රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 29
මහා නා හිමි රැස් කළ
මහා ධනස්කන්දය
ජනක වෙත්තසිංහ
නිරවුල් මනසක සෙමෙන් ගොඩනැගෙන ආධ්‍යාත්මක ශක්තිය තිරසාරය.
ඉන් තම දිවිමඟද ආලෝකවත් කරගනිමින් එම ආලෝකයෙන් නෙක දිසා එළිය කිරීමට
මහා නා හිමියෝ සමත් වූ ධර්ම ඥානය ඉතා නිරවුල් ලෙස තම දැනුම් ගබඩාවේ
තැන්පත්ව තිබූ බැවිනි. රේරුකානේ මහා නා හිමියන් තවත් වරක පැවැසුවේ.
“ධම්මානන්ද මා රැස් කළ විශාල ධනය පිරිසුදු පැවිදි ජීවිතය” බවය
වේලාව එදින රාත්‍රී අට පසුවී විනාඩි 20 ට ආසන්නය. දුක්ඛදායක සංසාර
චක්‍රයේ භ්‍රමණය නවතාලීම වෙනුවෙන් අධ්‍යාත්මික සවිය ප්‍රදානය කළා වූ ද
ගිහිගෙදර කඩතුරා ඉරා දමා උත්තුංග අරිහත් ධජය හැඳ පැළඳවීමේ අවශ්‍යතාවය
කියා දුන්නාවූ ද, මේ මහා සැබෑ පරිවර්තනය වෙනුවෙන් ප්‍රධානතම සාධකය වූවා
වූද එහෙත් මෙතෙක් දිවි මගේ කිසිදු තැනකදී කිසිදු දිනකදී හමු නොවුණා වූ
ද, අදෘශ්‍යමාන ගුරු උත්තමයා වූ ද, තම ආත්මයේ මහා වපසරියක් ආලෝකවත් කළ
දිනිසුරු වැනි වූ ද, රේරුකානේ චන්දවිමල මහා නා හිමියන් මේ ආවාස කුටියේ
කොණක කුඩා ඇඳක් මත සැතපී සිටී. උන් වහන්සේ දැක ගැනීමට ලැබීම ධම්මානන්ද
තරුණ භික්‍ෂූන් වහන්සේගේ හිත වෙලූ අපේක්‍ෂාවෙන් සියල්ල මල්ඵල
ගැන්වීමෙන් ඒ මොහොතේ ඇතිවූ ප්‍රමෝදය වචනවලට පෙරලීමට නොහැකි තරම් විය.
මහා නාහිමියන්ට වැඳ නමස්කාර කළ විට උන්වහන්සේ ඇසුවේ “ ඔය නම කොහේ සිටද
මේ රෑ වැඩියේ “ කියාය. “නායක හාමුදුරුවනේ මං ආවෙ බොහොම ඈතක ඉඳල, නායක
හාමුදුරුවන් බැහැ දකින්නයි. මා නායක හාමුදුරුවන්ගේ පොත් කියවලා මහන වුණ
කෙනෙක් “ ධම්මානන්ද හිමියන් ඒ වදන් පෙළ එක දිගට පැවසුවේ උන්වහන්සේ
පිළිබඳ සැක සංකා ඇතිවේ නම් එය දුරු කිරීමේ අභිප්‍රායෙනි.
මේ වදන් පෙළ අසා සිටි මහා නා හිමියෝ “දැන් නම් අපට බොහොම අමාරුයි”
කියමින් ඇඳ ළග තිබූ සැරයටියේ වාරුවෙන් නැඟිටින්නට උත්සාහ කළහ.
හැරමිටියේ වාරුවෙන් සහ ධම්මානන්ද හිමියන්ගේ උදව්වෙන් ඉස්තෝප්පුවට වැඩ
මහා නා හිමියෝ. එහි පුටුවක වාඩි වී ලෑල්ලක සවිකර තිබූ සීනුවක් නාද කළහ.
නාදය ඇසී භික්‍ෂූන් වහන්සේ නමක් වැඩියහ.
