නිරෝගි දිවියකට
සතිපට්ඨානය
දිව ඔසුවක්
මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර
තුන් සූත්‍රය, දම්සක් පැවතුම් සූත්‍රය මෙන් ම ජය පිරිත ද ජනමාධ්‍යයන්
වෙතින් මෙන් ම මඟ යන එන විට විහාරස්ථාන සහ වෙළෙඳ සැල් වෙතින්ද නිතර
විකාශනය වෙනු අසන්නට ලැබේ. එමෙන් ම නිවසේදි ඒවා විද්‍යුත් වාදන උපකරණ
ඇසුරෙන් සවන් දීමද සිරිතක් ලෙස ජනපි‍්‍රයය.
එහෙත් සතිපට්ඨාන සූත්‍රය සජ්ඣායනය කරන අවස්ථා මෙන්ම යාන්ත්‍රිකව
ප්‍රතිවාදනය කරනු අසන්නට ලැබීම ද විරල බව අප කවුරුත් දන්නා කරුණකි.
බොහෝ විට එවැන්නක් සිදුකරන්නේ අවමංගල්‍ය අවස්ථාවන්හි නොවේද? එහෙත්
ලක්දිව සුපතළ, වෙද පරපුරක සුව අසපුවකට ගිය අවස්ථාවේ සායන සඳහා පැමිණෙන
පිරිසට සතිපට්ඨාන සූත්‍රයට ද සවන් දෙන්නට අවස්ථාව ලබා දී තිබෙන අයුරු
දැකීමෙන් මම විස්මයට පත් වීමි. එය එම වෛද්‍ය මධ්‍යස්ථානයෙහි දිනපතා ම
උදෑසන තෙරුවන් නැමදීමෙන් පසු නොකඩවා සිදු කෙරෙන චාරිත්‍රයක් බවද දැන
ගන්නට ලැබිණි. රෝග සුවය සඳහා සතිපට්ඨාන සූත්‍රයෙහි අදාළත්වයක් තිබේද?
මඩකඩ ආරණ්‍ය සේනාසනය වැනි ස්ථානවල භාවනානුයෝගීව වැඩවසන සිල්වත් මහ
තෙරවරුන් ඇසුරු කරන පින්වත් වෙද පරපුරක දීප්තිමත් පුරුකක් වූ එම
වෙදදුරු තුමා මේ සූත්‍රය තම රෝගීනට සායන සහ ප්‍රතිකර්ම අතරතුර සවන්
දෙන්නට සලසා ඇත්තේ නිකරුණේ විය නොහැකිය.සතිපට්ඨාන සූත්‍රයෙහි ඉගැන්වෙන
භාවනා ක්‍රමය කායික මෙන්ම මානසික සෞඛ්‍යය කෙරෙහි සුවිශේෂී අදාළත්වයක්
පවතින බව බොහෝ වෛද්‍ය පර්යේෂණ මගින් සනාථ කර ඇති බව දන්නා නිසා බව
නිසැකය.
පිරිත් සූත්‍රවලට සවන් දීම කායික සහ මානසික සුවපත් බව සඳහා මහෝපකාරි වන
බව විද්‍යාත්මකව ද සනාථ කළ සත්‍යයකි. පිරිත් සූත්‍රවල අන්තර්ගත
සත්‍යයන්හි බලය අපේ නිරෝගි බව සඳහා සත්‍යක්‍රියාවක් ලෙස සක්‍රිය කිරීම
සදහා “එතේන සච්ච වජ්ජේන සබ්බරෝගෝ විනස්සතු” යන වාක්‍යය සෑම සූත්‍රයක
අවසානයේදි ම තෙවරක් සජ්ඣායනය කරනු ලැබේ. ත්‍රිවිධ රත්නයෙහි අසිරිමත්
ගුණය මෙන්ම සජ්ඣායනය කරන්නාගේ මෙත් කරුණා සිතිවිලිවල ආශිර්වාදාත්මක
ශක්තියද පිරිතෙහි බල මහිමය හා එක් වෙයි.කාරුණිකව ශෛලීගත ස්වරයෙන්
සජ්ඣායනය කරන විට ජනිත වන ශබ්ද තරංගයන්හි භෞතිකව ජනිත වන ශක්තිය ද
ආරෝග්‍ය විෂයෙහි මහත් බලපෑමක් කරන බව සොයා ගෙන තිබේ.පිරිත් ආසිරි බලය
වෘක්ෂලතාවන්හි වර්ධනය සඳහා ධනාත්මක අයුරින් ක්‍රියාත්මක වන බව මෑතකදී
ශ්‍රී‍්‍ර ලංකාවේ පලතුරු වගාවක් විෂයෙහි කළ අධ්‍යයනයකදී ද සනාථ වී ඇති
බව වාර්තා විය.සියලු පරිත්‍රාණ දේශනාවන්හි මෙන්ම සතිපට්ඨාන සූත්‍රයෙහි
ද මෙකී සියලු සාධනීය ආශිර්වාදයන් ගැබ් වී ඇති බව නිසැකය.
