඔහු යොදාගත් ක්‍රියා මාර්ගය විය.

“මේ කණින්නා ඊළඟට කල්පනා කළේ තමා දැරූ වෙහෙසට ප්‍රතිඵලයක් වශයෙන් සුදුසු ලාභයක් ලබා ගැනීමට ය. ඔහු ඒ අනුව කැටයම් කළ ගල් කරත්තයක් රු100/= ගණනේ කොළඹ කටුගෙට සැපයීමට ඉදිරිපත් වූ නමුත් ඒ ආයතනයේ නිලධාරීහු ඒ ගණන අධික යැයි සිතූහ. මිල ගණන් කේවල් කිරීමට දෙපක්ෂයම පටන් ගත්හ. අන්තිමේ බලාපොරොත්තු සුන්වී ගිය මුහන්දිරම් තම ඉඩම පුරා විසුරුවා තිබුණු පරාක්‍රමබාහු මහ රජතුමාගේ දළදා මාලිගයේ සුන්බුන් දැක වෙනත් කළ හැකි දෙයක් සිතා ගත නොහැකිව ඒවා සියල්ලම කරත්ත කුලී පමණක් ගෙවා ඉවත් කරන්න යැයි නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ය.

මේ ඉල්ලීම සාධාරණ බව පිළිගැනීමට නිලධාරීන්ට සිදු විය. එහෙත් කොළඹ කොටුවට ළඟා වූයේ ඒ සුන්බුන් සියල්ලෙන් තෝරා ගත් කැටයම් ගල් කැබලි දුසිමක් පමණි.” (පුරා විදු පර්යේෂණ-සෙනරත් පරණ විතාන)

හයවන මහා පරාක්‍රමබාහු රජතුමා කෝට්ටේ රාජධානියේ ඉදිකරවන ලද අපගේ ආගමික ජාතික උරුමයේ අමරණීය සැමරුමක් වශයෙන් විරාජමානව වැජඹෙන්නට තිබූ දළදා මාලිගාවේ නටබුන් කැටයම් ගල් ආදිය ගොන් කරත්ත මතින් අවසන් ගමන් ගිය ඛේදනීය පුවතයි ඒ.

පරණ විතානයන් තව දුරටත් පවසන්නේ “වරක් අහිමි වී ගිය උරුමය නැවත කිසිසේත් හිමි කර ගත නො හැකි බව ද ඒ නිසා ඒ උරුමය ආරක්ෂා කර ගත යුතු බව ද වටහා ගැනීමට තරම් මහජන හැඟීමක් එදා බිහි වී තිබුණේ නැත. එහි ප්‍රතිඵල වශයෙන් එදා වන තුරු කෝට්ටේ පෞද්ගලික ඉඩකඩම්වල දක්නට ලැබුණු පුරා වස්තු විනාශ වී යෑම දිගටම අබාධකව සිදු වීම නිසා අද එහි යන අමුත්තකුට දක්නට ලැබෙන්නේ සාමාන්‍යයෙන් නගරාසන්න ප්‍රදේශයක අනිවාර්යයෙන් දක්නට ලැබෙන අවිශිෂ්ට ලක්ෂණ පමණකි.” එවන් පසුබිම් කථනයක ශෝකී ස්වරය දෙසවන් පුරා දෝංකාර දෙන අතරේ මා ද තදාසන්න නගරයක නවීන උස් මැදුරු මැදින් තෙරපෙන වාහන පෙළ අතරින් රිංගමින් ඓතිහාසික ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ රාජධානිය දකින්නට නිශ්ඵල ව්‍යායාමයක නිරත වුණෙමි.

ඒ අනුව ඇතුල් කෝට්ටේ පැරකුම්බා පිරිවෙන තුළට පිවිසියේ සුවිශේෂී කරුණක් නිසාය. ශතක ගණනාවක් තිස්සේ අප මේ ඓතිහාසික නගරය වහරන්නේ ‘කෝට්ටේ’ යනුවෙනි. මා ඒ අනුව ‘කෝට්ටේ’ සොයමි.

තුන්වන වික්‍රමබාහු (ක්‍රි. ව. 1357-1374) රජතුමාගේ කාලයේ දී අලකේශ්වර ප්‍රභූරාජයන් විසින් මේ පුරවරය නැවත ප්‍රතිසංස්කරණය කර එහි බලකොටුවක් ඉදිකළ බව ඉතිහාසයේ සඳහන් වෙයි. එතැන් සිට සියවස් දෙකකට පමණ ආසන්න කාලයක් ලංකා ඉතිහාසයේ එක් විශේෂ යුගයක් නියෝජනය කළේ මෙපුරවරය යි.

කෝට්ටේ සෑදුණු සැටි පිළිබඳව ‘සංක්ෂිප්ත ලංකා ඉතිහාසය’- (සී. ඩබ්ලිව්. නිකලස් ඇස්. පරණවිතාන) ග්‍රන්ථයේ එස්. පරණවිතානයන් ලියන ලද දහසය වන පරිච්ඡේදයේ තැනක මෙසේ සඳහන් වෙයි.