“මේ නම බොහොම ඈත ඉඳල ආපු කෙනෙක් ගිලන්පස ටිකක් හදල දෙන්න” වයෝවෘද්ධව
දුබලව සිටියත්, උන්වහන්සේ ප්‍රථමයෙන්ම පෙළඹුණේ කාරුණිකව ආගන්තුක
සත්කාරයෙන් සැලකීමටය. ධම්මානන්ද හිමියන්ට එදා අමුත්තන්ගේ කාමරයේ නැවතී
රාත්‍රිය පහන් කිරීමට වූයේ නිදි වර්ජිතවය. නින්ද පළවාහැරී මදුරු
ප්‍රහාරය එතරම් දැඩි වුවද මහා නා හිමියන් දැක පිළිසඳර කතාවේ යෙදී
ජීවිතයේ විශාල බලාපොරොත්තුවක් ඉටු කර ගැනීමට ලැබීමේ ඒ චිත්ත
සන්තෘෂ්ඨිය, මදුරු ප්‍රහාරයට හෝ ළං නොවූ නින්දට පැරදවීමට නොහැකි විය.
දවස නිමා වී එළඹුණු උදයේදී නැවත නායක හාමුදුරුවන් හමුවී මහා නා
හිමියන්ට අවශ්‍ය සුළු සුළු වතාවත් කීපයක් කිරීමට ධම්මානන්ද හිමියෝ
පෙළඹුණහ. ඉන්පසු ලද විරාමරයකින් ප්‍රයෝජන ගනිමින් ධම්මානන්ද හිමියෝ තම
අපේක්‍ෂාව මෙන්ම අවශ්‍ය තොරතුරු නොවහළා පැවසූහ.
උන්වහන්සේ ගුරු හාමුදුරුවන්ගේ මෙන්ම සේවය කළ විදුහලේ විදුහල්පතිතුමාගේ
චරිත සහතිිකද පෙන්වූයේ තම අනන්‍යතාවය සනාථ කිරීම සඳහාය.
“ඔය නම ඇවිත් තියෙන්නේ පුදුම ගමනක්. මේ ගමන එන්න කලින් මගෙන් ඇහුවා නම්
මං කැමති වන්නේ නැහැ’ අනුන්ගේ ගෝලයේ අප ළඟ තියාගත්තාම ඒ හාමුදුරුවරුන්
අපට දොස් කියාවි” එසේ නොවන බව ධම්මානන්ද හිමියන් පැවසුවද නායක
හාමුදුරුවන්ට අවශ්‍ය වුනේ මෙය ගැටලුවකින් තොරව විසඳා ගැනීමටය. ඒ නිසා
ටැම්ගොඩ පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේට ලියුමක් ලියා සියල්ල දැනුම්
දීමට මහා නා හිමියෝ පියවර ගත්හ. එයට ප්‍රතිවිරෝධයක් පැණ නැගුනේ නැත.
දැන් ප්‍රශ්නය ගැටලු වලින් තොරව විසඳී හමාරය. මෙසේ සති දෙකක් පමණ ගත
විය. ධම්මානන්ද හිමියෝ මහා නා හිමියන් වෙත තව තවත් සමීප වූහ.
දැන් ධම්මානන්ද හිමියන්ගේ ඊළඟ අපේක්‍ෂාව මහා නා හිමියන් වෙත ප්‍රකාශ
කිරීමට කාලය හොඳයි.
‘නායක හාමුදුරුවනේ මුල ඉඳලම මා , මගෙ ගුරුවරයා වශයෙන් සැලකුවේ ඔබ
වහන්සේවයි. මා පැවිදි වූයේ නායක හාමුදුරුවන්ගේ පොත් කියවීමට ලැබුණු
නිසයි. මා පැවිදිකළ නායක හාමුදුරුවන්ටත් මේ බව ප්‍රකාශ කළා. ගිහි
කාලයේදීත්, පැවිදි දිවියේදීත් රාත්‍රියට බුදුන් වැඳ අවසානයේ නායක
හාමුදුරුවන් සිහි කරල මා වඳීනවා. ඒ නිසා මා නායක හාමුදුරුවන්ගේ
ශිෂ්‍යයෙක් වීමට කැමතියි. ශ්වේජින් නිකායේ කෙනෙකු වීමට කැමැතියි
“ධම්මානන්ද හිමියන් තම ඉල්ලීම එසේ ඉදිරිපත් කළ විට මහා නා හිමි
පැවසුවේ” හොඳයි අප තව ටිකක් කල්පනා කර බලමුකෝ “ කියාය.සංවාදය එසේ නිමා
විය. 1980 ඔක්තෝබර් මස 5 වැනි දාටත් හිරු උදාවිය.
එදින පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමයට එක් රැස් කළ ශ්‍රී‍්‍ර ලංකා
ශ්වේජින් නිකායේ මහා සංඝ සභාව විසින් කිරිඔරුවේ ධම්මානන්ද හිමියන්
ශ්වේජින් නිකායට ඇතුළත් කර ගනිමින් එහි සීමා මාලකයේදී රේරුකානේ
චන්දවිමල මහා නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් විදියට උපසම්පදාව
ලබා දී උන්වහන්සේගේ ඒකායන අභිප්‍රාය මුදුන් පමුණුවා ගැනීමට ඉඩ හසර විවර
කර දෙන ලද්දේ ය.