එතකුදු වුවත් සිය සායනය තුළ වෙනත් සූත්‍රයකට වඩා සතිපට්ඨාන සූත්‍රයම
ශ්‍රවණය සඳහා සුදුසුයැයි තෝරා ගැනීමට වෛද්‍යවරයෙකු පෙළැඹීමට විශේෂ
හේතුවක් තිබේද? සැබවින්ම සූත්‍රයෙහි අන්තර්ගතය ඒ සඳාහා ප්‍රබල සාධකයක්
වූ බව සිතිය හැකිය. වෛද්‍ය සායනයකදි සවන් දෙන්නට ලැබීම මගින් අසන්නන්ගේ
සිත සුත්‍රයෙහි අන්තර්ගත සතිපට්ඨාන ශික්ෂණය කෙරේ යොමුවන්නට බෙහෙවින් ඉඩ
තිබේ. සතිපට්ඨාන සූත්‍රය දේශනා කළ අවස්ථාවේදී බුදුරදුන් වදාරා ඇත්තේ එය
දුක් දොම්නස් දුරු කිරීමට ඇති එකායන මාර්ගය බවයි. එමගින් සසර දුක් නිවා
නිවන් සුව අත් පත් කර ගත හැකි අතරම සසර පුරා අප අත් විඳීන කායික මානසික
අසහන සහ රෝග දුක්වලින් ද සහනයක් ලද හැකි බව සනාථ වී තිබේ. ඒ
පිළිබඳ සිය අත්දැකීම් හෙළි කර ඇත්තේ වෛද්‍යවරුන් වීම විශේෂයෙන්
වැදගත්ය.
අමෙරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් සරසවියේ වෛද්‍ය විද්‍යාලයෙහි ආතති
සමන සායනික සතිපට්ඨාන වෛද්‍ය මධ්‍යස්ථානය ආරම්භ කළ වෛද්‍ය විද්‍යා
මහාචාර්ය පොත් කබත්සිං සතිපට්ඨාන සූත්‍රය නිරෝගි ජීවිතයක් සඳහා අදාළ කර
ගැනීම පිළිබඳව කීර්තියක් උසුලන වෛද්‍යවරයෙකි. ඔහු පවසන්නේ මොන දේ කළත්
භාවනාවක් නොකරන පුද්ගලයන්ගේ ජීවිතවල ලොකු අඩුවක් තිබෙන බව තමන්ට හැඟෙන
බවයි. මනුෂ්‍ය ජීවිතයේ අප මුහුණ පාන ලොකුම අර්බුද වලට මුහුණ පෑමේ
ශක්තිය සතිපට්ඨාන භාවනාව මගින් අපට ලබා ගන්නට පුළුවන්. ජීවිතයේ අප
නොසිතන ආපදා ඇති වෙනවා. භයානක දේ සිදු වෙනවා. අනපේක්ෂිත දෙයට මුහුණ
පාන්නට වෙනවා. කොහොමද අපි මේවාට මුහුණ දෙමින් සෞඛ්‍ය සම්පන්නව ඉන්නේ? ඒ
ලොකු අභියෝගයට මුහුණ දෙන්න තමයි සතිපට්ඨානය අපට උදවු වෙන්නේ. ඔහුගේ
මෙන්ම බොහෝ වෛද්‍යවරුන්ගේ අදහසේ හැටියට මිනිසුන් පෙළෙන බොහෝ රෝග පසුපස
මානසික හේතුන් තිබේ. මානසික රෝග හැරෙන විට මනෝකායික රෝග ලෙස හඳුන්වන
අසනීප රැසක් හඳුනාගෙන ඇත්තේ එහෙයිනි. බොහෝ කායික වේදනා සහ අසනීපවලින්
සහනය ලබා දීම සඳහා මනෝ විද්‍යාත්මක ප්‍රවේශයක් ලෙස සතිපට්ඨාන භාවනාව
වෛද්‍ය මහාචාර්ය කබත්සිං විසින් යොදා ගනු ලැබේ. 1979 දී එතුමන් ආරම්භ
කළ සතිපට්ඨාන සායන හෙවත් භාවනා පුහුණු වැඩ සටහන්වලට 13000 කට වැඩි
ජනතාවක් සහභාග වී ඇත.
වේදනාවක් වනාහි කිසියම් අප්‍රසන්න, හානිකර සහ අන්තරාදායක උත්තේජනයක්
වෙත ශරීරය සහ ස්නායු පද්ධතිය දක්වන ප්‍රතිචාරයක් ලෙස හඳුන්වන කබත්සිං
එයට සංවේදනමය කායික අංශයක් මෙන්ම ඒ පිළිබඳව අප ෂන්දනය සහ ප්‍රජනනය කරන
චිත්තවේගීය සහ ආවේදනීය අංශයක්ද ඇති බව පෙන්වා දෙයි. වේදනාවක් ඇති විට
අපි බොහෝ වැඩ කර ගන්නට අසමත් වෙමු. එපමණක් නොව තරහව සහ සිත් තැවුලක් ද
ඇති වෙයි. එය අපේ හැඟීම් හෙවත් චිත්ත වේගීය අංශයයි. අනතුරුව අපට
වේදනාවට හේතු පිළිබඳ ගැටලු මතුවන අතර අසහනයද ඇති වෙයි.ජීවිතයේ ගුණාත්මක
පරිහානියකට එය තුඩු දෙයි. මීට පිළියම කුමක්ද?
සතිපට්ඨාන භාවනාවෙහි යෙදෙන විට වේදනාවක් දැනෙන්නේ නම් එයට කළ යුත්තේ
කුමක්දැයි භාවනා කර්මස්ථානාචාර්ය වරුන්ගෙන් අප ඉගෙන ගෙන ඇත්තෙමු.
වේදනාව කෙරේ අවධානය යොමු කොට වේදනාවක් දැනෙනවා යි අප ඒ පිළිබඳ සතිය ඇති
කර ගනිමු.මේ වේදනානුස්සති සංකල්පය අනුසාරයෙන් වෛද්‍ය මහාචාර්ය කබත්සිං
සිය රෝගීනට උපදෙස් දෙන්නේ වේදනාව විඳවන්නේ නැතිව එහි පැවැත්ම තේරුම්
ගන්නා ලෙසයි. වේදනාව නිසා අපි දුක් වෙමු. වේදනාව කායික නිසා එය එකවර වළකා
ගන්නට බැරි බව අපි දනිමු. එහෙත් වේදනාව නිසා ඇති වන දුක සිතෙහි ඇති
වන්නකි. ඒ නිසා වේදනාව කෙරෙහි අප දක්වන ප්‍රතිචාරය හෙවත් ඒ සමඟ ඇති අපේ
ගනුදෙනුව වෙනස් කර ගත යුතුය. අපි වේදනාව වෙත අපේ සතිය යොමු කරමු.මේ
වේදනා සතිපට්ඨානය මගින් වේදනාව හේතුවෙන් අප විඳින දුක තුනි වී යනු ඇත.
බටහිර බොහෝ රෝහල් වල පිළිකා වැනි රෝගවලින් දුක් විඳින රොගීන්ට
සතිපට්ඨාන භාවනාව උගන්වන්නට බෞද්ධ භාවනා ගුරුවරුන්ට අවසර දී ඇත්තේ මේ
නිසාය. භාවනාව, හුදු වේදනා නාශකයක් නොව වේදනාවෙන් ජනිත වන දුක නැති
කරන්නක් ලෙස හැඳින්වීම නිවැරැදි බව පෙනේ.
වේදනාව ගැන සතිපට්ඨානයෙන් සිටීමට වඩා වේදනාව අමතක කර වෙන දෙයකට අවධානය
යොමු කිරීම වඩා ඵලදායි නොවන්නේදැයි කෙනෙකු තර්ක කළ හැකිය. ඒ තර්කය
සැබෑයයි බැලූ බැල්මට පෙනී යන්නටද ඉඩ තිබේ. මේ පිළිබඳව විධිමත්
පරික්ෂණයක් කර ඇති හෙයින් මුළා වන්නට අවශ්‍යතාවක් නැත. එක සමාන නිරෝගි
පුද්ගලයන් කණ්ඩායම් දෙකකට ඔවුන්ගේ වැළමිටට ඉහළින් රෙදි පටියකින් වෙලා
අයිස් වතුරෙහි අත ඔබාගෙන සිටින්නට සලස්වන ලදී.අතට ලේ ගමන් කිරීම එසේ
බාධා කර ඇති හෙයින් අයිස් වතුරෙහි අත ඔබා ගෙන සිටින විට දැඩි වේදනාවක්
අති වෙයි. වේදනාව ගැන නොසිතා වෙන යමක් ගැන සිතන ලෙස එක කණ්ඩායමකටද
සතිපට්ඨානය අනුව මැදහත් සිතින් වේදනාව ගැන අවධානය යොමු කරන ලෙස අනෙක්
කණ්ඩායමටද උපදෙස් දෙන ලදී. මෙහි අරමුණ වූයේ වැඩි වේලාවක් අයිස් වතුරෙහි
අත ඔබාගෙන සිටිය හැක්කේ කාට දැයි සොයා බැලීමය. මුලදි වේදනාව උසුලා
සිටීමෙහි හැකියාව වඩා හොඳින් දැක්වූයේ වෙන යමක් වෙත සිත යොමු කළ
අයයි.සමහරු කතන්දරයක් කීහ. සමහරු අතීතය මතක් කළහ. සමහරු දවල් සිහිනයක්
මවා ගත්හ. එහෙත් වැඩි වෙලා යත්ම සතිපට්ඨාන කණ්ඩායම වඩා සාර්ථක වූ බව
පෙනිණි.
මෙයින් අදහස් කරන්නේ සතිපට්ඨාන භාවනාව වේදනාව තුරන් කරමි යන අදහසින් කළ
යුතු බව නොවේ.
බෞද්ධ භාවනාවෙහි පරමාර්ථය සත්‍යය දැකීම මිසර ලෞකික අරමුණු සනාථ කර
ගැනීම නොවන බව අවධාරණය කළ යුතුය. එසේ වුවද භාවනා වඩන්නන් නිරායාසයෙන්ම
කායික මෙන්ම මානසික නිරෝගී පුද්ගලයන් බවට පත්වන බව පෙනී ගොස් ඇති බවද
කිව යුතුය. නිදර්ශනයක් වශයෙන් ආහාර අනුභවය ගැන සිතන්න. වෙන කල්පනාවක හෝ
වැඩක නිරත වෙමින් ආහාර යන්තමින් හපා ගිල දැමීමට වඩා සිහි නුවණින් යුතුව
ආහාර ගැනීම යහපත් ප්‍රතිඵල ලබාදෙයි.කෑදරකමින් කඩිමුඩියේ ආහාර ගිල දමනු
වෙනුවට සංයමයෙන් අනුභව කිරීම යෝග්‍ය නොවේ ද?
භාවනාව හේතුවෙන් මානසික ආතතිය දුරු වී සුවපත් මනසින් යුතුව දෛනික
කටයුතු වඩාත් සාර්ථකව කරගැනීමේ හැකියාව ඇති වෙයි. සායනික මනෝවිද්‍යාව
සඟරාවෙහි පළ වු පර්යේෂණ වාර්තාවක දැක්වෙන පරිදි පුද්ගලයන් 87 දෙනෙකුට
කෙන්ටකි විශ්ව විද්‍යාලයේදි සති අටක සතිපට්ඨාන භාවනා පුහුණුවක් ලබා දෙන
ලදී. සති හතරක පුහුණුවෙන් පසු පරික්ෂා කළ විට ඔවුන්ගේ ආතතිය බෙහෙවින්
දුරු වි ගොස් ප්‍රසන්න පෞරුෂ ලක්ෂණ විද්‍යාමාන කර තිබිණි.
මාගරට් වෙබ් ප්‍රෙස්ලර් මහත්මය ‘චීට් ද ක්ලොක්’ නම් සිය ග්‍රන්ථයෙන්
ප්‍රකාශ කර ඇත්තේ ශරීර අභ්‍යාස කරන්නවුන් එමඟින් සිය මාංස පේශී වර්ධනය
කිරීමට සමාන අයුරින් භාවනා වැඩීම මගින් ප්‍රබල මානසික වර්ධනයක් කර ගත
හැකි අතර එම වෙනස කායික නිරෝගිකම කෙරෙහි බලපාන බවය. අප තුළ හානිකර සහ
අසහනකාරි සිතිවිලි ජනිත වන්නේ වර්තමානය තුළ ජීවත් වන විට නොව අතීතය තුළ
හෝ අනාගතය තුළ ජීවත් වන විටය. භික්ෂූන් වහන්සේලාගේ නිරෝගි ප්‍රසන්න
පෙනුමෙහි රහස ලෙස බුදුරදුන් වදාරා ඇත්තේ ද වර්තමානය තුළ ජීවත් වීමය.
එහෙයින් වර්තමාන මොහොතෙහි සිහියෙන් ජීවත්වීම පුහුණූ කරන සතිපට්ඨාන
භාවනා අභ්‍යාසය ප්‍රගුණ කිරීම තුළින් ආතති ජනක සිතිවිලිවලින් බැහැරව
සිටීමට මෙන්ම ආතතිය හේතුවෙන් ජනිත හානි සුවපත් කර ගැනීමටද හැකිවනු ඇත.
භාවනාවෙන් මනසෙහි ඇතිවන ඒකාග්‍රතාව සහ සංවරය මොළයට කායික වශයෙන් ඇති
කරන සාධනීය වෙනස්කම එම්.ආර්.අයි පරික්ෂණ මගින් තහවුරු කර තිබේ. අපේ
මොළයෙහි අවධාන පාලනය භාරව ක්‍රියා කරන කොටස් භාවනා අභ්‍යාසයෙහි නිරත වන
විට ආලෝකමත් වන අයුරු එමඟින් නිරීක්‍ෂණය කර ඇත. එබඳු චිත්ත භාවනාවන්හි
දිගුකාලීන ප්‍රතිඵලය ලෙස එම ප්‍රදේශවල පටක වර්ධනය වන බවද එමඟින් අපගේ
අවධාන කුසලතා ප්‍රබල වන බව ද ප්‍රෙස්ලර් මහත්මිය පෙන්වා දෙයි.
මැසචුසෙට්ස් මහ රෝහලෙහි කරන ලද පර්යේෂණවලින් සනාථ කර ඇත්තේ සතිපට්ඨාන
භාවනාව මගින් අවධානය පමණක් නොව කරුණාව, අන්තරවලෝකනය, ඉගෙනුම සහ මතකයද
වර්ධනයවන බවය. එමෙන්ම මොළයෙහි ඇති අසහනය සහ ආතතිය හා සම්බන්ධ ධුසර
ද්‍රව්‍ය තුනීව යන බව ද පෙනී ගොස් ඇත.
නිරෝගී මොළයක් සහ නිරෝගී මනසක් ඇති විට බොහෝ කායික රෝග ද දුරු වී යන
බව පැහැදැළිය. වාසනාවන්ත ජීවිතය නම් නිරෝගි මනසක් සහ නිරෝගී සිරුරක්
නොවේ ද?
ලොව පුරා සතිපට්ඨාන භාවනාව ගැන මහත් උද්‍යෝගයක් දැල්වෙන මෙවන් අවදියක
ශ්‍රී‍්‍ර ලාංකිකයන් වු අප ද සතිපට්ඨාන සූත්‍රයට සවන් දීමට මෙන්ම එහි
අරුත් මෙනෙහි කරමින් සතිපට්ඨාන භාවනාවටද හුරුවන්නේ නම් නිරෝගී ජීවිතයකට
එය මහත් අනුබලයක් වනු නිසැක ය. |