සේවක අයිතිය සුරකින
බොදු පිළිවෙත
මහනුවර අස්ගිරි මහා විහාරීය
කාරක සංඝ සභික
මැදගම ධම්මානන්ද හිමි
සමාජයේ යහපත වෙනුවෙන් ශ්‍රමය වැයකරන ජනතාවගේ අයිතිවාසිකම් හා ඔවුන්ගේ
ශක්තිය ඉස්මතු කර දැක්වීම සඳහා ලෝකයේ බොහෝ රටවල විවිධ වැඩසටහන් හා නීති
ක්‍රියාත්මක වෙයි. සෑම වසරකම මැයි 01 වනදා කම්කරු දිනය වශයෙන් සම්මත
කරගෙන ඇත. නමුත් එදින බොහෝ විට දකින්නට ලැබෙන්නේ නොයෙකුත් රැකියාවන්හි
නිරත සේවකයන් සහ ඔවුන්ගේ ශ්‍රමය ලබාගන්නා හාම්පුතුන් අතර ද්වේෂය හා
වෛරය වැඩෙන අන්දමේ ක්‍රියාකාරකම් ය.
බුදුරදුන් ලොව පහළ වූ කාලයේ මිනිසුන්ට ජීවන වෘත්තියක් තෝරාගැනීමේදී
කුලභේදයට යටත් වන්නට සිදුවුණි. බුදුරදුන් පැහැදිලි කළේ සත්ත්ව
කොට්ඨාශයක් වශයෙන් සියලු මිනිසුන් එක සමාන බවයි. රැකියාවන් අනුව
මිනිසුන් උස් පහත් කොට සැලකිය නොහැකි බවයි. තමන්ගේ හැකියාව හා කැමැත්ත
අනුව රැකියාවක් තෝරගන්නට සෑම මිනිසකුටම අයිතියක් තිබේ. සමාජය තුළ කලින්
කලට මතුවන අවශ්‍යතාවයන් මුල් කරගෙන නොයෙකුත් අන්දමේ රැකියාවන් නිර්මාණය
වෙයි. කිසියම් පුද්ගලයකු තවත් කෙනෙකුට සපයන සේවාව සඳහා වේතනයක් ගෙවීමට
අතීතයේ පටන් මිනිසුන් පුරුදු වී ඇත. එය දේව නියමයකින් නොව මිනිසුන්ගේ
එකඟතාවයකින් සිදුවූවකි. ඒ බව අග්ගඤ්ඤ සූත්‍රයෙන් පැහැදිලි වෙයි.
බුදුදහම අනුමත කරන්නේ සුහදත්වයෙන් හා එකඟතාවයෙන් සිදුකෙරෙන සේවය සැපයීම
හා ලබාගැනීමයි. සේවයට සරිලන වැටුපක් ලබා නොදීම හැඳින්වෙන්නේ ශ්‍රමය
සූරාකෑම වශයෙනි.
කම්කරු ශ්‍රමයේ අගය හා අභිමානය පිළිබඳව ලෝකයේ මුලින්ම කරුණු ඉදිරිපත්
කරන ලද්දේ බුදුරජාණන් වහන්සේ විසිනි. ඒ සම්බන්ධයෙන් උන්වහන්සේ දැරූ
අදහස් වර්තමාන සමාජයේ පැහැදිලි කිරීම් හා අර්ථ කථනවලට වඩා වෙනස්ය.
කම්කරුවකුගේ අයිතිවාසිකම වෙනුවට උන්වහන්සේ පෙන්වා දුන්නේ කම්කරුවා
හෙවත් සේවකයා විසින් ස්වාමියා සඳහා ඉටුකළ යුතු වූ යුතුකම් ය. ඔහු තම
යුතුකම් නොපිරිහෙළා ඉටු කළ විට ස්වාමියාගෙන්ද සේවකයාට අදාළ යුතුකම්
කොටස ඉෂ්ට වෙයි.කිසියම් පාර්ශ්වයක් තමන්ගේ යුතුකම් කොටස නිසි ආකාරයෙන්
ඉටු නොකොට තමන්ට ලැබිය යුතු අයිතිවාසිකම් පමණක් බලාපොරොත්තු වීම වරදකි.
සේවකයන්ගේ අයිතිවාසිකම් ගැන කථා කරන සමාජය හාම්පුතුන්ගේ අයිතිවාසිකම්
ගැන සඳහන් නොකරයි.
සේව්‍ය -සේවක දෙපාර්ශ්වය අතර සුහදත්වය හා එකඟතාව මත, දෙපාර්ශ්වයේම
ආර්ථික දියුණුව සඳහා ක්‍රියා කළ යුතු ආකාරය ත්‍රිපිටකයේ සඳහන්
ව්‍යග්ගපජ්ජ, සිගාලෝවාද, කූටදන්ත වැනි සූත්‍රවලින් පැහැදිලි වෙයි.
