පිරිසුදු ජීවිතයක් ගත කරමු
විශ්‍රාමික ගුරු උපදේශක
අතාවුද සෝමරත්න
දෙවියන් මිනිසුන් සහිත මේ ලෝකයේ අපිරිසුදු කිසිවක් අගය කරන්නේ නැත.
පිරිසුදු වූ හැම දෙයක්ම, හැම කෙනෙක්ම අගය කරති. කසී සළුවක් වුනත්
අපිරිසුදු වී ඇත්නම් වටින්නේ නැත. කපු පුළුන් වලින් සකසන ලද රෙද්ද
පිරිසුදු නම්, ඊට වඩා වටිනව. එමෙන්ම දුසිරිත් වලින් අපිරිසුදු වු
ජීවිතයද වටින්නේ නැත. පිළිකුල් කරන්නේය. යහපත් සිරිත් වලින් පිරිසුදු
වූ ජීවිතය දෙවියන්, මිනිසුන් සහිත ලෝකයාගේ ගෞරවයට පත් වන්නේය. එම නිසා
බුදුදහමට අනුව පිරිසුදු ජීවිතයක් ගත කරමු.
බුදුරජාණන් වහන්සේගේ ජීවිතය සමස්ත ලෝකයාගේ ගෞරවයට, වන්දනාවට, භාජනය
වූයේ සියලු කෙලෙස් ප්‍රහීණ කොට උතුම් ගති ගුණවලින් පිරිසුදු කරගත්
යහපත් ජීවිතයක් තිබූ නිසාය. එම නිසා අපගේ ජීවිතයද යම් පමණකට පිරිසුදු
නම්, එයද උසස් වෙයි. අගය කරයි. එම පිරිසුදු බව අපට ලබා ගත හැක්කේ ඇඳුම්
පැළඳුම් ආදි බාහිර අලංකාර වලින් හෝ ඉඩකඩම් , වතුපිටි ආදි භෝග සම්පත්
වලින් හෝ නිලතල වලින් හෝ නොව පිරිසුදු චරිතයෙන්ය. සත්වයා අපිරිසුදු
වීමට හා පිරිසුදු වීමට මුල්වන්නේ සිතය. අපිරිසුදු සිතින් කරණ දුශ්චරි
ක්‍රියා වලින් පුද්ගලයාගේ දෙලොව පිරිහෙයි. ඒ බව, ධම්ම පදයේ මල වර්ගයේ
සඳහන්
මලිත්ථියා දුච්චරිතං
මච්ඡෙරං දදතොමලං
මලාවෙ පාපකා ධම්මා
අස්මිං ලොකෙ පරම්හිච
ස්ත්‍රියට නරක චරිතය මලයකි. දෙන අයට මසුරුකම මලයකි. සියලු අකුශලයෝ
මෙලොව පරලොව දෙකම කිලුටු වීමට හේතුවෙයි. එම සියලු කිලුටු වලට වඩා
විශාලම මලය හෙවත් කිලුට වන්නේ අවිද්‍යාවය. එම නිසා මහණෙනි! ඔබ හැම
දෙනාම අවිද්‍යාව නමැති කිලුට දුරු කර පිරිසුදු වන ලෙස
තතොමලං මළකරං
අවිජ්ජා පරමං මලං
එතං මලං පහත්වාන
නිම්මලා හොත භික්ඛවො
යන ගාථාවෙන්ද පැහැදිලි වෙයි.එසේ කෙලෙසුනු සිතින් කරණ දුශ්චරිත
පුද්ගලයාගේ කෙලෙසීමට හේතුවන අයුරු මෙසේ විස්තර වේ.
ස්ත්‍රියට දුශ්චරිතය කිලුටක් වන්නේ මෙසේය. ලස්සන රූපයෙන් යුක්ත වුනත්
විවිධ මුතු මැණික්, රන්, රිදී ආදියෙන් සිරුර සරසාගෙන තිබුණත්
අනාචාරයෙහි හැසිරෙණ ස්ත්‍රිය අගය කරන්නේ නැත. එවැනි ස්ත්‍රියට
හැමදෙනාගේම අපහාසය ලැබෙයි. මෙහි මුලින් සදහන් කළ ගාථාවන්ගෙන් ප්‍රකාශවන
විස්තරය මෙහි කෙටියෙන් සඳහන් කරමි.
