UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 35 මන්තානිපුත්ත පුණ්ණ මහරහතන් වහන්සේ

පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 35

මන්තානිපුත්ත පුණ්ණ මහරහතන් වහන්සේ

සද්පුරුෂ ඇසුර කියන්නේ බුදු, පසේබුදු, මහරහතුන් ආදී ආර්ය උතුමන් විසින් බොහෝ සෙයින් වර්ණනාවට ලක් කළ දෙයක්. මක් නිසා ද යත් ? මේ ලෝකය තුළ සද්පුරුෂයෙකු බිහිකළ හැක්කේ තවත් සද්පුරුෂයෙකුට ම පමණක් වන නිසා ය. දෙවියන්, බඹුන්, මරුන් සහිත මේ දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයේ පහළ වී වදාළ පරමෝත්තම සද්පුරුෂයාණන් වහන්සේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ යි.

අද අප සිත පහදවා ගන්නේ මේ ගෞතම බුදු සසුනේ පහළ වී, වදාළ රහතුන්ගේ් දහම ලොවට පවසාලන ධර්ම කථිකයන් අතුරින් අග්‍ර වූ මන්තානිපුත්ත පුණ්ණ නම් උතුම් මහරතන් වහන්සේ ගැන යි.

මීට කල්ප ලක්ෂයකට පෙර සදහම් ඇස් ඇති පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකානුකම්පාවෙන් යුතුව දඹදිව හංසවතී නම් රාජධානියේ පහළ වී වදාළා. එකල ත්‍රිවේධ පරප්‍රාප්ත බ්‍රාහ්මණයෙකු ලෙස ඉපදී සිටි පුණ්ණ තෙරුන්හටද උන්වහන්සේ ගැන අසන්නට ලැබුණා. මේ බ්‍රාහ්මණයා තම දහස් සංඛ්‍යාත සිසු පිරිස ද සමඟින් පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට ගියා. එදින දම්සභා මණ්ඩපයේ වැඩ හිඳිමින් ලක්ෂ සංඛ්‍යාත පිරිසට දහම් දෙසා නිම වූ බුදුරජාණන් වහන්සේ රැස් ව සිටි භික්ෂු පිරිස අතුරින් එක් භික්ෂුවකට ‘මහණෙනි, මේ භික්ෂුව වනාහී මාගේ ශාසනයෙහි ධර්මකථිකයන් අතුරින් අග්‍රස්ථානය ලබන්නේ යැ’යි අගතනතුරක් ප්‍රදානය කොට වදාළා. රැස්ව සිටි ගිහි පැවිදි පිරිස සාධුකාර දෙමින්, එය අනුමෝදන් වෙද්දී සිසු පිරිසද කැටුව එහි පැමිණ සිටි බ්‍රාහ්මණයාට මෙබඳු අදහසක් ඇතිවුණා.

අහෝ අසිරියක්! මා හට ද අනාගතයේ පහළවන සම්බුදුරජාණන් වහන්සේ නමක් සමීපයේ පැවිදිව ධර්මකථිකයන් අතරින් අග්‍රභාවයට පත්වන්නට ඇත්නම් කොතරම් වාසනාවක් ද? කියා ඒ හටගත් පී‍්‍රති සිතින් යුතුව සත් දිනක් පුරාවට තමන්ගේ ආශ්‍රමයේදී බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා දැන්පැන් පූජා කළා. ඒ දානමය පින සිදුකිරීමෙන් ඔහුගේ අදහස වුණේ අනාගත බුදු සසුනක ධර්මකථිකයන් අතුරින් අග්‍ර භික්ෂුව වීම යි. මේ අයුරින් බුදු සසුනේ හටගත් පහන් සිත් ඇති මේ බ්‍රාහ්මණයා දිවි ඇති තෙක් පින්දහම් රැස් කළා. බුදු පාමොක් සඟරුවන විෂයෙහි කළ පූජාවෙන් රැස් වූ පිනෙන් ඔහු බොහෝ කල් දිව්‍ය සැප අනුභව කළා. සිව්මහා සමුදුරටම අගරජ වූ සක්විති පදවිය ද සතර වතාවක් ම ලැබුවා. එනමුත් තම පැතුම ඉටුවීම පිණිස මේ ඝෝරවූත්, කටුක වූත්, දුක්ඛිත සසර ගමනේ කල්ප ලක්ෂයක අතිදීර්ඝ ගමනක් පැමිණෙන්නට ඔහුට සිදුවුණා.