පුද්ගලයකු ධනය උපයා ගැනීමත්, අඹුදරුවන් පෝෂණය කිරීමත් සිදුකළ යුත්තේ
ධාර්මිකව උපයා සපයා ගත් වස්තුවෙනි. ඒ බව කූටදන්ත සූත්‍රයේ දැක්වේ.
1.උට්ඨාන විරියාධිගතේහි – උත්සාහ වීර්යයෙන් යුතුව
2. බාහාබලපරිචිතේහි සේදාවක්ඛිත්තේහි – බාහු බලයෙන් හා දහඩිය
වගුරුවාලීමෙන්
3. ධම්මිකේහි ධම්මලද්දේහි – දැහැමි මාර්ගයකින් ලබාගත් ධනයෙන් ජීවත් විය
යුතුය. එහි අර්ථය, නම්, ස්වාමි –සේවක යන කවරකුට වුවත්, අසාධාරණ වංචා
සහගත ක්‍රමවලින් හා අනුන් තලා පෙළා ශ්‍රමය සුරාකෑම මගින් ධනය රැස්කිරීම
වරදක් බවයි.
තරාතිරම කුමක් වුවද, කුමන අන්දමේ රැකියාවක නිරත වුවද, කිසියම්
පුද්ගලයකු උපයන වැටුපට නිත්‍යානුකූල හිමිකරුවකු වන්නේ එය ධාර්මිකව
ලබාගත්තොත් පමණි. තමන්ගේ ශ්‍රමය පිළිබඳව අභිමානයෙන් කථා කිරීමට ඔහුට
හැකිවන්නේ එවිටයි. එසේ ධාර්මික වූ යහපත් ජීවන රටාව බුදුරදුන් පැහැදිලි
කොට ඇත. ඒ අනුව සත්ත්ව ලෝකයේ හා සමාජ පරිසරයේ පැවැත්මට බාධාවක් නොවන,
වංචනික උපායන්ගෙන් තොර වූ රැකියාවක් යෙදීම ධාර්මික ජීවන ප්‍රතිපදාවයි.
බුදුරදුන් පෙන්වා දුන් ස්වාමි – සේවක යුතුකම් නැතිනම් අන්‍යෝන්‍ය
අයිතිවාසිකම් සුරැකීම යනු සුහදත්වය හා විශ්වාසය මත ඉබේම ක්‍රියාත්මක වන
හෙවත් ස්වයං සිද්ධ ක්‍රියාදාමයකි. ස්වාමි -සේවක දෙපිරිස අතර අන්‍යෝන්‍ය
ගරුත්වය හා විශ්වාසය වැඩෙන අයුරින් කටයුතු කිරීමෙන් දෙපාර්ශ්වයේම
දියුණුව සැලසෙයි. සි¼ගාලෝවාද සූත්‍රයේ දිසා නමස්කාරය යටතේ් බුදුරදුන්
පෙන්වා දී තිබෙන අන්දමට සේවකයා යනු ස්වාමියාගෙන් ගරු බුහුමන් ලබන
කෙනෙකි. ස්වාමියාගේ ආර්ථික ශක්තිය සේවකයා මත රඳා පවතියි.එනිසා
පුද්ගලයකු විසින් නමැදිය යුතු යට දිසාව නියෝජනය කරන්නේ සේවකයා
යි.සේවකයකුට ස්වාමියාගෙන් බුහුමන් ලැබෙන්නේ අදාළ යුතුකම් ඉටුකළොත්
පමණි.
1. ස්වාමියාට කලින් නින්දෙන් අවදිවීම
2. නිවසේ වැඩ අවසන් කර නිදාගැනීම
3. ලබන වැටුපට සරිලන සේවය ලබාදීම
4. තමන්ට පැවරුන වැඩ කටයුතු මැනවින් කිරීම
5 .ස්වාමියාගේ ගුණ පැතිරවීම
මෙම යුතුකම් නිවසක කටයුතු කරන සේවකයකුට අදාළ ඒවායි. නමුත් කිසියම්
ආයතනයක සේවකයකුට වුවද ඒවා ගැලපෙයි.
1. නියමිත වේලාවට සේවයට පැමිණීම
2. සේවා කාලයෙන් පසු පිටවීම
3. අවංකව සේවය සැපයීම
4. කැපවීමෙන් සේවය කිරීම
5. ආයතනයේ කීර්තිය රැකීම
හාම්පුතකුගේ අයිතිවාසිකම් ලෙස සේවක යුතුකම් හැඳින්විය හැක. ස්වාමියාගේ
යුතුකම් ද සි¼ගාලෝවාද සූත්‍රයේ දැක්වේ.