ස්ත්‍රියට දුසිරිත කිලුටකි
දුශ්චරිතය යනුවෙන් හඳුන්වන්නේ නරක හැසිරීමය. එවැනි තැනැත්තියට යහපත්
චරිතයක් ඇති අය ගරු නොකරයි.පිලිකුල් කරයි.කිලුටු චරිතයක් ඇති භාර්යාව
නිසා අඹුසැමියන් අතර සමගිය, සමාදානය දියුණුව ඇති නොවේ. එම නිසා
පවුල්අවුල් වීමටත්, දරුවන් නොමග යාමටත්, තමන්ගේ මෙලොව, පරලොව
පිරිහීමටත් අනාචාරය හේතුවන බව තේරුම්ගෙන සැම ස්ත්‍රියක්ම පතිවත මනාව
රැක ගන්නට සිතිය යුතුය. එවිට පිරිසුදු ජීවිතයක් ඇතිකර ගත හැකිය.
දන් දෙන අයට ලෝභය කිලුටකි
ලෝභය යනු තමන්ගේ සම්පත් අන් අයට නොදී,නොපෙනෙනසේ සඟාව තබා ගැනීමේ
චේතනාවයි. යම් අවස්ථාවක දන්දෙන්නට සිතන විට යටි සිතේ තැන්පත් වී ඇති
දැඩි ලෝභ සිතිවිල්ල මතු වී පරිත්‍යාග චේතනාව කිලිටි කරයි. තමන්ට ලැබෙන
දේපළ වලින් ප්‍රයෝජනය ගන්නා ක්‍රම දෙකක් ඇත.එනම් තමන්ගේ යහපත සඳහා
පරිභෝග කිරීම සහ අන් අයගේ යහපත සඳහා පරිභෝග කිරීම සහ අන් අයගේ යහපත
සඳහා පරිත්‍යග කිරීමය. යමෙක් මෙම ක්‍රම දෙක අනුගමනය නොකරන්නේ නම් ඔහුගේ
දේපළ වලින් කිසිම ප්‍රයෝජනයක් නැත්තේය. මේ බව නොදත් මනුෂ්‍යයන් තමන්
දුකසේ සපයාගත් දෙය දැඩි ලෝභයෙන් පොදි බැඳගෙන නැති බැරි අයට පරිත්‍යාග
නොකර දන්දීම ආදි පින්දහම් නොකර හිස් අතින් පරලොව යති.
සමහර මසුරෝ තම ඤාතීන්ටවත් තම දරු මුණු පුරන්ගේ යහපත සඳහාවත් පරිත්‍යාග
නො කරති. ඤාතීන්ට සංග්‍රහ කිරීම උතුම් මංගල කරුණකි. තම දරුවන්ට
පරිත්‍යාග කිරීමද යුතුකමකි. මංගල කරුණකි. දන්දීමද දෙව්ලොව යාමට
හිණිමගක් බව දානං සග්ගස්ස සොපානං” යන දේශනාවෙන් පැහැදිලි වෙයි. මෙම
කරුණු අවබෝධ කරගෙන දැඩි ලෝභය දුරුකරගෙන නිවන් දකින තුරු පිරිසුදු
ජීවිතයක් ගතකර ගන්නට අදිටන් කර ගනිමු.
අකුසල නිසා දෙලොවම කිලුටු වෙති
සතුන් මැරීම,සොරකම් කිරීම ඇතුළු පස් පව් සහ දස අකුසලයන් පාප කර්මයන්ය.
එම සියලුම පව් මනුෂ්‍යයාගේ කිලුටු වීමට හේතු වේ. මෙවැනි පාපයන් යමෙක්
කරන්නේ නම් ඔහු මෙලොවදීම දුකට පත්වෙයි. සිල්වත්, ගුණවත් උතුමන්ගේ
පිළිකුලයට භාජනය වෙයි. මරණින් පසු සතර අපායවල ඉපදී අනන්ත දීර්ඝ කාලයක්
දුක් විදියි.
යමෙක් යම් පාපයක් කළේ නම් එහි විපාකයෙන් මිදීමට අහසෙහිද තැනක් නැත.
මුහුද මැදද තැනක් නැත. පර්වත කුහරයක්වත් නැත. මහපොළවෙහිවත් තැනක්
නැත.මේ බව බුදුපියාණන් වහන්සේ දේශනා කරණ ලද ධම්මපදයේ පාප වර්ගයේ එන
න අන්තලික්ඛේ න සමුද්දමජ්කේධ
න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජති සො ජගතිප්ප දෙසො
යත්තට්ඨිතො මුඤ්චෙය්‍ය පාපකම්මා
යන ගාථාවෙන් පැහැදිලි වෙයි. එම නිසා දෙලොවම කිලුටු වන අකුශලයන් නොකර
ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා සහ දශ පින් කිරියවත් ආදිය කරමින් පිරිසුදු
ජීවිතයක් ගත කරමු.
අවිද්‍යාව මහා කිලුටකි
අවිද්‍යාව යනු නොදන්නා කමය. එනම් දුක ගැන නො දැනීම, දුකට හේතුව ගැන නො
දැනීම, දුක නැති කිරීම ගැන නො දැනීම, දුක නැති කිරීම සඳහා අනුගමනය කළ
යුතු ආර්ය අෂ්ඨාංගික මාර්ගය ගැන නොදැනීම යන සතර ආර්ය සත්‍ය ගැන නොදන්නා
කමය. එසේම නැවත උපදින බව සහ නැවත ඉපදීමට හේතු පැහැදිලි කර ඇති පටිච්ච
සමුප්පාද ධර්මය ගැන නොදන්නා කමද අවිද්‍යාවය. එසේම , කය, වචනය, සිත යන
තිදොරින් කුසල් නොකර, අකුසල් කරන්නේත් අවිද්‍යාව නමැති මෝඩකම නිසාය.
එසේම සත්වයා පස්කම් සැපයට පොලඹවන්නේත් සත්වයාගේ චිත්තසන්තානය විවිධ
කෙලෙස් වලින් දූෂණය වන්නේද මෙම අවිද්‍යාව නිසාය.
එම නිසා, මෙහි ඉහත සඳහන් කරණ ලද සියලුම කිලුටුවලට වඩා අවිද්‍යාව මහා
කිලුටක් බව පැහැදිලි වෙයි. සියලු දුක්වලට මුල්වන්නේද අවිද්‍යාවය. එම
නිසා අවිද්‍යාව නැති කරගෙන ප්‍රඥාව වර්ධනය කරගෙන,ආර්ය අෂ්ඨාංගික මාර්ගය
අනුගමනය කරමින් පිරිසුදු ජීවිතයක් ගත කරන්නට උත්සාහ ගනිමු.
පිරිසුදු වන්න
ඉහත සඳහන් කරණලද සියලු කිලුටු වලින් සත්වයාගේ සිත අපිරිසුදු වෙයි. එවිට
ඔහුගේ දෙලොවම අනන්ත දුක්වලින් පිරී පවතී. එම නිසා සිතේ හටගත් සියලු
කිලුට සෝදා හැර නියම පිරිසුදු ජීවිතයක් ඇතිකර ගනිමු.මේ බව ධම්මපදයේ ‘මල
වග්ගයේ එන
අනු පුබ්බේන මෙධාවි
ථොක ථොකං බණෙ බණෙ
කම්මාරො රජතස්සෙව
නිද්ධමෙ මල මත්තනො
මෙම ගාථාවෙන් පැවසෙන ආකාරයට පණ්ඩිතයා රන්කරුවා රිදියෙහි මලකඩ
සුද්ධකරන්නාක් මෙන්,මොහොතක් පාසා ටිකෙන් ටික පිළිවෙළින් තමන්ගේ් කෙලෙස්
මල ඉවත් කරගෙන සෝවාන් ආදි මග ඵල ලබාගෙන, පිරිසුදු ජීවිතයක් ගත කරමු. |