UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නීවරණ ධර්ම

නීවරණ ධර්ම

මනස තුළ දැවැන්ත කාමයන් ගොඩ නැගුණු පසු පුද්ගලයාට තමන් අසනා දෙය අවබෝධ කරගැනීමට අභ්‍යන්තරික වශයෙන් ප්‍රබල බාධකයක් එල්ල වෙනවා.ආසාවන් වැඩිවන හැම මොහොතකදීම මනුස්සයාගේ ඇහුම්කන් දීම දුර්වල මට්ටමකට පත්වෙනවා. ඇහුම්කන් දීම දුර්වල මට්ටමකට පත්වෙනවාය යනුවෙන් අප අදහස් කරනුයේ කෙතරම් ඇහුම්කන් දුන්නද, කාමයෙන් පෙළෙන මනසකින් යුක්ත පුද්ගලයාට එම ඇහුන්කන්දීම තුළින් කාරණය අවබෝධ කරගැනීමට තිබෙන දුෂ්කරතාවය පිළිබදවය. විශේෂයෙන්ම බුදුපියාණන් වහන්සේ විසින් කාම දාහයෙන් පෙළෙන්නා වූ පුද්ගලයන්ට විශේෂයෙන්ම අසුභය, පටිකූල මනසිකාරය වැනි භාවනා යෝජනා කරනුයේ, ඔවුන්ගේ කාම දාහයන් සැළකිය යුතු මට්ටමකට යටපත් කිරීමකින් තොරව ඔවුන්ට ඇහුම්කන් දීමේ ගුණය වර්ධනය කරගැනීමට දුෂ්කර නිසාවෙනි. කෙසේ වෙතත් කාමච්ඡන්දය මිනිසා ඇහුම්කන් දෙන දෙය අවබෝධය සඳහා යාම වලක්වාලන පළමුවන මානසික සාධකය ලෙස තේරුම් ගත යුතුයි

ශ්‍රවණය කිරීම හෙවත් අසා සිටීම පිළිබඳව අප තුළ පැහැදිළි අවබෝධයක් තිබිය යුතුයි. මහා මංගල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ‘කාලේන ධම්ම සවණං’ යනුවෙන් සුදුසු කල්හි ධර්මශ්‍රවණය කිරීම මංගල කාරණයක් ලෙස දේශනා කොට ඇත. ශ්‍රවණය කිරීම තුළ බහුශ්‍රැතභාවය හෙවත් ත්‍රිපිටකය, ශ්‍රී සද්ධර්මය පිළිබඳව බොහෝ ඇසූ පිරූ තැන් ඇති කෙනකු බවට පත්වීම සිදුවන බව මහා මංගල සූත්‍රයේ සඳහන් වන “බාහුසච්චංච සිප්පංච” යන ගාථා පාඨයේ බාහුසච්චංච යන වචනය තවදුරටත් අවධාරණය කරනු ලබයි.

බහුශ්‍රැතභාවය පෙර බුදුපියාණන් වහන්සේ වැඩ සිටි සමයෙහි මිනිසාට දැනුම ලබාගැනීම සඳහා තිබුණ ප්‍රධානතම මූලාශ්‍රය වූයේ ඇහුම්කන් දීම හෙවත් ශ්‍රවණය කිරීමයි. යම්කිසි ගුරුවරයකු විසින් අවබෝධ කරගත් ධර්මය ශ්‍රාවක පිරිස හමුවට ගොස් හෝ ශ්‍රාවක පිරිස ගුරුවරයා හමු වූ මොහොතෙහි හෝ ගුරුවරයාගේ එම අවබෝධය වචන උපයෝගී කරගනිමින් ඔවුන්ට බෙදාහදා දීම සිදු කරනු ලැබුවා.බොහෝ සෙයින් ඇහුම්කන් දීපු පුද්ගලයා බහුශ්‍රැත පුද්ගලයකු ලෙස බොහෝ ඇසූ තැන් ඇති පුද්ගලයකු ලෙස ධර්මයෙහි අර්ථ ගැන්වේ. ශ්‍රවණය කිරීමට හෙවත් ඇහුන් කන්දීමට තිබෙන බාධා අප හඳුනාගත යුතුවෙනවා. නූතන සන්නිවේදනයේදී එම භෞතික උපකරණ වල බාධා පැමිණීම පණිවිඩය ග්‍රාහකයා වෙත ගෙනයාමට තිබෙන ප්‍රධාන ගැටලු ලෙස ඔවුන් විසින් අවධාරණය කරනු ලබනවා. නමුත් එකී සන්නිවේදන භෞතික මෙවලම් වල ගැටලු විසඳා ගැනීම එතරම් දුෂ්කර කාර්යයක් නොවේ. නමුත් ඇහුම්කන් දීම හෙවත් ශ්‍රවණයකදී පුද්ගලයාට විශාලම බාධාව සිදුකරනු ලබන්නේ ස්වකීය අභ්‍යන්තරයෙන් පැන නගින්නා වූ ක්ලේශයන්ගෙන් බව බුදුසමය පිළිගනී. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙහි දේශනා කරපු නීවරණ ධර්ම මිනිසාගේ අවබෝධය ආවරණය කරනු ලබයි.