1. සේවකයාගේ දක්ෂකම් අනුව වැඩ පැවරීම හා උසස්වීම් ලබාදීම
2. සේවයට ප්‍රමාණවත් වැටුපක් ගෙවීම
3. අසනීපයක් හෝ කරදරයක් වූ විට උපකාර කිරීම
4. රසවත් ආහාරපාන ආදිය ලබාදීම
5. සුදුසු කාලයෙහි නිවාඩු හා විශ්‍රාම දීම
වර්තමානයෙහි සේවක අයිතිවාසිකම් ලෙස දැක්වෙන්නේ ස්වාමියකුගෙන් නැතිනම්
ආයතනයකින් ඉටුවිය යුතු මෙම යුතුකම් කොටසය. වෘත්තීය අරගල, වර්ජන
සිදුවන්නේ ඇතිවන්නේ හාම්පුතුන්ගෙන් සේවකයන්ට මෙම යුතුකම් ඉටුනොවීම
හේතුවෙනි. බුදුරදුන් කූටදන්ත සූත්‍රයේ කම්කරු අරගල හඳුන්වා තිබෙන්නේ
දස්සුඛීල යන වචනයෙනි. කම්කරු උද්ඝෝෂණ ඇති නොවීමට නම්, ඔවුන්ගේ සේවයට
ප්‍රමාණවත් වැටුප් හා පහසුකම් ලබාදිය යුතු ය. දිළිඳුකම නැති කරගැනීම
සඳහා ජනතාවට අවශ්‍ය ධනය උපයා ගැනීමේ මාර්ග සලස්වා දීම රාජ්‍ය පාලකයන්ගේ
වගකීමකි. නමුත් නොමිලේ සහනාධාර බෙදාදීම ඒ සඳහා සාර්ථක ක්‍රමයක් නොවේ
.සහනාධාර නිමා වූ පසු නැවතත් සොරමැරකම් කිරීමට හා රජයට එරෙහිව උද්ඝෝෂණ
කරන්නට මිනිසුන් පෙළෙඹෙන බව කූටදන්ත සූත්‍රයේ සඳහන් වෙයි. මිනිසුන්ට
වුවමනා ශ්‍රමය වැයකර ධනය උපයාගැනීමේ මාර්ගයකි ජනතාව සුඛිත මුදිත වූ විට
හොරමැරකම් සිදු නොවේ. එවැනි සමාජයක වෙසෙන මිනිසුන් නිවෙස්වල දොර කවුළු
වසන්නේ නැත. මව්වරුන්ගේ ඇකයෙහි කෙළි දෙළෙන් නටන දරුවන් සමග එම සමාජයේ
ජනතාව පී‍්‍රතියෙන් ජීවත්වන බව චක්කවත්ති සීහනාද සූත්‍රයේ දැක්වෙයි.
කිසියම් කෙනෙකුට සේවය සැලසූ තිරිසන් සතුන් පවා වයස් ගත වූ පසු රැකබලා
ගත යුතු බව බුදුරදුන් කොසොල් රජුට පෙන්වා දුන්නේ වයස් ගතව අසරණ වූ
භද්‍රවතිකා ඇතින්න මුල්කරගෙනයි. ශරීර ශක්තිය ඇති කළ ගොවිතැන්
කටයුතුවලින් හා කිරි ලබාදීමෙන් තමන්ට සේවය කළ ගවයන් හා මී ගවයන්ද, ගේ
දොර ආරක්‍ෂා කළ සුනඛයන්ද හොඳින් රැකබලා ගැනීම සද්පුරුෂ මනුෂ්‍යයන්ගේ
ස්වභාවයකි. අතීතයේ අපේ රජවරුන් මිනිසුන්ගෙන් ශ්‍රමය බලහත්කාරයෙන්
ලබාගෙන වැව්, දාගැබ් ආදිය ඉදිකළ බවට වැරැදි අදහසක් ඇතැමුන් තුළ පවතියි.
රුවන්වැලි සැය ඉදිකිරීමේ දි දුටුගැමුණු රජතුමා එතුමා කම්කරුවන්ට සැලකූ
හැටි මහාවංශයෙහි විස්තර වේ. සේවයේ යෙදුන සියලුම කම්කරුවන්ට රජතුමා බත්
හා වැටුප් දුන්නේය. කැම බීම හා බුලත් සැපයීමට වැඩබිමේ හතර පැත්තේ
දන්සැල් හතරක් පිහිටුවා තිබුණි. වැඩ නිම වී පියා එනතුරු මග බලා සිටින
දරුවන් සඳහා නිවසට ගෙනයාම සඳහා කම්කරුවන්ට රසකැවිලි ලබාදුන් බවද සඳහන්
වෙයි.රුවන්වැලි මහ සෑය සෑදීමට රහසින් ගඩොල් තැබූ කට්ඨාහල පිරිවෙනේ
භික්ෂුවකට පිරිකරක් පිදීමෙන්ද තවත් ආගන්තුක භික්ෂුවකට මහ බෝ පුදන්නට
දෑසමන් කළ තුනක් ලබා දීමෙන් ද දුටුගැමුණු රජතුමා උන්වහන්සේලාගේ ශ්‍රමය
වෙනුවෙන් ණය ගෙවූ බව මහාවංශයේ දැක්වෙයි. අපේ බෞද්ධ රජවරුන් බුදුදහමට
අනුකූලව රාජ්‍ය පාලනය කළ බව එයින් පැහැදිලි වෙයි.
|