දිගු ගමනකට අවතීර්ණ වූ නදිය සොඳුරු ඉසව් හරහා ද සරු බිම් හරහා ද ගලනු
නියතය. අට කතරද මුඩු බිම් ද නිසරු බිම් ද සරු කරමින් ගලනු ඇත. බාධක
ගල්පර හමුවේද අඳුරු පටු බිම් හමුවේද නොසැලී නොසිඳී ජයබිම කරා ඉදිරියටම
ඇදෙනු නියතය.
රේරුකානේ චන්දවිමල මහා නා හිමියන් වැඩිය. සුදු වැලි අතුල සංසාරයේ ඉම
සොයා ඇදෙන සක්මන් මළුව දිගේ වඩින්නට මහා නා හිමියන් ඇසුරේ ගුරු හරුකම්
ලබාගත් උන්වහන්සේගේ හැඟීම් දැනීම් හඳුනන ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලාට
මෙන්ම එම ඇසුර පැතූ සැමට ලෙහෙසියකි. මහා නාහිමියන්ගේ ඒ උත්තුංග
ප්‍රතිරූපය මැවු ආලෝකයේ එළිය දිගේ තම ගමන්මඟ නිවැරදි දිශාවට හැසිරවීමට
පහසුවනු නියතය.
ඒ නිසාම චන්දවිමල මහා නා හිමියන්ගේ ඇසුර පැතූ සැබෑ ශිෂ්‍ය රත්නයකට
මෙවන් ගුරුඋත්තමයකුගේ ඇසුර ලැබුණේ නම් එය මහා වාසනා බල මහිමයක් මය.
ඒ වාසනා බල මහිමය අදටත් නොනිමී පැවතීම භාග්‍යයක්මය. ඒ රේරුකානේ
චන්දවිමල මහා නා හිමි ලියූ පොත් පෙළ අදටද පරිහරණයේ පවතින නිසාය.
චන්දවිමල මහා නා හිමියන්ගේ වයෝවෘද්ධ යුගයේ මහා නා හිමි ඇසුරේ හිඳිමින්
ඇප උපස්ථාන කරමින්, අකම්පිතව නොසැළී ගෙවු කාලය ඇත්තෙන්ම ධම්මානන්ද
හිමියන්ගේ ජීවිත පොතට ස්වර්ණමය පිටු එක්කර තිබේ.
ඒ අද්දැකීම් ඉතා හොඳින් පැවසීමට ධම්මානන්ද හිමියන්ට වඩා තවත්
සුදුස්සෙකු නොමැති තරම් යයි කීවොත් කෙනකු මා සමග උරණ නොවනු ඇත. මේ
මොහොතේදී රේරුකානේ චන්දවිමල මහා නා හිමියන්ගේ උත්තුංග චරිතාපදානයේ
තීරණාත්මක කඩ ඉම් ඔස්සේ යන ගමනේ පසුබිම් කථනය ඇසෙන්නේ ධම්මානන්ද
හිමියන්ගේ හඬිනි.
රේරුකානේ චන්දවිමල මහා නා හිමියන් වසර සියයක් ආයු වැළඳු බව මීට
ප්‍රථමයෙන්ද ප්‍රකාශ කළෙමු.
එයින් පශ්චිම යුගයේ දාහත් වසරක් මහා නා හිමියන්ට ඇප උපස්ථාන කරමින්
උන්වහන්සේගේ සයනය සමීපයේ වැඩසිටිමින් ගෙවු ඒ කාලය කිසිසේත් අමතක කළ
නොහැකිය. එය ඒ තරම් විශේෂිත කාලයකි. මහා නා හිමියන්ගේ ජීවිත පොතේ
පශ්චිම යාමයේ විශේෂිත පරිච්ඡේදයක් නැවත ස්මරණය කිරීමට ධම්මානන්ද
හිමියන්ට ඉඩ හසර විවර කර දෙමු.