‘තම යුද ශක්තිය වර්ධනය කරකගත් ඔහු (අලකේශ්වර) කොළඹ ආසන්නයේ යුදමය වශයෙන් වැදගත් ස්ථානයක බලකොටුවක් පිහිටුවා ගත්තේ ය. කැලණි ගඟට දකුණින් පිහිටි වගුරු බිම්හි මේ බලකොටුව සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගැණුනු අතර මේ ස්ථානය එදා සිට කෝට්ටේ (කොටුව) නමින් හැඳීන්විණි. මේ ස්ථානයේ උතුරේ සිට දකුණට සැතපුමක් පමණ ද නැගෙනහිර සිට බටහිරට වඩාත් පුළුල් ම ස්ථානයේ සැතපුම් 1‍/2ක් පමණ වූ දකුණෙන් පටු බිම් තීරුවක් හැර අන් සියලු දෙසින් වගුරු බිමින් වට වී ආරක්ෂිත වූ බිම් කඩක් විය. දකුණු පස වූ පටු බිම් තීරුව හරහා දිය අගල් දෙකක් සාදා අන් සියලු පැතිවල අසාමාන්‍ය කොටස් වටවන සේ කබොක් ගලින් බිත්ති ගොඩනගනු ලැබිණ. යුගයට අදාළ යුද ඉංජිනේරු ශිල්ප ක්‍රම අනුව බිත්ති මත ආරක්ෂිත අට්ටාල පිහිටුවා ඒවායේ පුහුණු සෙබළුන් යොදනු ලැබිණ. ජයවර්ධන පුර නමින් හැඳීන්වුණු මේ කොටුව තුළ දිගු කාලීන වැටලීමකට වුවත් සෑහෙන පරිදි ආහාරපාන රැස්කොට යුදයට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කළ අලකේශ්වර යාපනයේ පාලකයා විසින් පත්කොට සිටි බදු එකතු කරන්නා එළවා දැමී ය.

එසේ කෝට්ටේ-යන නාමය පරම්පරා ගණනාවක් රැගෙන ආ-එතැනින් නොනැවතී ඇතුල් කෝට්ටේ පිටකෝට්ටේ වශයෙන් මායිම් වෙන් කළ ඒ ඓතිහාසික සුවිශේෂී මහා පවුරේ අංශු මාත්‍රයක් හෝ අද දැක ගැනීමට ඉතිරිව ඇති භූමිය ඇතුළත්ව ඇත්තේ ඇතුල් කෝට්ටේ සිරි පැරකුම්බා විහාරස්ථාන භූමිය තුළ ය.

අලංකේශ්වර ප්‍රභූ රාජයා විසින් ආරක්ෂාව වෙනුවෙන් ඉදි කළ කොටු බැම්ම අඩි 8ක් පමණ උසකින් ද අඩි 35ක් පමණ පළලින් ද සාදා තිබුණු බව කියැවෙයි. එය සෑදීම සඳහා යොදා ගෙන තිබුණේ අඟල් 26ය16 ප්‍රමාණයේ කබොක් ගල් ය.

එදා කෝට්ටේ පැවැත් වූ දළදා පෙරහර කොටු බැම්ම මතින් බල කොටුව වටා පැදකුණු කළ බව ජනප්‍රවාදයේ කියැවෙයි.

ඒ තුළ හයවන පරාක්‍රමබාහු රජතුමාගේ රාජකීය ගබඩාව තිබුණු තැන 1875 වසරේදී සිරි පැරකුම්බා පිරිවෙන් විහාරස්ථානය ගොඩ නංවන ලද්දේ හිඟුල්වල ශ්‍රී ජනරතන අනු නා හිමියන් විසිනි.

මෙම විහාරස්ථානයට අයත් ඔප්පු තිරප්පු දිගින් දිගට විශ්ලේෂණය කිරීමේදී රජතුමාගේ ගබඩාව නොහොත් භාණ්ඩාගාරය මෙතැන තිබූ බව සනාථ කර ගත හැකි බව පහත රට සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමා ශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ කෝට්ටේ පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක විහාරාධිපති මාදිවෙල චන්දවිමල නා හිමියෝ පවසති.

හයවැනි පරාක්‍රමබාහු වැනි විශිෂ්ට නරපතියෙකුගේ එදා ගබඩා සංකීර්ණය තිබූ දැඩි විශ්වාසවන්ත වූ භූමියේ ඉතිහාසයේ ලකුණු සැගවී ගියද ඒ තුළ අද විහාරස්ථානයක් ගොඩ නැංවී ඇත. විහාර භූමියේ පසෙක කොටු බැම්මේ ඉතා සුළු හෝ කොටසක් ඉතිරි වී ඇත.

මෙම කොටු බැම්ම අද දකින්නට ලැබෙන්නේ සිරි පැරකුම්බා පිරිවෙනෙහි බෝධීන් වහන්සේ සමීපයේය. කොටු බැම්ම මත පහනක් දල්වා තිබෙනු පෙනෙයි.

ඒ නිසාම නිශ්චිත ජාතික ආගමික උදාර සැමරුම් සිහිවටන මකා දැමුණු ඒ ඓතිහාසික කෝට්ටේ රාජධානියේ අතරමං වූවකුට සිහින් පහන් සිලක් හෝ දල්වා මඟ පෙන්වීමට කෝට්ටේ නාමය ජනිත කළ කොටු බැම්මේ අඩි කීපයක් හෝ දරාගෙන සිටින පැරකුම්බා පිරිවෙන් භූමිය සමත් වී සිටියි.

 

 

නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය අගෝස්තු මස 03 වැනි දා ඉරිදා අපරභාග 06.06 ට ලබයි. 04 වැනි දා සඳුදා අපරභාග 06.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 04 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
අගෝස්තු 10 වැනි දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 04

Full Moonපසෙලාස්වක

අගෝස්තු 10

Second Quarterඅව අටවක

අගෝස්තු 17

Full Moonඅමාවක

අගෝස්තු 24


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk