යහපත සපුරා
අවුරුදු සමරමු
ඌවේ ස්‍යාමවංශික නිකායේ
මහා නායක
අඹේවෙල පඤ්ඤාසාර මහා නා හිමි
දානංච ධම්ම චරියාව - ඤාත කානංච සංගහො
අනවජ්ජානි කම්මානි – එතං මංගල මුත්තමං
මෙලොව පරලොව දියුණුවට හේතුවන කාරණා 38 ක් මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ.
‘මංගල’ යන වචනයට විවිධ තේරුම් ඇතත් බුදුරජාණන් වහන්සේ මෙම වචනය
පාවිච්චි කෙළේ අභිවෘද්ධිය සඳහාය. ‘මංවුච්චති පාපං, තං ගලතීති මංගලං’යි
පැවසූ පරිදි පාප සමනයෙන් අභිවෘද්ධියට හේතුවන කරුණු මංගල නම් වේ.
මෙම මංගල සූත්‍රාගත කරුණුවලින් වැඩි හරියක් සිංහල අලුත් අවුරුදු උත්සවය
හා බැදේ. මෙම උත්සවය ලංකාවේ අද පවතින ප්‍රධාන පෙළේ ජාතික උත්සවයක් වේ.
මෙවන් ජාතික උත්සව පැවැත්වීමේ සිරිත ඈත පුරාණයේ සිටම සිංහලයෝ පවත්වාගෙන
එති. ඉන්දියාවෙන් ලංකාවට පැමිණි ආර්යයෝ එකල එහි පැවැති සිරිත් විරිත්
කලා ශිල්ප වැනි දෑ මෙන්ම ජාතික උත්සව පැවැත්වීමේ සිරිත ද මෙහි ගෙන ආවෝ
ය.
නක්‍ෂත්‍රය ගැන විශ්වාස කළ භාරතීයයෝ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට
සංක්‍රමණය වන දිනය අලුත් අවුරුදු දවස වශයෙන් සැලකීමට පුරුදු වූහ. දෛවය
විශ්වාස කළ හින්දු භක්තිකයෝ මේ දිනය වර්ෂයාගේ ආරම්භක දිනය වශයෙන්
සැලකූහ. පෙර ඉන්දියාවේ නැකත් කෙළිය නමින් ප්‍රකට මහෝත්සවයන් පැවැත්වූයේ
ද මෙදින ය. මෙය බමුණන් අතර පැවැති උසස් පෙළේ මහා උළෙලකි. මේ දවසේ දෛනික
වැඩපිළිවෙළ නතර කර සතුටින් දවස ගෙවීම ඔවුන් අතර පැවති චාරිත්‍රය වේ.
අමනාප වී සිටින්නන් හා සමඟිවීම, නරක වැඩ අත් හැරීම, ඥාති මිත්‍ර හිතෛෂී
සම්බන්ධකම් තහවුරු කර ගැනීම, පිදිය යුතු ඉටු දෙවි ආදීන් සිහිකිරීම වැනි
යහපත් ක්‍රියාවන්හි නිරත වීම ආදිය මේ දවසේ උසස් කොට සැලකූහ.
මෙවන් ජාතික නැකත් කෙළි පෙර සිට ශ්‍රී ලංකාවේ ද පැවැති බවට අපේ ඉතිහාසය
සාක්‍ෂි දරයි. බු.ව. 236 අනු බුදු මිහිඳු මහරහතන් වහන්සේ දෙවනපෑතිස්
රජතුමාට හමුවූයේ ද එවන් ජාතික උත්සව දිනයකය. එදා එය පොසොන් කෙළිය නමින්
හැඳින් වූයේ ය. මහින්දාගමනයෙන් පසුව එය ආගමික උත්සවයක් බවට පත් විය.
රාජ්‍ය වර්ෂ 113 වැන්නේ ලක්රජ පැමිණි ගජබා රජු දවස පැවැති ඇසළ කෙළිය
ශ්‍රී මේඝවර්ණ තිස්ස රජ දවස දළදා වහන්සේ එයට සම්බන්ධ වීමෙන් එය දළදා
උත්සවය බවට පත් විය. එයින් පසුව සිංහලයෝ අලුත් අවුරුදු දිනය ජාතික
උත්සවය වශයෙන් පැවැත්වීමට පුරුදු වූහ. මෙම උත්සවයට දන්දීම, ධර්ම
චර්යාව, නෑයන්ට සංග්‍රහ කිරීම, නිවැරැදිව වැඩකිරීම හා මංගල සූත්‍රයේ
ඇතුළත් බොහෝ කරුණුත් ඇතුළත් කරගනු ලැබූහ. එසේ කිරීමෙන් මෙම ජාතික
උත්සවය මංගල උත්සවයක් බවට පත් කරනවා. පිදිය යුත්තන් පිදීම, මවුපියන්ට
සැලකීම, අඹුදරුවන්ට සංග්‍රහ කිරීම, පුණ්‍ය කාලයේ දැහැමි ජීවිතයක් ගත
කිරීම, ඥාතීන්ට ගරු කළ යුත්තන්ට ගරු කිරීම, බුලත් හුරුළු දීමාදියෙන්
නිහතමානීකම ප්‍රකට කිරීම, ක්‍රීඩාවලදී ඉවසීමේ ගුණය වැඩීම, නොනගත වේලාවේ
පන්සල් ගොස් ස්වාමීන් වහන්සේලා දැකීම, උතුමන්ගේ අවවාද පිළිගැනීම වැනි
කරුණු රැසක් සිංහල අවුරුදු වෙනුවෙන් අපේ පැරැන්නෝ සිදු කළහ.
සිංහල බෞද්ධයා කරන හැම දෙයක්ම මංගල කරුණක් බවට පත්කර ගැනීමේ සිරිත
අවුරුදු උත්සවයේදී ද අනුගමනය කිරීමෙන් අපේ පැරැන්නන් අපට ආදර්ශයක් දී
ඇති බව අමතක නොකළ යුතු ය.
අලුත් අවුරුද්ද උදාවන දවස ආගමික කටයුතුවල යෙදීමෙන් හා උත්සව
පැවැත්වීමෙන් ගත කිරීම ඈත අතීතයේ සිටම බොහෝ ජාතීන් අතර පවත්නා සිරිතකි.
ඉන්දියානු, චීන, මිසර, රෝමන්, යුදෙව් ආදීහු මේ දිනය වැදගත් කොට සැලකූහ.
විවිධ ජාතිකයන් ආගමිකයන් වෙනස් වෙනස් දිනයන් අවුරුදු දිනය වශයෙන් සලකන
ලදී. ඒ අනුව අප අවුරුදු වශයෙන් සලකන්නේ හිරු මීන රාශියේ සිට මේෂ රාශියට
සංක්‍රමණය වන දවසයි. මෙය සිදුවන්නේ අප්‍රේල් මාසයේ 13 හෝ 14 දෙදිනෙන්
එක් දවසකය. ඒ අනුව මේ වර්ෂයේ අප්‍රේල් 14 වෙනි සඳු දින පූර්වභාග 7.37 ට
සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි. මේ වෙලාවට දෙපැත්තෙන් පැය 12 යි විනාඩි
40 ක කාලයක් පුණ්‍ය කාලය වශයෙන් සැළකේ. ඒ අනුව මේ වසරේ අප්‍රේල් 14
සඳුදා (ඉරිදා රාත්‍රී නොහොත් සඳු දිනට එළිවෙන පාන්දර) පූර්ව භාග 1.13 ට
අපරභාග 2.01 දක්වා පුණ්‍ය කාලය වේ. අලුත් අවුරුදු වෙනුවෙන් ළිප ගිනි
මෙළවීම, ආහාර පිසීම, ආහාර අනුභවය, වැඩ ඇල්ලීම, හිසතෙල් ගෑම, ස්නානය, නව
වසරේ රැකී රක්‍ෂාදිය සඳහා පිටත්ව යන්නේ ශුභ නැකත් අනුවය.
බොහෝ රටවල මෙවන් උත්සවවලට මුළු සමාජයම සහභාගි වේ. එයින් සමාජයේ සමඟි
සම්බන්ධකම් වැඩිදියුණු වේ. සාරධර්ම රාශියක් වර්ධනය වේ. මේ රටේ අවුරුදු
උත්සවයෙනුත් විවිධ සමාජ කාර්යයන් ඉටුවෙන බව දක්නට ලැබේ. ඉදිරි වර්ෂයේ
දී හොඳින් වැඩ කිරීම, පරණ අවුරුද්ද තුළ කෙරුණු වැරැදිවලින් වැළකීම වැනි
බොහෝ දෙනා කරන අධිෂ්ඨාන ධෛර්යයෙනුත් ආත්ම විශ්වාසයෙනුත් අලුත් අවුරුද්ද
පටන් ගැනීමට අනුබල ලැබෙනවා. මේ උළෙලට ගෘහණිය ගෙමිදුල, මුළුතැන්ගෙය,
ගෙදර දොර උපකරණ, ඇඳුම් පැළඳුම් ශුද්ධ පවිත්‍ර කරයි. බඩුබාහිරාදිය
අලුතෙන් මිලදී ගනී. මෙසේ ඇති කර ගන්නා බාහිර පාරිශුද්ධිය අභ්‍යන්තර
පාරිශුද්ධිය ඇති කර ගැනීමටද උපකාර වේ. අවුරුදු චාරිත්‍ර නිසා පවුලේ
සමඟියද වර්ධනය වේ. දුර බැහැර වෙසෙන පවුලේ සාමාජිකයෝ සිය නිවසට පැමිණ
බුලත් හුරුළු දී ඔවුන්ගේ වැඩිහිටි බව තහවුරු කරති. පීතෘමූලිකත්වයට
නැඹුරු අපේ සමාජයේ දූ දරුවන් පියාට බුලත් හුරුළු පිළිගැන්වීමෙන් පවුල
සම්බන්ධයෙන් ඔහුගේ බලය වගකීම ප්‍රකට කරවයි. පවුලේ වැඩිහිටි සෙසු අයගේ
හිසතෙල් ගෑමෙන් ද මේ කාර්ය ඉටු වේ. නෑදෑයෝ නෑගම් යාමෙන් ආදියෙන්
ඔවුනොවුන් හමුවීම සිදු වේ. එයින් නෑදෑකම් අලුත් වේ. ඔවුන් තුළින් තරහ
මරහකම් තුරන් වේ.
මුළු සමාජයම එකම වේලාවක එකම දිශාවක් බලාගෙන අවුරුදු සිරිත් සිදු කරයි.
මුළු සමාජයම වාද භේද අමතක කර එකම පවුලක් මෙන් එකම අවස්ථාවක, ආහාර
භුක්ති විඳිති. මෙය සමාජයේ ඒකාබද්ධතාවය තහවුරු කිරීමකි. එකට එක්ව
ක්‍රීඩා කිරීමත් එවැන්නකි. මෙසේ සැලකීමේ දී මේ උත්සවය ඉතා උසස් ලෙස
පැවැත් වූ බව පෙනේ.
ඇතැම්හු මෙය වරදවා ගනිති. කාලා, බීලා, ඇඳ පැළඳීමට ඇති අවස්ථාවක් වශයෙන්
ඇතැම්හු ගනිති. කෙනෙක් මෙය විනෝදයට පමණක් සීමාවූවක් යැයි සලකා හරිහම්බ
කර ගත් මිල මුදල් වියදම් කර ණයවීමෙන් අවසන් කරති. කිසිදාක සූදුවට නොගිය
සමහරු ඇතැම්විට මේ දවසේ සූදුවට යනු දක්නට ලැබේ. කෙනෙකුගේ දෙයක් බලෙන්
ගන්ට බැරි නිසා මොකක් හෝ කූට උපායකින් අන්සතු දේ තමන් සතු කර ගැනීමට
වෙහෙසීම සූදුව නම් වේ. වෙනදා මත් ද්‍රව්‍යය පාවිච්චි නොකරන සමහරුන් ඒවා
පාවිච්චිය කිරීමට පෙළඹේ. මත්ද්‍රව්‍ය පාවිච්චිය නරක පුරුද්දකි. අවුරුදු
දා ඒවා පාවිච්චිය කොහෙත්ම නො හොඳ ය. මේ උතුම් දවසේ නන්දොඩවමින් ආරාවුල්
ඇති කර ගනිමින් වමනේ පෙරමින් ආදරණීය මව්පියන්ගේ, සහෝදර සහෝදරියන්ගේ,
කීකරු බිරිඳගේ පෙම්බර දරු දැරියන්ගේ දෑසින් කඳුළු වැගිරවීම මුළු
අවුරුද්දටම බලපාන තමන්ටම කර ගන්නා හතුරු කමක් බව සිහිකට යුත්තකි. විෂ
සහිත දෙයක් ශරීරගත කරගෙන සිහි විකල් කරගන්නවාට වඩා සතුටින් සොම්නසින්
සහයෝගයෙන් මේ දවස ගත කිරීම මොනතරම් පි‍්‍රයජනකද?
අවුරුදු චාරිත්‍රවලට අයත් පුණ්‍ය කාලය ඉතා වැදගත් අවස්ථාවකි. එයට
නොනගතය යැයි ද වැහැරේ.නැකත් නැත යනු එහි තේරුම යි. මෙය ඉතා නරක
වේලාවකි. ග්‍රහමණ්ඩලයේ රජු වශයෙන් සැලකෙන සූර්යයා වර්ෂයකට වරක් රාශි
මාරු කරන දිනය ඉතාමත් අශුභය. ඒ මොහොතේ රවිගෙන් ලැබෙන බලය ලෞකික
කටයුතුවලට අහිතකරය. එහෙයින් සියලු වැඩ අතහැර ආගමික කටයුතු පමණක් කළයුතු
බව දෛවඥයෝ පවසති. ඒ කාලය තුළ ආගමික වත් පිළිවෙත් පමණක් කළ යුතු වේ. අපේ
පැරැණි උදවිය මේවා ඉතා හොඳින් සිදු කළහ. මේ සිරිත් මේ කාලයේ අපේ රටේ
පිරිහෙමින් පවතී.
අවුරුදු සිරිත් අතර හිසතෙල් ගෑමට විශේෂ තැනක් හිමි වේ. ඒ සඳහා මූලික
වන්නේ ගමේ පන්සලත්, වෙද ගෙදරත් යන දෙතැන ය. ඒ සඳහා අවශ්‍ය ඖෂධීය නානු
පිළියෙළ වුණේ වෙද ගෙදරය. ඒවා පිරිත් කළේ පන්සලේ හාමුදුරුවෝ ය. නැකත්
වේලාවේ බෝමලුවේදී පන්සලේ හාමුදුරුවෝ පිරිත් කියමින් තෙල් ගෑම කළහ.
හිසතෙල් ගෑමේ දී හිසටත් පයටත් තබන කොළ වර්ග නියම කොට තිබේ. එය තීරණය
වූයේ එක්තරා සිද්ධාන්තයක් අනුවය. මේ වසරේ හිසතෙල් ගෑම නියම වී ඇත්තේ
අප්‍රේල් 16 වෙනි බදාදා පූර්ව භාග 11.16 ටය. එවිට දිනය බදාදා ය. ඒ
දිනය අයත් වන්නේ බුදහුටය. බුද ග්‍රහයාට අයත් වෘක්‍ෂය කොහොඹය. එම නිසා
හිසට කොහොඹ කොළ නියම වී ඇත. පයට තබන කොළ වර්ගය තීරණය වන්නේ ඊට පෙර දිනය
ගැන සලකාගෙනය. කලින් දවස අඟහරුවාදා ය. ඒ දිනය අයත් වන්නේ අඟහරුටය. ඔහුට
අයත් වෘක්‍ෂය කොළොංය. එහෙයින් පයට කොළොං කොළ නියම කොට තිබේ.
මෙයින් ඉතා වැදගත් දෙයක් ප්‍රකට වේ. එනම් ගෙවී ගිය දිනය පයට තැබීමත්
ආරම්භක දිනය හිසට තැබීමත්ය. ගෙවී ගිය කාලයට වඩා ඉදිරි කාලය තුළ වාසනාව
සෞභාග්‍යය නිරෝගීකම ප්‍රාර්ථනා කිරීම එයින් අදහස් කෙරේ. අපේ පැරැණි
මුතුන් මිත්තන් අවුරුදු සිරිත් අනුගමනය කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලැබූ
ආකාරය තේරුම් ගෙන ඒවා අනුගමනය කොට සාමය, සමාදානය, සෞභාග්‍යය ඇතිකරගෙන
දෙලොව දියුණුවත් කෙළවර අමා මහ නිවන් සුවයත් අත් පත් කර ගැනීමට උත්සාහ
කරත්වා. |