කල්ප ලක්ෂයක් ඇවෑමෙන් පහළ වූ මේ මහා භද්‍ර කල්පයේ ගෞතම අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලොව පහළ වී වදාළා. පුරන ලද පුණ්‍ය ධර්මයන්ගේ අනුහසින් කපිලවස්තු නුවර ‘ද්‍රෝණවත්ථු’ නම් ග්‍රාමයේ මහසල් බමුණු කුලයක මන්තානි නම් බැමිණියගේ කුසේ හෙතෙමේ පිළිසිඳ ගත්තා. උපතින්ම අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ගේ බෑණා වූ මේ කුමාරයා ‘පුණ්ණ’ නමින් හැඳින්වූවා. පුණ්ණ වයසිනුත්, දැනුමෙනුත් වැඩුණු කළ තම ගිහිකළ මාමා වූ අඤ්ඤාකොණ්ඤ්ඤ මහරහතන් වහන්සේ හමුවීමට ගියා. උන්වහන්සේ ද පුණ්ණ තරුණයාට භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ ශ්‍රී සද්ධර්මය මැනැවින් කියා දුන්නා. පුණ්ණ නුවණැත්තෙක්. ඒ වගේම පින්වන්ත කෙනෙක්. ඒ ඇසූ දහමට සිත් පැහැදුණා. ඉපදෙමින් මැරෙමින් දුක්විඳින සසර ගමන ගැන කලකිරුණා. ගිහි ජීවිතය අතහැර දමා ඒ අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ සමීපයේ දී බුදු සසුනේ උතුම් වූ පැවිදි උපසම්පදාව ලබා ගත්තා. මත්තානි බැමිණියගේ් පුත්‍රයා වූ බැවින් උන්වහන්සේ හැඳින්වූයේ මන්තානිපුත්ත පුණ්ණ ස්වාමින් වහන්සේ ලෙස යි. පුණ්ණ ස්වාමින් වහන්සේ ඉතා මැනවින් වත, ධර්ම විනය ප්‍රගුණ කළා. අනතුරුව උපාධ්‍යායන් වහන්සේගෙන් හා පිරිසෙන් වෙන් වූ පුණ්ණ හිමියන් අප්‍රමාදීව සමථ විදර්ශනා වඩා උතුම් වූ අරහත්වය සාක්ෂාත් කොට වදාළා.

ඒ වනවිට ජාතිභූ®මිය නම් නගරයේ වැඩ විසූ පුණ්ණ මහරහතන් වහන්සේ ගුණ රාවය අසන්නට ලැබී පන්සියයක් පමණ තරුණයින් පිරිසක් උන්වහන්සේ සමීපයේ පැවිදි උපසම්පදාවට පත්වුණා. ඒ පුණ්ණ මහරහතන් වහන්සේ ධර්ම කතාවෙන් අනුග්‍රහ දැක්වීමට අතිශය දක්ෂයි. උන්වහන්සේ අල්පේච්ජ ජීවිතයේ වටිනාකම ගැනත්, ලද දෙයින් සතුටුවීමේ වටිනාකම ගැනත්, පිරිස සමඟ නො ඇලීමේ වටිනාකම ගැනත්, වීර්ය ඇරඹීමේ වටිනාකම ගැනත් , සිල්වත් වූ ජීවිතය ගැනත්, සමාධියේ වටිනාකම ගැනත්, නුවණ මෙහෙයවා කටයුතු කිරීම ගැනත් , නිදහස් වූ බවට ඇති වන විමුක්ති ඤාණ දර්ශනය ගැනත් කියවෙන මේ උතුම් දස කතාවෙන් නිතර නිතර භික්ෂුන්ට අවවාද අනුශාසනා කළා.

ඒ අවවාදයන් මත පිහිටි භික්ෂූන් පන්සිය නම නොබෝ කලකින්ම උතුම් වූ අරහත්වයට පත් වී වදාළා. ඒ පන්සියයක් වූ භික්ෂූන් වහන්සේලා තමන්ගේ ආචාර්යන් වහන්සේ වූ පුණ්ණ මහරහතන් වහන්සේ වෙත පැමිණ වදාළා ‘ස්වාමිනි, අපේ පැවිදි කිස සම්පූර්ණ වුණා. අපට ශාස්තෘන් වන්සේ බැහැ දැකීම පිණිස යාමේ අදහසක් ඇතිවුණා. ඔබවහන්සේද අපත් සමඟ ශාස්තෘන් වහන්සේ බැහැ දැකීමට යන්නේ නම් මැනවි’. එවිට පුණ්ණ මහරහතන් වහන්සේ කල්පනා කළා, ‘මම පිරිසක් පිරිවරාගෙන ශාස්තෘන් වහන්සේ බැහැ දැකීමට යාම සුදුසු නැහැ. ඒ නිසා මේ පිරිස පළමුකොටම ශාස්තෘන් වහන්සේ බැහැ දකිත්වා! මම පසුව යන්නෙමි’ ඒ භික්ෂූන් ඇමතූ පුණ්ණ මහරහතන් වහන්සේ ‘පි‍්‍රය ආයුෂ්මතුන් වහන්සේලා පළමුකොට ශාස්තෘන් වහන්සේ බැහැ දකිත්වා! මාගේ වචනයෙන්ද ඒ උතුම් සිරි පා කමල් වන්දනා කරත්වා! මා පසුකලෙක පැමිණ ශාස්තෘන් වහන්සේ බැහැ දකින්නෙමි’ යි වදළා. තම ආචාර්යයන් වහන්සේට වන්දනා කළ ඒ පන්සියයක් භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේ බැහැ දැකීම පිණිස සැවැත් නුවර බලා පිටත්වුණා.

භාග්‍යවතුන් වහන්සේ හමු වූ ඒ පන්සියයක් භික්ෂූන් පිළිසඳරේ යෙදුණු බුදුරජාණන් වහන්සේ ‘මහණෙනි, ඔබ කොහි සිට පැමිණියේ දැයි’ විමසා සිටියා. ‘ස්වාමිනි අප ජාතිභූමියේ සිට පැමිණියෙමු’ ඒ ජාතිභූමියේ වැඩ වසන මන්තානිපුත්ත පුණ්ණ තෙරණුවෝ නිතර නිතර භික්ෂූන්හට දස කථාවෙන් අනුග්‍රහ දක්වන බවද පවසා සිටියා. එය ඇසූ ශාස්තෘන් වහන්සේ ‘සාධු සාධු පින්වත් මහණෙනි, දස කථාවෙන් අනුග්‍රහ දක්වන එබඳු භික්ෂුන් වැඩ සිටීම ලාභයක්ම යි! එබඳු භික්ෂුන්ගේ ඇසුරු කිරීම පවා ලාභයක්ම යි! මේ පින්වත් මන්තානිපුත්ත පුණ්ණයන් වනාහි සඟ පිරිසට ලාභයක්ම යි’ ආදී වශයෙන් පුණ්ණ තෙරුන්ගේ් ගුණ වර්ණනා කළා. ඒ භික්ෂු පිරිස අතර වැඩසිටි ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ගුණකතාව අසා මන්තානිපුත්ත පුණ්ණ තෙරුන් බැහැ දැකීමට අවස්ථාව ලදහොත් ඒ බව මට දැනුම් දෙන්නැයි අනිත් භික්ෂූන්ට පවසා සිටියා.

මේ අතර නොබෝ දිනකින්ම පුණ්ණ මහරහතන් වහන්සේද ශාස්තෘන් වහන්සේ බැහැ දැකීම පිණිස සැවැත්නුවරට වැඩම කළා. එදින උදෑසන කාලයේ ශාස්තෘන් වහන්සේව දැකබලා වන්දනා කොට පුණ්ණ මහරහතන් වහන්සේ දිවා විහරණය පිණිස අන්ධවනයට පිවිසුණා. ඒ බව දැනගත් සාරිපුත්ත මහරහතන් වහන්සේ අන්ධ වනයට පිවිසුණා. දිවා විහරණය ගතකොට භාවනාවෙන් නැඟී සිටි ඒ මහරහතන් වහන්සේලා අතර ඇතිවුණ ඒ සොඳුරු දහම පිළිසඳර මජ්ක්‍ධිම නිකාය 1 පොත් වහන්සේගේ ඕපම්ම වර්ගයේ ‘රථවිනීත සූත්‍රයේ’ ඇතුළත් වෙනවා.

පුණ්ණ මහරහතන් වහන්සේ මේ ලෝකයට බිහිවුණේ සද්පුරුෂ ඇසුර නිසාම යි. තමාත් සද්පුරුෂභාවයේ පිහිටා තමා සමීපයේ පැවිදි වූ පන්සිය දෙනෙකුටම ශ්‍රේෂ්ඨ සද්පුරුෂයන් කරවීමට පුණ්ණ මහරහතන් වහන්සේට හැකිවුණා. ඒ නිසාම උන්වහන්සේ වරක් භික්ෂුන්ට අවවාද කිරීමත් වශයෙනුත් සද්පුරුෂ ඇසුර වර්ණනා කිරීමත් වශයෙනුත් මේ උතුම් ගාථා රත්නය පවසා වදාළා.

සබ්භිරේ ව සමාසේථ – පණ්ඩිතේ හත්ථ දස්සි හී
අත්ථං මහත්තං ගම්භීරං - දුද්දසං නිපුණං අණුං
ධීරා සමධිගච්ඡන්ති - අප්පමත්තා විචක්මණා

ඇසුරු කළ යුත්තේ යහපත පෙන්වා දෙන නැණවත් සද්පුරුෂයන්ව යි. ඔවුන්ගේ නුවණ ඉතාම සියුම්. නො පමාව දහමේ හැසිරෙන, ඒ නුවණැති සද්පුරුෂයින් අවබෝධ කරගෙන තිබෙන්නේ පරම ගම්භීර වූ දැකීමට දුෂ්කර වූ සූක්ෂම අර්ථය වන චතුරාර්ය සත්‍යය යි.

චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස කෙනෙකුගේ සිත මෝරන්නට ඕන. ඒ සඳහා අනිවාර්යයෙන්ම දස කථාව අසන්නට ලැබෙන්නට ඕන. ඒ දසකථාව විසින් සිතේ ඇති අකුසල් සිතුවිලි බැහැර කරනවා. කුසලයට කැමැත්ත උපදවා දෙනවා. ඒ දසකථාව අසන්නට ලැබෙන්නේ සද්පුරුෂ වූ කළ්‍යාණ මිත්‍රයන්ගෙනු යි. මේ ලෝකයට පහළ වූ බුදුරජාණන් වහන්සේ හමුවේ දසකතාව ශ්‍රවණය කර අඤ්ඤාකොණ්ඩඤ්ඤ ආදී මහරහතන් වහන්සේලා බිහිවුණේ. ඒ රහතන් වහන්සේලාගේ දස කථාව ඇසීමෙනුයි ලෝකයට තව තවත් මහරහත් මාර්ගඵලලාභීන් බිහිවුණේ.

ඒ නිසාම තමා දස කථාවෙන් කළ අනුග්‍රහ කිරීම තථාගත බුදුරජාණන් වහන්සේ ප්‍රශංසාවට ලක් කොට වදාළේ. ඉතින් භික්ෂූ සංඝයා රැස්ව සිටි මොහොතක මන්තානිපුත්ත පුණ්ණ මහරහතන් වහන්සේ දුටු ශාස්තෘන් වහන්සේ ‘පින්වත් මහණෙනි, මාගේ ශ්‍රාවක භික්ෂූන් අතුරින් මේ මන්තානිපුත්ත පුණ්ණ ධර්මකථිකයන් අතුරින් අග්‍රභාවයට පත්වෙනවා! යි අග තනතුරුද ප්‍රදානය කොට වදාළා.

ඒ උතුම් මහරහතන් වහන්සේලා විසින් තම තමාගේ ජීවිත වලට දසකථාව ගලපා ගනිමින්, අන් අයටද ඒ දසකථාව කියා දෙමින් මේ තාක් කල් පැමිණි නිස යි. ඒ දස කතාව සහිත ශ්‍රී සද්ධර්මය අද වනතුරුත් ඉතිරි වී තිබෙන්නේ ඒ නිසා. අපත් ඒ උතුම් වූ මහරහතුන් ගැන සිත පහදවා ගනිමු. ඒ රහතුන් බිහිකළ දස කථාවෙන් පිරිපුන් ශ්‍රී සද්ධර්මය ගැනද සිත පහදවා ගනිමු. ඒ දහම ලොවට විවිර කළ ධර්මස්වාමි වූ බුදුරජාණන් වහන්සේ ගැන අපේ සිත පහදවා ගනිමු.


පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 34 සානු මහරහතන් වහන්සේ

 

බක් අව අටවක පෝය

බක් අව අටවක පෝය අප්‍රේල් මස 22 වැනිදා අඟහරුවාදා
පූර්වභාග 02.30 ට ලබයි.
23 වැනිදා බදාදා පූර්වභාග 00.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 22 වැනිදා අඟහරුවාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 28 වැනිදා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 22

New Moonඅමාවක

අප්‍රේල් 28

First Quarterපුර අටවක

මැයි 07

Full Moonපසෙලාස්වක

මැයි 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]