‘රේරුකානේ මහා නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ විසින් ලියන ලද ධර්ම
ග්‍රන්ථ කියවන විට අපට උන්වහන්සේ පිළිබඳව කල්පනා වුයේ උන්වහන්සේ
විශිෂ්ට බුද්ධිමතකු බවත්,අනුන්ට ධර්මය ලියන්නේ උන්වහන්සේ ඒ ධර්මයේ
පිහිටා සිට බවත්, සිත දියුණු කරගත් උතුමකු බවත් ය”
“උන්වහන්සේ සමීපයට පැමිණ වැඩි දිනක් යන්නට මත්තෙන් අපට උන්වහන්සේ
පිළිබඳව ඇති වූ අදහස් ප්‍රත්‍යක්‍ෂ ලෙස දක්නට ලැබුණි. මහානායක
ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ තියුණූ නුවණකින් යුක්ත වූ සේක.ඕනෑම සියුම්
ගැඹුරු කාරණයක් පිළිබඳව විනිවිද යන නුවණක් උන්වහන්සේට තිබුණි.
විශ්වවිද්‍යාලවල මහාචාර්යවරු පවා සමහර කරුණු ගැන මහානායක
ස්වාමින්ද්‍රයාණන් වහන්සේ සමඟ සාකච්ඡා කරන විට උන්වහන්සේගේ දැනීම
පිළිබඳව මවිතයට පත් වූහ. උන්වහන්සේ පුදුම විදියේ ධාරණ ශක්තියකින් යුක්ත
වූ සේක. යමක් එක්වරක් කියවූ පමණින් මතක සිටින ශක්තිය විශේෂිත ගුණයකි.
අනූපස් වියේදී පවා ඒ ධාරණ ශක්තිය උන්වහන්සේ තුළින් විද්‍යාමාන විය.
මහා නා හිමිපාණන් වහන්සේ වරක් මා සමඟ පැවසුවේ “ධම්මානන්ද මා ගාථා
කවදාවත් අමාරුවෙන් පාඩම් කරලා නැහැ. මට යමක් එක් වරක් කීවාම පාඩම්
හිටිනවා. මට පාඩම් තියෙන ප්‍රමාණය නම් කොච්චරද කියල මමවත් දන්නේ නැහැ.”
ත්‍රිපිටක ධර්මය පිළිබඳව උන්වහන්සේට තිබුණෙ නිවැරැදි නිරවුල් පිරිසුදු
උසස් දැනුමකි.
“ ධම්මානන්ද මට මේ ධර්මය ගැන හොඳ දැනුමක් ඇති කර ගන්න පුළුවන් වුණේ යම්
ධර්ම කාරණයක් හොඳින් වැටහෙන තුරු කොච්චර කාලයක් ගත වුණත් කල්පනා කිරීම
අපේ සිරිත නිසයි. සමහර ධර්ම කාරණා වැටහෙන්නට බොහෝ කල් ගත වී තිබෙනවා”
ධම්මානන්ද හිමියන් සමඟ පැවැසූ මෙම ප්‍රකාශ තුලින් හැඟී යන්නේ රේරුකානේ
මහා නා හිමියන් සම්බුදු දහම මනා ප්‍රත්‍යක්‍ෂ අවබෝධයෙන් සිත්හි ධාරණය
කරගත් බවකි. සමහර ධර්ම කාරණා වැටහෙන්නට බොහෝ කාලයක් ගතවෙන්නේ නම්, එය
මනාව අවබෝධ වන තුරු කාලයට ඉඩදී ඉවසා සිටින්නට තරම් උන්වහන්සේගේ සිත
සන්සුන්ය. කලබලයකින් තොරය. එවන් නිරවුල් මනසක සෙමෙන් ගොඩනැගෙන
ආධ්‍යාත්මක ශක්තිය තිරසාරය. ඉන් තම දිවිමඟද ආලෝකවත් කරගනිමින් එම
ආලෝකයෙන් නෙක දිසා එළිය කිරීමට මහා නා හිමියෝ සමත් වූ ධර්ම ඥානය ඉතා
නිරවුල් ලෙස තම දැනුම් ගබඩාවේ තැන්පත්ව තිබූ බැවිනි. රේරුකානේ මහා නා
හිමියන් තවත් වරක පැවැසුවේ. “ධම්මානන්ද මා රැස් කළ විශාල ධනය පිරිසුදු
පැවිදි ජීවිතය” බවය.
සැබෑ භික්‍ෂූන් වහන්සේ නමකට මීටත් වඩා වැඩි ධනයක් තිබේද? ඒ රැස් කර ගත්
ධනය උන්වහන්සේගේ පිවිතුරු දිවි මග පොහොසත් කළෙහිය.
තවත් කොටසක් අප්‍රේල් 22 වන දා පත්‍රයේ පළ වේ
රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 28 එක්ව ගමන් කළ සසර ගමන |