ඉල් අව අටවක 2013 නොවැම්බර් 25 වන දා
සිල් ගුණ
ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළවීමෙන් පසු අනන්ත
අප්‍රමාණ කාලයක් සසර පුරා අපමණ දුක් විඳී ලෝක සත්ත්වයන් වෙත
උන්වහන්සේ පිහිට වූයේ මහා කරුණාව සහ මහා ප්‍රඥාවද පෙරදැරිකර
ගෙන ය.
සසර කතරේ ඇලී ගැලී සිටි සත්ත්වයන් සම්මා සම්බුදුරදුන්ගේ ලොව
පහළවීම නිසා ම ධර්මාවබෝධයට, නිවන් මඟට පිළිපන්හ.
බුදුරජාණන් වහන්සේගේ පළමු වන දම් දෙසුම වූ දම්සක් පැවැතුම්
සූත්‍ර දේශනාවේ සිට පුරා පන්සාළිස් වසක් මුළුල්ලෙහි උන්වහන්සේ
දේශනා කරන ලද සුවාසු දහසක් ධර්මස්කන්ධය නිසාම ලෝක සත්වයන් අමා
නිවනින් සැනසුම ලැබූහ.
සැරියුත් මුගලන් ආදි අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා වෙතින්
ශෝභාමත් වූූ, අලංකාරවත් වූ සසුන් කෙත තුළ ලක්ෂ ගණන් මහ රහතන්
වහන්සේලා පහළ වූයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ
අපරිමිත පුණ්‍ය බල මහිමයෙනි.
ජීවමාන, බුදුපියාණන් වහන්සේ දවස පළමු රහත් සැට නම අමතා “චරථ
භික්‍ඛවෙ චාරිකං බහු ජන හිතාය බහුජන සුඛාය...” ආදි වශයෙන් බොහෝ
දෙනාට හිත සුව පිණිස ධර්ම චාරිකාවෙහි වැඩමවමින් සම්බුද්ධ
අනුශාසනාව අනුවම ධර්ම චාරිකාවෙහි වැඩම කළහ.
තම සිත සුවපත් කර ගනිමින්, අනෙකුත් සිත්සතන්ද දහමෙන් සුවපත්
කරගත් උත්තම මහ රහත් මහ සඟ පරපුරට පවතිනුයේ අසිරිමත්
ඉතිහාසයකි.
ඒ උත්තම මහ සඟ පරපුරෙන් පැවැත එන සම්මුති මහ සඟරුවන ලොව බොහෝ
රටවල වැඩ වෙසෙමින් සදහම් අමා පණිවුඩය බෙදා දෙමින් වර්තමානයේදි
පවා සිදු කෙරෙනුයේ සදා අනුස්මරණීය මෙහෙවරකි.
සසුන් කෙතට වර්තමානයේදි පවා ඇතුළත් වන දරුවන් ඒ සසුන් මගට
පිවිසීමට පෙර තම මව්පියන්, සහෝදර සහෝදරියන් ඤාතීන්, හිතවතුන්
ආදි බොහෝ දෙනාගෙන් ඈත් වී, ගිහි ගෙයින් පවා ඈත් වී සසුන් කෙතට
ඇතුළත් වීම අගැයිය යුතු ය. එසේ සිතෙනුයේ පවා කීයෙන් කී දෙනෙකු
වෙතද?
එසේ වාසනාවකට මෙන් සසුන් කෙතට ඇතුළත්වන කුඩා දරුවකු සසුනඹරේ
දීප්තිමත් තාරකාවක් වනු ඇතැයි බොහෝ විට කුඩා කල නොසිතනු ඇත.
එහෙත් කාලයාගේ ඇවෑමෙන් සිල් ගුණ දම් පුරමින් ආදර්ශවත් පැවිදි
දිවියක් ගත කරන ස්වාමින් වහන්සේ නමකට සසුනෙන් පවා ලැබෙනුයේ
මහත් ගෞරවාදරයකි.
සිල්වත්, ගුණවත් මහා යතිවරයන් වහන්සේ නමක් ලෙස ගිහි පැවිදි උභය
සමාජයෙන් ගෞරව බහුමානයට ලක්විය හැකි වෙතොත් එබඳු පැවිදි ජීවිත
සමාජයට මහත් ආදර්ශයක් වනු නියතය.
ගිහි සමාජය බොහෝ විට හුරු පුරුදුවී සිටින්නේ තමන් නිති සිල්
ආරක්‍ෂා නොකළද භික්‍ෂූන් වහන්සේ සිල් ගුණයෙන් වැඩ සිටිය යුතු
ලෙසය.
ගිහි සමාජය වෙත අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසනා කරනු ලබන
භික්‍ෂුව ආදර්ශවත්වීම හැම විට ගිහි සමාජය අපේක්ෂා කරන්නකි.
එහෙත් ගිහි සාමජයේ සිට පැවිදි සමාජයට ඇතුළත් වන භික්‍ෂූන්
වහන්සේගේ සුළු අඩුපාඩුවක් වුවද ඇතැම් විට පැවැසීමට තරම් ගිහි
සමාජය සාහසික වී ඇති බවද අප අමතක කළ යුතු නොවේ.
ශාසන භාරධාරී භික්ෂූන් වහන්සේ නිසාම සම්බුදු සසුනේ
ආරක්ෂාවත්,අභිවෘද්ධියත් සැලසෙන හෙයින් ගුණවත්, සිල්වත්
භික්‍ෂුවක් සමාජගත කිරීමම මහගු ආදර්ශයකි. එබඳු ආදර්ශවත් මහා
ස්වාමීන්ද්‍රයන් වහන්සේලා එදා මෙන්ම අදත් බොහෝ ගරු බුහුමන්
ලබති.
ශාසනික ආගමික සමාජික ආදි කවර අංශයකින් වුවද භික්ෂූන් වහන්සේ
සමාජයට සිදුකරන මෙහෙවර බෞද්ධයාට අමතක කළ හැකි නොවේ. |