සැප විඳින්නට බොදු පිළිවෙත්
කුරුණෑගල විසුද්ධායතන විද්‍යායතන පිරිවෙනේ ආචාර්ය, ශාස්ත්‍රපති
වික්‍රමසිංහ අතපත්තු
සෑම සත්ත්වයෙකුගේම ලෞකික අපේක්‍ෂාව හා බලාපොරොත්තුව සැපසේ ජීවත් වීමයි.
දුක යටපත් කොට සැප වැළඳගෙන සුඛෝපභෝගී ජීවන රටාවකට සිහින මවන පුහුදුන්
මිනිසා සදාකාලිකව ම සැරිසරන්නේ සැබෑ ලොවක නොව මවාගත් මනෝ ලෝකයකයි.
බුදුදහම සැපය පිළිබඳව දක්වන ආකල්පය කුමක්දැයි විමසා බලමු. ප්‍රාග්
බෞද්ධ භාරතීය සමාජයේ ආත්ම විමුක්තිය උදෙසා පිළිවෙත් දෙකක් නිර්දේශ වී
තිබුණි. එනම්,
අත්‍ථ කිලමතානු යෝගය, කාම සුඛල්ලිකානු යෝගය
යනුවෙන් ඉගැන්වෙන දුකින් සැප සෙවීම හා සැපෙන් සැප සෙවීමේ පිළිවෙතයි.
මෙම ප්‍රතිපත්ති දෙකම බැහැර කොට පැහැදිලි ඉගැන්වීම් ක්‍රමයක්
බුදුසමයෙන් හඳුන්වාදෙයි. එය මැදුම් පිළිවෙතයි. පෘථග්ජන ලෝකයා සැපය
යන්නෙන් අදහස් කරන්නේ පසිඳුරන් පිනවීම නම් වූ ලෞකික සුවයයි. “සුඛ
කාමානි භූතානි” සියලු සත්ත්වයෝ සැප කැමති වෙති. “දුක්ඛ පටික්කුලා” දුක
පිළිකුල් කරති. බුදුදහමට අනුව සැප පිළිබඳව විවිධ ප්‍රභේද හඳුනාගත
හැකිය. එයින් එක් ඉගැන්වීමක් ලෙස දිට්ඨ ධම්ම සුඛ හා සම්පරායික සුඛ
දැක්විය හැකිය.
මෙලොවදී ලබන සැප දිට්ඨධම්ම සුඛ යන්නෙන් අදහස් වෙයි. ලෞකික ජීවිතය
සුවදායක කරගත යුතුය. දුක්ඛිතව අසරණව, නිවට නියාලුව, පරාජිතව විසිය යුතු
නොවේ. මෙලොවදී ලැබිය යුතු සුවපත්භාවය මෙලොව සැප පිණිස හේතුවෙයි.
සම්පරායික සුඛ යනුවෙන් දැක්වූ පරලොව සැප සඳහා මෙලොවදී ලබන මානසික සුව
සහනය බෙහෙවින් ඉවහල් වෙයි. කුසල පක්‍ෂයේ සංකල්පනා සමඟ තුන්දොර හසුරුවා
ජීවන සහනය උදාකරගත් පුද්ගලයා අනිවාර්යයෙන්ම සම්පරායික සුවය ලබන්නේ ය.
එහෙත් පරලොව සැප පතා මෙලොව දුක් විඳිය යුතුය යන්න ජෛන ඉගැන්වීම් ඇතැම්
බෞද්ධයෝ ද අනුගමනය කිරීමට පෙළඹී ඇත. අනාගතයේ සැප විඳිනු පිණිස දුක්
මහන්සිවී අලස නොවී ඉගෙන ගැනීම, ධනය හරිහම්බ කිරීම ආදී වෙහෙස මහන්සි
වීම් බෞද්ධ දර්ශනයට එකඟය.
ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මෙලොව සැප උදෙසා පිළිවෙත්
හතරක්ද, පරලොව සැප උදෙසා පිළිවෙත් හතරක්ද දේශනා කොට වදාළහ. එයින්
උට්ඨාන සම්පදා හෙවත් උත්සාහ සම්පත්තියත්, ආරක්‍ඛ සම්පදා හෙවත් ආරක්‍ෂා
සම්පත්තියත්, කල්‍යාණ මිත්තතා හෙවත් යහපත් මිත්‍ර ආශ්‍රය හා සමජීවිකතා
හෙවත් සමබර ජීවන පැවැත්ම මෙලොව සැප සම්පත් උදාකරදෙන ක්‍රමවේදයන් හතරකි.
සද්ධා සම්පදා, සීල සම්පදා, ත්‍යාග සම්පදා, පඤ්ඤා සම්පදා ලෙස ශ්‍රද්ධාව,
සීලය, පරිත්‍යාගය හා ප්‍රඥාව ගැන බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ පරලොව
සැපත සහතික කරන උදාරතම ක්‍රමවේදයක් හැටියටයි. බුදුදහම සැප පිළිබඳ සිදු
කරන විග්‍රහයන්වලදී ලෞකික සැප හා ලෝකෝත්තර සැප යනුවෙන් පැහැදිලි
බෙදීමක් සිදුවී ඇති බව අපි දකිමු. පසිඳුරන් පිනවා කායික වශයෙන්ද මානසික
වශයෙන්ද තෘප්තිමත්වීම ලෞකික සැපයයි. ගිහිසැප පැවිදි සැප ලෙස කරන ලද
බෙදීමට අනුවද ගිහිසැප අයත් වන්නේ ලෞකික සැප අතරටයි. කාමභෝගී සමාජය
ලෞකිකත්වයේ උපරිමය මායාවක් හා මුලාවක් බව නොදැන අධි සුඛෝපභෝගී ජීවන
ක්‍රමයකට තරග කිරීමෙන් දහසක් සමාජ ගැටලු උද්ගතව පවතී. මූලික අවශ්‍යතා
ඉක්මවා ගිය අසීමිත ආශාවන්ගෙන් දූෂිත වූ සමාජය අතෘප්තිකර මාවතක අතරමංවී
තිබේ. සැබෑ නොවන සිහින රැසක පැටලී සිටින ඔවුන් යන්තමින් හෝ මුදාගත
හැක්කේ ලෝකෝත්තර සුවය පිළිබඳ අවබෝධයක් හා ඊට සමීප කරවීමක් මගිනි.
පැවිදි සැප තුළ ඇත්තේ ගිහිගෙයින් නික්මී පැවිදි බව ලැබීම මඟින් සිතට
දැනෙන නොබැඳිබව නිසා දැනෙන නිවහල් සුවයයි. රැස් කරන්නට හෝ ආරක්‍ෂා
කරන්නට වස්තුවක් නොමැතිකමින් සිතට දැනෙන සැහැල්ලුකම ප්‍රඥා නුවණ වර්ධනය
කර ගැනීමට කදිම තෝතැන්නකි. ලෝභ, දෝස, මෝහ යන අකුසල මූලයන් සිත යටපත්
කොට පාලන බලය සියතට ගන්නේ රැකිය යුතු බාහිර සම්පත් වල තරමටය. රුපියලක
අයිතිය තහවුරු කිරීමට ඇති ලෝභ, දෝස, මෝහ ශක්තිය රුපියල් දාහක ධනයකදී
දහස් ගුණයකින් වැඩිවෙයි. සැප විඳීනවාට වඩා ධනය රැකීම පිළිබඳ වෙහෙසීමෙන්
රැස්වෙන අකුසල සම්භාරයන් මෙලොව පරලොව ආත්මීය උරුමයන් පරිහානිය කරා
පමුණුවාලයි.
පැවිදි සැපය තුළ මෙම ජයග්‍රාහී පසුබිම මැනැවින් ගොඩනඟා ගත හැකි ය. රැස්
කිරීමෙන් ලැබෙන විපත වෙනුවට අස් කිරීමෙන් ලැබෙන සැපත පැවිදි උතුමන්ගේ
උරුමයකි. අංගුත්තර නිකායේ අණන සූත්‍රයෙන් මෙලොවදී ලැබිය යුතු සැප හතරක්
ගැන කියවෙයි. එනම්,
අත්ථි සුඛ, භීග සුඛ, අණන සුඛ
අනවජ්ජ සුඛ යනුවෙනි. මා විසින් දැහැමිව උපයාගත් ප්‍රමාණවත් වස්තු
සම්පත්තියක් ඇතැයි සිතට දැනෙන පරිපූර්ණ හැඟීම අත්ථි සුඛයයි. ධනවතුන්
බොහෝ දෙනා මට ධනය ඇතැයි සිතා සෑහීමකට පත්ව තෘප්තිමත් නොවෙති.
අධිතෘෂ්ණාවෙන් යුතුව ධනේෂ්වර සංකල්ප වලින් පීඩිතව නොනවතින ගමනකට වැටී
වෙහෙසෙති. සත්‍ය වශයෙන්ම එතැන අÀථි සුඛය යටපත් වෙයි. මට ධනය ඇත යන අදහස
තුළින් තෘප්තිමත් විය හැක්කේ ලද දෙයින් සතුට ගොඩනඟාගත හැකි
ශ්‍රේෂ්ඨයෙකුට පමණි. අත්ථි සුඛය පෙර පිනටම පමණක් පහළවන සැපයක් නොවේ. එය
උත්සාහය හා උනන්දුව තුළින්ද ගොඩනගාගත හැකි සම්පතකි.
භෝග සුඛ යනුවෙන් හඳුන්වන්නේ තමා සතු ධනය මැනවින් පරිහරණය කිරීමට හා
භුක්තිවිඳීමට ලැබී ඇති අවස්ථාව අනුව සතුටු වීමයි. බොහෝ අයට ධනය ඇත.
පරිභෝග කිරීමේ අවස්ථාව නොමැත. අධික මසුරුකම නිසාද ලෝභයෙන් රැස්කර
තබාගන්නා ධනය පරිහරණය නොකර වියපත්වී මිය යන මසුරු සිටාණන් වැනි
තැනැත්තන් සමාජයේ දක්නට ලැබේ. එසේම ධනය ඇතත් නිසි කළමනාකරණ දැනුමක්
නොමැතිව ඒවා විනාශ වී යන අවස්ථාද ඇත. අÀථි සුඛයෙන් අර්ථවත් කළ “මට ධනය
ඇතැයි” සිතා සොම්නස් සහගතව පී‍්‍රතිමත් ජීවිතයක් ගත කරන ගිහි සමාජයට
භෝග සුඛය තුළින් ආත්ම වින්දනයක් උදාකර ගත හැකි බව බුදුසමයේ පැහැදිලිව
උගන්වා ඇත.
අණන සුඛ නම් ණය නැතිව වාසය කිරීමේ සතුටයි. තරගකාරී ආර්ථික ක්‍රමය තුළ
බොහෝදෙනා ජීවත්වන්නේ ණය බරින් යුක්තවයි. සිය ගේ දොර ඉඩකඩම් බොහෝමයක්
එකවර මුදල් යොදා හම්බකරගත් ප්‍රායෝගික දේවල් නොවේ. නිවාස ඉඩකඩම් ආදිය
උගසට තබා ණය ලබාගෙන ඒවා ගෙවාගත නොහැකිව සින්නවන අවස්ථා දක්නට ලැබේ.
පුද්ගලයන්ට හා ආයතන වලට ණය වී හිතේ නිදහස හා සැහැල්ලු බව විනාශ කර
ගන්නා සමාජය අණන සුඛයෙන් දුරස්ව කල් ගෙවයි. ආදායමට සරිලන වැයක්
පවත්වාගෙන යාමත් සැහැල්ලු දිවි පැවැත්මට හුරුවීමත් අත්‍යවශ්‍ය දේ පමණක්
මිලට ගැනීමත් චාම් දිවි පෙවෙතට හුරු පුරුදු වීමත් අණන සුඛය රැක ගැනීමට
නිවැරදි ක්‍රමයයි.
අනවජ්ජ සුඛ යනු නිවැරදි බව තුළින් දැනෙන තෘප්තියයි. වැරදි කරුවන්
නීතියට වහන් වී කෙතරම් සැප අනුභව කළත් චිත්තාභ්‍යන්තරයේ ඔවුන් කළ වැරදි
පිළිබඳ මතක සටහන් නිවි නිවී දැල්වී පවතී. ඉන් ඇතිවන පශ්චාත්තාපය හා
මානසික අසහනය ජීවිතයට ලබාදෙන පීඩාව සුළුපටු නොවේ. සෑම මිනිසෙකුටම තමා
කළ කී දේ පිළිබඳ මතක සටහන් ඇති වැරදි සිදුවීම් ගැන දැනෙන්නේ බලවත්
පීඩාවකි. සාර්ථක මිනිසෙක් මෙලොවදී ලබන සැපය නම් තම නිරවද්‍යතාවය ගැන
සිතට දැනෙන ආත්ම තෘප්තියයි.
බෞද්ධ ඉගැන්වීම් අනුව මෙවැනි සැප ලබමින් එන සංසාර ගමනේ අවසානයට ලබාගත
හැකි සැපය වන්නේ නිර්වාණ සුවයයි. “නිබ්බානං පරමං සුඛං” නිවන පරම
සැපතයි. ඉහත කී සියලු සැප වේදයිත හෙවත් විඳිනු ලබන සැප ලෙස සැලකේ. නිවන
පමණක් අවේදයිත හෙවත් නොවිඳින සුවයක් ලෙස සැලකේ. නොවිඳින්නේ නම් එය
සැපයක් වන්නේ කෙසේද? විඳීම තුළ ඇත්තේ දුක අරමුණු කරගත් තෘෂ්ණාවක පහළ
වීමයි. (වේදනා පච්චයා තණ්හා) තෘෂ්ණාව සැමවිටම දුකට ප්‍රත්‍යයකි.
එබැවින් සියලු විඳීම් අවසන් කොට නොවිඳිනා තැනකට සිත ගමන් කරවිය හැකිනම්
එතැන ඇත්තේ නිවනයි. නිවන උතුම්ම සැපය වන්නේ ඒ නිසා ය. |