විශේෂයෙන්ම කාමච්ඡන්දය ,හෙවත් පංචකාමයන් පිළිබඳව ඇස පිනවීමට, කන පිනවීමට නාසය පිනවීමට, දිව පිනවීමට, සම පිනවීමට, මිනිසාගේ මනස තුළ දැවැන්ත කාමයන් ගොඩ නැගුණු පසු පුද්ගලයාට තමන් අසනා දෙය අවබෝධ කරගැනීමට අභ්‍යන්තරික වශයෙන් ප්‍රබල බාධකයක් එල්ල වෙනවා. ආසාවන් වැඩිවන හැම මොහොතකදීම මනුස්සයාගේ ඇහුම්කන් දීම දුර්වල මට්ටමකට පත්වෙනවා. ඇහුම්කන් දීම දුර්වල මට්ටමකට පත්වෙනවාය යනුවෙන් අප අදහස් කරනුයේ කෙතරම් ඇහුම්කන් දුන්නද, කාමයෙන් පෙළෙන මනසකින් යුක්ත පුද්ගලයාට එම ඇහුන්කන්දීම තුළින් කාරණය අවබෝධ කරගැනීමට තිබෙන දුෂ්කරතාවය පිළිබදවය. විශේෂයෙන්ම බුදුපියාණන් වහන්සේ විසින් කාම දාහයෙන් පෙළෙන්නා වූ පුද්ගලයන්ට විශේෂයෙන්ම අසුභය, පටිකූල මනසිකාරය වැනි භාවනා යෝජනා කරනුයේ, ඔවුන්ගේ කාම දාහයන් සැළකිය යුතු මට්ටමකට යටපත් කිරීමකින් තොරව ඔවුන්ට ඇහුම්කන් දීමේ ගුණය වර්ධනය කරගැනීමට දුෂ්කර නිසාවෙනි. කෙසේ වෙතත් කාමච්ඡන්දය මිනිසා ඇහුම්කන් දෙන දෙය අවබෝධය සඳහා යාම වළක්වාලන පළමුවන මානසික සාධකය ලෙස තේරුම් ගත යුතුයි.

දෙවන සාධකය වනුයේ ව්‍යාපාදයයි. දේශකයා පිළිබඳව යම්කිසි ද්වේශ සහගතව නැසීමේ චෛතසිකයකින් යුක්තව යම් ශ්‍රාවකයෙක් කටයුතු කරනවා නම් ශ්‍රාවකයාගේ මනස අනෙකා නැසීම සම්බන්ධව අනෙකා වැනසීම සම්බන්ධව අනෙකාගේ දේ කඩා බිඳ දැමීම සම්බන්ධව, ගැටුම්කාරි චෛතසික තුළින් පිරී ඉතිරී තිබෙනවා නම් ඔහුට අගනා දෙය අවබෝධ කරගැනීම දුෂ්කර වෙනවා. ව්‍යාපාදය හෙවත් ද්වේශයේ අන්තය ඇහුම් කන්දීමට පවතින ශ්‍රවණයට පවතින දෙවන බාධකය ලෙස බුදුසමය පිළිගනී.

ථීනමිද්ධ යනු සිතේ සහ සිතිවිලි වල පවතින්නාවූ නිදිමත ස්වභාවයයි. යම් කිසි පුද්ගලයකුගේ මනැසෙහි තමන් ඇහුම්කන් දෙන කරුණ වෙත ඇලීමක් නැත්නම් ඔහුගේ මනස අනිවාර්යෙන්ම නිදිමත ස්වභාවයකට පත්වෙනවා. සිත සහ සිතිවිලි පිළිගත් ස්වභාවයකින් පසුවන්නට පටන් ගන්නවා. එවැනි සිතකින් යුක්ත පුද්ගලයා කෙතරම් ඇහුම්කන් දුන්නත්, ඔහුට හෝ ඇයට එම ශ්‍රවණය කරණ දෙය මනැසෙහි පවතින නිදිමත ස්වභාවය නිසාම අවබෝධ කරගැනීම දුෂ්කර බව බුදුසමයේ පිළිගැනීමයි.

සිව්වන බාධකය ලෙස උද්ධච්ඡ කුක්කුච්ඡ හෙවත් මනසෙහි පවතින නොසන්සුන්භාවය ඊළඟ, බාධකයයි. ගල්පහර ලත් අළුගොඩක් සේ වූ විට, ගෙම්බකු පැනපු විලක් සේ වූ විට මනැස පැහැදිළිව දැනගන්නට, පැහැදිලිව හදුනාගන්නට, පැහැදිලිව අවබෝධ කරගන්නට මනැසේ බාධා පැමිණෙනවා. එවැනි නොසන්සුන් වූ උද්ධච්ඡ කුක්කුච්ඡයෙන් යුතු මනැස මිනිසා ඇහුම්කන් දෙන දෙය අවබෝධ කරගන්නට ඔහුට බාධා පමුණුවනු ලබයි.

විචිකිච්ඡා පස්වන මානසික කාරණාවයි. එනම් දේශනාව පිළිබඳව සැකයෙන් ශ්‍රවණය කරන විට දේශනාව පිළිබඳව සැකයෙන් අසන විට ශ්‍රද්ධාව නැති විට විචිකිච්ඡා පිරුණු මනසින් යුක්තව ඇහුම්කන් දෙන පුද්ගලයාට තමන් ශ්‍රවණය කරනාදෙය අවබෝධ කරගැනීමට ග්‍රහණය කරගැනීමට ධාරණය කරගැනීමට අතිශයින් දුෂ්කර වන බව බුදුසමයේ පිළිගැනීමයි.

මෙම කරුණු වෙත අවධානය යොමු කිරීමේදී පැහැදිලි වන්නේ මූලික වශයෙන් ශ්‍රවණය කිරීමට හෙවත් ඇහුම්කන් දීමට බාධා වන කාරණා සත්ත්වයා තුළ අභ්‍යන්තරිකව ඇති බවයි. ධර්මාවබෝධයට දුෂ්කර වන නිර්වාණාවබෝධයට දුෂ්කර වන ජීවිතාවබෝධයට දුෂ්කර වන, සසර පිළිබඳ දුක අවබෝධය කරගැනීමට දුෂ්කර වන මෙම මානසික බාධාවන් අවම කරගන්නා මට්ටමට පුද්ගලයාට තමන් ශ්‍රවණය කරනා කරුණු නිරවුල්ව ග්‍රහණය කරගැනීමට වටහා ගැනීමේ අවස්ථාව උදාවන බව සඳහන් කළ යුතුයි.

නූතන සන්නිවේදකයන් විසින් තම පණිවිඩය ග්‍රාහයකයාට ගෙනයාම සඳහා තම ශ්‍රාවක කණ්ඩායම වෙත පිළිගැන්වීම සඳහා කටයුතු කිරීමේදී මේ බාධා ජයගැනීමට උත්සුක විය යුතුයි.

 

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් මස 14 වැනිදා සඳුදා අපර භාග 01.11 ට ලබයි.
15 වැනිදා අඟහරුවාදා අපරභාග 01.10 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අප්‍රේල් 14 වැනිදා සඳුදා ය.
මීළඟ පෝය
අප්‍රේල් 22 වැනිදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14

Second Quarterඅව අටවක

අප්‍රේල් 22

New Moonඅමාවක

අප්‍රේල් 28

First Quarterපුර අටවක

මැයි 07


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]