UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රැස් වෙහෙර රැස් වෙහෙරක්මයි

රැස් වෙහෙර රැස් වෙහෙරක්මයි

බෞද්ධ සංස්කෘතියට සමගාමීව ව්‍යාප්ත වූ අපගේ ශිෂ්ඨාචාර ගමන් මාර්ගයේ පියවර ඔසවන විට ආගමානුකූල සුවය සැනසීම වෙනුවෙන් බෝධීන් වහන්සේගෙන් සැලසෙන්නේ විශාල මෙහෙවරකි. අෂ්ටඵල රුහ බෝධීන් වහන්සේගෙන් නො නැවතී දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේ ද ව්‍යාප්ත කරවමින් දෙවනපෑතිස් මහා නරේන්ද්‍රයාණන් උත්සුක වූයේ යහපත් වූ ව්‍යායාමයකින් තම සහෝදර වැසියන්ගේ අධ්‍යාත්මය තුළට පිවිතුරු වූ සම්බුදු දහමේ පණිවිඩය සන්නිවේදනය කිරීමටය. ඒ සඳහා යෙදවූ ආකර්ශනීය පෙළඹුමක් වශයෙන් මෙම ස්වභාව ධර්මයට අනුකූල වූ උපක්‍රමය යෙදුවා විය හැකිය.

එසේ නම් මෙසේ බෝධීන් වහන්සේ තිළිණ වූ ස්ථානයන් විශේෂයෙන් මාතෘ භූමියට නිසි මඟ පෙන්වන ප්‍රදීපාගාර බඳුය.

අනුරාධපුර රාජධානිය පිහිටි අනුරාධපුර දිස්ත්‍රික්කයත් එවැනිම ඓතිහාසික අගයකින් අනූන කුරුණෑගල දිස්ත්‍රික්කයත් එකට යා කරවන සමීපයේ රැස්වෙහෙර නොහොත් සැස්සේරුව නම් ඉතිහාස ගත පුදබිම පිහිටා තිබෙයි. මාර්ග කීපයකින් පිවිසිය හැකි මෙම විහාරස්ථානය පිහිටා ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්වය.

දීර්ඝ ඉතිහාස වන්දනා චාරිකාවකදී අති ප්‍රබල සන්ධිස්ථානයක් වශයෙන් රැස්වෙහෙර ප්‍රමුඛව හඳුනාගත හැකි වන්නේ ඉහත අප සඳහන් කළ දෙතිස්ඵලරුහ බෝධීන් වහන්සේ නිසාය. එසේ නම් ඒ ඉතිහාසය ක්‍රි.පූර්ව (250 – 210) දේවානම්පියතිස්ස යුගය දක්වා දුරාතීතයට විහිදී යයි.

එය එදා මේ දම් දීපයේ සුවිශේෂී පුදබිමක් වූවා සැබෑ නමුත් අපඑයට ඒ තරමටම වටිනාකමක් ප්‍රදානය කර තිබේදැයි සැක සහිතය. බහුතර බෞද්ධයන්ගෙන් විමසුවොත් රැස්වෙහෙර වෙත ගොස් වන්දනා මාන කරගත් අය ඇත්තේ සුළුතරයක් බව සත්‍යයකි.

වනේ වන සතාගේ විශේෂයෙන් වන අලින් නිරන්තරයෙන් සරන අඩවියක කිලෝමීටර් ගණනාවක් ඈතට විහිදෙන උස් කඳු මෙවුලක් ආශ්‍රයේ ස්වාභාවික සොඳුරු පරිසර පද්ධතිය තවත් විචිත්‍රවත් කරලන මෙය දුරාතීතයේ දී රැස්වෙහෙර නොහොත් සැස්සේරුව නමින් රහතන් වහන්සේගේ පහසෙන් පිරිසුදුවූ වන අරණක් වශයෙන් පැවැති බව කියැවෙයි.

එහි ව්‍යාප්ත වූ කඳු මේඛලාවෙහි ලෙන් 99 ක් පමණ හමු වී තිබේ. බහුතරයක කටාරම් කොටා ඇත. එම ලෙන්හී පැරණි බ්‍රාහ්මීය අක්‍ෂර සහිත සෙල්ලිපි 14 ක් පමණ සොයාගෙන ඇති අතර මේ ලෙන් භික්‍ෂූන් සඳහා පිදූ ඒවා ය.

බුදුන් වහන්සේ පිදුමට දුරාතීතයේ දී පිළිම ඉදිවී නොතිබුණු අතර ඒ වෙනුවට භාවිතා කළේ වෙනත් සංකේතයන්ය. ඒ අතර වූ සිරිපතුල් ගල් මේ භූමියේ නටබුන් අතර තිබී හමුවෙයි. පැරැණි පියගැට, විහාරාරාමයන්ට අයත් නටබුන්, දිය පොකුණු, සක්මන් මළු, ආදිය කියාපාන්නේ එදා විසල් විහාරාරාමයක ගෞරවාන්විත භාවයය.

එදා පුදබිම වෙත වැඩම වූ බෝධීන් වහන්සේ වෙතින් රැස් විහිදුණු නියා ‘රැස් වෙහෙර’ නමින් හැඳීන්වීමට පෙළඹුණු බව නම පිළිබඳ ජනප්‍රවාද ගත පුවතකි. දෙතිස්ඵලරුහ බෝධීන් වහන්සේ උත්සවශ්‍රීයෙන් වැඩමවා රෝපිත කරමින් මෙම පුදබිමට වඩාත් වටිනාකමක් ප්‍රදානය කළ ද, එයට නොදෙවෙනි විශේෂත්වයක් රැගෙන එන්නේ රැස් වෙහෙරෙහි ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ ය.

සුවිසල් ගල් කන්දේ පර්වත ගුලයක් ඇතුළට හෑරීමෙන් මෙහි අඩි 39 යි අඟල් 3 ක් පමණ විසල් උසකින් යුතු ශෛලමය පිළිමයක් නෙලා ඇත. රැස්වෙහෙර බුදු පිළිමය යැයි කියවෙන විට ඒ සමඟම අවුකන බුදු පිළිමය ද සිහිපත් වෙයි. ඒ තරමට මේ දෙක අතර නෑ සබඳතාවයක් ගොඩනැඟී තිබේ.

එය එසේ වීමට හේතු කීපයක් බලපායි. කලාවැව ඉස්මත්තේ කළු පැලක් සමීපයේ ඉදිවන අවුකන බුදු පිළිම වහන්සේ ද මෙවැනිම වූ හිටි පිළිමයකි. පිළිම වහන්සේ ද්විත්වයේම පිහිටියේ සමීප දුරකය. පිළිමයන්හි මුව කමලේ සමානතා දැක ගැනීමට හැකියාව ඇත. එසේම හැඩ තලයන්හිද සමානත්වයක් පෙනුන ද කලාත්මක බව විමසිමේ දී අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ රැස්වෙහෙර පිළිම වහන්සේට වඩා ඉදිරියෙන් සිටී.

අවුකන පිළිම වහන්සේ පරිපූර්ණත්වයට පත්ව ඇතිමුත් රැස් වෙහෙර පිළිම වහන්සේ වැඩ අවසන් නොකළ පිළිමයකි. මහසෙන් රජතුමා (ක්‍රි.ව. 274 – 301 ) ගේ කාලයේ රජතුමාගේ අනුග්‍රහයෙන් රහෙර පර්වතයේ පිළිමය නිර්මාණය කළ බව කියැවෙයි. ‘මහාසේන පඨිමා’ නමින් ප්‍රකට වූයෙත් මෙයම බව මතයක් පවතී. පිළිම වහන්සේ නිමවීමට කලින් රජතුමා මිය ගිය බැවින් පිළිමයේ වැඩද නැවැතුණු නිසා මෙම තත්ත්වය උදා වූ බවද කියැවෙයි. මහාචාර්ය පරණවිතානයන් ගේ මතය එය වුවද මෙය ක්‍රි.ව. 12 වන සියවසෙන් පසු කාලයේ නිර්මාණයක් යැයි ආචාර්ය විජේසේකර පවසයි.

අවුකන බුදු පිළිමයේ සමස්ත හැඩරුවෙහි ඇති සමමිතික භාවය මෙන්ම සියුම් භාවය මෙහි නොමැති බවත් ස්ථූල භාවය මෙන්ම යම් තරමක රළු ලක්‍ෂණ මතු කරලැති නිසා මෙය අවුකන පිළිමයට වඩා ප්‍රාථමික තත්ත්වයක පවතියි.

එහෙත් මෙවැනි දැවැන්ත පිළිමයක් නිර්මාණය කරලීමට පෙළඹීම අමතක කළ නොහැකි ඓතිහාසික විශේෂත්වයකි. ඇතැම්විට පතුරු ගැලවීයන දැඩි බව වැඩි තද කළු ගලක් වීම නිසා පිළිමය නෙලීම වඩාත් පහසු නොවුණු බැවින් අවසාන ප්‍රතිඵලයට මෙලෙස බලපෑවා වීමට ද පුළුවන.

මෙම පුදබිමේදී හමුවන විහාර මන්දිර දෙක සත් විහාරගෙය සහ මහ රජ විහාරගෙය වශයෙන් හඳුන්වයි. සත් විහාර ගෙතුලෙහි බුද්ධ ප්‍රතිමා හතක් දැක ගැනීමට ලැබේ. මහනුවර කලා සම්ප්‍රදායේ ප්‍රතිභාපූර්ණ අවදියක් එම ප්‍රතිමා තුළින් විද්‍යාමාන වෙයි. ඒවා බොහෝ විට දඹුළු විහාරයේ නිර්මාණයන්ට සමානකමක් දක්වයි. වළගම්බා රජතුමා ආරක්‍ෂාව පතා සැඟවී සිටි ස්ථානයක් වශයෙන් ද සැස්සේරුව හඳුන්වන ලබන අතර වළගම්බා රජතුමාගේ රාජ්‍ය සමයට අයත් යැයි පැවසෙන මහ රජ විහාර මන්දිරයේ ඇති සැතපෙන පිළිම වහන්සේ දේවානම්පියතිස්ස රාජ්‍ය යුගයේ කළ බවද ඇතමකුගේ මතයයි.

දුටුගැමුණු රජතුමාගේ පුත් කුමරු සාලිය අශෝක මාලා සමඟ විත් මේ තැන සැඟවී සිටි බවද පවසන්නේ ජනප්‍රවාදයමයි.

ඉහළ මාලයේ නටබුන් වූ ස්තූපයක් ද පහළ මාලයේ තවමත් නිරුපද්‍රිතව පවතින ස්තූපයක් ද දැක ගැනීමට ලැබේ. ඒ සමීපයේ ඇත්තේ මධ්‍යම ප්‍රමාණයේ වැවකි. මෙසේ රැස්වෙහෙර සොඳුරු කරනා දසුන් පෙළකින් මෙම පුදබිම අලංකාර වී තිබේ.

රහින ලද ගලක් ආශ්‍රයේ බුදුරුවක් නිර්මාණය කළ නිසා ‘රැස් සේරුව‘ සැස්සේරුව වී පසුව රැස් වෙහෙර බවට පද පෙරළි ඇති වී නම සැදුනු බවටද තවත් මතයක් ගොඩනැගෙන්නේ රැස්වෙහෙර පිළිම වහන්සේ නිසාය. ඒ කෙසේ හෝ රාජ්‍ය යුගකීපයක ලක්‍ෂණ හඳුනා ගත හැකි වූද ස්වභාව ධර්මය විසින් නිර්මාණය කළ ඉතා විචිත්‍රවත් හැඩ තළ රාශියක් මත රමණීය වන සෙනසුනක් වශයෙන් ප්‍රතිනිර්මාණය කළා වූ ද, තෙළි තුඩකට, කැමරා කාචයකට දකින දකින නෙක දිසාවන්හී අපූරු රූප රාමු මැවීමට සමත් වන අඩවිය තුළ සොඳුරු පාරාදීසයක් බඳු වූ පූජනීය අඩවිය. ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන අතර රැස් විහිදවාලන රැස් වෙහෙරක්මය.

 

 

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් මස 14 වැනිදා සඳුදා අපර භාග 01.11 ට ලබයි.
15 වැනිදා අඟහරුවාදා අපරභාග 01.10 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අප්‍රේල් 14 වැනිදා සඳුදා ය.
මීළඟ පෝය
අප්‍රේල් 22 වැනිදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14

Second Quarterඅව අටවක

අප්‍රේල් 22

New Moonඅමාවක

අප්‍රේල් 28

First Quarterපුර අටවක

මැයි 07


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk